කින්නර අරණ – 17 කොටස

author
0 minutes, 21 seconds Read

ටානියා විවර කර දුන් පරිගණක තිරය මත වූ අරලියා මල් පීරමින් දෙව්මිණි නොදැනුවත්වම එදින ලන්ඩන් නගර උද්‍යානය අබියස හිඳ සිය අතීත මතක මංපෙත ඔස්සේ බොහෝ දුර ඇවිද ගොස් තිබිණි. ඇගේ ජීවිතය වසා සිටි අලු පැහැ කාන්තාරය පුරා විසිරී තිබූ එම මතක බිඳිති එක් කොටගෙන යළි නිවසට ගිය ඈ තවත් බොහෝ වේලා යන තුරු එම අරලියා මතක අතර සැරිසැරුවාය. ‘අරණ’ නිර්මාණ අලෙවිසැලෙහි නාම පුවරුව ඇගේ නෙත ගැටුණේ පරිගණක තිරය මතින් එම මතක මල් ඇහිඳිනා අතරේ ය. ගස් කඳක හරස්කඩ හැඩය ඉතිරි වන සේ ආනතව කපා සකසාගත් එම නාම පුවරුවේ අර්ධ උන්නතව කැටයම් කළ සුන්දර අරලියා මල් කිනිත්තේ සේයාරුව පමණක් දැක බලා සැනහෙන්නට ඇයට නොහැකි විය. ඇය ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වූ වෙබ් පිටුව වෙත පිවිසියාය. විදෙස් ජාතිකයෙකුගේ සංචාරක සටහන් ඇතුළත් වූ එම වෙබ් පිටුවෙහි වූ තොරතුරු ද, අනෙකුත් සේයා රූ ද උඩින් පල්ලෙන් නරඹමින් තිරය පහළට ගමන් කරමින් සිටි ඇගේ අතැඟිලි එක්වරම නතර විය. අසීරුවෙන් ඇහිඳිමින් සිටි මතක පොදිය හෝස් ගා පරිගණක තිරය මතට කඩා වැටිනි. ඒ සිටියේ සේන යි. බාහිර ස්වරූපය කෙතරම් වෙනස් ව මුහුකුරා ගිය පෙනුමක් ලබා තිබුණද එම තීක්ෂණ දෑසේ සුන්දරත්වය තවමත් එලෙසමය. රැවුලින් වැසී ගිය මුහුණේ හැඩයෙන් මතුවන කඩවසම් රේඛා තවමත් එලෙසමය. කලෙකට පෙර සිය හදවත සොරාගත් එම මිනිසාගේ මුහුණ ඇය පරිගණක තිරය මතින් ස්පර්ශ කළාය. දස වසරකට එපිට සිය කොපුලත තැවරුණු සුසුම් පහසද, ප්‍රේමභරිත දෙතොලේ උණුහුමද ඇයට නැවතත් සජීවීව දැනෙන්නාක් බඳු විය. අනන්ත බාධක මැදින් ඔහු හා සම්බන්ධ වන්නට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් ඉක්බිති, ඔහු ලීලා හා අතිනත් ගන්නට සූදානම් වන බව ඇසූ දා හෙලා අවසන් කළ කඳුළු, නැවතත් ඈ ඔහු වෙනුවෙන් හෙලුවේ නැත. සිත තුළ අගුළු ලා සිර කරගත් එම ආවේගය ඈ මුදා හලේ නොනැවතී, කිසිදු විවේකයක් නොගෙන අධ්‍යයන හා වෘත්තිය කටයුතුවල නිරත වෙමිනි. නමුත් අවසන, ඔහුගේ රුව මෙලෙසින් දුටු මොහොතේදී ඈ එතෙක් අගුළු ලා සිටි සියලු බන්ධන ගිලිහී දෑසින් ගලා හැලෙන්නට විය. කඳුළු හෙලීම අවසන් කළ දා මේස ලාච්චුව පතුලේ ඈත කෙළවරක සැඟවී ගිය ලී කැටය දෑතේ ගුලි කරගෙන අතොරක් නැතිව සිපගත් ඇය ඇඳට වැටී ගෙවුණු වසර ගණනාව පුරා සිත තුළ සිර කරගෙන සිටි කඳුළු ගංගාව මුදා හරින්නට විය. 

අවසන, දෙදිනක් ඇතුළත, ඉතාමත් හදිසියෙන් සිදු කරගත යුතු වූ පර්යේෂණ කටයුත්තක් උදෙසා අනුරාධපුර රාජධානියේ ඉතිහාසය පිළිබඳ ගවේෂණයකට පිටව යන බව පවසා ඈ තවත් සති කිහිපයකින් විවාහ වීමට අපේක්ෂිත විනෝද්ගෙන් හා මව්පියන්ගෙන් සමුගෙන ශ්‍රී ලංකාව බලා ගුවන්ගත වූවාය.

අතු පතර විහිදා පැතිරුණු සුදු අරලියා තුරෙකින් සෙවණ වූ, ‘අරණ’ සොයා ආ දෙව්මිණිගේ දෙසවනට පළමුවෙන් ඇසුණේ නුහුරු ලෙස බට නලා පිඹින්නෙකුගේ හඬකි. සුමධුර ගීතවත් රාවයක් නොවූවද, ස්වර නාද වෙනුවට වැඩිපුර ඇසුණේ සුළං පිඹිනා හඬ පමණක් වුවද, එය බටනළා හඬක් බව හඳුනාගන්නට ඇයට අපහසු වූයේ නැත. අලෙවිසැලෙහි ප්‍රධාන පිවිසුම් දොරටුව වසා තිබුණෙන් ඇය ඒ වටා පිය මනිමින් හඬ ආ දෙසට ඇවිද යන්නට විය.

‘අරණ’ දෙසට විරුද්ධ පසින් පිහිටි නිවසේ ඉස්තෝප්පුවෙහි පඩියක් මත හිඳගෙන කුඩා විහඟට වස් දඬු වයනා සැටි කියා දෙමින් සිටි සේන, එදෙසට ඇවිද එන විදෙස් පෙනුමැති කාන්තා රුව දැක කලබල වී නැගිට සිටියේය. විගසින් ගෙතුළට අත පොවා දොර ආසන්නයේම පුටුවක් මත වනා තිබූ කමිසය රැගෙන හැඳගන්නා අතරේ ඔහු පඩි කිහිපය බැස මිදුලට පිවිසියද අමුත්තිය දෙස හරි හැටි හිස ඔසවා බැලුවේ නැත. “ද ෂොප් ඉස් ක්ලෝස්ඩ් ටුඩේ මැඩම්,” ඔහු පැහැදිලි උච්ඡාරණයෙන් එසේ පැවසුවේද බොත්තම් පියවාගන්නා අතරේය. 

පරිගණක තිරය මතින් දුටු එම රුව හැබැහින්ම දුටු මොහොතේ පටන් හද ගැහෙනා වේගය පාලනය කරගන්නට අසීරු උත්සාහයක නිරත වෙමින් සිටි දෙව්මිණි ඔහුගේ මුවින් නැගි එම වදන් පෙළ අසා හුන් තැනම නතර වූවාය. එම කටහඬ! දෙවියනේ! දුරකතනය හරහා හෝ එම කටහඬ අසන්නට ඈ කෙතරම් – කෙතරම් කල් බලා සිටියාද…? හැසිරවූ බස වෙනස් වුවද ඔහුගේ හඬ අසන්නට දශකයක් පුරා මග බලා සිටි ඇයට එහි වගක් වූයේ නැත. ඇය හුන් තැනම නතර වී දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියාය. අවසන සිය පූර්ණ අවධානය ඈ වෙත යොමු කරමින් සේන ඈ වෙත එමින් හිස එසවූවේය. “සොරී, අයි හැඩ් ටු-” එක්වරම ඔහුගේ ගමන ද, කතාව ද නතර විය. ඔහු ඈ හඳුනාගත්තේය. අඩි දහයක දොළහක පරතරයක් ඇතිව එකිනෙකා දෙස ගල්භීත වී බලා සිටි දෙදෙනා අතර කාලය නතර වී තිබිණි. ඔවුන් ගැන වගක් නොමැතිව බටනලාව පිඹිමින් සිටි කොළුවාගේ සුළං හඬින් පමණක් එම ආරෝපණය මඳකින් සසල විය. එම හඬින් පළමුව පියවි සිහියට පැමිණියේ දෙව්මිණි ය. ඇය පියවර කිහිපයක් ඉදිරියට ඇවිද ආවාය. දස වසක් පුරා දැකගන්නට නොහැකි වූ එම රුව නෙත් පුරා රිසි සේ දැකගන්නා අතරේ දෙව්මිණිගේ මුව සිහින් මඳහසකින් විකසිත වන්නට විය.

මෙවන් මොහොතක තම මුවට නැගෙනු ඇතැයි සේන කිසි සේත් බලාපොරොත්තු නොවූ පිළිතුරු මඳහසක් ඔහුගේ මුවගද ඇඳෙන්නට විය. මඳහස කෙමෙන් සිනහවක් දක්වා පුළුල් වන අතරේ ඔහුගේ ජීවිතය තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය, දවසින් දවස, සතියෙන් සතිය, මාසයෙන් මාසය, වසරින් වසර ආපස්සට ඇදී යන්නට විය. අවසන නැවතත් විසි දෙහැවිරිදි තරුණයෙකුව අවුරුදු උත්සව භූමියේ හිඳ දෙව්මිණි දෙස බලා හිඳිනා අතරේ ඔහු තුළ ඈ කෙරෙහි ගෙවුණු වසර ගණන පුරා ගොඩගැසී තිබූ නොපහන් හැඟීම් සියල්ල අතුරුදන්ව ගොස් තිබිණි. 

එක්වරම පොලිස් නලා හඬක් මෙන් බටනලා රාවය උස්ව පැතිර ගියේය. සේන යළි වර්තමානයට විසි වී ඇද වැටුණේය. ඉස්තෝප්පුව වෙතින් නැගිය යුතු වූ එම හඬ අඹ ගස මුදුණෙන් ඇසුණේ කෙසේදැයි ඔහු හිස හරවා බැලුවේය. කොලුවා මහා හපන් කමක් කළ ලෙසින් අඩි හත අටක් පමණ උසින් පිහිටි අත්තකට නැග විරිත්තාගෙන සිටියේය. “විහඟ, බහිනවා බිමට!” සේන හනික ගස වෙත යමින් උස් හඬින් පැවසුවේය. සුවච කීකරු ලීලාවෙන් කොලුවා ගසෙන් බසින්නට මෙන් හිඳ සිටි අත්ත වෙතින් මෑත් වූවේය. නමුත් ඔහුගේ හරිබරි ගැසීම ගසෙන් බසින්නට නොවනා බව තුන් වසරකට මඳක් වැඩිව ගෙවූ මුළු කාලය පුරා මෙම පෝරිසාද කුරුළු පැටවාගේ කල්ක්‍රියාවන් ගැන දැන සිටි සේන සැණෙන් වටහාගත්තේය. “කොල්ලෝ, ඔය වැඩේනං කරන්න එපා, මං කියලා තියනවා! විහඟ!” ඔහුගේ හඬෙහි තරවටුවත්, බැගෑපත් බවත්, නොසන්සුන් බවත්, නොඉවසිලිමත් බවත් සම සමව මුසුව තිබිණි. “කියන දේ අහලා පරිස්සමට බහින්න මගෙ හොඳ පුතා වාගේ! මං හවසට බොම්බයි මොටයි ගෙනත් දෙන්නං දැන් නැග්ගා වාගෙම පරිස්සමෙන් ගහ දිගේ බැස්සොත්…” එසේ පවසනා අතරම ඔහු ඊළඟ මොහොත වෙනුවෙන් සූදානම් වූයේ කොලුවා එම බස් තුට්ටුවකට හෝ මායිම් කරනා බවක් පෙනෙන්නට නොවූ බැවිනි. සිතූ ලෙසම ඊළඟ මොහොතේ අඹ තුරු අත්ත මතින් ගුවන්ගත වූ කුරුළු පැටවා සේන වෙත පිනුවේය. දෝතින් බදා වැළඳ සුරැකිව ඔහු අල්ලාගත් සේන මොහොතක් ඔහු තුරුළු කරගෙනම හිඳ අවසන හිස සිඹ බිමින් තැබුවේ ඔහු අතින් ඩැහැගත් බටනලාවෙන් පස්සා පැත්තට රිදෙන්නටම පහරක්ද ගසමිනි. “මේ අන්තිම වතාව! හිතන්න එපා ආයෙනං මං අල්ලගනියි කියලා! ගහෙන් වැටිලා කොන්ද කඩාගත්තාම ඉන්න වෙයි ඇඳටම වෙලා මුළු ජීවිත කාලෙම! ආයෙ ගස් බඩගාන්නත් නෑ, සරුංගල් අරින්නත් නෑ, ඇළ වක්කලමේ මාළු අල්ලන්නත් නෑ, අයියලා එක්ක හවහට වෙලේ නටන්නත් නෑ, ආයෙ බොම්බයි මොටයි ගේන්නෙත් නෑ!” නමුත් ඔහුගේ ලැයිස්තුවේ අවසානය අසන්නට කොලුවා එම පලාතේවත් රැඳී සිටියේ නැත. සේන නැවතත් දෙව්මිණි වෙත හැරුණේය. එවර ඇගේ මායාව තුළ අතරමං නොවී හිඳින්නට ඔහු සමත් විය. “අද කඩේනම් වහලා මිස්…” නොසැලෙන සාමාන්‍ය ස්වරයකින් කතා කරන්නට ඔහු ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. තමා පෙරදී රිලවෙකු ලෙස විරිත්තාගෙන බලා සිටියේ කලකට පෙර ඉතා තුච්ඡ ලෙස තමා ප්‍රතික්ෂේප කළ තැනැත්තිය දෙස නොවේදැයි සිහිපත් වන විට ඔහුට සියතින්ම සිය ගෙල මිරිකාගන්නට සිතිණි.

සුරතල් දරුවා දිව ගිය දෙස සන්තාපය මුසු සිනහවකින් බලා සිටි දෙව්මිණි සේනගේ එම රළු හඬින් තිගැස්සී විසල් කරගත් දෑසින් ඔහු දෙස හැරී බැලුවාය.

“හෙට අරිනවා… ඕනෙනම් හෙට එන්න…” ඔහු පෙර ස්වරයෙන්ම කීවේය.

“මාව අඳුරගත්තේ නැද්ද?” දෙව්මිණි විමසා සිටියේ අවිශ්වාසයෙනි. “ඉස්සල්ලා හිනාවුණේ අඳුරගෙන නෙවෙයිද?”

“ලංකාවෙ මිනිස්සු ඇඳිනුවත් නැතත් මනුස්සයෙක් දැක්කාම හිනාවෙනවා. ඔය එංගලන්තෙ ඉඳන් ආපු අයට ඒවා පුරුදු නැතුව ඇති සමහරවිට…” ඔහු නුරුස්නා ස්වභාවයක්ම පළ කරමින් කියා සිටියේය.

දෙව්මිණි යළිත් වරක් පුළුල් සිනහවක් පෑවාය. “තවමත් ඒ නපුරු කොටියා එහෙමමද කොහෙද. එදා වාගෙම මට බණින්නද කොහෙද ලෑස්ති වෙන්නේ හිටපුගමන් හොයාගෙන ආවාට…..”

එවර උදාසීන බැල්මෙන් ඈ දෙස මොහොතක් බලා සිටි සේන නිහඬව ආපසු හැරී නිවස වෙත යන්නට විය. ඈ එතරම් පහසුවෙන් එම අතීත මතක ගැන කතා කරන්නේ කෙසේද? ඔහුට සිතාගැන්මට නොහැක. නිවස තුළට පිවිස අත් ඇඳි රහිත පුටු දෙකක් දෑතින් ගත් ඔහු යළි පැමිණ අඹ ගස යටින් තබා ඇයට හිඳගන්නට අතින් ඇරයුම් කරමින් එක් අසුනකට බර දුන්නේය. ඈ කෙරෙන් පළ වූ වෙහෙසකර බව හේතුවෙන් හිඳගෙන මඳ විවේකයක් ලබාගන්නට ඉඩ දෙන්නට සිතුවද, කුමක් කතා කළ යුතුදැයි සේන දැන සිටියේ නැත. 

අසන්නට පැන බොහෝ ගණනක් සිතට නැගුණද, අවසන එම නොසන්සුන් නිහඬතාවය බිඳලමින් දෙව්මිණි හඬ අවදි කළේ ඒ අතුරින් ඉතාමත් සරල වූ පැනය විමසා සිටින්නටය. “බබා කොහෙ දිව්වද දන්නෙ නෑ…?” ඇය වටපිටාවට දෙනෙත් යොමු කරමින් විමසුවාය.

“ඔය රවුමක් ගහලා එන්නෙ නැතෑ බඩගිනි වුණහම!” සේන පිළිතුරු බැන්දේ වුවමනාවට එපාවට මෙනි.

“එයාගෙ අම්මා කෝ?”

“ගමනක් ගිහින්…”

“එක බබාද ඉන්නේ?”

ඇගේ ප්‍රශ්න විචාරීමේ දිග පළල සේන අවබෝධ කරගත්තේ එම පැනයෙනි. ඔහු වෙනසක් නොපෙන්නා හිස දෙපසට වැනුවේය. “ලොක්කා අම්මා එක්ක ගියා. හවස් වෙයි එනකොට.”

දෙව්මිණි කල්පනාභරිතව හිස සැලුවාය. ඔහු විවාපත් වන බව අසන්නට ලැබී ගෙවුණු වසර ගණන සමග ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකු වී හිඳීමේ අරුමයක් නැත. ඇය නොදැනුවත්වම සිය උකුල මත වූ බෑගය වටා එතී තිබූ අතැඟිලි වෙත සිය බැල්ම නැඹුරු කරගත්තාය. වමතේ වෙදැඟිල්ලේ රැඳී තිබූ, විනෝද් සිය ආදරය ප්‍රකාශ කරමින් ඈ අත පැළැන්දූ මුදුව, අනුරපුර නවාතැනේදී තුන් හාරසිය වතාවක් කල්පනා කොට, විසි තිස් වතාවක් ගලවමින් නැවත පළඳමින්, අවසන පැළඳ එන්නට ගත් තීරණය නිවැරදි බව ඇය කල්පනා කළාය. එක්ව එක් මාවතක පිය නගන්නට සිහින දුටුවද ඔහුටත් ඇයටත් දෛවයේ කුරිරු වූ නියමයට අනුව දෙමගක පිය නගන්නට සිදුව ඇත. ඔහු ඔහුගේ මගත්, ඈ ඇගේ මගත් වෙන් වෙන්ව ඇවිද ගොස් ඇත. එය එසේ වුවද ඔහුව මෙලෙසින් හෝ දැකගන්නට හැකි වීම ගැන ඇය සතුටු විය. ඈ දුකින් පිරි සිනහවක් පාමින් ඔහු දෙස හිස ඔසවා බැලුවාය. ඔහුගේ බැල්මද යොමුව තිබුණේ ඇගේ වමතේ වෙදැඟිල්ලේ රැඳි මුදුව වෙත ය. පෙරදී විරිත්තාගෙන ඈ දෙස බලා සිටි මොහොතේම එය ඔහු දැක තිබූ නමුත් එම මුදුවෙන් හැඟැවෙන අන්-සතු බව බොහෝ බරැතිව ඔහුගේ සිතට කාවැදුණේ මේ මොහොතේදීය. ඔහු වෙහෙසකර සුසුමක් හෙලමින් ඉවත බලාගත්තේය. ඇගේ අනපේක්ෂිත ආගමනය පිළිබඳ කුහුලක් සිතට දැනුණද, ගෙවුණු වසර ගණනාවක් පුරා ඇගෙන් අසන්නට ගොඩගැසී තිබූ ප්‍රශ්න කන්ද අබිමුව එම කුහුල කුහුඹි ගුලක් බඳු විය. එබැවින් ඔහු ඒ පිළිබඳ කිසිත් නොවිමසා ආගන්තුක සත්කාර කෙරෙහි සිත යොමු කළේය. “මුකුත් බොනවද?”

දෙව්මිණි සැබැවින්ම පසු වූයේ දැඩි පිපාසාවෙනි. “සීතලට මොනවාහරි තිබ්බානම් හොඳයි. හරි රස්නෙයිනේ මෙහෙ…” ඇය මුවින් ගෙල පාමුලට පිඹිනා අතරේ සුරතින් පවන් සලාගත්තාය.

“කාලෙකින් වැස්සෙ නෑ මෙහෙට. තද පෑවිල්ල.” සේන අසුනින් නැගිටිමින් පැවසුවේය. “තැඹිලි ගෙඩියක් හොඳයිද? නැත්තම් වැල් දොඩම් වීදුරුවක් හදලා ගේන්නද?”

“තැඹිලි හොඳයි…” මෙම ඇමතුමක් නොමැති දුරස්තර සංවාදය දෙව්මිණිගේ සිතට අපහසුවක් දැනවූවද ඇය මඳ සිනහවක් පාමින් එසේ පැවසූවාය. නිවස තුළට ගොස් අතුරුදන් වූ සේන යළි පැමිණෙන තෙක් අසුනින් නැගිටගත් දෙව්මිණි ඉස්තෝප්පුවේ කෙටි බැම්ම මත තබා තිබූ බට නලාව අතට ගත්තාය. ඒ එදවස සේන වැයූ බට නලාවට වඩා වෙනස් වූ, බටය කෙළවරින් පහසුවෙන් කුඩා දරුවෙකුට වයන්නට හැකි සේ සැකසුණු නලාවක් විය. සේනගේ බට නලාවෙහි මුව සිදුර අසල වූ වයිරම් පැල්ලම හා සිවුවැනි සිදුර අසල වූ සිහින් කඩතොළුව ඇයට තවමත් මතකය. එතරම් සවිස්තරාත්මකව එම මතක තම සිතෙහි තැන්පත් වී තිබීම පිළිබඳ ඇයට පුදුමයක්ද, සන්තාපයක්ද එක වර දැනුණි.

“මෙන්න…” තැඹිලි වතුර පිරවූ වීදුරුවක් එක් අතකින්ද, දෙකට පැලූ තැඹිලි කෝම්බය අනෙක් අතින්ද රැගෙන සේන යළිත් පැමිණියේය.

බට නලාව යළිත් බැම්ම මතින් තබා දෑතින්ම එම වීදුරුව ගත් දෙව්මිණි සත් අවුරුද්දක් පිපාසිතව සිටි කලෙක මෙන් එය බීගෙන බීගෙන යන්නට විය. ඉන් දැනෙනා සුවය නිසාදෝ ඇගේ දෑසද පියැවී ගියේය. වීදුරුවේ මුව විට වටා තද වූ ඇගේ දෙතොලත්, ඉන් ඇතුළුවන තැඹිලි වතුර උගුරක් පාසා රිද්මයකට ඉහළ පහළ යන ඇගේ උගුරත් දෙස වශී වූ කලෙක මෙන් බලා සිටි සේනගේ දෑස් ඉන් අනතුරුව නාරි ලාලිත්‍යය ඉතිරෙන ඇගේ සිරුර පුරා හිතුමතේ දිව යන්නට විය. වසර තිස් දෙකක් පුරා ගෙවූ ජීවිතයේ කිසිදා ගැහැනියක දෙස නොබැලූ අන්දමින් ඔහු ඈ දෙස බලා හිඳින්නට විය. ඈ අන් සතු එකියක බව ඔහුගේ හදවතේ රැඳෙන්නේම නැත. වෙනෙකක් තබා ඈ තමාව ප්‍රතික්ෂේප කළ බව පවා ඔහුගේ හදවතේ රැඳෙන්නේ නැත. පෙරදී බුද්ධිය විසින් ටොකු ඇන පෙන්වා දී කෝප සිතුවිලි සිතට රිංගවනා තුරුම ඔහු ඈ දැකීමෙන් පමණක්ම ලද උද්දාමයෙන් සිනහ පා බලා සිටියේ එනිසාය. වීදුරුව නිම වන්නට පෙර දෙව්මිණි හිටිවනම තෘප්තිමත් සුසුමක් හෙලමින් හිස පහත් කර දෑස් විවර කළාය. ඔහුගේ දෑසේ වූ බැල්ම ඈ දුටුවාය. සේන විගසින් ඉවත බලාගත්තේය. අනතුරුව දෙපලු කළ තැඹිලි ගෙඩිය ඉවත බලාගෙනම ඈ වෙත දිගු කොට, ඈ අත වූ නිම වන්නට ආසන්නව තිබූ වීදුරුව ඩැහැගෙන යළිත් ගෙතුළට වැදී අතුරුදහන් විය.

සේන නතර වූයේ පිළිකන්නටම ගොස් බිත්තියකට හේත්තු වී හති අරිමිනි. ඉදිරිපස ඉස්තෝප්පුවේ සිට නිවස තුළින් පිළිකන්න වෙත ඇවිද ආ විට මෙතරම් හති වැටෙන්නේ මන්දැයි ඔහු සිතන්නට ගියේ නැත. අත වූ වීදුරුවේ ඉතිරිව තිබූ උගුරු දෙක තුන එක උගුරට හිස් කළ ඔහුට යළිත් නම් ඈ ඉදිරියට යන්නට ශක්තියක් නැත. ඔහු එලෙසම සැඟවී හිඳින්නට තීරණය කළේය. ඈ වුවමනා තරම් වේලාවක් බලා හිඳ පිටව යනු ඇත. වීදුරුව මිරිස් ගල මතින් තැබූ සේන එතැනම බිම ඇණ තියාගෙන දෑතින් හිස බදාගෙන සිතෙහි ඇති වූ කැළඹීම සමනය වන තෙක් විනාඩි ගණනක් එලෙසම සිටියේය. 

ඉස්තෝප්පු පඩිය මත හිඳගෙන ප්‍රණීත රසැති තැඹිලි ගෙඩියේ ලොඳ හෙමි හෙමින් උලුප්පා කා අවසන්ව දෙව්මිණි තවත් විනාඩි ගණනක් බලා සිටියද සේන යළි පැමිණියේ නැත. පෙරදී ඔහු වෙතින් පළ වූ බැල්මත්, කැළඹීමත් ඇයට හඳුනාගන්නට අපහසු වූයේ නැත. ඇය නැවත නැවතත් එම බැල්ම සිහිපත් කළේ මහත් වූ ලොබ සිතිනි. ශත වර්ෂ ගණනාවකට එපිට ලෙසින් හැඟෙනා දස වසරකට පෙර ගල් ලෙනෙහි බිත්තියට පිටු පා සිටි තමා හාදු වැස්සකින් නහවමින් ඔහු ඈ උපාධිය නිම කොට පැමිණෙනා තුරු බලා හිඳිනා බවට පොරොන්දු වූයේද මෙවන් බැල්මකිනි. දූවේ සිට ගොඩබිම කරා ඔරුව පැද එද්දීද ඔහුගේ දෑසේ වූයේ මෙවන් බැල්මකි. නැත. එසේ කීම නිවැරදි නැත. ඇය තැඹිලි ගෙඩිය පසෙකින් තැබුවාය. එදින එම දෑසේ වූයේ මෙදින ඈ දුටු බැල්මෙන් අංශු මාත්‍රයකි. එදින එම බැල්මෙහි තිබෙන්නට ඇත්තේ ප්‍රේමයත්, ඈගේ දුරස් වීම පිළිබඳ සිතෙහි ඇති වූ සංවේගයත් පමණි. නමුත් මෙදින ඔහුගේ බැල්මෙහි ලොව ඇති සියලු හැඟීම් කැටි වී තිබූ සෙයකි. ඇයට සිතුණේම ඔහු සොයා ගෙතුළට යන්නටය. සියල්ල මුල සිට අගටත්, අග සිට මුළටත් කතා කරන්නටය. නමුත් ඈ තමා වළකාගත්තාය. ඒ ඔහුගේ කුටුම්භයයි. සාමකාමී පවුල් ජීවිතයක් තුළට ඈ කඩා පැන සියල්ල වියවුලට පත් කළ යුතු නැත. ඇතැම්විට ඔහුට වුවමනා වී ඇත්තේද ඈ වෙතින් දුරස්ව සිටින්නට විය යුතුය. ඇය නිහඬව පිටව යන්නට සිතා නැගිට සිටියාය. සිත් කොණක රැඳී පැවතියද, නුදුරේදී සිදු කරන්නට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ පර්යේෂණයක් පෙරමුණට ගෙන සියල්ලන් හට මුසා දොඩා පැමිණි මෙම ගමනෙන් අරුතක් නොමැති බව ඇය අවසන වටහාගත්තාය. ඒ මොහොතේ කොහේදෝ සිට දිව ආ අඹ ගසෙන් පිනූ දඟකාරයා ඈ අබියස සිටගත්තේය. ඇය ඔහු වෙත සිනහවක් පෑවාය. “බබාගේ නම මොකද්ද?”

එයට පිළිතුරක් නොදුන් කොලුවා ඉස්තෝප්පුවේ පසෙක වූ අඩක් වර්ණ ගැන්වූ චිත්‍රයක් පෙන්වා සිටියේය. එහි වූයේ වෛවර්ණ කුරුලු රුවකි. 

“හරි ලස්සනයිනේ! ඔයාද පාට කළේ?”

දරුවා හිස සලා එසේ බව හැඟවීය. ඔහුද දිනෙක පියා මෙන්ම දක්ෂ කලාකරුවෙකු වනු ඇති බව දෙව්මිණි සිතුවාය. 

“ඔයාගේ අප්පච්චිට කියනවාද මං යනවා කියලා?”

එවර දරුවා මුහුණ පුම්බාගෙන ඈ දෙස බලා සිටියේය.

“එයා දැන් ඇතුලට ගිහින් ටික වෙලාවක්, මොනවාහරි වැඩක වෙන්න ඇති. මං ගියා කියලා කියන්නකෝ එහෙනම්, හොඳද?”

එවර ඇගේ අතකින් අල්ලාගත් දරුවා ඈ ඇදගෙන ගෙතුළට යන්නට විය.

ඇගේ පියවර හඬ ගෙතුළින් ඇසෙත්ම හුන් තැනින් නැගිටගත් සේන බිත්තියට හේත්තු වී හිඳගෙනම තැතිගත් දෑසින් පිළිකන්නේ දොරටුව දෙස නෙත් යොමා සිටියේය. ඇගේ රුව සමග විහඟගේ කුඩා රුව ද දැකීමෙන් සේන ඉමහත් සැනසීමක් ලැබුවේය. ඔහු වහා දරුවා තමා වෙත ඇදගෙන වඩාගත්තේය. “මගෙ වස්තුව. කොහෙද පුතේ ගියේ? මං හොඳටම බය වුණානේ…” එවර දරුවා ඔහු දෙසද මුහුණ පුම්බාගෙන බලා හිඳින්නට විය. හතර අතට ඇඹරී ඔහුගේ අතින් බිමට බැසගත් දරුවා සේන දෙසත් දෙව්මිණි දෙසත් දෑත් දිගු කරමින් ගොලු බසින් මහා දිගු දෙසුමක් පැවැත්වූවේය. ඔහු විමසන්නේ ඔවුන් දෙදෙනාටම පිස්සුදැයි කියා බව වැටහුණේ සේනට පමණි. දෙව්මිණි ඔහු දෙස බලා සිටියේ සන්තාපය පිරි දෑසිනි. එම සුරතල් කුරුළු පැටවා ගී ගයන්නේ නැති බව ඇය වටහාගත්තේ ඒ මොහොතේදී ය. “බඩගිනිද?” සේන විහඟගේ දිගු දෙසුම අවසානයේ ඔහුගෙන් විමසුවේය. දරුවා හිස සළා ඔව් යැයි කීවේය. “හ්ම්, කාලා ඉමු එහෙනං…” දරුවාගේ මැදිහත් වීමෙන් සියලු කැළඹීම් සමනය කොටගෙන සිටි සේන දෙව්මිණි පිළිකන්නේ සිටියදීම ඈ අසලින් ගෙට ගොඩ වී හට්ටි මුට්ටි වසා තිබූ මුළුතැන්ගෙය වෙත ගියේය. 

“බත් ටිකක් කමුද?” ඔහු හඬ නගා විමසුවේ දෙව්මිණිගෙනි.

“ආ, එපා සේන අයියේ,” සංවාදයේ දුරස්තර බව සමුගන්නා මොහොතේ හෝ දුරලිය යුතු බව ඇගේ නිගමනය විය. “මං දැන් යන්න කියලා හැදුවේ…” 

කාලාන්තරයකින් ඇගේ මුවින් නොඇසුණු එම ඇමතුමෙන් සේන යළිත් හිටි හැටියේ දස වසරකින් තරුණ විය. ඔහුට තවත් මොහොතක් හෝ ඈ නවතාගන්නට වුවමනා විය. “බත් ටිකක් කාලා යමු ඉතින්. මේ ගොඩක් තියනවා, මං විතරයි තව කන්න ඉන්නේ…”

“එපා… දැන් තැඹිලි කෑවානේ… බඩගින්නක් නෑ… මං යනවා කියලා අප්පච්චිට කියන්න කියලා මේ චූටි බබාට කිව්ව වෙලාවේ තමයි එයා මාව මේ ගෙට ඇදගෙන ආවේ…”

එයට සේන සිනහවක් පෑවේය. ඔරවාගෙනම සිටින්නට කෙතරම් ඕනෑකම තිබුණත් මෙම සිනහවන් මුවින් පිට පනින්නේ ඔහුටත් හොරා ය. ඔහුගේ සිනහවද තවමත් පෙර සේ ම ය. එම සිනහව මෙතරම් විගහින් හැර යන්නට දෙව්මිණිටද ඇති වූයේ ලෝභ සිතකි. සිය කුඩා පිඟාන ඔසවාගෙන ඔහු හා හට්ටියෙන් හට්ටියට එබෙනා දරුවා දෙස ද, රණ්ඩු වෙමින් තරවටු කරමින් එම පිඟානට එළවළු පළා බෙදනා සේන දෙස ද දෙව්මිණි හූල්ලමින් බලා සිටියාය. “හරි හරි, මං කවන්නං, ඕකට හොස්ස දික් කරගෙන ඉන්න ඕනෙ නෑ!” සේන එසේ පැවසුවේ මුහුණ කජු ලෙල්ලක් කරගෙන පිඟාන දෙස බලා සිටිනා විහඟට වුවද එය ඇසුණු විගස දෙව්මිණිට සිතුණේ එය තමාට පැවසූවක් ලෙසය. තමා ගැනම දැනුණු ලැජ්ජාවෙන් ඇය රත් පැහැ ගැන්වුණාය. වාසනාවකට මෙන් සේන සිටියේ ඇයට පිටු පා බැවින් ඔහු ඒ කිසිවක් දුටුවේ නැත. “ම්, මෙන්න මේක අර නැන්දාට දෙන්න, ඕකට මං අපි දෙන්නාටම බෙදන්නං,” ඔහු බත් බෙදූ වෙනත් පිඟානක් දරුවා අතට දෙමින් ඔහු අත වූ කුඩා පිඟාන සිය’තට ගත්තේය.

පිඟාන දුටු දෙව්මිණිගේ මුවට කෙළ ඉනුවේය. රෝස කැකුළු හාලේ බතට කිරි කොස්, වැව් මාළු, කරවිල බැදුම, කොච්චි සම්බෝලය, වට්ටක්කා දළු මැල්ලුම කදිමට පෑහිනි. ඒ එක් එකක් වෙන් වෙන්ව නමින් හඳුනා නොගත්තද එතෙක් යටපත් වී තිබූ කුසගින්න නැවතත් ඇයට උත්සන්න වී දැනෙන්නට විය.  ඈ නවාතැන් ගත් තරු පහේ නිවාඩු නිකේතනයේ මෙවන් ගමේ කෑම නැත. එබැවින් ඇය වැඩි විරෝධයක් නොපා පිඟාන අතට ගත්තාය. “චුට්ටක් කන්නංකෝ එහෙනං…”

නිවැසියන් දෙදෙනා යළිත් ඉස්තෝප්පුවේ පඩියක් මත හිඳගත් අතර දෙව්මිණි ඒ ආසන්නයේම වූ අඹ ගස යට අසුනක් වෙත ගියාය. පඩිය මත හිඳ බත් කටවල් දෙක තුනක් සන්සුන්ව ගිල දැමූ විහඟ ඉන් අනතුරුව නැගිට මිදුල පුරා රවුම් ගසන්නට වූ කල සේනද නැගිට අඹ ගස යට අනෙක් පුටුවට ගොස් හිඳගත්තේය. “කන ඒවා කකුල් දෙකට බහින්නේ ඈ, ඇවිද ඇවිද කෑවහම!” ඔහු දරුවාට එසේ පවසා බත් කටක් මුව ලාගත්තේය.

“බබාට අපි කියන ඒවා ඇහෙනවා නේද?” දෙව්මිණි විමසුවාය. ‘චුට්ටක් කන්නං’ යැයි කීවාට ඇය ඒ වන විටද ‘චුට්ටකට’ වඩා කා තිබුණි. වසර ගණනාවකට පෙර මහවත්ත බංගලාවේදී රන් එතනා නැන්දා අතින් පිසූ මෙවන් ආහාර හැරෙන්නට ඉන් පසු කිසිදා යළි එවැනි බත් වේලක රස විඳ නොතිබූ දෙව්මිණි යළි කවදා ඒ සඳහා ඉඩක් ලැබේදැයි නොදත් බැවින් ‘හාස් හූස්’ ගාමින් කටදැවිල්ල ඉවසමින් පිඟානම හිස් කරන අටියෙන් විගසින් බත් ඇනුවාය.

හිස සැලූ සේන දරුවා ළඟට කැඳව්වූවේය. “මේ නැන්දාට වතුර ටිකක් ගෙනත් දෙන්න පුතේ, බලන්න කටදැවිල්ල අල්ලලානේ…” බත් කටක් කවා දරුවා පිටත් කර හැරි සේන අනතුරුව දෙව්මිණි වෙත හැරුණේය. “කතා කරන්නත් උගුරෙන් කටෙන් දිවෙන් බාධාවක් නෑ. ලොකු මාමා දන්න දේවලුත් කරලා බැරුවා. ඒ හරි ගියේ නැති තැන කොළඹ එක්ක ගිහිල්ලාත් පෙන්නුවා. ඒත් ඉතින් මෙයා කතා කරන්නෙ නෑ…”

“නිකම් සද්දයක්වත්?”

“පොඩි කාලෙදි ඔය එක එක සද්ද දැම්මා. දැන් අඬන්නෙත් කිසි සද්දයක් නැතුව. දොස්තරලා කියනවා සමහරවිට ලොකු වෙද්දි ඉබේම හරි යයි කියලත්. මාමාත් කියන්නේ හිතට වෙච්ච බලපෑමක් වෙන්න ඕනේ කියලා.”

“වයස කීයද පුතාට?”

“තුනයි.”

“ලොකු පුතාත් මේ වගේම දඟයිද?”

සේන යළිත් සිනහවක් පා, වතුර පිරැවූ එනැමල් කෝප්පයක් සමග තමාගේ බංකු පොඩියද ඔසවා ගෙනැවිත් දෙව්මිණි අසලින් තැබූ දරුවාට බත් කටක් කැව්වේය. “මෙයාගෙ අයියාද කියලාවත් හිතන්න බැරි තරමයි. සිල් ගත්තා වාගේ ඉන්නේ. හැබැයි කොල්ලා හොඳට ඉගෙනගන්නවා. අදත් අම්මා එක්ක ගියේ ඉස්කෝලේ සාහිත්‍ය තරගෙකට.”

සිනහවක් පෑ දෙව්මිණි දරුවාගේ අතින් අල්ලා “තැන්ක් යූ,” යැයි පවසා පිටි අත්ලට සුරතල් හාදුවක්ද දුන්නාය. දරුවා සේනගේ මුහුණ බැලුවේය.

“ඔයා වතුර ගෙනත් දුන්නානේ, ඒකයි… ස්තුතියි කියලා කිව්වේ ඒ…” සේන ඔහුට පැහැදිලි කළේය. 

සිය දත් හැලුනු මුව පොඩිය විවර කර සිනහවක් පෑ දරුවා දෙව්මිණිගේ කම්මුලටද හාදුවක් පිරිනැමුවේය. ඇය එම සුරතල් ළෙන්ගතු බව සිනහමුසු මුවින් පිළිගත්තාය. “මට ආයෙ දවසක එන්න පුළුවන් වුණොත් මං ඔයාටයි අයියාටයි මොනවාහරි ගේන්නම්කෝ…” නැවත පැමිණීමක් සිදු වේ දැයි කිසිදු විශ්වාසයක් නොවූවද ඇය දරුවාගේ මුහුණ ද සිඹිමින් එසේ කීවාය. “අද මං දැනං හිටියේ නෑනේ මෙහෙ චූටි බබාලා ඉන්නවා කියලා…”

සේන දරුවා ළඟට කැඳවා පෙරට වඩා විසල් වූ බත් කටක් ඔහුගේ මුවෙහි එබුවේය. තමාට නොලැබෙනා හාදු සිය දෑස් පනාපිට පොඩි දරුවෙකුට හෝ ලැබෙනවාට ඔහු කැමති නොවීය. ඒ හැරෙන්නට දරුවාගෙන් හාදු ලැබූ ඇගේ කොපුල මත තැවරී ඇති ඉඳුල් පිසලෑමට නලියන අතැඟිලිද ආයාසයෙන් පාලනය කරගෙන සිටීමට ඔහුට වෙහෙසක් දරන්නට සිදු විය. ඒ මොහොතේදී අඹ ගසේ වූ කුරුළු ලෑල්ල මත වැසූ පොළොස් කොට්ටෝරුවෙකු දුටු දරුවා ඔවුන් දෙදෙනාවම අමතක වී හෙමින් හෙමින් එදෙසට පිය නගන්නට විය. විනාඩි ගණනක නිහඬතාවය තුළ සේන දෙව්මිණි දෙස බැල්මක් හෝ හෙලුවේ නැත. ඇගේ කොපුල පිසලමින් එහි තැවරෙන සිය අතැඟිලිවල දසුන සිතින් බැහැර කරගන්නට ඔහු තමා සමගම අරගලයක නිරතව සිටියේය. නිහඬතාවය බිඳී ගියේ දෙව්මිණිගේ හඬිනි.

“අප්පච්චි කොහොමද සේන අයියේ?”

“ඉන්නවා ඉතින් ගමට වෙලා,” ඔහු ඉවත බලාගෙනම පිළිතුරු දුන්නේය.

“අයියලා මෙහෙ ආවේ එතකොට?” 

ඇය කුමක් හෝ බරපතල හිතළුවක් සිතෙහි දරා සිටිනා බව නැවතත් සේනට හැඟී ගියේය. නමුත් ඇගේ වමතෙහි ඇති මුදුව හිතළුවක් නොව, ඇගෙන් ලද ලිපියෙහි වූ වදන් සනාථ කරන්නක්ම වූ බැවින් සේන එම දුරවබෝධයන් නිවැරදි කරන්නට කල්පනා කළේ නැත. “ඔහෙ ආවා ඉතින්, මෙහෙ මේ වාගේ වැඩට හොඳට තැනක් තියන හින්දා,” ඔහු සිය නිර්මාණ අලෙවි සල වෙත හිස දිගු කරමින් කීවේය.

“අයියාගේ මාමලාත් මේ කිට්ටුවද?”

“ඔය ගේ පිටිපස්සෙන් අඩි පාර වැටෙන්නේ ලොකු මාමලාගේ වත්තට…”

නැවතත් නිහැඬියාවකි. දෙව්මිණිගෙන් විමසා සිටින්නට සේනටද ප්‍රශ්න අටෝරාසියක් තිබුණා වුවද, ඒ කිසිවකට ලැබෙනා පිළිතුරුවලින් දැන් පලක් නැත. ඇගේ වමතේ රැඳි මුදුව ඔහුට ඈ අහිමි කොට අවසානය. එබැවින් ඔහු නිහඬවම සිටියේය. ඒ වෙනුවට දෙව්මිණිම ඔහුගේ නෑසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් නැවතත් හඬ අවදි කළාය.

“මගේ රිසර්ච් එකක වැඩ වගේකට අනුරාධපුර යුගයේ ලේඛන ඉතිහාසය ගැන විස්තර හොයන්න ආවේ. අද උදේ වරුවේම අභයගිරි කෞතුකාගාරේ හිටියේ. මං කළින් දවසක අයියාගේ මේ ‘අරණ’ ගැන දැකලා තිබ්බා ඉන්ටනෙට් එකේ. ඉතින් ඒ අපු ගමන් මෙහෙටත් පොඩ්ඩක් ගොඩවෙලා යන්න හිතුවා…”

සේන හිස වැනුවේය. සිතූ පරිදිම ඒ ඈ ඔහු සොයා ආ ගමනක් නොවන බව පැහැදිලිය. එලෙස එන්නට වුවමනාවක් තිබුණානම් ඔහු ගම සිටියදීම ඇයට එන්නට තිබුණා නොවේද. පොරොන්දු වූ ලෙස දුරකතන ඇමතුමක් පවා නොමැති වූ කල පැමිණීමක් ගැන බලාපොරොත්තු වන්නේ කෙසේද? ඒ වෙනුවට පැමිණි එකම එක ලිපිය හොඳ හැටි ප්‍රමාණවත් ය.

“තනියමද ආවේ?” ඔහු විමසුවේ කිසිවක්ම නොවිමසා සිටීම නුසුදුසුයැයි හැඟුණු බැවිනි.

“ඔව්. ඊයෙ ආවේ. මල්වතු ඔය තානායමේ ඉන්නේ.”

සේන හිස සැලුවේය. එය ඔහු යනෙන මග කිහිප වරක් දැක පුරුදු තැනකි. “ලොකු මැණිකෙලාගේ බංගලාව පැත්තේ එහෙම ගියෙ නෑ?”

“නෑ සේන අයියේ. දවස් දහයකට ආවේ ඉක්මනට වැඩ ඉවර කරගෙන යන්න බලාගෙන හදිසියෙම. බලන්න ඕනේ, ඉක්මනට වැඩ ඉවරවුණොත් ගිහින් නැන්දලාවත් බලලාම යනවා…”

“ඔව්, එහෙත් එනකල් බලාගෙන ඇතිනේ කට්ටිය, ආපහු යන්න ඔය හැටි හදිසිය!” සේනට තම මුව තද කොට මිරිකාගන්නට සිතුණේ එම වදන් මුවින් පිට පැන්න පසුය. කිසිදු ලෙසකින් ඈ කෙරෙහි සිත තුළ තවමත් ඉතිරිව ඇති හැඟුම් පිටතට නොපෙන්වා සිටින්නට කොතරම් සිතා සිටියද ඔහු තමා වෙතම පනවාගත් එම අභියෝගයෙන් අසමත් විය.

දෙව්මිණිට බත් කට ඉස්මොල්ලේ ගියේය. සේන වහා නැගිට පිඟාන සිය අසුන මතින් තබා වමතින් ඇගේ පිටට ගසමින් ඇගේ බත් පිඟාන අතට ගත්තේය. විහඟ ද පැමිණ දෝතින්ම වතුර කෝප්පය රැගෙන දෙව්මිණි අතට දෙමින් ඇගේ හිසට පිඹිනා ලෙස සේනට පෙන්වා සිටියේය. එය ඔහුට ඉස්මොල්ලේ ගිය විට මව කරනා සත්කාරයකි. සේන ද ඔහුගේ උපදෙස් පිළිගෙන දෙව්මිණිගේ හිස් මුදුනට පිම්බේය. ඒ අතරේ පෙනහළු පුරවා ඇගේ කෙස් කළඹේ සුවඳ ද විඳගන්නා අතරේ ඇගේ කම්මුලෙහි තැවරී තිබූ ඉඳුල් ද පිසදැමුවේය. ඔහුගේ හදවත ප්‍රීතියෙන් ද, ප්‍රේමයෙන් ද ඔද වැඩී ගියේය. ඔහුට නැඹුරු වී ඇගේ මුහුණ සිපගන්නටම සිතුණද ඔහු වැර වෑයමෙන් තමා පාලනය කරගෙන දෙව්මිණි වෙතින් ඈත් වූවේය. දරුවාගේ සහයෙන් දෙව්මිණි කැස්ස අඩු කරගත්තාය. සේන පිඟන් දෙකම දෑතින් ගෙන යළි සිය අසුන මතින් හිඳගත්තේය. වතුර කෝප්පයෙන් උගුරු දෙකක් බී නැවතත් දෙතුන් වරක් කැස්ස දෙව්මිණි ඉන් අනතුරුව උගුර පාදා සන්සුන් වූවාය. ඇය විහඟ වෙත සිනහවක් පෑවාය. “ඔයාගෙද මේ කෝප්පේ?” ඇය විමසුවාය. 

විහඟ අත දිගු කොට සේන ව පෙන්වුවේය.

“පෙරහැර පොළෙන් එයා මට ගෙනත් දීපු තෑග්ගක්නේ ඔය,” රතු වී තිබූ දෙව්මිණිගේ මුහුණ වෙතින් සිය දෙනෙත් ඉවතට ඇද ගන්නට වෑයම් කරමින්  සේන ඇගේ පිඟාන ඈ වෙත දිගු කර සිටියේය.

“මට ඇති සේන අයියේ,” දෙව්මිණි තවත් වතුර උගුරු කිහිපයක් බී එයින්ම අත ද සෝදාගෙන සිය බෑගයද අතට ගෙන නැගිට සිටියාය. “පරක්කු වුණා…” අනතුරුව ඈ මවාගත් සිනහවක් පෑවාය. “කෑම රසයි. ලීලාට කියන්නකෝ මං මතක් කළා කියලා!” ඔහුගේ දෑස් මගහරිමින් එලෙස පවසා ඈ විහඟ අබියස නැඹුරු වන අතරේ සේනගේ ඇහි දෙබැම ඉහළ ගොස් මුවද විවර වී තිබුණි. එසේනම් ඈ දරුවන්ගේ මවත්, ඔහුගේ ඇඹේනියත් ලෙසින් සිතා සිටින්නේ ලීලා පිළිබඳවය. එකල පටන් ඈගේ සිතෙහි ලීලා පිළිබඳ වූ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි සිහිපත් වී මුව ඇඳෙන්නට ආ සිනහව සේන අපහසුවෙන් සඟවාගත්තේය.

“මං කියන්නම්…” ඔහු වගක් නොමැතිව එසේ පවසමින් පිඟන් අසුන් මතින් තබා නැගිට සිටියේ ඇයට සමු දෙන්නටය. දරුවාගේ කුඩා දෙකොපුලටම හාදු දී ඔහුගෙන්ද හාදු ලබාගෙන ඈ පිටව යන දෙස සේන බලා සිටියේ ඊර්ෂ්‍යාවෙනි. ඈ අන් සතු එකියක බව ඔහුගේ හදවත විසින් ඔහුට නැවතත් අමතක කරවා තිබිණි. ඈගේ හැඩැති ගමන් ලතාව දෙස නෙතු යොමාගෙන එම සිතින් ඔහු සිතමින් සිටියේ තමාටද එවන් හාද්දක් ලබා ගන්නට, ලබා දෙන්නට ඉඩක් ඇත්තේම නැත්දැයි යන්න පිළිබඳ ව ය.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනා

Similar Posts