දර්ශනය මව් විෂය ආශ්රයෙන් පෝෂණය වූ ආචාරධර්ම පද්ධතිය සමාජ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. ආචාරධර්ම හෝ සදාචාර පද්ධතියකින් තොරව සමාජයට ක්‍රියාත්මක වීමට හැකිද? ආචාරධර්ම නොමැති සමාජයක් තුළ ප්රගමනයක් දැක ගැනීමට හැකි වේද? සදාචාරය තුළ යුතුකම්, අයිතිවාසිකම්, සද්ගුණයන්, හොඳ හා නරක ආදී වශයෙන් විවිධ මාන ක්‍රියාත්මක වේ.මෙම මානයන්ට තම දැනුම, සමාජ අවබෝධය ආදිය පදනම් කරගෙන පුද්ගලයින් විවිධ අර්ථකථන ලබා දෙයි. මේ නිසා සදාචාරාත්මක තත්ත්වයන් සමාජය තුළ ක්‍රියාවට නැගීමේදී විවිධ දුෂ්කරතාවන්ට ලක් වීමට සිදු වේ. ඊට හේතුව වන්නේ යම් යම් පරස්පර විරෝධතාවන් සමාජය තුළින්ම එල්ල වීමයි. එසේ වුවද මෙම ආචාරධර්ම ප්‍රායෝගික වන නිසා ඒ පිළිබඳ අවබෝධය ක්රියාත්මකභාවය ඇසුරින්ම ලැබිය යුතුය. එකී ආචාරධර්ම පිළිබඳ ඇගයුම් ලබාදීමට බොහෝ විට කටයුතු කරනුයේ සදාචාරවාදී චින්තකයන්ය. එහිදී ඔවුන්ගේ උත්සාහය වනුයේ බොහෝ අවස්ථාවන්හි ආචාරධර්ම ඇගයුම් සම්බන්ධව පරමාර්ථ තත්ත්වයන්ගෙන් පරික්ෂා කර බැලීමයි.
සමාජය තුළ ජීවත්වන මිනිසා ගල් යුගය,දඩයම් යුගය ආදී යුග ගණනාවක් ක්‍රම ක්‍රමයෙන් පසුකරමින් විධිමත් මානව ජීවිතයක් ගත කිරීමෙහිලා ශිෂ්ඨාචාර ගත විණි.එහිදී අතීත මිනිසා සරල දිවි පෙවෙතක් ගත කළ අතර ඔවුන්ගේ අවශ්‍යතාවන් ආශ්රයෙන් ගොඩනැඟුණු ආශාවන් ඉතා අල්ප විය.නමුත් ඔවුන්ද යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට යම් අවස්ථාවන්හි බියෙන් පසු විය.මන්ද ඔවුන්ගේ වාසස්ථාන නිශ්චිත නොවූ නිසාවෙන් එම වාසස්ථාන අහිමි වීම්,නියං කාල වලදී ආහාර හිඟයන්ට මුහුණ දීම්,සත්ත්ව ග්රහණයන්ට මුහුණ දීම් පිළිබඳ ආදී කරුණු පාදක කරගනිමින් පුද්ගලයා යම් අවිනිශ්චිතභාවයකින් කටයුතු කළද සාමූහිකත්වය ආදී ගුණාංගයන් නිසා ඔවුන් සාක්ෂරතාවයෙන් නොදියුණු කාලයේ පවා තවත් පුද්ගලයෙක්ට අයහපතක් ඇතිවන ආකාරයේ හැසිරීම් ප්‍රතික්ෂේප කළහ.
ඔවුන්ට කිසිදු පුද්ගලයෙක් සමඟ තරගයක් නොවුණි.මේ නිසා සමාජයේ ජීවත් වූ සියලු පුද්ගලයන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කිරීමට එකල ජනයාට හැකි විය.වත්මන් ලෝකය තුළ පවතින කාර්මීකරණය, නාගරීකරණය, බල තණ්හාව, ධනවාදය, යුද්ධ කෝලාහල, මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින දැඩි තරඟකාරීත්වය නිසා මිනිසුන් නිරන්තරයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව පෙනී යයි.
මෙවැනි කරුණු ආශ්‍රයෙහි සමාජය තුළ ජීවත්වන පුද්ගලයාට ආචාරධර්ම පද්ධතියක් වැනි හර පද්ධතියක අවශ්‍යතාවය මතුවේ. වර්තමාන සමාජය තුළ බොහෝ ක්ෂෙත්රයන්හි ඒ ඒ ක්ෂේත්රයන්ට ආවේණික ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය වී පැවතීම එය මනාව ප්රත්යක්ෂ වන කරුණකි.
උදාහරණ :-
■ වෛද්‍ය ආචාරධර්ම
■ මාධ්‍ය ආචාරධර්ම
■ සත්ත්ව ආචාරධර්ම
■ පරිසර ආචාරධර්ම
මෙලෙස එක් එක් ක්ෂේත්රයන්හි ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?මනසින් උසස් විචාරශීලී බුද්ධියක් සතුව අනෙකුත් සත්ත්ව කොට්ඨාසයන්ගෙන් මිනිසා වෙනස් වුවත් මිනිසා බොහෝමයක් අවස්ථාවන්හි අයහපත් ක්‍රියාවන් සිදු කිරීම සමාජය තුළ ඉතා සුලබව වේ.තමාට හමුවන සතෙකු මරා ආහාරයට ගෙන තම ආහාර අවශ්‍යතාව සපුරා ගනිමින් ගෝත්‍රයේ හෝ ජන කොට්ඨාසයට අයත් සියලු දෙනා සමඟ ඉතා සුහදව සමීපව කටයුතු කරමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අතීත මිනිසාට සාපේක්ෂව වර්තමාන මිනිසා තුළ අවශ්‍යතාවයන්ට නොදෙවනි වුවමනා බොහෝමයක් සතුව ඇත.මේ නිසාවෙන් බොහෝ පුද්ගලයින් තම අරමුණු හඹා යන්නේ ධනයට ලොල් බව,බලකාමීත්වය හා නොතිත් වූ ආශාවන් පෙරදැරිවය.මේ නිසා බොහෝ අවස්ථාවන්හි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් අතින්බොහෝ වැරදි ක්‍රියාවන් සිදු වේ.ඒවා සදාචාර විරෝධීය. මන්ද එම පුද්ගලයින් සදාචාරය පිළිබඳව හෝ ධර්මය පිළිබඳව කිසිදු තැකීමක් නොමැති අතර ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වනුයේ තම අපේක්ෂාවන් කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමයි.නමුත් සදාචාරය ගරු කරන පුද්ගලයන් අයහපත් ක්‍රියාවන්ගෙන් හැකිතාක් වැළකී තම ක්‍රියාව යහපතෙහි යොදවයි.
පෙර සඳහන් කළ ආකාරයට සමාජයේ පවත්නා බොහෝ ක්ෂේත්රයන්හි ආචාරධර්ම පද්ධතියක් ඊට ආවේණිකව නිර්මාණය වනුයේ එම ක්ෂේත්රයන්හි ඊට පෙර මෙන්ම සමකාලීනය තුළද බොහෝ සදාචාර විරෝධී ක්‍රියාවන් සිදු වන නිසාවෙනි.ඒ සඳහා උදාහරණ බොහොමයක් සමකාලීන සමාජය තුළින්ම ගෙනහැර දක්වනු වටී.වෛද්‍ය ආචාරධර්ම ක්ෂේත්රය ගත්කළ ආචාරධර්ම ක්ෂේත්රය තුළ ඉතා වැදගත් සහ ප්‍රායෝගික වටිනාකමකින් මෙන්ම උපයෝගීතාවයකින් යුක්ත ක්ෂේත්රයක් ලෙස හැඳින්විය හැක.මෙම වෛද්‍ය ආචාරධර්ම වෛද්‍යවරුන්ට මෙන්ම වෛද්‍ය වෛද්‍ය ක්ෂේත්රය තුළ නියුතු හෙදියන්ට,රෝහල් කාර්ය මණ්ඩලයට,රෝහල් පරිපාලන නිලධාරීන්ට, සෞඛ්‍ය සේවා රක්ෂණකරුවන්ට, දාර්ශනිකයින්ට, සදාචාරවේදීන්ට, දේශපාලනිකයන්ට, නීතිඥයන්ට යනාදී සියලුම දෙනාට එක සේ වැදගත් වේ.
කෙසේ වෙතත් මෑත කාලීන සමාජය තුළ වෛද්‍ය ක්ෂේත්රය විවිධ පුවත් මවන ක්ෂෙත්රයක් ලෙස ප්‍රකට විය.වෛද්‍යවරු තමාගේ සේවය අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ට නොමනා ආකාරයෙන් සැලකීම,තමාගේ කොමිස් මුදල පිළිබඳව සිතා රෝගීන්ට දැරිය නොහැකි ආකාරයේ අමතර ඖෂධ ලබාගැනීමට නියම කිරීම,තමාගේ සුභසිද්ධිය පතමින් තම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කරන ස්ථාන කරා යොමු කරවීම,කාන්තා රෝගීන් දූෂණයට ලක් කිරීම, සිතාමතා රෝගීන්ට ප්‍රතිකාර නොකිරීම යනාදී පුවත් පසුගිය කාලය පුරාවටම අසන්නට දකින්නට ලැබිණි.
මෙවැනි ක්‍රියාවන්හි යෙදීමට වෛද්‍යවරයාට හෝ වෛද්‍ය ක්ෂේත්රය හා බැඳී අනෙකුත් කාර්ය මණ්ඩලයට ඇති අයිතිය කුමක්ද?මෙම ක්ෂේත්රය මිනිසාගේ ජීවිතය හා මරණය හා බැඳි පවතී. වෛද්‍යවරුන් හෝ වෛද්‍ය ක්ෂේත්රයේ නියුතු සියලු දෙනාම ආචාරධර්මානුකූලව තම කාර්යයන්හි නිරත වේ නම් ඉහත සිදුවීම් අල්පය.මෙවැනි පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබීමෙන් සපථ වනුයේ ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවය සමාජ අවශ්‍යතාවයක් ලෙස පිළිගත යුතු බවයි.
මෙම ක්ෂේත්රය තුළ ඖෂධ මාෆියාවක්ද නිරන්තරයෙන්ම සිදු වේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් රජයේ රෝහල්වලදී නොමිලේ ලැබෙන පැරසිටමෝල් පෙත්තක් ෆාමසියකින් මිලදී ගැනීමට යාමේදී එහි වෙළෙඳ නාමයන් අනුව මිල වෙනස් වේ.එහිදී තමාගේ සේවය සද්භාවයෙන් යුතුව සිදුකළ යුතු වුවද වෛද්‍යවරුන් තමාට ලැබෙන කොමිස් මුදල නිසා එම වෙළෙඳ නාමයන්ට අදාළව පැරසිටමෝල් පෙත්තෙහි නාමයක් රෝගියාට ලබා දෙයි.
මෙවන් වාතාවරණයක් තුළ සේනක බිබිලේ මහතා ඖෂධ ප්‍රතිපත්තියක් අප රටෙහි ස්ථාපිත කිරීමට විශාල අරගලයක යෙදුණද අවසානයේ ඔහු ඉතාමත් අභිරහස් ආකාරයට මරණයට පත් වූයේ අවාසනාවකටය.කෙසේ වෙතත් එවැනි පුද්ගලයින් ඖෂධ ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට මහත් උත්සාහයක් දැරුවේ රට තුළ ඖෂධ මාෆියාවක්, ඖෂධ ජාවාරම් නිරන්තරයෙන් සිදුවන බව ඇස ගැටුණු නිසාවෙනි.වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්රයේ සියලුම දෙනා මෙම ආචාරධර්ම පිළිබඳව යම්තාක් හෝ දැනුවත්භාවයකින් යුක්ත වී නම් ඔවුන් කිසිසේත් එම ආචාරධර්මයන්ට පටහැනි ආකාරයකට කටයුතු නොකරයි.
එමෙන්ම ආචාරධර්ම පිළිබඳ සමාජය දැනුවත් කිරීමෙහිලා රචිත විවිධ කෘතිද අපට දැකගත හැක.උදාහරණයක් ලෙස ගත් කළ වෛද්‍ය ආචාරධර්ම පාදක කරගනිමින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා රචිත “වෛද්‍ය ශාස්ත්රයේ ස්වභාවය” යන කෘතිය දැක්විය හැක.මෙම කෘතිය හරහා විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්රය තුළ ඇති දුර්වලතා හුවා දක්වන අතරම ලෝකය පුරා වෛද්‍ය ආචාරධර්ම පද්ධතීන් ගෙනහැර දක්වා ඇත.ඊට අමතරව වෛද්‍ය උදය සමරතුංග මහතා රචිත “ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ආචාර ධර්ම” යන කෘතියත් ජනමාධ්‍ය ආචාරධර්ම පාදක කරගනිමින් දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා රචිත “ජනමාධ්‍ය ආචාරධර්ම” කෘතියත් ඔහුගේම “මාධ්‍ය ආචාරධර්ම” කෘතියත් දැක්විය හැක.
මෙවැනි කෘති රචනා කිරීම තුළින් ආචාරධර්ම පිළිබඳ පාඨකයා තුළ අවබෝධයක් ඇති කරමින් සමාජය යහපත් කරලීම රචකයාගේ අපේක්ෂාවයි.
අප අවට සිදුවන දේ පිළිබඳ දැනුවත් වීම අප සතු සමාජ අවශ්‍යතාවයකි.එහිදී ලංකාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම සිදු වන සියලු දේ එසැණින් ප්‍රේක්ෂකයාට පත්කරලීම මාධ්‍යවේදීන්ගේ වගකීමකි.එම වගකීම තුළ ඔවුන් තම වෘත්තීය, සේවය නිසි පරිදි ඉටු කරන්නේද යන්න ගැටලුවකි.මාධ්‍යවේදීන් අදාළ සිද්ධීන් වාර්තා කිරීමේදී රැකිය යුතු, ආරක්ෂා කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පවතී.උදාහරණයක් ලෙස ඉතා අමානුෂික ලෙස මරණයට පත්වී ඇති අවස්ථාවක් වාර්තාකරණයට කරන මාධ්‍යවේදියාට රිසි සේ රූපවාහිනිය තුළ හෝ පුවත්පත්වල පළ කිරීමට අයිතියක් නොමැත.ඒ සඳහා එම පුද්ගලයාගේ ඥාතීන්ගෙන් හෝ සමීපතමයන්ගෙන් අවසර ලබාගත යුතුය.එලෙස අවසර ලැබුණද තම සේවයේ ආචාරධර්මයන්ට පටහැනි ආකාරයට සදාචාර විරෝධී ලෙස එම ඡායාරූප පවා ඍජුව පළ කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට ඔහු අයිතිවාසිකම් නොකියයි.නමුත් එලෙස සිදු කරන මාධ්‍යවේදීන් වත්මන් සමාජය තුළ ඉතා සුලබව දැකිය හැක.එමෙන්ම පාසල් වියෙහි පසුවන දැරියක් දූෂණයට ලක්වීම පිළිබඳ පුවතක් වාර්තා කිරීමට යන මාධ්‍යවේදියෙක් එම දැරියගේ ඡායාරූප පවා මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කිරීම ආචාරධර්මානුකූල නොවේ.එම සිදුවීම වාර්තා කිරීමට ඔහුට වෘත්තීමය වශයෙන් අයිතියක් පැවැතියද තම ආචාරධර්මයන් නිසි පරිදි සුරැකීමට ඔහු වගකීමෙන් බැඳී සිටියි. මේ නිසා විශේෂයෙන් මාධ්‍යවේදියෙක් ලෙස තම වෘත්තියට ප්‍රවේශ වීමට පෙර වෘත්තීය ආචාරධර්ම පිළිබඳ දැනුවත් වීම පූර්ණ අවශ්‍යතාවයක් ලෙස දැක්විය හැක.
ස්වභාවික නීතියේ සඳහන් ආකාරයටද මිනිසාගේ නීතිමය පාලන තන්ත්රයන් ආදිය නිර්මාණය වන්නේද මිනිසාගේ ආචාරධර්ම පද්ධතිය ආශ්රයෙනි.නීතියකින් අපි බලාපොරොත්තු වනුයේ යම් ප්රතිපත්තියකට ආචාරධර්ම පද්ධතියකට රාමුවකට මිනිසුන්ව එකතු කර ගැනීමයි.එසේ නම් නීතිය පිළිබඳ සමාජයේ ජීවත්වන සියලුම දෙනා දැනගෙන සිටීම ඉතා වැදගත්ය.ඒ ආකාරයෙන්ම සදාචාරය පිළිබඳව නැතහොත් ආචාරධර්ම පද්ධතිය පිළිබඳව මිනිසා දැනුවත්භාවයකින් කටයුතු කිරීම අතිශය වැදගත් වේ.
යම් පුද්ගලයෙකුට වෙඩි තබා මරණයට පත් කිරීම නීතියෙන් පටහැනිය.එයට නීතියෙන් අනිවාර්යෙන්ම දඬුවම් ලැබේ.නමුත් දෙමව්පියන්ට සැලකීම වැනි සදාචාරාත්මක ක්‍රියාවක් නොකළහොත් එලෙස නීතියෙන් දඬුවම් ලැබීමක් සිදු නොවේ.නමුත් මෙහිදී සදාචාරය හා සම්බන්ධ විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ.දෙමාපියන් අසරණ තත්ත්වයට පත්වේ.ඔවුන්ට වැඩිහිටි නිවාස වලට යාමට සිදුවේ.දෙමව්පියන් මානසික ව්‍යාකූලතාවයන්ට පත්වේ.නොයෙකුත් රෝගාබාධ වලට ලක්වේ. පවුල් සංස්ථාව බිඳ වැටේ.යම් රටක දෙමව්පියන්ට නොසැළකීම එම රටේ සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී ඇත්නම් එය දිගින් දිගටම සිදුවේ.එය වැළැක්වීම යම්තාක් දුරකට අසීරු කාර්යයක් බවට පත්වේ. මෙලෙස එම සමාජය තුළ ආචාරධර්ම නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් හා ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවය නිසි පරිදි සිදු වේ නම් මෙවැනි ක්‍රියා සිදු වීම අවම වේ.
සටහන –
H.M.N.D හේරත්
දර්ශනය විශේෂවේදී උපාධිධාරී කැලණිය විශ්ව විද්‍යාල