වලව්ව යන වචනය ලංකාවේ ප්‍රභූ නිවාස හැඳින්වීම සඳහා භාවිතා වන්නක් වන අතර ලංකාවේ එක් එක් ප්‍රදේශයන්හි වසර සියයකට වැඩි හෝ ඒ ආසන්නයේ පැරණි වලව් සියගණනක් විනාශ නොවී අදටත් ඉතිරිව ඇත.ඒ ඒ ප්‍රදේශවල ඉඩම් හිමි වැවිලිකරුවන්, මුදලි,මුහන්දිරම් වැනි රජයෙන් නිලතල හෝ නම්බුනාම ලද්දන්, හෝ උඩරට පලාතේ නම් නිළමේවරු,අධිකාරම්වරු,දිසාවේවරු සහ රටේ මහත්වරු වැනි සම්ප්‍රදායික රදල බලවතුන් වැන්නන් ඒ නිවාසවල හිමිකරුවන් ය.ලංකාවේ සංස්කෘතික,කලා උරුමයන් හෙලිකරන කැඩපතක් බඳු මේ පෞරාණික නිවාසවලින් බොහොමයක් මේ වනවිට මුල් අයිතිකරුවන්ගෙන් බැහැරව වෙනත් අයිතියකට හෝ හෝටල් හෝ අවන්හල් වැනි ව්‍යාපාර පවත්වාගෙන යාමටද යොදාගෙන ඇත.කීපයක් පමණක් කෞතුකාගාර වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙස විරුදාවලි ලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත ලෙස පැවති රටවල ඉදිකල බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ හා ඔවුන්ගේ පාලනයට සහය පලකල ස්වදේශික ප්‍රභූවරුන්ගේ නිවාසද ලංකාවේ වලව් මෙන් සුවිශේෂී ගොඩනැගිලි ලෙස ඉදිකොට ඇත.
කන්ද උඩරට රාජධානියේ වලව් නමින් හැඳින්වෙන ප්‍රභූ නිවාසයන්හී ජීවත් වූයේ බ්‍රාහ්මණ, ක්ෂත්රීය හා වෛශ්‍ය යන කුල සංයෝගයෙන් සැදුණු සංධානයක් වූ ගොවිකුල සාමාජිකයන් ය.එකල රජුගෙන් අනුග්‍රහ ලද තැනැත්තන් වාසය කරන නිවසට වලව්ව යනුවෙන් හඳුන්වනු ලැබේ.
වර්ෂ 1818 වන විට මහනුවර නගර සීමාවේ ඇල්ලේපොල වලව්ව , දුනුවිල වලව්ව , මොලදණ්ඩ වලව්ව , නුගවෙල වලව්ව , මුල්ලේගම වලව්ව , කපුවත්තේ වලව්ව , වැගොඩපොල වලව්ව , පිළිමතලාව වලව්ව , එරමුදුලියැද්දේ වලව්ව , දෙහිගම වලව්ව , මීගස්තැන්න වලව්ව , මාම්පිටිය වලව්ව , ඇරැව්වාවල වලව්ව , ඇරෑපොල වලව්ව , ඇහැලේපොල වලව්ව , මොල්ලිගොඩ වලව්ව , දුල්ලෑව වලව්ව සහ රත්වත්තේ වලව්ව යන වලව් 18ක් පිහිටා තිබූ බව ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1818/03/27 දින සිතියම අනුව පැහැදිලි වෙයි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ ලංකාවේ වලව් නාමාවලිය ග්රන්ථයට අනුව බස්නාහිර පලාතේ පිහිටා ඇති වලව් ගණන 50කි.දකුණු පලාතේ වලව් 46කි.නැගෙනහිර පලාතේ වලව් 08කි.උතුරු පලාතේ වලව් 05කි.උතුරු මැද පලාතේ වලව් 28කි.වයඹ පලාතේ වලව් 24කි.සබරගමුව පලාතේ වලව් 140කි.ඌව පලාතේ වලව් 26කි.මධ්‍යම පලාතේ වලව් 185කි.මේ අනුව විනාශවූ වලව්ද ඇතුලත්ව වලව් 512 ක තොරතුරු ඉදිරිපත් කොට ඇත.මේ වලව් වලින් බොහොමයක් උඩරට රදල පරම්පරා හෝ එම මූලය ඇති පරම්පරා වලට හිමිය.
ඒ අනුව පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිට පානබොක්කේ පරම්පරාව පැවතගෙන එන බව හඳුනාගත හැක. පාන බොක්කේ ගම පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ උඩුනුවරයි.පිළිමතලාවෙන් දවුලගල පාරේ උඩුනුවර පිහිටා ඇත. මහාමාර්ගය අද්දරම තණ බිස්සක් සහිත ගෙමිදුලකින් වටවුණු වලව්ව පිහිටා තිබේය. සමස්ත වික්‍රම කරුණාතිලක අභයවර්ධන බුවනෙකසේකර ජයසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ තමයි මෙහි මුල් හිමිකරු වුූයේ. ඔහු ක්‍රි.ව 1876 වසරේ දී සාදා නිම කර ඇති පැරණි වලව්ව අදත් එදා පෙනුමෙන්ම දැකගත හැකියි. එය දෙමහල් ගොඩනැගිල්ලක්. මැද මිදුලක් සහිත වලව්වට ඉදිරියෙන් සහ පැත්තකින් විශාල තණ බිස්සක් පිහිටා තිබේ. එය තනා තිබෙන්නේ උත්සව ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහායි. දැනට මෙම වලව්ව සංචාරක නිකේතනයක් ලෙස භාවිත කර තිබේ.වලව්ව ඇතුළු භූමිය අක්කර දෙකක ඉඩමක පැතිර තිබෙනවා. වලව්වේ විශාල කාමර, කෑම කාමරය, සාලය, ලී කැටයමින් අලංකාර කරන ලද විශාල කණු, දොර ජනෙල් පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට උදාහරණ සපයයි. මෙහි විශාල කාමර හයක් දැකගත හැකියි. ලී පෙට්ටගම්, කබඩ්, හාන්සි පුටු, ඇඳන් ඇතුළු විවිධ ගෘහ භාණ්ඩ රාශියක් අදට ද ආරක්ෂාකාරීව පවති. උඩුමහලේ ආලින්දය, බිම් මහලේ මුළුතැන්ගෙය, ඒ ආසන්නයේ ඇති වී අටුව, පානබොක්කේ වලව්වේ පෞරාණික බවට හොඳම උදාහරණ යි. වහලයට සෙවිලි කර ඇත්තේ සිංහල උළුයි. මැද මිදුල දෙපැත්තේ දොරටු අසල පා සේදීම සඳහා ගල් පතුරු දෙකක් තබා තිබෙනවා.
ඒ වලව්වේ ජීවත් ජීවත්වන සාමාජික සාමාජිකාවන් නින්දට යාමට පෙර පා සෝදා ගැනීම සඳහායි.විශේෂයෙන්ම කිරිවවුල, ගඩලාදෙණිය, ඇම්බැක්කේ ඇති කැටයම් වලට සමාන නිර්මාණ බොහෝමයක් මෙහි දක්නට ලැබේ.මෙයින් හඳුනාගත හැක්කේ කලාකරුවන් පාන බොක්කෙ වලව්ව සෑදීම සඳහා සහය වී ඇති බවයි.
මෙම වලව්වේ පහත මාලය 1947 වර්ෂයේදී ගංවතුරට යටවිය. අධිකාරම්තුමා ඇතුළු පවුලේ සැම දෙනාම බේරාගෙන තිබෙන්නේ බෝට්ටු වලින් ගොස්ය.
පාන බොක්කේ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙන පරාක්‍රමබාහු රජතුමාගේ තානාපති වශයෙන් සේවය කළ පානබොක්කේ නිලමේතුමයි. පාන බොක්කෙ පරම්පරාවේ නියම උරුමක්කාරයා වශයෙන් සඳහන් වන්නේ දුක්ගන්නා නිලමේතුමයි.මෙතුමා එලමල්දෙණියේ කුමාරිහාමි සමග විවාහ විය. ඔවුන්ට මුහන්දිරම් නිලමේ සහ කුඩා නිලමේ යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියහ. 1824 මුහන්දිරම් නිලමේ දිවුලගල කුමාරි හාමි සමග විවාහ විය. ඔවුන්ට ලොකු නිලමේ, ගුණරත්න උන්නාන්සේ, මද්දුම නිලමේ, කුඩා බණ්ඩා පානබොක්කේ නමින් දරුවන් හතර දෙනෙක් ලැබීය.කුඩා නිලමේ දූල්ලෑවේ අධිකාරම්තුමාගේ දියණිය සමග විවාහ විය. එහෙත් දරුවන් ලැබුණේ නැත.ලොකු නිලමේ හුලංගමුවේ කුමාරිහාමි සමග සහ ගුණරත්න උන්නාන්සේ ටිකිරි කුමාරිහාමි සමඟත් විවාහ විය. පසුව ලොකු නිලමේ මියගිය නිසා ඔහුගේ බාල සහෝදරියා වන කුඩා බණ්ඩා පානබොක්කේ සමග නැවත හුලංගමුවේ කුමාරි හාමි සමග විවාහ විය. මෙම යුවළට දරුවන් තිදෙනෙකු ලැබූ අතර ඉන් වැඩිමහල් පුතා ටිකිරි බණ්ඩා පානබොක්කේයි.1846 දී ඔහු උපත ලදී. ඔහු එල්.බී අලු විහාරයේ ගේ දියණිය සමග 1872 වර්ෂයේදී විවාහ විය. පසුව ඇය මිය ගියහ.ඉන් පසුව 1882 වර්ෂයේදී හලංගොඩ කුමාරිහාමි විවාහ කර ගනී.ඔවුන් දෙපලට ද දරුවන් හත් දෙනෙක් ලැබිිය. ඉන් වැඩිමහල් පුතා වන ටිකිරි බණ්ඩා පානබොක්කේ 1883 දී ඉපදීය.ඔහුගේ අත්තා මන්ත්‍රී කැප්පෙට්ටිපොළ මැතිනිය සමග විවාහ විය.මෙම යුවළට දරුවන් දස දෙනෙක් ලැබීය.
ටිකිරි බණ්ඩා පානබොක්කේ මැතිතුමාගේ ප්‍රථම රැකියාව වූයේ පරනපට්ටිය විදුහලේ ගුරු සහායක තනතුරයි. ඔහුගේ ඊළඟ තනතුර වූයේ පොලිස් පරීක්ෂක තනතුරයි. එහිදී ඔහුගේ රාජකාරී වසම වූයේ දඹුල්ලේ සිට බදුල්ල දක්වා වූ විශාල ප්‍රදේශයක් ගමන් කලේ අශ්වයෙකුගේ පිටෙහිය.එංගලන්තයේ එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවට පැමිණීමත් සමග එතුමාගේ ආරක්ෂක කටයුතු පැවරුණේ ටිකිරි බණ්ඩා පානබොක්කේටයි.
ඒ අනුව පානබොක්කෙ පරම්පරාව මේ ආකාරයට ගොඩනැගී ඇති බව හඳුනාගත හැකිය.
ඉතිහාසයේදී කෙසේ ගොඩනැගුනේ වුවද මුල් හිමිකරුවන්ගේ ඉතිහාසය කෙබඳු වුවද අතීතයෙන් වර්තමාන සඳහා දායාද වී ඇති කලාත්මක ගෘහ නිර්මාණ ශෛලීන්ගෙන් සහ ඒ හා සමාන පෞරාණික වටිනාකමකින් යුක්ත ලංකාවේ වලව් මතු පරම්පරාවේ දැනුම අවබෝධය පිණිස සංරක්ෂණය කොට තැබීම රජය සතු වගකමකි.
සටහන – හිරුමි තාරකා
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය