කතිකාව

author
0 minutes, 0 seconds Read

අද වන විට මෙරට බිහිවෙමින් තිබෙන කලාවන් අතරේ අත්කම් නිර්මාණ කලාව යනු ඉතාමත් සුවිශේෂ නිර්මාණ කලාවක්. සිය දක්ෂතාවය හා නිර්මාණාත්මක හැකියාවන් තුළින් බිහිවන අපූර්ව නිර්මාණ බිහිකරන කලාකරුවන් අතරින් චූලනී ජයසිංහ නම් ඇය අත්කම් කලාව තුළ දශක දෙකකට වැඩි කාලයක් සේවය කරමින් විශාල ගෝලබාලයන් පිරිසක් බිහිකරන ලද ගුරුවරියක්.
ඇයගේ නිර්මාණාත්මක හැකියාව තුළින් මෙතෙක් ඇය පැමිණි ගමන්මග පිළිබඳව කතිකාව තුළින් අප මෙලෙස පිළිසදරක යෙදුණා.

කොහොමද ඉතිං ජීවිතේ

ඇත්තෙන්ම සතුටින් කාලය ගත කරනවා. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි.
මේ දවස්වල දිරිය කතුන් සවි බල ගන්වන්න වැඩමුළු කිහිපයක් සංවිධානය කරමින් පවතිනවා. ඒ අතරතුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ ආබාධ අය වෙනුවෙනුත් සමාජ මෙහෙවර සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට සම්පූර්ණ දැනුම නොමිලේ ලබා දෙමින් ඒ අයගේ ආර්ථිකයට ශක්තියක් වෙන්න කටයුතු සිදු කරනවා.

අද වන විට අතිකම් නිර්මාණ කේෂ්ත්‍රයේ ප්‍රවීණ නිර්මාණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වුණේ,

මගේ මව හැම කටයුත්තකටම ඉතාමත් දක්ෂ කාන්තාවක්. ඒ වගේම ඇය නියෝජ්‍ය විදුහල්පතිනියක් ඇයගෙන් ලැබුණ ආභාෂයත් සමඟ තමයි අත්කම් නිර්මාණ කලාවට පුංචි කාලේ ඉඳලා යොමු වුනේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය කාලය තුළ පන්තිවල අවුරුදු පතා පවත්වන ප්‍රදර්ශනවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබෙනවා.
ඉතින් ඒ වගේම වාර අවසානයත් සමඟ ලැබෙන හැම පාසල් නිවාඩුවකදිම සහ විවේකී අවස්ථාවකදීම මම අත්කම් නිර්මාණ හදා බලමින් අත්කම් නිර්මාණ කලාවේ යෙදුණා. නැවත වතාවට මම අත්කම් නිර්මාණයට යොමු වුණ විවාහයෙන් පසුවයි. ඇත්තෙන්ම විවාහයෙන් පස්සේ මගේ සැමියාගේ සහ දරුවන් දෙදෙනාගේ සහයෝගය නිසා තමයි අද මම මෙතරම් දුරක් ආවේ.

වත්මන් සමාජය තුළ අත්කම් නිර්මාණවලට හිමි වී තිබුණේ තැන ප්‍රමාණවත්ද?

ඇත්තෙන්ම ඔව්. අත්කම් නිර්මාණ කලාව තමන්ටම තමන්ගේ නිර්මාණ බිහි කරගෙන දිගු ගමනක් යන්න පුළුවන් කලාවක්. ඒ ස්වයං රැකියාවක් වශයෙන් සිදු කරමින් විශාල ව්‍යාපාරයක් දක්වා රැගෙන යන්න පුළුවන් නිර්මාණ කලාවක්.

ඉස්සර කාලයට වඩා දැන් අත්කම් නිර්මාණ වලට තිබෙන තැන ඉතාම හොඳයි. නමුත් අනිත් කලාවන් සමග බැලුවම අත්කම් නිර්මාණ කලාව ගැන ගොඩක් දෙනා දකින්නේ හරි ම වෙනස් විදියකට කියලා මට හිතෙනවා.

මොකද මාධ්‍ය තුළින් වුණත් අනිත් කලාවන් සම්බන්ධව නිතර කතාබහට ලක්වනවා. නමුත් අද අත්කම් නිර්මාණ පිළිබඳ කතාබහ ඉතාම අඩුයි.
ඒ වගේම වර්තමාන සමාජයේ තුළ ව්‍යවසායකයන් පිළිබඳ කෙතරම් කතා බහ කලත් ව්‍යවසායකයකු බවට පතකරන්න මූලික අඩිතාලම දමන ගුරුවරයා හෝ පුද්ගලයා පිළිබඳව කෙරෙන කතා බහත් ඉතාම අඩුයි.

විශේෂයෙන්ම කාන්තාවන් අත්කම් නිර්මාණ කෙරෙහි යොමු වීම වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ස්වයං රැකියාවක් වශයෙන් අත්කම් නිර්මාණ සිදු කිරීම කෙතරම් සාර්ථක ද?

ස්වයං රැකියාවක් වශයෙන් අත්කම් නිර්මාණ කලාවට යොමු වීම ඇත්තටම හොඳ දෙයක්. ගෙවල් වලට වෙලා කාලය ගත කරමින් සිටින කාන්තාවන්ට තමන්ගේ ආර්ථිකයට ශක්තියක් ගොඩනගා ගන්න තමන්ගේ ස්වාමිපුරුෂයාට ශක්තියක් වෙන්න හොඳ කලාවක් තමයි මේ අත්කම් නිර්මාණ කලාව කියන්නේ. මොකද හොඳ ව්‍යවසායකයෙකු බවට පත්වෙන්න පුළුවන් කලාවක්.

අද බොහෝ දෙනා ප්‍රායෝගික පුහුණුව පසෙකින් තබා සමාජ මාධ්‍ය තුළින් අත්කම් නිර්මාණ අත්හදා බැලීමට පෙළබී තිබෙනවා. සාර්ථක පුහුණුවක් ලබා ගැනීමට නම් වඩාත් උචිත වන්නේ කුමන ක්‍රියා මාර්ගය ද?

ඇත්තටම අත්කම් නිර්මාණ කලාව තුළ සාර්ථකව යෙදෙන්න හොඳම දේ තමයි ප්‍රායෝගික පුහුණුව. බොහෝ අය පෙළඹිලා තියෙනවා අත්හදා බැලීම් කරන්න .

මම දකින විදියට සමාජ මාධ්‍යට වඩා ගුරුවරයෙක් ළඟට ප්‍රායෝගිකව මූලික දැනුම ඉගෙන ගැනීම තමයි ඉතාම සාර්ථක වෙන්නේ. වර්තමාන සමාජය තුළ බොහෝ පිරිසක් පෙළඹිලා ඉන්නවා සමාජ මාධ්‍ය තුළින් අන්තර්ජාලය හරහා ඉගෙනීම් කටයුතු කරන්න. නමුත් ගුරුවරයෙක්ගෙන් ලැබෙන මූලික දැනුමත් එක්ක ප්‍රායෝගික දැනුම ලබාගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ කියලා තමයි මට හිතෙන්නේ.

දැනට ඔබ සතුව විශාල ගෝලබාලයන් පිරිසක් සිටිනවා. ඉදිරියෙදී ඔබ සමග එකතුවීමට කැමැත්තක් දක්වන පිරිසට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

ඉදිරියේදී මමත් සමග එකතු එකතු වෙලා දැනුම ලබාගෙන හොඳ ව්‍යවසායකයකු බවට පත්වෙන්න පුළුවන් නම් ඒක තමයි මටත් තියෙන එකම සතුට.

මට සමාජයට දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි නිවස්වල කාලය ගත කරන කාන්තාවන්ට මේ වගේ දෙයක් ඉගෙනගෙන ආර්ථික ශක්තියක් කරගන්න සහ ස්වයං රැකියා ආරම්භ කර ගන්න පුලුවන්නම් ඇත්තටම ගොඩක් වටිනවා. මගේ ගෝලයෝ ඉන්නවා මම හරහා හොඳ ව්‍යවසායකයන් බවට පත්වෙච්ච.
මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් අද හොඳ තැනක ඉන්නවා කියලා දැනුනම ඊට වඩා සතුටක් මට නැහැ ගුරුවරයෙක් හැටියට.

ඉදිරියේදී ඔබ විසින් සූදානම් කර ඇති අත්කම් නිර්මාණ වැඩසටහන් පිළිබඳවත් අපි මතක් කරමු.

ඇත්තටම මේ අත්කම් නිර්මාණ කලාව කියන්නේ භාවනාවක්. මේක පුංචි දරුවාගේ ඉඳන්ම ඉදන්ම වැඩිහිටියන්ට පවා නිර්මාණය කරන්නට පිවිසෙන්න පුළුවන්නම් ඉතාම හොඳයි. මම හිතන්නේ මොකද වැඩිහිටියන්ගේ මානසික සුවය සඳහා ඒ වගේම පුංචි දරුවාගේ ඉවසීම කියන දේ අපට ප්‍රගුණ කරන්න කුසලතාවයන් වැඩි දියුණු කරන්න ඔවුන්ගේ දක්ෂතා එළියට ගන්න පුළුවන් හොඳම කලාවක් තමයි අත්කම් නිර්මාණය කියලා කියන්නේ.

ඇත්තටම අත්කම් නිර්මාණ කලාව කියන්නේ මට මගේ මවගෙන් ලැබිච්ච දායාදයක් හැටියට තමයි මම සලකන්නේ . කලාව මම පුංචි කාලේ ඉඳලම හැදී වැඩෙන්නේ මේ වගේ පවුල් පරිසරයක. ඉතින් ඒ ලැබිච්ච ආභාසය නිසා තමයි මේ තරම් දුරක් මම ආවේ. නමුත් ඉතින් ඒ කාලේ අපිට තිබුණෙ නෑ මේ වගේ තැනක්.
ඒ සමාජයට වඩා දැන් වර්තමාන සමාජය තුළ නිර්මාණ කලාවට හොඳ තැනක් තියෙනවා. ඒ වගේම මම මුද්‍රිත මාධ්‍යවල රූපවාහිනි මාධ්‍යවල දශකයකට වැඩි කාලයක් මගේ දැනුම බෙදා දෙනවා.

මම මේ අත්කම් නිර්මාණ තුළ මම මුදල් පසුපස හඹා යන කෙනෙක් නෙමෙයි. මම බොහෝ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ නොමිලේ.

ඉතින් ඉදිරියේදී මට බලාපොරොත්තුවක් තියෙනවා කොළඹට විතරක් සීමා නොවී කොළඹින් පිටතත් මගේ දැනුම බෙදා දෙන්න. විශේෂයෙන්ම කොළඹින් පිට ආබාධිත අයට මම දැනුම ලබාදෙනවා. නමුත් ඊට වඩා දෙයක් සමාජය වෙනුවෙන් කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා වැඩ මුළු රැසක් පවත්වන්න මම බලාපොරොත්තු වෙනවා.

සටහන
බිනාලි රාජපක්ෂ

Similar Posts