අත්කම් නිර්මාණ‍යෙන් ජිවිතය දිනූ ඇය ගැනයි මේ කතාව

author
0 minutes, 0 seconds Read

ජීවිතය සුන්දරයි කිව්වත් සමහර විට එය අප සිතන තරම් සුන්දර නැහැ. ඒ වගේම දුක වගේම සැප කරත්ත රෝදයක් වගේ පෙරලෙන බවත් අපි දන්නවා. හික්කඩුව ගෝනාපිනුවල පදිංචි ශාමා කාන්ති මහත්මියත් ජීවිතයේ විවිධ ගැටලුලට මුහුණ දුන් කාන්තාවක්. නමුත් ඇය ධෛර්යෙන් ඒ හැම ගැටළුවක්ම විසඳාගෙන දැන් ජීවිතයේ බොහෝ ගිරි දුර්ග තරණය කර අවසානයි. අපි ඇගේ කථාව ඇගෙන්ම අසා දැන ගනිමු.

මගේ නම ශාමා කාන්ති. මම ගෝනාපිනුවල සරණංකර විද්‍යාලයෙන් පාසල් අධයාපනය අවසන් කළා. වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වුනත් රැකියාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. ඒ නිසා මම බියගම ආයෝජන කලාපයේ සේවයට සම්බන්ධ වුණා. අවුරුදු හතක් මම ආයෝජන කලාපයේ රැකියාවක් කළා. විවාහය සමග මම රැකියාවෙන් අයින් වුණා.

■ විවාහයෙන් පසුව…
මම 1997 විවාහ වුණා. 1998 වසරේ මට පුතා ලැබුණා. දරු ප්‍රසුතිය සමග ඇති වුන සංකුලතාවයන් නිසා මම දෙවැනි වතාවට දරුවෙකු ලැබීම ප්‍රමාද කරන්න වුණා. 2004 වසරේදී මගේ සැමියා හදිසි අනතුරකින් මියගියා. හිතා ගත නොහැකි අවස්ථාවක සිදු වුන මේ සිදුවීම නිසා මගේ ජීවිතය උඩු යටිකුරු වුණා.

■ සුනාමිය ආවා..
2004 වසරේ දෙසැම්බර් සුනාමිය නිසා මුහුදුබඩ පළාත්වල අපේ උදවිය සෑහෙන ගැටළුවලට මුහුණ දුන්නා. ජීවිත වගේම තමන් පදිංචිව සිටි තැන් පවා අහිමි වුණා. මේ අතරේ අළුතින් ඉඩම් ලබා දුන් අයට පර්චස් හත, අටක වපසරියේ කාබනික වගාවන් කිරීම ගැන වැඩ සටහනක් ක්‍රියාත්මක වුණා. මේ වැඩ සටහන රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සිදු කළා. අපට හොඳ දැණුමත් ලැබුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගලහ නාබනික ගොවිපොළක ඉතාම හොඳ වැඩසටහන්වලට අපි සම්බන්ධ වුණා. කිසිම දෙයක් ඉවත නොදමා ඒවායින් ආදායම උපයන හැටි ගැන දැණුම ලැබුණා. උදාහරණයක් විදිහට අපේ නිවසේ පලා වර්ගයක් වුනත් ඉවත නොදමා ඒවායින් කැඳ හදා ගන්න පුළුවන් බව මගේ සකසුරුවම ගැන මනා දැනුවත් කිරීමක් අපට ලැබුණා. මේ ව්‍යාපෘතියත් අවසන් වුණා.

■ හික්කඩුවේ කෑම කඩයක් පටන් පටන් ගත්තා…
මගේ සැමියා නැති වුනාට පසුව මගේ අම්මයි, තාත්තයි මගේ නිවසේ පදිංචියට ආවා. මේ වෙන විට පුතා පුංචියි. මම හික්කඩුවේ කඩයක වැඩ කරන්න ගියා. 2013 වසරේ මගේ තාත්තා මිය ගියා. ඒ නිසා මට පුතා බලා ගෙන නිවසේ ඉන්න සිද්ධ වුණා.
මට අත්කම් පුළුවන්. මගේ අම්මාටත් අත්වැඩ පුළුවන්. සමහර විට පරම්පරාවෙන්ම එන දෙයක් වෙන්න ඇති. දැන් නිවසේ නැවතී සිටින අතරේ මම විවිධ වැඩ කළා. මට බෑග් , සපත්තු මහන්න පුළුවන්. මම ඒවා මහල අලෙවි කළා.
මම ආරච්චිකන්දේ සමෘද්ධි බැංකුවේ බෑග් , සපත්තු කඩයක් පටන් ගත්තා. මේ කඩයේ මගේ නිෂ්පාදන අලෙවි කරන්න තිබ්බා. නමුත් මේ කඩයේ වැසිකිළියක් නැහැ. ඒ නිසා මම වතුර බොන්න මැලි වුණා. වතුර නොබොන නිසා මට මුත්‍රා ආසාදන තත්වයක් ඇති වුණා. ගොඩක් අසාධ්‍ය වුණා. මගේ අම්මා නොහිටින්න අද මම ජීවතුන් අතර නැහැ.

■ අත්කම් වැඩමුළුවක් තිබුණා…
මගේ අක්කා කුමාරකන්දේ පදිංචියි. මේ පළාතේ ඉරටු වලින් අත්කම් පාඨමාලාවක් පවත්වන බව ඇය මට දැනුම් දුන්නා. මේක වසරක පාඨමාලාවක්. මම මේ පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා බවට අක්කා වගේම ඇගේ සැමියා විශ්වාස කළා. ඇත්තටම මම ඒ පාඨමාලාව ඉතා සාර්ථක ලෙස අවසන් කළා. මගේ නිර්මාණ අගයමින් 2019 වසරේ නුග සෙවන ” වැඩසටහනට පවා මම සම්බන්ධ වුණා.

■ උපදේශිකාවක් විදිහට….
ඉරටු කලාව ගැන උපදේශිකාවක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. 2019 වසරේ මට ඒ අවස්ථාව ලැබුනේ. නමුත් හැම දෙයක්ම වෙනස් කරමින් 2020 වසරේ මම හදිසි අනතුරකට ලක් වෙලා අත සහ කකුල හානි වී එක්තැන්ව සිටින්න වුණා. මේ අතරේ මගේ බාප්පාගේ පුතා කඩයක් කළා. මම ඒ කඩයට ඉරටු වලින් කරන ලද නිර්මාණ වගේම බෑග්, සපත්තු වගේ නිෂ්පාදන ලබා දුන්නා. ඒ අතරේ ලක්සල, ශිල්ප සභාවට නිෂ්පාදන ලබා දුන්නා.

■ දැන් දුෂ්කර කාලය අවසානයි..
ඔව්.. දැන් මගේ ජීවිතයේ ස්ථාවර බව ගොඩ නගා ගෙන තිබෙනවා. මගේ පුතා රැකියාවක් කරනවා. නිෂ්පාදන අලෙවියත් සිදු වෙනවා. මම දැනට වනිතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිවාස භාරයේ සිටින දරුවන්ට කලා කටයුතු ගැන ඉගැන්වීම් කරනවා.

■ ඔබ ලබා ගත් සම්මාන…
මම 2019 වසරේ පටන් ශිල්ප සභාවේ සම්මාන සහතික ලබා ගෙන තිබෙනවා. වනිතාභිමානි තරගයෙන් මම පළාතේ දෙවැනි තැන ලබා ගත්තා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ලද දිරිය කාන්තාවන් තේරීමේදී මම 2024 වසරේ දිරිය කාන්තාව ලෙසින් තේරී පත් වුණා.
ඇතත්ටම දැන් ඇගේ දුෂ්කර ගමන අවසානයි. ආ මග කටුක වුනත් යා යුතු මග එළි පෙහළි වී තිබෙනවා. ඒ ඇගේම ධෛර්ය නිසා බැව් නොකියාමත් බැරි බැව් සඳහන් කළ යුතුම වෙනවා.

■ ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත්…
ජීවිතයේ තරුණ කාලයේ තනිවුන කාන්තාවකට සමාජයෙන් ඉදිරියට එන්න අපහසුයි. ඒත් මම ඒ හැම දෙයක්ම දරා ගෙන ඉදිරියට ආවා. මම සමාජ සේවයට කැමැතියි. මම සාමවිනිසුරුවරියක් ලෙසත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා වැන්දඹු සමිතියේ සභාපති ලෙසත් සේවය කරනවා.

සටහන –

සිල්වා, සි

Similar Posts