අවුරුද්දට සුවඳ හමන ඉටිපන්දම්

author
0 minutes, 1 second Read

නත්තල් කාලයේදී ඉටි පන්දම් වෙනුවෙන් වැඩි ඉල්ලුමක් ලැබෙනවා. ඒ අතරේ අපි දකින සම්ප්‍රදායික ඉටි පන්දම වෙනුවට සුවඳ විහිදෙන අළුත් ඉටිපන්දම් ආලෝකයක්… ඒ විතරක් නොවෙයි…නහයට දැනෙන මෘදු සුවඳක්..
අද ලෝකයේ සුවඳ වෙනුවෙන් වැඩි තැනක් ලැබිලා. සුවඳ මගින් රෝග සුව කරන්න වගේම නිවාරණයටත් හැකියාවක් තිබෙන බවට පෙරදිග වගේම අපරදිග පිලිගැනීමක් තිබෙනවා. විශේෂයෙන් ශාඛසාර මෘදු සුවඳකින් විෂබීජ විනාශ කරන්න… මානසික සැහැල්ලුව ඇති කරන්න…මේ වගේ වාසි බොහොමයක් තිබෙනවා. අද බොහෝ දෙනා කථා කරන “ඇරෝමා තෙරපි.“..

මේ සංකල්පයේ තවත් එක අවස්ථාවක්. ඉතින් මේ නිර්මාණයේ අයිතිකාරිය කවුද?
මගේ නම කේ. ටී . ආර් ප්‍රියභාෂිනී… හැමෝම මට කියන්නේ භාෂි..ඒ වගේම ෆේස් බුක් මිතුරු මිතුරියන් හැම දෙනාමත් මාව දන්නේ භාෂි කියන නමින්. ඒ අතරේ මගේ බිස්නස් පේජ් එක “ නිම්සරා ක්‍රියේෂන් ”..ඒ වුනත් මගේ පෞද්ගලික ගිණුමට තමයි ඇනවුම් ගොඩක් ලැබෙන්නේ…

මගේ ගම අනුරාධපුරයේ. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවා. විවාහයෙන් පසුවත් මම අනුරාධපුරයේ පදිංචියි. මට පුංචි දියණියක් ඉන්නවා.

මේ නිර්මාණ ඉගෙන ගත්තේ
මම යූ ටියුබ් එකේ ඉටිපන්දම් නිර්මාණ දැක්කා. එතැන් පටන් මට ඉටිපන්දම් හදන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ ඉටිපන්දම් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙද තියෙන්නේ කියල දවස් ගණන් හෙව්වා. මුලින්ම රුපියල් 700 ක බර්ත්ඩේ කාඩ් පැක් එකකින් වැඩේ පටන් ගත්තා. ඒ 2019 වසරේ. එතැන් පටන් මම නොහිතපු විදිහට නිර්මාණ රාශියක් කලා. මට ඉටිපන්දම් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍යත් ලැබුණා. ඒ සමගම ඉටිපන්දම් හැදුවත් බිස්නස් එකක් නම් තිබුනේ නැහැ.

නමුත් ඔබ බිස්නස් එක අත්හැරියේ නැහැ
ඔව්.. මම අළුත් විදිහක් ගැන හිතුවා. ඒ නිසා මුලින්ම වීදුරු සහ ජාර් බෝතල්වල ඉටිපන්දම් හැදුවා. එතැනින් පසුව මම සිමෙන්ති පෝච්චිවල නිර්මාණ කරන්න පටන් ගත්තා. මේවත් එකම රටාවකට සීමා කලේ නැහැ. මම වෙනස් වෙනස් ඒවා නිර්මාණය කලා. ඒවාට ටිකෙන් ටික බිස්නස් එක හැදුනා.

කුරුඳු ඉටිපන්දම
මම නිතරම අළුත් දෙයක් කරන්න උත්සහ කරනවා. මේ අතරේ මට මැජික් කැන්ඩ්ල් එකක් හදන්න හිතුනා. නමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියල මං දැන ගෙන හිටියේ නැහැ.
මගේ අදහස ඉෂ්ට වුනේ හංසි අක්කාගේ සහ සඳරු නංගිගෙ සහයෝගයෙන්. ඒ දෙන්නා මට මේවා හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන කියලා දුන්නා. මම ඒ සහයෝගය අදටත් අගය කරනවා. ඒ දෙන්නාගෙන් එදා ඒ සහයෝගය නොලැබෙන්න අද මැජික් කැන්ඩ්ල් එකක් නැති වෙන්න තිබුණා. මම අදටත් ඒ දෙන්නාට මේ ගැන ස්තුතිවන්ත වෙනවා.

ඔබේ මුල්ම ඇනවුම
මට මුලින්ම ඇනවුමක් ලබා දුන්නේ ගංගා දිසානායක අක්කා….. එයාගේ හෝටලයක් විවෘත කරන දවසේ පත්තු කරන්න මට මැජික් කැන්ඩ්ල් ඇනවුමක් ලැබුනා. ඒ ඇනවුම හදලා භාරදුන්නාම ඒ අක්කා ගොඩක් සතුටු වුණා. මුල්ම “කුරුඳු මැජික් කැන්ඩ්ල් පොට් “ එක නිර්මාණය වුනේ ඔන්න ඔය විදිහටයි.

එතැන අලුත් නිර්මාණයක් තිබුනාද..?
ඔව්… මම මේ කුරුඳු ඉටිපන්දම ලොකු මැටි හට්ටියක හැදුවා. ඒ පොට් එකේ පින්තුරයක් මම ෆේස් බුක් එකේ දැම්මා. හොඳ කමෙන්ට් ආවා. මේ කමෙන්ට් නිසා මට ධෛර්ය ලැබුණා. එතැන් පටන් මට“ cinnamon magic candle pot “වෙනුවෙන් ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. දැන් මම පොඩි පොට් වලත් ඉටිපන්දම් හදනවා.

ඇනවුම් ලබා ගන්නේ
මම හදන හැම ඉටිපන්දමක්ම නිර්මාණය කරලා මුල්ම එක මගේ නිවසේ දල්වලා තමයි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. කුරුඳු ඉටිපන්දමක් දවසට විනාඩි දහයක.. විස්සක කාලයක් පත්තු කරන්න පුළුවන්. මෙය උදේ හවස දල්වනවා. එයිනුත් වැඩියෙන්ම උදේට. කාට හරි මැජික් කැන්ඩ්ල් අවශ්‍ය නම් මගේ 071 1364512 දුරකථනයෙන් වට්ස් ඇප් අමතන්න.

අනාගත බලාපොරොත්තුව
ඉතින් මගේ එකම බලාපොරොතතුව මගේම නිර්මාණ එකතුවකින් යුක්ත අලෙවිසැලක් ආරම්භ කරන්න. පැගිරි වලින් හදන ඉටිපන්දම් පොට් එකක් හදන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් ඉටිපන්දම් නිර්මාණ කීපයක් කරන්න අදහස් කරනවා. මගේ ව්‍යාපාරයේ හැලහැප්පීම් නැතුවාම නොවෙයි. සමහර කාලවල ඇනවුම් ලැබුනේම නැහැ. ඒත් මම සැලුනේ නැහැ. ඇනවුම් ලැබුනත් , නොලැබුනත් ඒවා සමසිතින් දරා ගෙන ඉදිරියට යෑම මගේ අරමුණයි. මට මේ තැනට එන්න ගොඩක් අය උදව් කළා. ඒ හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි.
ඉතින් මගෙත් එක්ක හැමදාම ඉන්න…ඒ මගේ ඉල්ලීමයි.

එහෙමනම්… තව දින කීපයකින් උදා වෙන අලුත් අවුරුද්ද සමග කුරුඳු ඉටිපන්දමක් දල්වන්න ඔබටත් ආරාධනා කරනවා. ඒ අතරම නැවුම් සුවඳක් පරිසරයට එකතු කරන ප්‍රියභාෂිනී… ගේ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා කලමබු ජර්නල් වෙනුවෙන් ඇයට සුබ පැතුම් ….

සටහන – සිල්වා, සි

Similar Posts