ජපානයේ සුප්රසිද්ධ ළමා කතා ලේඛකයෙකු වන මියසවා කෙන්ජිගේ ‘චු මොන් නො ඕයි යෝරිතෙන් (Restaurant with Many Orders) මම සිංහලට පරිවර්තනය කෙළෙමි. එම පරිවර්තනයේ සිංහල නම හැටියට දැම්මේ ” වල්බළල්පායේ අකර තැබ්බය ” යන්නයි. අපේ ප්රකාශකයා වූ සරසවි ප්රකාශකයෝ යෝජනා කළ පරිදි මුල් නම සිංහලට එතරම් ආකර්ශනීය නොවන නිසා මේ නම යොදන්නට තීරණය කෙළෙමි.
පසුගිය ඔක්තෝබර් 22 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්රවණාගාරයේ පැවැත්වූ දොරට වැඩුමට සහභාගි වීම ගැන මගේ කෘතඥතා පූර්වක ස්තුතිය පළ කර කරන්න පළමුව ඉඩ දෙන්න. වැඩ සටහන මෙහෙය වූ මහාචාර්ය පැට්රික් රත්නායක මහතා ඇතුළු කථා පැවැත් වූ මනෝ උපදේශිකා සුමේධා නවරත්න මහත්මිය, මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය, ජපන් තානාපති කාර්යාලයේ ඉනොඋඑ හිරොකි මහතා සහ සහභාගි වූ සැමට ස්තූතියි.
මියසවා කෙන්ජි ජපානය නියෝජනය කරන ළමා කතා හා සුරංගනා කතා රචකයකු ලෙස ප්රසිද්ධයි. ඔහුගේ රචනා අතරින් “ගිංග තෙත්සුදෝ නො යොරු” (‘The Night of the Milky Way Train’) නමැති කෘතිය ගැන නොඇසූ කෙනෙක් ජපානයේ නැති තරම්ය. ළමා කතා රචනයට අමතරව කවියෙක්, ගුරුවරයෙක්, විද්යාඥයෙක්, කෘෂිකර්ම පර්යේෂකයෙක්, ආගමික උපදේශකයෙක් හැටියට ද ඔහු කික්රියාශීලී වී සිටියේය.
ඇණවුම් අධික ආපන ශාලාව හෙවත් ‘වල්බළල්පායේ අකර තැබ්බය’ ප් රකාශයට පත් කරනු ලැබුවේ 1924 වසරේය. ඒ ජපානය නවීකරණය හා නාගරීකරණයට පිවිසෙමින් තිබුණු යුගයයි. ආපන ශාලාවේ ඇණවුම් ඒ යුගයේ ව් යාප්ත වූ වාණිජ සංස්කෘතියේ අංගයක් ලෙස සලකන විට, ආපන ශාලාව පාලනය කළ වල් බළලුන්ගෙන් නියෝජනය වන්නේ ව්යාපාරික පැලැන්තියයි. හරියටම අවුරුදු 100 කට පෙර ඈත රටක පළ වූ මේ කෘතිය වර්තමාන ලංකාවට අදාළ වෙන්නේ කෙසේද යන්න දොරට වැඩුමේ දී සුමේධා නවරත්න මහත්මිය අපූරුවට පැහැදිලි කළාය. කොටින්ම කියතොත් විවිධ සමාජ, සංස්කෘතික, ආගමික, දේශපාලන ආයතන හා බලවේගවලින් නිකුත් කෙරෙන ඇණවුම්වලට යටත් වී, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවා පිළිපදිමින් ඉන්න සමාජයකයි අප ජීවත් වෙන්නේ. නිචිරෙන්ෂු නමැති බෞද්ධ නිකායේ බැතිමතෙකු වූ මියසවා කෙන්ජි ස්වාභාවවාදී දර්ශනයක් තුළින් නූතන වාණිජ සංස්කෘතියට හා නොසැලකිලිමත් පරිභෝජන රටාවට එල්ල කළ තියුණු උන්ද්රාසවත් ප්රහාරයක් ලෙස මේ කතාව හඳුන්වමු.
මේ පසුබිම් දැනුම ඇතිව ඊළඟට මා බලාපොරොත්තු වෙන්නේ මියසවා කෙන්ජි කවියා ලියූ පද්ය රචනයක් හඳුන්වා දීමටයි. රචනයේ මාතෘකාව ‘අමෙනි මකෙසුz’ (” වැස්සට නොසැලී “) යන්නයි. මේ කවිය ද ජපානයේ පාසැල් පොට ඇතුළත් වී තිබේ. මේ කවිය කෙන්ජි විසින් ප්රකාශයට පත් කර තිබුණේ.
ඔහුගේ මරණයෙන් පසුව සොයා ගනු ලැබූවකි. ඔහු 1933 දී 37 හැවිරිදි වියේ දී නිමෝනියාව හැදී මිය පරලොව ගොස් ඇත. කවිය 1931 වසරේ නොවැම්බර් මාසයේ දින පොතේ ලියා තිබී හමු විය. ජීවිතයේ සතුට, වාසනාව යනු කුමක්දැයි ගවේෂණය කරමින් සිටි කෙන්ජිගේ ජිවිතයේ සමස්ත ප්රාර්ථනාව මේ කවිය තුළ ගැබ් වී ඇතැයි සැලකේ. දැන් කවිය කියවා බලමු.
වැස්සට නොසැලී
වැස්සට නොසැලී සුළඟට ද නොසැලී හිමපතනයට හෝ ග්රීෂ්ම උෂ්ණත්වයට ද නොසැලී හොඳ ශරීර ශක්තිය ඇතිව තෘෂ්ණාවෙන් තොරව කිසිසේත් තරහ ගන්නේ නැතිව නිතරම නිහඬව සිනාමුසු මුහුණින් සිටී.
දිනකට නිවුඩු හාලේ බත් කෝප්ප හතරක් ද සෝයා පිටි තලප හා එළවළු ටිකක් ද කා කුදු මහත් සියලු දේ හැඟීම්බර නොවී අත්දැකීම් හා නිරීක්ෂණ මත අවබෝධ කර ගෙන කිසිසේත් මතකය නැතිකර නොගෙන තණ බිමේ දේවදාර ගස් සෙවණේ පිදුරු සෙවිලි කළ පුංචි පැලක ජීවත්වෙයි.
නැගෙනහිර පළාතේ අසනීප වූ ළමයෙක් සිටී නම් ඔහු එහි ගොස් ඇප උපස්ථාන කරයි. බටහිර පළාතේ වෙහෙස මහන්සි වූ මවක් සිටී නම් ඔහු එහි ගොස් ඇයගේ ගොයම් මිටිය කර තියාගෙන යයි. දකුණේ කිසිවෙක් මරණාසන්නව සිටී නම් ඔහු එහි ගොස් ‘ බය වෙන්න එපා යයි කියයි. උතුරේ කලහ සහ නඩුහබ ඇත්නම් ඔහු එහි ගොස් ඔය වැඩකට නැති දේවල් නතර කරපල්ලා’ යයි කියයි.
නියඟය තියෙන විට කඳුළු හළා සීතල ගිම්හාන සමයේ කනස්සලුව ඇවිදගෙන යන ඔහුට මොට්ටයා යයි කියති කවුරුත්. ඔහුට ප්රශංසා කරන කෙනෙකුත් නෑ කවුරුවත් ඔහුව ගණන් ගන්නෙත් නෑ
ඒ වීදියේ කෙනෙක් වෙන්නයි මට ඕනැ.
මේ කවියේ එක තැනක දිනකට නිවුඩු හාලේ බත් කෝප්ප හතරක් ද සෝයා පිටි තලප හා එළවළු ටිකක් ද කා යන පද දෙකක් ඇත. මෙය තරමක විවාදයට තුඩු දුන් කාරණයකි. දවසකට හාල් කෝප්ප හතරක් යනු කිසිසේත් සුළු ප්රමාණයක් නොවෙයි. සාමාන්යයෙන් මා ජපානයේ ඉන්නා විට දවසකට (තුන් වේලටම) කන්නේ කෝප්ප එකහමාරක (ලංකාවේදී නෙවෙයි !) ප්රමාණයකින් ඉයූ බත්ය. සරල, අල්පේච්ඡ ජීවිතයක් ගැන කියන කෙන්ජි එපමණ බත් ප්රමාණයක් කෑවා ද යන ප්රශ්ණය මෙහිදී මතු වේ. එක විචාරකයෙක් මේ කෑම ප්රමාණය ඡායාරූපයකින් දක්වා තිබුණි. එම ඡායාරූපය මෙහි උපුටා දක්වමි.
සමස්ත කවියේ තේරුම හෙවත් පණිවිඩය කෙටියෙන් කිවහොත්, වැසි, සුළං, සීතල, හිම, උණය යන හැම දේටම ඔරොත්තු දෙන ශක්තිමත් ශරීරයක් හා හදවනක් හදා ගෙන, තණ්හාවෙන් හා ද්වේෂයෙන් තොරව, අනුන් වෙත කරුණාව, දයාව දක්වමින් නිරහංකාරව හා නිරපේක්ෂකව ජීවත්වීමේ පරමාදර්ශයයි. කවුරුන් මොනවා කීවත් නොකීවත් කම් නැත. අපි හෘදය ශාක්ෂියට එකඟව අප යන මඟේ යමු. මේ විදියට බලන විට මියසවා කෙන්ජි මුනිවරයෙකි. වර්තමාන තරඟකාරී වාණිජවාදී, කෑදර පරිභෝජනවාදී සමාජය තුළ ‘මටත් ඒ විදියේ කෙනෙක් වෙන්න ඕනැ’ යයි සිතන කෙනෙකු සොයා ගැනීම පහසු නැත. වෙනත් ජපන් ලේඛකයන් හා සසඳන විට කෙන්ජි එතරම් ජාත්යන්තර කීර්තියට ලක් වී නැත. ලෞකිකත්වයට වඩා ඔහු ඇගයූ අල්පේච්ඡ ජීවිතයම නිසා, එනම් බටහිර ශිෂ්ටාචාරයේ සම්මතයට එරෙහිව සිටිය නිසා ඔහු බටහිර විචාරකයන්ගේ හා පාඨකයන්ගේ අවධානයට ලක් නොවූවාදෝ යන සැකය මට තිබේ.
මහාචාර්ය දිලීප් චන්ද්රලාල්