කින්නර අරණ – 18 කොටස

author
0 minutes, 18 seconds Read

කල් ඇතිව රාත්‍රී ආහාරය ගත් දෙව්මිණි දිගැති සුදු ඇඳුමකින් සැරසුණේ රුවන්වැලි සෑය වන්දනා කරන්නට යන්නටය. ඉදිරි දිනෙකදී නිදහසේ අටමස්ථානයම වඳින්නට යන්නට පෙරදී සිතා සිටියද තවත් දෙදිනක් ගෙවෙන්නට පෙර පර්යේෂණයේ කටයුතු හැකි විගස නිමා කොටගෙන ආපසු යා යුතුයැයි ඈ සිතට ගත්තේ එදින පස්වරුවේ සේනගේ නිවසින් පිටව එන අතරේම ය. තවත් ඈ එහි රැඳී හිඳීමෙන් ඵලක් නැත, එහි අරුතක් ද නැත. ඈ සිය හදවත ගැඹුරින්ම ස්පර්ශ කළ එම මිනිසා දැකගත්තාය. ඉන් ඔබ්බට යළිත් එම පැරණි හිතවත්කම් අලුත් කරගන්නට ඔහුගේ පසින් ඉඩක් නැත. ඇගේ පසින් ඉඩක් ඇත්දැයි, නැත්දැයි ඈ සිතන්නට ගියේ නැත. කෙසේ හෝ තමා ආපසු ඉක්මනින් එම ඉසව්වෙන් නික්ම යා යුතු බව පමණක් ඈ නිශ්චය කරගත්තාය. වුවමනානම් දරුවන් සඳහා කුමක් හෝ පසුව තැපැල් කර එවිය හැකිය. ඈ හමුවීමට අමුත්තෙකු පැමිණ සිටින බවට පිළිගැනීමේ කවුන්ටරයෙන් පණිවුඩයක් ලැබෙනා විට දෙව්මිණි සිටියේ මේ සියල්ල ගැන යළි යළිත් කල්පනා කරමින් සිය ජංගම දුරකතන ආරෝපකය විදුලි පේනුවට සම්බන්ධ කරමිනි. අමුත්තා ගැන අසා පුදුමයට පත් ඇය තත්පර කිහිපයක් වැය කරමින් ඒ කවුරුන් විය හැකිදැයි අනුමාන කරන්නට උත්සාහ කළාය. ඇයට පළමුව සිතුණේ ඈ ලංකාවට පැමිණි බව අසා නැන්දාත් මාමාත් මාතලේ සිට පැමිණ ඇත්දැයි කියා ය. අනතුරුව ඈ පුදුම කරන්නට විනෝද් එහි පැමිණ ඇත්දැයි සැකයක්ද ඇගේ සිතට ඇතුල් විය. නමුත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සේ ම වරලත් ගෘහ නිර්මාණශිල්පියෙකු ලෙසද කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහු හට සාමාන්‍යයෙන් එවන් දෑ සඳහා වේලාවක් නොමැති බවද ඈ දැන සිටියාය. කෙසේ වුවද ඒ කවුරුන්දැයි අවසන ඈ විමසූ පැනයට පිළිතුරු ලෙසින් ලැබුණේ ඈ ඒ එම මොහොතේදී කිසි සේත් අසන්නට බලාපොරොත්තු නොවූ නමකි. දෙව්මිණි පිළිගැනීම් පරිශ්‍රය වෙත දිව ගියා නොව ඉගිල්ලුනාය. 

එහි අසුනකට බර දී, දෑතේ වූ දිගටි හැඩයේ පාර්සලය දෙස නෙත් යොමාගෙන සිටි සේන, දෙව්මිණි ළං වත්ම හිස ඔසවා බැලුවේය. මෙවර ඔහුගේ මුවෙහි ඇඳුනේ කිසිවක් අමතක වී පෑ සිනහවක් නොව මුළු හිතින්ම පෑ සිනහවකි. ඔහු ඈ හමු වීම පිණිස මෙම ගමන පැමිණියේ ද අසිහියෙන් නොව මුළු හිතින් පියවි සිහියෙන්ම ය. ඈ හමුවේදී තමා සිය බොළඳ සිතුවිලි ද, ප්‍රේමය හා විරහව මුසුව දෝරෙ ගලනා හැඟීම් ද පාලනය කරගත හැකි තරමට මුහුකුරා ගිය සිතක් ඇත්තෙකු බවට තමාටම හගිස්සවාගන්නට ඔහුට වුවමනා වී තිබිණි. දහවල පැරදුණු අභියෝගය ජය ගන්නට ඔහුට වුවමනා වී තිබිණි. නමුත් අසුනින් නැගී සිටි ඔහු කිසි සේත් අපේක්ෂා නොකළ විලසින් ඔහුට එම අභියෝග අධිෂ්ඨාන සියල්ල අමතක කරවන තරම් ප්‍රභලත්වයකින් දෙව්මිණි එකවරම ඔහු වැළඳගත්තාය. 

අරලිය යාය මැද ලත් පෙර වැළඳගැන්ම තරම් දිගු වේලාවක් නොපැවතුණ ද එම වතාවේ තරම් ම කැළඹීමක් සේන තුළ ඇති කරලීමට එම වැළඳගැන්ම සමත් විය. තුෂ්නිම්භූතව ගල්ගැසී සිටි ඔහු මුදාහළ දෙව්මිණි සැහැල්ලු ලීලාවෙන් සිනහවක් පෑවාය. “දන්න අඳුනන කෙනෙක් කාලෙකින් මුණගැහුණාම එහේ අය පිළිගන්නේ මෙහෙමයි ඉතින්…” ඇය කීවාය.

“කාලෙකින් වෙන්නෙ කොහොමද, මේ අද දවාලෙත් මුණගැහුණේ!” සේන මිමිණුවේය.

“ඒකනේ, එවෙලෙ කරන්න බැරිවෙච්ච එක තමයි මේ කළේ!”

සේන සිය සුරතේ වූ පාර්සලය ඈ වෙත පෑවේය. “මාත් මේ එවෙලෙ දෙන්න බැරිවෙච්ච එකක් දීලා යන්න තමයි ආවේ…” 

“මොකද්ද මේ?” ඇය එය අතට ගනිමින් විමසුවාය.

“පස්සේ බලන්න. කොහෙ හරි යන්නද මේ?”

“රුවන්වැලි සෑයට යන්න ලෑස්ති වෙවී හිටියේ සේන අයියෙ මං.”

“මෙහෙ ඉඳන් ටිකක් දුරයිනේ. අනික දැන් රෑ වේගෙනත් එනවා.”

“රෑට තමයි මං එහෙට යන්න ආස. මෙහෙන් ටැක්සියක් ගෙන්නවගෙන යනවා. අද උදේ අභයගිරියට යන්නත් මට මෙහෙන් එකක් කතා කරලා දුන්නා.”

“හ්ම්,” සේන හූමිටි තැබුවේය. රුවන්වැලි සෑය හා බැඳි ඔහුගේත් ඇයගේත් පොරොන්දුව ඇයට අමතකව ඇත්දැයි ඔහු කල්පනා කළේය. ඇගේ අනෙකුත් පොරොන්දු සේ ම එය ද අමතකව ගොස් ඇතුවාට සැක නැත. “මං යන්නම් එහෙමනං,” ඔහු පිටව යන්නට සූදානම් වූවේය.

“අයියා මුකුත් බිව්වෙත් නැහැනේ. කැෆේ එකට ගිහින් කෝපි එකක්වත් බොමුද?”

ඔහු හිස දෙපසට සැලුවේය. “එපා, කමක් නෑ. ගමන යන්නත් තව පරක්කු වෙයිනේ. මං යන්නං.”

“මං එහෙ ඇවිල්ලා හොඳට කාලා බීලා ආවා. අයියාව නිකම්ම යවන්නේ කොහොමද?”

සේන එයට විරෝධය පාන්නට සූදානම් වූ මොහොතේදී පිළිගැනීමේ නිලධාරිනිය දෙව්මිණි අමතා කුලී රියක් සොයාගන්නට නොමැති බව දන්වා සිටියාය. ඇගේ යෝජනාව වූයේ ගමන පසුදිනට කල් දමන්නටය. එවිට කල් වේලා ඇතිව කුලී රියක් වෙන් කරගත හැකි වනු ඇත. නමුත් දෙව්මිණිට ගමන කල් දමන්නට කැමැත්තක් තිබුණේ නැත. මාවත අද්දරට ගොස් ගමන් ගනිමින් තිබෙනා ත්‍රීරෝද රථයක් නවතාගන්නට ඇය කල්පනා කළාය. නමුත් එවන් හෝරාවක, නුපුරුදු පළාතක, නොහඳුනනා රියදුරෙකු සමග ඈ තනිවම පිටත් කර හරින්නට පිළිගැනීමේ නිලධාරිනිය කැමති වූයේ නැත. 

මොහොතක් කල්පනාභරිතව සිටි දෙව්මිණි සේන දෙස බැලුවාය. “සේන අයියාට වෙලාවක් තියෙයිද මාත් එක්ක එන්න?”

එය ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ ඇරයුමක් විය. එසේම ඈ සමග රුවන්වැලි සෑයට යන්නට ඔහු තුළ කැමැත්තක් තිබුණේද නැත. දෙදෙනා එක්ව මහා සෑයට සුදු නෙළුම් පුදන්නට භාර වූයේ මෙලෙස දුරස්තර ආගන්තුකයින් දෙදෙනෙකු ලෙස නොව, යළි වෙන් නොවන්නට එකිනෙකා හට උරුම වූ ආදරවන්තයින් ලෙස ය. දැන් ඈ අන් සන්තකය. එබැවින් එම ප්‍රාර්ථනාවලින් ඵලක් නැත. නමුත් ඔහුට ඇගේ ඉල්ලීම බැහැර කරන්නටද හැකියාවක් නොවීය. ඈ ඉල්ලා සිටියේ උපකාරයකි. “මගේ ටැක්සියනම් රෝද දෙකේ එකක් හැබැයි,” ඔහු පිළිතුරු දුන්නේය. “එළියේ පොඩි තේ කඩයක් අයිනේ පාර්ක් කරලා ආවේ.”

දෙව්මිණි මුව විහිදා සිනහවක් පෑවේ එම පිළිතුරෙහි වූ විසුළු ස්වරූපයට ය.

“ත්‍රීවීල් එකක නග්ගලා මං එන්නම් පිටිපස්සෙන්,” ඔහු තව දුරටත් පවසා සිටියේය.

එයට එකඟ වූ දෙව්මිණි සිය කාමරයට දිව ගොස් ඔහුගෙන් ලද තෑගි පාර්සලය ඇඳ පසෙක කුඩා මේසය මතින් තබා, හිස පීරාගෙන සුදු කොණ්ඩා පටියක් පැළැඳගෙන, දිගු පටියක් සහිත කුඩා අත් බෑගය ගෙන කරෙහි ලාගත්තාය. සුළු වේලාවකට පෙර විදුලි පේනුවට සම්බන්ධ කළ ජංගම දුරකතනය ඒ වන තුරු ද ප්‍රමාණවත් පරිදි ආරෝපණය වී නොතිබුණෙන් ඇය එය එලෙසම තබා කාමරයෙන් පිට වූවාය.

තානායම පිහිටි අතුරු මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා ඇවිද ආවේ නිහඬව ය. පාපැදිය තල්ලු කරමින් ආ සේන ඔහුගේම සිතිවිලිවල ඇලී ගැලී සිටිනා අතරේ දෙව්මිණිට ද තනිවම කල්පනා කරන්නට බොහෝ දෑ තිබිණි. සේන ඈ සොයා පැමිණි මෙම ගමනේ අරුත කුමක්ද? දහවල නුරුස්නා ස්වභාවයක් පළ කළ ඔහු මෙසේ පැමිණියේ සමාව ඉල්ලීමක් වශයෙන්ද? ලීලා ඔහුගේ මෙම ගමන් පිළිබඳ දන්නවා ඇත්ද? දහවල තමා ආ බව ඔහු ඇයට කියන්නට ඇත්ද? 

මගීන් නොමැති හිස් ත්‍රීරෝද රථ දෙකක් ඔවුනට මග හැරී ගියේ දෙදෙනාගේම කල්පනාවන් එතරම්ම ගැඹුරට විහිද ගොස් තිබූ බැවිනි. එම හේතුවෙන් හෝ දෙදෙනාට එක්ව ගමන් ගත හැකි කාලය තවත් සුළු මොහොතකින් හෝ දිගු වීම පිළිබඳ දෙදෙනාම සතුටු වූයේ අනෙකාට රහසිනි. ගැඹුරු සිතුවිලි තුළ කිමිදෙමින් සිටියද ඔවුන’තර වූ නිහඬතාවයේ වූයේ සුවදායී සංහිඳියාවකි.

“මෙතනින් එහාටනම් පල්ලම,” අවසන එම නිහඬතාවය බිඳිමින් සේන හඬ අවදි කළේ තුන්වැනි ත්‍රීරෝද රථය සිතාමතාම මගහැරීමෙන් පසුවය. “මේ ටිකත් නිකං බොරුවට බයිසිකලේ තල්ලු කරං ගාටන්නෙ නැතුව හන්දියට වෙනකල් යමුද නැගලා?”

“අනේ කමක් නෑ අනේ. කකුලුත් රිදෙනවා මගේ දැන් ඇවිදලා ඇවිදලා.” දැනුණු අධික වෙහෙස නිසාම ඇයට තමා පැමිණි ගමන පිළිබඳ පසුතැවීමක් ද සිතට එක් වී තිබිණි.

“යමු එහෙනං. හන්දියට ගියාම ඒ පැත්තට බස් එකක් හරි අල්ලගන්න පුළුවන්,” සේන පාපැදියට ගොඩ වී ඇයට හිඳගන්නට ඉඩ දී බලා සිටියේය.

දෙව්මිණි සිටියේ කාලාන්තරයකට පෙර සිතට නැගි ආශාවක් ඉටු කරගැන්මට ඉඩ ලැබීමේ ප්‍රීතියෙනි. සිරිමලී ගුණදාසගේ පාපැදියේ මෙලෙසින් යනු දැක තිබූ ඈ දිනෙක සේන හා තමාටද එවන් ගමනක යන්නට ඇත්නම් යැයි සිතූ වාර අනන්තය. මේ සැබෑ වන්නට යන්නේ එම සිහිනයයි. දෙව්මිණි සීරුවට පාපැදියේ පොල්ල මත හිඳගත්තාය. සේන පෙනහළු පුරවා ගැඹුරු සුසුමක් ගන්නා හඬ ඇසුණි. පාපැදිය ගමන් ඇරඹුනි. ගමන අතරතුරේදී සමබරතාවය රැකගෙන හිඳීම ඈ සිතූ තරම් පහසු කටයුත්තක් වූයේ නැත. මංසන්ධියට ළඟා වනතුරුම සේන පාපැදිය පාලනය කරගත්තේ අසීරුවෙනි. වැටෙන්නට යන වරක් පාසා ඔහු පාදය බිම තබා සමබරතාවය රැකගත්තේ හිනැහෙමිනි. තම ගමනට සහය වන්නට ගොස් ඔහු පත් අපහසුතාවය පිළිබඳ පළමුව නොසන්සුන් වූ දෙව්මිණිද, ඔහුගේ සැහැල්ලු ප්‍රතිචාරය හමුවේ ආතතිය දුරු කරගෙන සිනහසෙන්නට වූවාය. අවසන ගමනේ රිද්මයට ඈ හුරු වද්දී පාපැදිය මංසන්ධිය පසු කොට සෑහෙන දුරක් ඇදී ගොස් තිබිණි. කිසිවෙකුත් එය නවත්වන්නට යැයි කීවේද නැත. කිසිවෙකුත් නවත්වන්නටදැයි විමසුවේද නැත. අවසානයේදී එය නතර වූයේ රුවන්වැලි සෑ රථ ගාලේ ය. පාපැදියෙන් බට දෙදෙනාගේ මුහුණුවල වූයේ කලෙකින් නොඇඳුනු සැහැල්ලු සිනහවකි.

“ආයෙ නතර වෙවී වාහන හොයන්න ගියානං තව පරක්කු වෙනවා,” සේන තම සිතටම හගිස්සවාගන්නට කීවේය.

“ඔව්, ඒක ඇත්ත. සේන අයියාට පින්!” ඔහු පාපැදිය අගුලු ලන තෙක් ඈ ඔබ මොබ බැලුවේ මල් වෙළෙන්දන් සිටිනා අත සොයාගැන්මටය.

“යමු මේ පැත්තෙන්,” සේන පෙරමුණ ගත්තේය.

දෙව්මිණිට සිතුණේ ඔහු හා එක්ව රුවන්වැලි සෑ වඳින්නට කළ ප්‍රාර්ථනයද එදින ඉටු වනු ඇති බව ය. නමුත් එය එසේ නොවනා බව ඇයට වැටහුණේ ඔහු සුන්දරව පිපි සුදු නෙළුම් මල් පෙනි පෙනී රත් නෙළුම් හා ඕළු මල් මිල දී ගෙන ඈ අතට ලබා දුන් මොහොතේ ය. ඇය සුදු නෙළුම් පිළිබඳ කිසිත් විමසුවේ නැත. ඔහු කිසිත් පැවසුවේ ද නැත. අවසන, රුවන්වැලි සෑ පිවිසුම අසල නතර වූ ඔහු ඈ හා සෑ බිමට පිවිසුණේ ද නැත. “මං මෙතන ඉන්නං. ගිහින් වැඳලා කරලා එන්න,” ඔහු කීවේය.

“මං එන්න වෙලා යයි. සේන අයියාට රෑ වෙනවානම් යන්න…” සිත රිදවාගෙන සිටි දෙව්මිණි කීවාය.

“වැඳලා එන්නකෝ. වාහනයක් හොයලා දීලාම මං යන්නං,” ඇගේ එම රිදවුම වැඩි කරලමින් ඔහු පිළිතුරු දුන්නේය.

එලෙස පවසා ඈ පිටත් කර යැවූවද ඈ නෙත් මානයෙන් ගිලිහී නොයා තබාගන්නට සේන වග බලාගත්තේය. ඇයට නොපෙනෙන තරම් දුර පරතරයක් තබාගෙන ඈ පසුපස ගෑටූ සේන අවසන ඈ තාප්පයට පිට දී හිඳගත් මොහොතේ දොළොස් මහා පහන් කුටියකට මුවා වී හිඳගත්තේය. දෙනෝ දහසක් දෙනා සැදැහැ සිතින් මහා සෑ රදුන් නමදින පූජා භූමියෙහි එම කර්තව්‍යය පසෙක ලා අනිමිස ලෝචනයෙන් ගැහැනියක පුදන මිනිසෙකු එදින එහි සිටි ඇතැමෙකුගේ නෙත ගැටෙන්නටද ඇත. සෑ බිමට පිවිස දෙහෝරාවක් ඉක්ම යන්නට ආසන්න වුවද ඇයට නැගිට සිටින්නට සිතක් ඇති බවක් පෙනෙන්නට නොවූයෙන් අවසන සේන නැගිට ඈ වෙත පා එසවූයේය. “දැන් ගියොත් හොඳයි නේද? නවයත් පහු වුණා.” 

හිස ඔසවා ඔහු දෙස බලා බඳ සිනහවක් පෑ දෙව්මිණි නිහඬව ඔහුට තමා අසලින් හිඳගන්නට සන් කළාය.

“වාඩි වෙවී ඉන්න බෑ, දැන් යමු!”

“තව චුට්ටක් වෙලා ඉඳලා යමුකෝ. අර හඳ අතනට ආවේ දැන් ටිකකට කළින්,” දෙව්මිණි කොත් වහන්සේට මඳක් ඔබ්බෙන් අහසේ බැබැළෙන හඳ පළුව වෙත අත දිගු කර කියා සිටියාය. “බලන්න ලස්සන!”

සුසුමක් හෙලූ සේන ඈ පෙන්වා සිටි ඉඩට ඔබ්බෙන් අඩි දෙක තුනක් ඈතින් හිඳගත්තේය. “විනාඩි පහයි හොඳද?”

දූපතේදී වර්ෂාව තුරල් වීමෙන් අනතුරුව ඔහු යන්නට ඉක්මන් කරද්දී දෙව්මිණිගේ ඇවිටිල්ලෙන් මොහොතක් නතර වී වස්දඬු වාදනයකට කාලය ලබාගත් සැටි ද, ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් දාමය ද සේනගේ සිතෙහි එකක් පසුපස එකක් මැවී පෙනෙන්නට විය. එදින ඔහු ඇගේ එම ඉල්ලීමට ඉඩක් නොතබා ප්‍රමාද නොවී යළි ගොඩබිම කරා ගියානම් කුමක් සිදුවිය හැකිව තිබිණිදැයි ඔහු කල්පනා කළේය. එසේ වූවානම් ඔහුගේ මතකයේ මහා බරක් ලෙසින් රැඳි පවතින එම ආලිංගන, හාදු, පොරොන්දු කිසිවක් නොමැති වනු ඇත. එසේ වූවානම් ඈ කෙරෙහි වූ සිය ඒක පාර්ශ්වීය ප්‍රේමයෙන් පමණක් සැනැහී ඔහුට මෙයට වඩා සන්සුන් වූ, විරහ වේදනාවෙන් තොර වූ ජීවිතයක් ගත කළ හැකිව තිබිණි. නමුදු, පසුව විරහවෙන් පීඩිත වුවද, එම අමරණීය නිමේෂයන් තුළ ගැබ්ව තිබූ මිහිරියාව කොතරම්ද? ජීවිතයේ ඔහු ගත කළ එම සොඳුරුතම දිනයේ වටිනාකම කොතරම්ද? ජීවිතයෙන් දුක්ඛදායී මතකයන් ඉවත් කරලන්නටනම්, ඒ හා බැඳි මිහිරි මතකයන්ද ඉවත් කරලන්නට සිදු වනු ඇත. සේන කොත් වහන්සේ දෙස නෙතු යොමාගෙන වේදනාබර දිගු සුසුමක් හෙලුවේය.

ඒ ඇසී දෙව්මිණි හිස හරවා ඔහු දෙස බැලුවාය. “ගෙදර අය බලාගෙන ඇති නේද? මං අයියාට කිව්වනේ රෑ නොවී යන්න කියලා…”

සේන ද හිස හරවා ඈ දෙස බැලුවේය. ඈ වෙතින් පළ වූයේ නිවුණු සැනැහුණු බවකි. මෙම භූමියෙහි ඈ එම සැනසීම ලබනා බව පැවසූවේ සැබෑවක්ම විය යුතුය. ඔහුට නැවතත් ඈ දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳින්නට සිත් විය. නමුත් ඔහු සිය සිත පාලනය කරගත්තේය. “දැන් යමු. තව රෑ වුණොත් වාහනයක් හොයාගන්න වෙන්නෙත් නෑ.”

එවර දෙව්මිණි ඔහුට කීකරුව නැගිට සිටියෙන් සේන ද නැගිටගත්තේය. ඔහු අනුමාන කළ පරිද්දෙන් ද, යටි සිතින් බලාපොරොත්තු වූ පරිද්දෙන් ද ත්‍රීරෝද රථයක් සොයාගැන්මට හැකි වූයේ නැත. “බයිසිකලේ යමු,” ඔහු කීවේය. “හැබැයි ආපු පාරෙන් නෙවෙයි, වටේ පාරෙන් යන්න වෙන්නේ, නැත්තං සෑහෙන දුර කන්ද පාගන්න වෙනවා.”

“හ්ම්,” ඇය එකඟ වී හිස පිටුපසින් කැටි කොට තිබූ කෙස්වැටිය ලිහා ඉක්මනින් ගොතාගන්නට වූවාය. “නැත්තං අයියාට කරදරයි, කොණ්ඩේ මූණේ වදිනවා නේද?”

එය තමා ඉත සිතින්ම විඳිනා මිහිරි අවහිරයක් බව ඔහු පවසන්නට ගියේ නැත. ඒ වෙනුවට පාපැදියට ගොඩ වී, ඇගේ ඉක්මන් අතැඟිලි අතරින් ගිලිහී කොණ්ඩ කරලින් තැනින් තැන පිට පනිනා කෙස් රොද එකිනෙකක් දෙස බලා හිඳින්නට විය.

“යමු!”

ඒ වනවිට පුරුදුකාරියකව සිටි ඈ හා එවර ගමන අපහසු වූයේ නැත. අපහසුව වූයේ ඇගේ උරහිසෙන් ඉදිරියට වැටෙනා කොණ්ඩ කරළ හේතුවෙන් නිරාවරණය වන ගෙල පිටුපස සිපගන්නට දැනෙනා ඕනෑකම යටපත් කරගැනීමය. 

“අර මොකද අර පිට්ටනියේ ලොකු සෙනගක්?” 

දෙව්මිණි පෙන්වූ දෙස සේන පාපැදිය ද නවතා වුවමනාවෙන් බැලුවේ අවධානය අන් අතක යොමු කරගන්නට ඔහු දැඩි වුවමනාවකින් සිටි බැවිනි. “හෙට පාන්දරට ලොකු පූජාවක්ද කොහෙද. රුවන්වැලි සෑයට හරි ශ්‍රී මහා බෝධියට හරි. ඔතන තමයි ඒ වාගේ ලොකු පූජාවලට කට්ටිය ලෑස්ති වෙන්නේ.” ඔහු විස්තර කළේය.

එවන් පින්කමක් දැකගන්නට ඇයට ආශා සිතුණි. “පාන්දර කීයට විතර වගේද?”

“ම්ම්, හතරට හතරහමාරට විතර වගේ පෙරහැර පටන්ගන්නවා සාමාන්‍යයෙන්.”

“එහෙමද…” දෙව්මිණි දුර්මුඛ හඬින් කීවාය. එය ඇයට පැමිණිය හැකි වේලාවක් නොවේ.

“ආසද පූජාවට ඉන්න?” සේන ඇගේ සිත කියවූ කලක මෙන් විමසුවේය.

“ඒකනේ… ඒත් කොහොම එන්නද ඒ වෙලාවට…”

“උදේට එන්න බැරි වුණාට කමක් නෑ. දැන් ඕනෙනම් ඉඳලා ඩිංගක් උදව් වෙලා යන්න පුළුවන්.”

දෙව්මිණි දැල්වෙන දෑස් ඔහු වෙත හැරවූවාය. “එහෙම පුළුවන්ද?”

සිය මුහුණ අසලින්ම ඇති ඇගේ මුහුණ දෝතට මැදි කරගන්නට දැනෙනා ඕනෑකම වළකමින් ඔහු පාපැදියේ හැඬලයෙන් එක් අතක් මුදා මඳක් පසුපසට වූවේය. “අපොයි පුළුවන්. පින්කමකට උදව් වෙන්න ආවාට කවුරුවත් මුකුත් කියන්නෙ නෑ…”

එක පෙළට ඉදි කර තිබූ සුදු පැහැ උඩු වියනින් යුත් මඩු තුළ කරන්නට ඕනෑ තරම් වැඩ රාජකාරි තිබිණි. රුවන්වැලි මහා සෑ රජුන් වෙනුවෙන් පිළියෙල වන මහා කිරිපිඬු පූජාවේ සංවිධායකත්වය කොළඹ ප්‍රදේශයෙන් ආ පිරිසකගෙනි. සෑ රදුන් වෙනුවෙන් පූජා කරන්නට සූදානම් කොට තිබූ කරඬු වහන්සේ ප්‍රමුඛ පිරිකර අත ගසා වන්දනා කොට පැමිණි සේන සහ දෙව්මිණි ද පිරිස හා එක් වූහ. විටෙක එකම මඩුවක් තුළ ද, තවත් විටෙක වෙන් වෙන්වද දෙදෙනා පූර්ණ සැදැහැ සිතින් සිය ශ්‍රමය පින්කම වෙනුවෙන් ලබා දුන්හ. එම සද්කාර්යයට දායක වන්නන් වෙනුවෙන් පිළිගැන්වෙන සංග්‍රහ භුක්ති විඳින්නට ඉඳහිට මඳ ඉසිඹුවක් ලබාගත්හ. 

“අයියා මෙහෙම රෑ වෙනකොට ලීලා මුකුත් කියන්නෙ නැද්ද?” දෙව්මිණි එසේ විමසුවේ මැදියම් රැය පසු වී සුළු වේලාවකින් ලද විවේකයක් අතරේදී ය.

“එයා මොනවා කියන්නද?” සේන එසේ පවසා අත වූ ඉඟුරු තේ කෝප්පයෙන් උගුරක් සුරුස් ගා ඉහළට ඇද්දේය. 

දෙව්මිණි ඔහු දෙස හෙලුවේ නොපහන් බැල්මකි. “නිතර මෙහෙම රෑ ගමන් යනවාද එතකොට?”

“හිතුණොත් යනවා!”

‘මගේ වුණානම් දනියි මං යවන හැටි!’ දෙව්මිණි එලෙස සිතුවා මිස මුවින් පිට කළේ නැත. ඒ සඳහා ඔහුගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්දැයි ඇය සිතන්නට බිය වූවාය. එබැවින් ඇය වෙනත් පැනයක් නැගුවාය. “දවල් මං ඇවිත් ගිය බව එයා දන්නවාද?”

ඔහු හිස දෙපසට සැලුවේය. “නෑ…”

“මං හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?”

එයට සේනගෙන් පිළිතුරක් ලැබුණේ තරමක් වේලා කට හදාගන්නට කාලය ගැනීමෙන් පසුවය. “වෙච්ච ප්‍රශ්න එක්ක බලද්දි තව වෙන මොනවා වෙන්නද…”

ඔහුගේ එම පිළිතුරට ඈ සතුවද එවන් ආපිට කැපෙන ප්‍රතිචාර ඕනෑතරම් වුවද, එමගින් ඔවුන් අතර ඇතිව තිබෙන මෙම සාමකාමී හිතවත්කම බිඳගන්නට ඇයට වුවමනා වූයේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා හා හැසිරෙන්නේ අත පිච්චෙනු ඇතැයි බියෙන් ඉතා ප්‍රවේසමෙන් උණු බඳුනක් අල්ලන්නෙකු මෙනි, අතෙහි කටු ඇනෙනු ඇතැයි බියෙන් ඉතා සීරුවෙන් කටු පඳුරක් උගුල්ලන්නෙකු මෙනි. මල් ඉහිරුණු බිමෙක ඒ මල් පෙති පොඩි වී යනු ඇතැයි බියෙන් සීරුවට අඩි තබා යන්නෙකු මෙනි. එම සීමාව එලෙසින්ම පවත්වාගත යුතු බව ඈ කල්පනා කළාය.

“අපි කීයට විතරද යන්නේ?” ඇය කතාව වෙනතක යොමු කරවමින් විමසුවාය. ඒ සමගම ඇගේ මුවින් ඈනුමක්ද පිට විය.

“නිදි මතද?”

“නෑ නෑ, මට තව වැඩ කරත හැකි. අපිට උදේ පූජාව වෙනකල්ම ඉන්න බැරිද?”

“ඊයෙත් ඇවිදලා මහන්සි වෙලා එච්චර වෙලා ඉන්න ඕනෙ නෑ. අපි තව ටිකකින් යමු.”

අළුයම් එක පමණ වනවිට දෙව්මිණි නොනවත්වා ඈනුම් හරින්නට වූයෙන් සේන ඈ සමග පිරිසෙන් සමුගෙන පාපැදිය වෙත ළඟා වූවේය. “ඔය මොනවද?” ඔහු අත වූ බරැති මල්ලක් දැක ඇය විමසුවාය.

“කැටයම් කපන්න ලෑලි ටිකක්. මෙහෙ අයියා කෙනෙක් ගෙන්නන්නේ මේවා. මං ඉල්ලලා තිබ්බෙ සුමාන දෙක තුනකට කළින්. දැන් මේ මුණගැහිච්ච වෙලාවේ ගෙනත් දුන්නා. මේ ළඟ ගෙවල් එයාගෙ,” ඔහු එය පාපැදියේ පසුපස තට්ටුව මතින් තබා පටියෙන් ගැටගසනා අතරේ කීවේය.

“හ්ම්…” දෙව්මිණි ඈනුම හූමිටියකින් නිමා කළාය.

සේන සිනහවක් පෑවේය. “පයින්ම යමුද? නැත්තං බයිසිකලේ උඩම නින්ද යයිද දන්නෙ නෑ…”

“පයින් යන්න බෑ අනේ…”

“නිදාගන්න ඔට්ටු නෑ හැබැයි! බයිසිකලේ පෙරළිලා තමයි නතර වෙන්නේ.”

“හ්ම්…”

ගමන අතරේදී ඈ අවදියෙන් තබාගන්නට සේනට බොහෝ දෑ දොඩවන්නට සිදු විය. යටගිය දවස් ගැනත්, අනාගතය ගැනත්, වර්තමානයේ එකිනෙකාගේ ජීවිත ගැනත් හැරුණුකොට ඈ හා දොඩන්නට තමා සතුව මෙතරම් කතාන්දර ගොන්නක් ඇතැයි ඔහුද දැන සිටියේ නැත. රුවන්වැලි සෑය බලා යන ගමනේදී තමා තුන්වැනි ත්‍රිරෝද රථය මගහැරියේ සිතාමතා බව සේන කල්යල් බලා කියා දැම්මේ ඒ අතරේදී ය. එයට සිනහවක් පෑ දෙව්මිණි, තුන්වැනි ත්‍රිරෝද රථය පමණක් නොව තමා දෙවැන්නද මගහැරියේ සිතාමතා බව පැවසුවේ නිදි කිරා වැටෙනා අතරේය. සේන ඇගේ හිස ගෙන සිය පපුවට හේත්තු කරගත්තේ කෙස් කළඹේ සුවඳ ඇයට දැනෙන්නටම විඳිමිනි. “මාව අල්ලගෙන නිදාගන්න…” ඔහු කීවේය. නමුත් ඇයට නිදන්නට ඉඩක් ලබා නොදෙමින් ඇගේ දෑසින් කඳුළු ගලා හැලෙමින් තිබිණි. එම උණුසුම් පපුතුරේ හිස හොවාගෙන ඇය නිහඬව ඉකිබින්දේ ඔහුට නොදැනෙන්නටය. “මේ ලෑලි ටික අපේ දිහායෙන් පොඩ්ඩක් දාගෙන යමුද?” දිගු වේලාවකට පසුව සේන විමසුවේ ඔහුගේ නිවස ආසන්න වද්දීය. “තානායමට යන පාරෙමනේ. නිකං මේ බරත් දාගෙන මේ නිදිමතේ පැදගන්න අමාරුයි.” 

“අනේ ලීලාගෙන් බැණුම් අහන්න වෙයි. එයාගේ හිත රිදෙයි අයියේ අපි දෙන්නාව මෙහෙම දැක්කාම. ඔය ටික ඔය අයිනෙන් දාලා යමු. මේ රෑ කවුරුවත් ගන්න එකක් නෑ.” දෙව්මිණි අතරින් පතර ඈනුම්ද යවමින් කීවාය. 

එයට සේන පිළිතුරු දුන්නේ පාපැදිය ‘අරණ’ අද්දර අරලිය තුර පාමුල නතර කළ පසු ය. “මෙහෙ ඇති ලීලෙක් නෑ…..” නමුත් දෙව්මිණිට එම පිළිතුර ඇසුණේ නැත. අවසන ඇය නිදි දෙව්දුවට පැරදී සිටියාය. සේන පාපැදියේ හැඬලය අතහැර දෑතින් ඈ වැළඳගත්තේය. “ඇහුණද…?” ඔහු හිස පහත් කොට ඇගේ සවනට මිමිණුවේය. “කෝ නැගිටින්න ඉතින්…..”

කොපුල මත ඇනෙන්නට වූ රැවුලෙන් දැනුණු කිතියෙන් දෙව්මිණි අවදි වූවාය. ඈ අවදි කරගැන්මේ පරමාර්ථයෙන් කොපුලට ලබා දෙන්නට සිතූ කුඩා හාදුව උණුසුම් හාදු වැස්සක් වන තුරුම සේනට වළක්වාගන්නට නොහැකි විය. ඔහුගේ දෑතට කිටි කිටියේ සිර වී සිටි දෙව්මිණි හට අවදි වූ සැණින් දැනුණු චකිතය මුසු තැතිගැන්ම ඉක්මනින්ම පහව ගොස් පරම පිවිතුරු ප්‍රේමයේ උණුසුමින් ඇගේ සිත තුළ – එසේම කුස තුළ ද – දහසක් මල් පිබිදෙන්නට විය. ඒ මල් වටා සමනලුන් රඟ දෙමින් පියාසරන්නට විය. කල්ප ගණනෙකින් දිය පොදක් නොදුටු මහා කතරකට වට අනෝරා වැස්සක් සේ ඇගේ සිත ජීවයෙන්, ප්‍රාණයෙන් ඉතිරෙන්නට විය. දෙව්මිණිද සේනගේ ආලිංගනයට උණුසුම්ව ප්‍රතිචාර දක්වන්නට පටන්ගත්තාය. පාපැදිය නතර වූ ලෙසින්ම තිබියදී දිගහැරෙන්නට වූ මෙම ප්‍රේමාලිංගනය ඔවුන්ගේ අතැඟිලි එකිනෙක බැඳී ගිය එක් මොහොතකදී හිටිවනම නතර විය. සේනට ඇගේ වමතේ පැලැඳි මුදුවේ දෘඪ ස්පර්ශය දැනුණි. අරලියා තුර පාමුලින් විශ්වයට මුදාහැරෙමින් තිබූ එම මාහැඟි ප්‍රේමයේ ප්‍රභාව එසැණින් අතුරුදන් විය. මුදුව දෙස ඔරවා බලා රළු ලෙස ඇගේ අත ගසා දැමූ ඔහු ඈ පාපැදියෙන් බසින තුරු පමණක් ඉවසා හිඳ නුරුස්නා ලෙසින් ඈ වෙතින් ඉවත් වී, පාපැදියේ පිටුපස ගැටගසාගෙන ආ පාර්සලය ලෙහා ඔසවාගෙන අරණේ දොරටුව විවර කරගෙන එතුළට වැදී අතුරුදන් විය.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනාEdit

Similar Posts