වාහන එක පේලියට දිගටම නතර කර තිබුනි.දැඩි වාහන තදබදයක් තිබූ අතර තමන්ට නැග ගැනීමට නොහැකි වී මග හැරුනු බස් රථයත් ඒ අතර විය..ඇයට මඳ සැනසුමක් දැනුනි.
“නදියෝ…!ජය සිරි මංගලම් ..!”
එක් යෙහෙළියක් බස් රථයේ සිට කෑ ගැසුවාය.ඇය එය නෑසුනාක් මෙන් ඉදිරියට ගමන් කලාය.
ඇය දිනපතා ගමන් කරනා කාර්යාල දුම්රිය ඒ වන විටත් මහ පාර මැද නවත්වා තිබුනි. එහි ගමන් ගත් මගින් එයින් බැස දුම්රිය ඉදිරිපිටට පැමිණ උද්ගෝෂණයක් පවත්වමින් සිටියහ. එහි මහා ගාලගෝට්ටියකි. එක් අයෙක් දුම්රිය ඉදිරියේරේල් පාර මැද බිම වැතිරී සිටියේය.
නදීරා ඉදිරියට දිව්වාය…ඇයගේ සිතේ සියුම් කෝපයක් ඇති විය.අද නම් වරුවක නිවාඩුවක් කැපෙන බව ඇයට ඉර හඳ සේ විශ්වාසය.අද දිනයට යෙදී ඇති වැඩ රාජකාරි මතක් කරද්දි ඇයට දෙවියන් සිහිවිය.
“හුටා..!අද නේද අර. එක්ෂිබිසන් එක ගැන කතා කර ගන්ඩ එක එක පළාත්වලින් නියෝජිතයො එනව කිව්වෙ…!නදීරෝ…!තෝ ඉවරයි අද …!ඉවරෙටම ඉවරයි …!!”
ඇය භීතියෙන් සිහිපත් කළාය.
ආයතනය මගින් පවත්වන වාර්ෂික ප්‍රදර්ශනය පිළිබඳව සාකච්ඡා වක් අද පැවැත්වීමට නියමිතව තිබුනි.එහි සංවිධාන කටයුතු භාර දී තිබුනේ නදීරාටය.අනෙක් අය නොයෙකුත් හේතු කියමින් එයින් මග හැරි අතර නදීරාට එයින් ගැලවීමට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමක් කළ නොහැකි විය.
“මං නම් ගෙදර යුද්දයක් කරල එන්නෙ.උදේ පාන්දර නැගිටලා ළමයි දෙන්නව ඉස්කෝලෙ යවලා මහත්තයවත් වැඩට පිටත් කරලා කරලා එන්නෙ….ගෙදර ගියාමත් එයාලගෙ හෝම්වර්ක් කරවලා උයලා පිහලා ,වළං පිඟහ් හෝදලා පහුවදාට උයන ඒවත් කපල කොටලා ,වොෂ් එකක් දාගෙන ඉවර වෙද්දි රෑ 12ත් පහු වෙනවා…මට නම් ඕවට කැප කරන්ඩ වෙලාවක් නෑ…ඔන්න ඔය නදීරා මිස්ට නම් එහෙම ප්‍රශ්න මොකුත් නෑනෙ…අම්මා උයල දෙන බත් එක අරන් එන්ඩ විතරනෙ තියෙන්නෙ ….!”
මේ පිළිබඳව අංශයේ සේවක සේවිකාතිබුනි දැනුවත් කිරීමේදී එක් නිළධාරිනියක් මහ හැරියේ එසේ කියමිනි.සිරිතක් වශයෙන් ඇය දිනපතාම පාගේ කාර්යාලයට පැමිණියේ ප්‍රමාද වීය
“නදීරා මිස් එන්නෙ දුර ඉඳලනෙ…බස් එකෙන් ඇවිත්, තව කෝච්චියෙනුත් එනවනෙ. මේ ලඟපාත ඉඳලා වැඩට එන අය ඕනැ තරම් මෙතන ඉන්නව නේද.. !එහෙම කවුරු හරි ස්වෙච්ඡාවෙන්
විධායක නිළධාරිනිය පැවසුවාය .
“නෑ මැඩම්…!නදීරා මිස්ට අවස්ථාවක් දීල බලමු.අළුත් ලමයින්ටත් අපි අවස්ථාවක් දෙන්ඩ එපැ…!”
” ,ඔව්,මැඩම්…!නදීරට අවස්ථාවක් දෙමු…!අපි එයාට උදව් කරන්නම්…!”
සියළු දෙනාම එම වගකීමෙන් මග හැර යද්දී නදීරා එය ස්ව කැමැත්තෙන් භාර ගත්තාය.
“මං කරන්නම් මැඩම් …!”
“වෙරි ගුඩ්…!”
එදා ඒ ලෙස එම රාජකාරිය නදීරාට භාර විය..ඇය මෙතෙක් එම,වගකීම නොපිරිහෙලා ඉටි කලාය.එහෙත් අද සිදුවූ මෙම අන පේක්ෂිත සිදුවීම නිසා ඇය තැති ගත්තාය.
එම හමුව
පැවැත්වෙන්නේ සවස් වරුවේ උවත් ඒ සඳහා සූදානම් වීමට කාලයක් අවශ්‍ය වේ.පැමිණෙන අමුත්තනේද් පිළිගැනීම ,ඔවුන්ට සුදුසු සංග්‍රහ කිරීමාදී කටයුතු බොහොමයක් ඉටු.කිරීමට තිබේ..
එසේ භාර ගත් කාර්‍යය මේ වන තෙක් කිසිදු ගැටළුවක් නැතුව කර ගෙන ආ නමුත් අද සිදුවූ අනපේක්ෂිත ප්‍රමාදය නිසා බාධාවක් මතු වී ඇත…
“නෑ..!මං කොහොම හරි අද මං ඒක කරනවා…!”
ඇය සිතා ගත්තාය.ඇය වටපිට බැළුවේ ඉදිරියට යා හැකි ක්‍රමයක් සොයමිනි. ඇය වාහන තදබදය අතරින් ඉදිරියටම ගමන් කර දුම්රිය අසලට පැමිණියාය.පාරෙන් එහා පැත්තට ගියහොත් අනෙක් පසින් එන බස් රථයකට නැග ගත හැකිය.ඇය දුම්රිය පිටුපසින් ගොස් මාර්ගයට පැමිණීමට සිතා ගත්තාය.ඇය පය ඉක්මන් කර දුම්රිය පිටුපසට ඇවිද ගියාය.
“ගමනේ යා…!වම් දක් ..!වම් දක්…!”
“නිකන් කකුල..,ලෙන්සු කකුල…! වම් දක්…,වම් දක්..!”
දුම්රියේ සිටි තම යහළු යෙහෙළියන් තමන්ට කෑ ගසා කියනු ඇසුනි.එහෙත් ඇය එය එතරම් ගණනකට ගත්තේ නැත.
“මං මෙහෙ ගිනි පත්තුවෙලා දඟලනව…!උන්ට විහිළු..!හිටපන්කො හෙට දෙන්නම් රිටර්න් එක…!”
ඇය සිතුවාය. ඇය පාරේ අනික් අඩට යන විට එහිද වාහන පෝලිමකි.ඇය පෝලිමේ ඉදිරියෙන්ම
නවතා තිබු බස් රථයට ගොඩ වූවාය.ඇය සමග දුම් රියේ ගමන් කරනා කීප දෙනෙක් එම බස් රථයේ විය.
: “හායි..,!ගුඩ් මෝනින් නදී..”
“ගුඩ් මෝනින් ,මොකද අද බස් එකේ…?”
ඇයද පෙරලා සුබ පතමින් ඇසුවාය.
“ඇයි මතක නැද්ද ඊයෙ අර කට්ටිය කතා උනා අද රේල්පාර හරස් කරලා ස්ට්‍රයික් එකක් කරනවා කියලා…?”
“මොන කට්ටියද…?”
“බංගදෙණිය දුම් රිය මගීන්ගේ සංගමය..!”
“හොඳ් වෙලාවට අපි.ඒ සංගමයෙ නැත්තෙ…!,නැත් නම් අපිටත් පාරෙ තමයි ඉන්ඩ වෙන්නෙ…!.ම්..ම්…ඉතින් මොකටද එයාල ස්ට්‍රයික් කරන්නෙ…?මොනවා ඉල්ලලද…?”
“මොකුත් ඉල්ලල නෙවෙයි ,මේක සීදූවෙ නවත්වන්ඩ එපා කියලා…!”
“ඒත් ඒ කෝච්චිය සීදූවෙ නවත්තන් නෑනෙ…!”
“ඒ උනාට එහෙම නවත්වන්න කියලා ඉල්ලලා මිනිස්ට්‍රි එකෙන් ඉල්ලීමක් කරලලු ඒ ම්නිස්සු…!”
“ඉතින්?”
“ඉතින් කියන්නෙ ..?ඇයි අනේ තේරෙන්නෙ නැද්ද …,අපිට තියෙන්නෙ මේ කෝච්චිය විතරයි.සීදුවෙ අයට කෝච්චි පහක් තියෙනවා.., ඉතින් මේකත් නවත්තන්න ඕනැ නෑනෙ..!එහෙම නවත්තන්න ගියොත් තවත් විනාඩි පහක් වත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ…!අනිත් එක මේකෙ කොහෙද තව ස්ටේෂන් එකක සෙනගට නගින්ඩ ඉඩ තියෙන්නෙ .?.පෙට්ටි උඩත් සෙනගනෙ…!”
ඒ කතාවෙත් ඇත්තක් තිබේ.නදීරා කරබා ගෙන සිටියාය.
වරින්වර ඇතිවන මාර්ග තදබදයට ලක් වෙමින් වුවත් බසය නියමිත ගමනාන්තයට ලඟා විය.නදීරා වේගයෙන් බසයෙන් බැස කාර්‍යාලය දෙසට හැල්මේව් දිව්වාය .
“හෝව් !හෝව්..!කොහෙද මේ ගාල කඩා ගත්ත වගේ දුවන්නෙ…?කෝ ගන්ඩ බලන්ඩ අයිඩෙන්ටිය…!”
ඉදිරියෙන් වූ මුරපොලේ සෙබළා ඉදිරියට පැමිණ ඇය නැවැත්තුවේය.නදිරා හතිලමින් නතර වූවාය . ඇගේ සිරුරෙන් දහඩිය ගලමින් තිබූ අතර හිසකෙස්ද මඳක් අවුල් වී තිබුනි.ඇය හැකි ඉක්මනින් සිය ජාතික හැඳුනුම්පත බෑගයෙන් ගෙන ඔහු අත තැබුවාය.එහෙත් ඔහු බලා සිටියේ ඇය දුව ආ පාර දෙසය.
“මෙන්න අයිඩෙන්ටිය…!අනේ ඉක්මනට ඕක බලලා මට යන්ඩ දෙන්ඩ…!”
“කොහෙද යන්නෙ..?”
“වැඩට..!”
“මෙහෙම දාඩිය පෙරා ගෙන දුවන්නෙ…?ඔයාගෙ පස්සෙන් කවුරු හරි එළෝගෙන ආවද…?”
සෙබළා ඇසුවේ නැවතත් පාර දෙසට දෑස් යොමු කියන්නෙ කරමිනි….
“මගෙ පස්සෙන් කවුරු එළවන්ඩද…,මං මේ දුවන්නෙ සෝට් ලිව් එකවත් බේර ගන්ඩ…හැමදාම උදේ හවස මං මෙතනින් යනවා…ඔයාල නිකමටත් බලන්නෙ නෑ..!අද මේ හොඳටම ලේට් වෙච්ච දවසෙ තමයි ඔයාලටත් අයිඩෙන්ටි චෙක් කරන්ඩ ඕනැ උනේ…!”
නදීරා මැසිව්ලි නැගුවාය. සෙබළාට සිනා පහල විය.
“ආ..!ඇත්තද නංගි..? ඔයාට දුක හිතුනද මං නිකමටත් බැළුවෙ නෑ කියලා …?කියන්ඩ එපෑ..!මං කොහොමද දන්නෙ ඉතින්..?.එහෙනම් මීට පස්සෙ මෙතන මං හිටියොත් හැමදාම බලන්නම්කෝ…!”
සෙබළා සිනාසෙමින් කියවයි.දැන් දැන් ගත වෙන සෑම තත්පරයක් ම ඉතා වටිනා බව නදීරාට වැටහේ…ඒ මදිවට මෙම සෙබළාත් තමාව විහිළුවට ගත් බවක් ඇයට දැනුනි.ඇයට ලැජ්ජාවක් ඇති විය. ඇය සෙබළා අත් රඳි හැඳුනුම්පත උදුරා ගෙන දිව්වාය.
එහෙත් අයට අඩි දෙක තුනකට වඩා දුවන්නට ඉඩක් ලැබුනේ නැත.එක්වරම ඇයගේ එක් සෙරෙප්පුවක අඩිය ගැලවී ඇය බිම ඇද වැටුනාය.
: එය දුටු සෙබළාගේ මුවේ සිනාවක් ඇදුනි.
“අයියෝ..! ඔච්චර වැඳ වැඳ මගෙ ආදරේ ඉල්ලුවට වැඩක් නෑ නංගි…!වේකන්සි නෑ!කෝ එන්ඩ …!මං නැගිට්ටවන්ඩද …?”
සෙබළා සමච්චල් හඬින් පැවසුවේය …. ඔහු තමා වෙත එන අයුරු දුටු නදීරා ඉතා අපහසුවෙන් දනිපනි ගා නැගී සිටියාය.