කඩදාසි මලෙන් දිවි දිනූ ඩයනා

author
0 minutes, 2 seconds Read

මගේ නම ඩයනා දිසානායක. වැලිගම පදිංචි මම ව්‍යාපාරයක් විදිහට ෆෝම් ෂිට් මල් සහ මල් පෝච්චි නිර්මාණය කරනවා. මම රැකියාවක් කරමින් සිටිය කෙනෙක්. විවාහයෙන් පසුව රැකියාවෙන් අයින් වුණා. ගෙදර ඉන්න කාලයේදී විවේක වෙලාවට මල් හදන්න පටන් ගත්තා.

මේ වගේ ව්‍යාපාරයකට ඔබ යොමු වුනේ කොහොමද?
මම දැනට මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු පහක් විතර වෙනවා. මුලින්ම මම කඩදාසි මල් හදන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් ලැබුණා. ෆෝම් ෂීට් මල් හදන හැටි මම යූ ටියුබ් එකෙන් දැක්කා. මම මේ මල් අත්හදා බැලුවා. ඒකත් ලස්සනට හැදුනා.

ඔබ නිර්මාණය කරන මල් වර්ග..
මල් කිව්වොත් සීමාවක් නැහැ. ඒත් මම හදන්නේ මට අවශ්‍ය සහ තෝරා ගත් මල් වර්ග කීපයක් විතරයි. මම කැමැති ස්වභාවික මලටම සමාන විදිහට තියෙන මලක් නිර්මාණය වෙනවා දකින්න. ඒ නිසා මම හරිම සියුම් විදිහට ඉවසීමෙන් මලක් හදන්න හැම වෙලාවේම උත්සහ ගන්නවා.

මුලින්ම හැදුවේ
මම මුලින්ම හැදුවේ අරලිය මලක්. ඒ ෆෝම් ෂීට් අරලිය මල හදන්න මට ෂෙරනි පෙරේරා කියල නංගි කෙනෙක් උදව් කළා. ඒක හරිම ලස්සනට හැදුනා. මේ අරලිය මල වටා මට පාරිභෝගිකයෝ ගොඩක් එකතු වුණා.

මේ මලේ විශේෂත්වයක් තියෙනවාද?
මේ අරලිය මල පාවෙන විදිහට තියන්න පුළුවනි. වතුර භාජනයක තිබ්බාම පාවෙන විදිහට මල රැඳිලා තියෙනවා.
එතැනින් පසුව මම සල් මල් හැදුවා. ඒකත් ලසස්නට හැදුනා. දැන් මට ලොකු විශ්වාසයක් ගොඩ නැගුනා. ඒ හින්දා මම විවිධ මල් හදන්න උනන්දු වුණා. ඕලු මල් , නිල් මානෙල් මල් හැදුවා. පාට පාට මල් එකතු වුණා. කොළය උඩ පාවෙන වගේම නටු සමග මල් හැදුවා.සුරිය කාත්ත, රෝස මල් වගේ හැම මල් වර්ගයක්ම දැන් මගේ එකතුවේ තිබෙනවා.

මල් අතරින් වැඩිම ඉල්ලුම.
රෝස මල් සහ ඕලු මල් වලට වැඩි ඉල්ලුමක් තියෙනවා.බොහෝ දෙනෙක් මල් පෝච්චිය සමග ඇනවුම් කරනවා. ඒක පාරිභෝගිකයන්ට පහසුයි. මම පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව ඔවුන් කැමැති විදිහට, කැමති මලක් නිර්මාණය කර දෙන්න සූදානම්.

ඇනවුම් කරන්නේ
කවුරු හරි ඉල්ලීමක් කළොත් පමණයි මම මල් හදන්නේ. හැම දෙයක්ම අතින් කරන්න ඕන. ඇනවුමක් නැතුව මම හදන්නේ නැහැ. ඒ වගේම cash on delivery එහෙම නැත්නම් පසුව මුදල් ගෙවන්නත් මම ඇනවුම් බාර ගන්නේ නැහැ. විිවිධ මිළ ගණන් යටතේ මල් තියෙනවා. මෙතැන සතුට තියෙන්නේ මුදලේ නොවෙයි. පාරිභෝගිකයා මගේ නිර්මාණයකින් සතුටට පත් වෙනවා නම් මගේ සතුට ඒකයි.

ඉදිරි සැලසුම් ගැනත්
මම ඉදිරියේදී නෙලුම් මලක් හදන්න හිතා ගෙන ඉන්නවා. තවම ඒ වෙනුවෙන් කාලයක් සොයා ගන්න බැරි වුණා. කාර්ය බහුල හින්දා තවම මට ඒ අදහස ඉෂ්ට කර ගන්න බැරි වුනත් ඉදිරියේදී නෙළුම් මලත් සාර්ථක නිර්මාණයක් විදිහට එළි දකින්න පුළුවන්.

ඒ වගේම මගේම අලෙවි සැලක් පටන් ගන්නත් අදහස් කරනවා. නමුත් ඒ වෙනුවෙන් මල් ගොඩක් හදන්න ඕන. මේ සිහිනය ජය ගන්න නම් ආර්ථික ශක්තියත් අවශ්‍ය වෙනවා. ඒ නිසා දවසෙන් දවස මේ බලාපොරොත්තුව අනාගතයට කල් යනවා.
මගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙක්. මගේ ව්‍යාපාරයෙන් මගේ සැමියාට වගේම පවුලේ ආර්ථිිකයටත් විශාල ශක්තියක් ලැබෙනවා. මම ඒ ගැන හරිම සතුටින් සඳහන් කරනවා. ඒ වගේම මං යටතේ පුංචි සේවිකාවෝ දෙන්නෙක් වැඩ කරනවා.

ඔබේ මල් අතර තිබෙන විවිධ අයිටම් ගැන කිව්වොත්
බුදුකුටිවල තැන්පත් කරන්න ,පන්සල් වලට පූජා කරන්න, ගෙදර අලංකාරයට, මනාලියන්ගේ මල් කළඹ විදිහට, හෝටල් සඳහා තෑගි දෙන්න මේ විදිහට විවිධ අවස්ථාවන් වෙනුවෙන් අවශ්‍ය අයට අවශ්‍ය විදිහට මල් සහ මල් පෝච්චි සමග වුනත් ලබා දෙන්න පුළුවන්. කුරියර් සේවාව ඔස්සේ අපි ඇනවුම් බෙදා හරිනවා.අපේ D&S DREAMS ෆේස් බුක් පිටුවෙන් හෝ 076 864 4964 වට්ස් ඇප් දුරකථන අංකයෙන් අවශ්‍ය මල් ඇනවුම් කරන්න පුළුවනි.

සටහන – සිල්වා, සි

Similar Posts