අනාදිමත් කාලයක සිට තල් ගස මිනිසාස බොහෝ ප්‍රයෝජන දුන් ගසක්.ගෙඩි,කොළ,මුල් පමණක් නොව කඳද මිනිසුන්ගේ භාවිතයට ගැනෙනව.තල් ගෙඩියෙන් විවිධ කෑම බීම සෑදිය හැකි අතර එයින් වඩාත් ජනප්‍රියම ආහාරය තල් යුශ වලින් හදනා කැවුම් බව නොරහසක්.
උතුරේ මෙන්ම අනෙක් පලාත් වලත් තල් කැවුම් ජනප්‍රිය නමුත් කලාතුරකින් සෑදෙන ආහාරයක්.සාදන ක්‍රමයේ යම් යම් වෙනස්කම් ඇතත් රස ගුණ සියල්ලටම පොදුයි.
අද මම ඉදිරිපත් කරන්නෙ දමිළ ජනයා තල් කැවුම් සාදන ආකාරයයි.
ඔවුන් අප මෙන් තල් ගෙඩි පුලුස්සා යුශ ලබා නොගනී.හොඳින් ඉදුණු තල් ගෙඩියේ නටුව හැර
වටේ පිට පොත්ත ඉරා ඉවත්කර,වතුර එක්කරමින් යුශ ලබාගනී.මේ නිසා යුශ වල තිත්ත ගතියක් ඇත.නමුත් රත්වන විට තිත්ත රස මදක් අඩුවන අතර කැවුම් සාදා ගත් විට තිත්ත රස දැනෙන්නේ යන්තමිනි.
සාදන ක්‍රමය බලමු..
තිත්ත රස නැතුව අවශ්‍ය නම් තල් ගෙඩිය පුලුස්සා යුශ ලබාගන්න.
මේ ප්‍රමාණයෙන් කැවුම් 20-25 අතර සෑදිය හැක.
**තල් යුශ කෝප්ප 1
**තම්බපු පාන් පිටි කෝප්ප බාගයයි
**සාමාන්‍ය පාන් පිටි කෝප්ප බාගයයි
**සීනි කෝප්ප කාලක්(අවශ්‍ය රස අනුව වැඩි කරගන්න)
**ලුණු පිංචක්
**බැදීමට තෙල්
**තල් යුශ කෝප්පය භාජනයකට දමා උණු කරන්න.මදක් උණු වීගෙන එනවිට සීනි එක්කරන්න.සීනි දියවනතුරු හැන්දකින් මිශ්‍රකරන්න.
**සීනි දියවී යුශ බුබුලු දමිමින් එනවිට ලුණු එක්කර ලිපෙන් ඉවත්කර හොඳින් නිවෙන්නට තබන්න.උවමනාවට වඩා රත් කරොත් යුශ ප්‍රමාණය අඩුවිය හැක.කිහිපවාරයක් හැන්දෙන් මිශ්‍රකරන්න.
**පිටි දෙවර්ගයක කැට නැතිව හලාගන්න.
යුශ භාජනයට ටිකෙන් ටික එක්කරමින් අතින් හෝ හැන්දකින් කවලම් කරන්න.
**ඇඟිලි වලින් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගනිද්දි වැටෙන පදම හරිම පදම වේ.ඉහත දක්වා ඇති ප්‍රමාණ,හරියටම ගතහොත් හරිම පදම ලැබේ.
**තාච්චියට තෙල් දමා තෙල් රත්වූ විට ඇඟිලි වලින් මිශ්‍රණයෙන් ටික ටික තෙලට එක්කරන්න.
**මේ මිශ්‍රණය අතේ ඇලෙනව.ඒ නිසා අත දැමිය හැකි වතුර බඳුනක් ලග තියාගන්න.වතුරෙන් ඇඟිලි තෙත් කරමින් මිශ්‍රණය ඇඟිලි වලට ගන්න.
**මිශ්‍රණය කොහොම වැටුනත් තෙලේදී රවුමට පිම්බිලා එනව.කර වෙන්නට නොදී කහපැහැය තිබියදීම තෙලෙන් ඉවත්කරගන්න.තෙල් බේරා ආහාරයට ගන්න.
උණුවෙන් කන තරමට රසයි.
තල් ගෙඩියක් ලැබුනොත් හදල බලන්න.
තිත්ත රසට අකමැති නම් ගෙඩිය පුච්චල ගන්න.

උපදෙස් –
අප්සරා රණසිංහ