ඉපැරණි හෙළ ඔසු – 16

author
0 minutes, 26 seconds Read

කෝමාරිකා (Aloe vera)

ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ද වගා කළ හැකි ත්‍රිකෝණාකාර මාංසල පත්‍ර සහ කහ පැහැති පුෂ්ප සහිත මෙම ශාකය ඝර්ම කලාපීය රටවල හමුවේ. Asphodelaceae කුලයට අයත් වේ. අනාදිමත් කාලයක සිට ග්‍රීසිය, ඊජිප්තුව, ඉන්දියාව, මෙක්සිකෝව, ජපානය සහ චීනය වැනි රටවල් වල මෙම ශාකය භාවිතා කර ඇත.

Aloe vera යන නම සෑදී ඇත්තේ අරාබි වචනයෙන් වන “Alloeh” එනම් “බැබළෙන තිත්ත ද්‍රවය” සහ ලතින් වචනයක් වන “vera” එනම් “සැබෑ” යන අර්ථය අනුවයි. වසර 2000 කට පෙර ග්‍රීක විද්‍යාඥයන් කෝමාරිකා සර්ව රෝගනාශක ඖෂධයක් ලෙස සැලකූහ. ඊජිප්තුවරුන් කෝමාරිකා හැඳින්වූයේ “අමරණීය ශාකය” යනුවෙනි.

ක්ලියෝපැට්‍රා, නෙෆටිටි වැනි රැජිනියන් සිය රූපලාවණ්‍ය කටයුතු සඳහා කෝමාරිකා භාවිතා කර ඇති බවටත්, මහා ඇලෙක්සැන්ඩර් සහ ක්‍රිස්ටෝපර් කොලම්බස් සොල්දාදුවන්ගේ තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා එය භාවිතා කළ බවටත් ඉතිහාස කතා විස්තර කරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තික්ත රසැති, කටු විපාක, ශීත වීර්‍යය සහිත, ගුරු, ස්නිග්ධ හා පිච්ඡිල ගුණැති චක්ෂුෂ්‍ය, විෂහර, බල්‍ය, වෘෂ්‍ය, රසායන ඖෂධයක් ලෙස දක්වා ඇති අතර ත්‍රිදෝෂශාමක වේ. භේදන, ගුල්ම, ප්ලීහා, ජ්වර, ග්‍රන්ථි, විෂ්ඵෝට, යකෘත් රෝග, රක්තපිත්ත, ශ්වාස, කාස හා චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගනියි. අග්නි දග්ධ සඳහා බාහිරව ආලේප කිරීමට භාවිතා කරයි.

2020 වසරේ ප්‍රකාශිත Pharmacological Update Properties of Aloe Vera and its Major Active Constituents පර්යේෂණ පත්‍රිකාවෙහි දැක්වෙන පරිදි පිළිකා මර්දන, ප්‍රතිඔක්සිකාරක, දියවැඩියා මර්දන, අස්ථි ආරක්ෂක, හෘද් ආරක්ෂක, ප්‍රතිජීවක ගුණ හා අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ හැකියාවක් ඇති මෙම ශාකයෙහි විටමින් A, C, E සහ B12, ඇමයිලේස්, කැටලේස් වැනි එන්සයිම, සින්ක්, කොපර්, කැල්සියම්, සෙලෙනියම් වැනි ඛනිජ ලවණ, මොනොසැකරයිඩ, පොලිසැකරයිඩ වැනි සීනි, මේද අම්ල, හෝමෝන ආදී රසායනික සංඝටකයන් රාශියක් පවතී. මෙය උදරයේ ආම්ලිකතාව නිසා ඇති වන තුවාල සඳහාත්, ගැස්ට්‍රයිටිස් හා reflux disease යන රෝග සඳහා යොදා ගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ALOE VERA: A SHORT REVIEW, 2008 පර්යේෂණයේදී පාරජම්බුල කිරණ සහ ගැමා කිරණ වැනි විකිරණ මඟින් සමට වන හානියට එරෙහිව ආරක්ෂිත බලපෑමක් කිරීමට මෙම ශාකයට හැකියාව ඇති බව දක්වා ඇත. සමට තෙතමනය ලබා දීමට මෙන්ම ෆයිබ්‍රොබ්ලාස්ට උත්තේජනය කිරීම මඟින් කොලජන් සහ ඉලාස්ටින් තන්තු නිපදවා සම වඩාත් ප්‍රත්‍යස්ථ කර රැලි වැටීම අවම කරවයි.

උපදෙස් –

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts