කින්නර අරණ – 19 කොටස

author
0 minutes, 15 seconds Read

අරලියා ගසට පිට දී, තමා ඇද වැටෙනු ඇත්දැයි බියෙන් දෑතින්ද එය අල්ලාගෙන දෙව්මිණි අරණේ පිවිසුම් දොරටුව දෙස බලා සිටියේ වෙව්ලමිනි. හිටි හැටියේ නතර වූ අනෝරා වැස්ස එකඳු දිය බිඳක් හෝ ඉතිරි නොකොට පොළොවට ගිලා බැස්සා සේ ය. මොහොතකට පෙර පිපී හිනැහුණු මල් ද, ඒ වටා රැඟූ සමනලුන් ද ඒ සමගම අතුරුදන්ව ගොස් ඇත. දෑසේ පිරී ආ කඳුළු නැවතත් වාන් දමන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. මොහොතකට පෙර සිත පිරී තිබූ මන්මත් සිතුවිලි යටපත් කරමින් හතර අතින් ගලා ආ ආවේගයත්, සන්තාපයත්, ප්‍රකෝපයත්, වේදනාවත් ඇයට දරාගත නොහැකි විය. ඒ සියල්ලෙන් කැටි කොටගත් ශක්තියෙන් කෙළින් වී සිටගත් දෙව්මිණි වේගවත් අඩි තබමින් අරණ තුළට පිවිසියාය.

එහි වූ ලොකු කුඩා කලා නිර්මාණ අතරින් ගමන් ගන්නා අතරේ ඈ ඒ කිසිවක් දෙස බලන්නට නතර වූයේ නැත. අලෙවි සැලෙහි ප්‍රධාන ශාලාවේ කෙළවරින් පිවිසෙන්නට තිබූ වෙනත් කාමරයක් තුළ සේන සිටියේය. මේසයක් මත දිගහැරගත් පාර්සලය තුළ වූ සුමට ලී පුවරු එකිනෙකක් ගෙන දෑතින් පිසලමින් නොසැලකිල්ලෙන් පසෙකට දමනා අතරේ ඔහුගේ සිත රැඳී තිබුණේ අන් අතක බව කෝපයෙන් හකුළාගත් මුහුණේ වූ ඉරියව් තුළින් දෙව්මිණි දුටුවාය. 

“ඇයි මා එක්ක කතා කරන්න බංගලාවට ආවෙ නැත්තේ???” දෙව්මිණි සිය හඬෙන් කෝපයත්, ආවේගයත් සඟවාගන්නට යන්තමින්වත් උත්සාහයක් ගත්තේ නැත. 

තිගැස්සුණු සේන පුදුමයෙන් හිස හරවා බැලුවේය.

“මං කොච්චර බලං හිටියද??? පණිවිඩ පිට පණිවිඩ කීයක් එව්වද??? ඇයි ආවෙ නැත්තේ මා එක්ක කතා කරන්න???”

අත වූ ලී පුවරුව මහ හඬින් අනෙක් පුවරු මතට දමා ගැසූ සේන රුදුරු වෙසින් ඈ වෙත ළඟා වූවේය. “කොහෙ ආපු පණිවිඩද? මට පණිවිඩයක් එවනවා තියා මංම ගිහින් ඇහැව්වාමත් බංගලාවෙන් කිව්වේ කතා කළා, මතක් කළා කියන්න කිව්වා – ඔන්න ඔච්චරයි!” ඔහුගේ හඬ ඔහුටම පාලනය කරගත නොහැකි තරම් උස් විය.

“කෑ ගහන්න එපා! ගෙදර මිනිස්සු ඇහැරෙයි!” ඔහු කියූ කාරණාව සිතට ධාරණය කරගන්නට පෙර, සිතට ඇතුළු වූ එම අවදානම කෙරෙහි ඇගේ අවධානය යොමු විය.

“තව කී සැරයක් කියන්නද මං? මෙහෙ වෙන මොකෙක්වත් නෑ!” ඔහු පෙර ස්වරයෙන්ම කෑ ගැසුවේය.

“ඇයි එතකොට ලීලා? අර බබා?”

“ආයෙ ලීලෙක් ගැන කියවනවා.” කාමරය තුළ ගිනි ගන්නා ලෙසින් දාහයක් දැනුණෙන් සේන ඇයවද තල්ලු කරගෙන ඉන් පිට වී නැවතත් අරලියා ගස පාමුලට පැමිණියේය. 

දෙව්මිණි ද මොහොතක්වත් පමා නොවී ඔහු පසුපසම එහි පැමිණියාය. “ඒ ඔයාගේ බබා නෙවෙයිද?”

“නෑ නෑ නෑ! මට ගෑනියෙක්වත් ළමයෙක්වත් මොකෙක්වත් නෑ! එදා මාව දාලා ගිය විදිහටම තට්ට තනියම මං තාම ඉන්නේ!!!”

ඉන් ඔබ්බට ඔවුන් අතර ඇති වූයේ දරුණු බහින්බස් වීමකි. දෙදෙනාගේම සිත් තුළ වසර ගණනක් පුරා වැර වෑයමෙන් යටපත් කොටගෙන හිඳ ඒ මොහොතේ පිටතට ආ කෝපයේ ආවේගයෙන් අරලියා ගස පාමුල ගිනි ඇවිලිනි. අවසන, දෙදෙනාම මහා රැවටීමකට බඳුන්ව ඇති බව සිතට ධාරණය කරගන්නට තරම් යාන්තමින් හෝ සන්සුන් බවක් එම සිත් තුළ ඇති වද්දී දෙව්මිණි වැළපෙමින් සිටියාය. “අනේ ඇයි නැන්දලා අපිට එහෙම කළේ…?” ඇයට එය කිසිසේත් විශ්වාස කළ නොහැකි විය. ඇය සිය මවුපියන්ටද වඩා එම දෙමහල්ලන් විශ්වාස කළාය.

සේනගේ දෑස ද දරුණු බොර පැහැයකට හැරී තිබිණි. “මගේ ලියුම් එකක්වත් ලැබුණෙ නැත්තම් මං ඒ ලියාපුවා ගැනත් කියලා, මට ගමේ ඉඳිල්ලත් එපා වෙන තරමේ ලියුමක් එව්වේ කොහොමද මට?” එතෙක් වදන් ප්‍රහාරය තුළට ඇද නොගත් එම ලියමන ගැන පවසද්දී එම බොර පැහැය උතුරා ගියේය. “මාව එපා කියලා, වඩුවෙක්ගේ පුතෙක් එක්ක අනාගතයක් ගැන හිතන්න කැමති නෑ කියලා, මගේ උගත් කමත් මදියි කියලා ලියලා එව්වේ? ඊළඟ මාසේ වෙන මිනිහෙක්ව බඳිනවා කියලා ලියලා එව්වේ??? සල්ලි එහෙම ඕනෙනම් මගේ අකවුන්ට් නම්බර් එකත් එවන්න කියලා තිබ්බේ! මගේ ආදරේත් එහෙමද දැනුණේ? අර කළින් හිටපු සුද්දා වාගේ සල්ලිවලට විකුණන්න පුළුවන් ආදරයක් වගේද දැනුණේ???” 

දෙව්මිණි කඳුළු ගලනා දෑස් විසල් කරගෙන දෑතින්ම මුව වසාගත්තාය. “අනේ දෙයියනේ මං එහෙම ලියුමක් එව්වෙ නෑ. එහෙම තියා කොහොම ලියුමක්වත් එවන්න මං ළඟ ඔයාගේ එඩ්‍රස් එක තිබ්බෙ නෑනේ… මං හීනෙකින්වත් එහෙම හිතුවෙ නෑ…” ඇය වමත ඔසවා ඔහුගේ ඇසකින් උතුරා ගලා ආ කඳුළු බිඳුව පිසදැම්මාය. “මං එහෙම කරනවාද සේන අයියේ…?”

“නැත්තෙ මොකද?!” ඔහු ඇගේ මුදුව පැලැඳි වමත දැඩි ග්‍රහණයකින් අල්ලාගත්තේය. “මේ තියෙන්නේ සාක්කි!”

දෙව්මිණි හිස දෙපසට සලමින් එහි රැඳි මුදුව ගලවා බිමට දමා ගැසුවාය. “ඒ බොරු. එහෙම ලියුමක් එව්වේ කවුද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං තවම වෙන කාවවත් කසාද බැඳලා නෑ… මාව වෙන කාටවත් අයිති වෙලා නෑ…” ඇය සූදානම් වූයේ අත මුදාගෙන ඔහු වැළඳගන්නටය.

නමුත් සේන එයට ඉඩ දුන්නේ නැත. “එතකොට බොරුවට මුද්දක් දාගෙන ආවේ මාව රවට්ටන්නද???”

“මේක මගුල් මුද්දක් නෙවෙයි… විනෝද් නිකන් දාපු එකක්…..”

“මොකාද ඒ?”

“ලබන මාසේ… ලබන මාසේ… මං බඳින්න… අපේ වෙඩිං එක…” දෙව්මිණි බිම බලාගෙන වදන් ඇහිඳින්නට වූවාය. 

නැවතත් රළු ලෙස ඈ මුදාහළ සේන ඇයට පිටු පා අනෙක් පස හැරී දෑතින් හිස බදාගත්තේය. “මොකටද දෙයියනේ මෙහෙ ආවේ??? මට හිටපු විදිහට පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව???” ඔහුට දැනුණේ නිම්හිම් නොමැති කෝපයකි. ඇයද තමා ලෙසින්ම මහා රැවටීමකට බඳුන්ව ඇති බව පැහැදිලි වුවද ඔහුට කෝපය පිට කරගත හැකි අන් ලෙසක් නොවීය. අසල වූ පාපැදිය බිම පෙරළී යන සේ පා පහරක් එල්ල කළ ඔහු ඈ පිටත සිටියදීම අරණ වෙත පිවිස දොර වසාගත්තේය. අනතුරුව එම දොරට පිට දී බිම හිඳගෙන දෑතෙහි හිස හොවා වැළපෙන්නට විය. අරලියා ගස පාමුල වෙව්ලමින් හිඳගත් දෙව්මිණි ද දෙදණ දෑතින් වැළඳගෙන ඉකි බිඳිමින් වැළපෙන්නට විය. එම කිඳුරු වැළපුම් අසා කම්පිත වූ අහස් ධාතුව ද කඳුළු සලමින් හඬා වැටෙන්නට විය. මල්වතු ඔය නිම්නයට කලෙකින් නොවට වැහි පොද වියළී ඉරි තලා ගිය පොළෝ තලය මතට සිහින් මල් වැස්සක් ලෙසින් ඇද හැලෙන්නට විය. 

එම වර්ෂාවේ හඬත් සමග සේනගේ වේදනාබර කෝපාන්විත සිතුවිලි අතරට පෙර වතාවක වැටුණු මහ වැස්සක මතක ගලා එන්නට විය. එම වැසි දියෙන් ඔහුගේ ඉරි තලා ගිය හදවත යළි හා වෙන්නට විය. නැගිටගත් සේන දොරටුව විවර කළේය. අරලියා තුර පාමුල ගුලි වී වැළපෙනා සිය සොඳුරු කිඳුරිය දැක ඔහුගේ පපුව හෝස් ගා ඇවිලී නිවී ගියේය. ඈ වෙත සමීප වූ ඔහු දෑතින්ම ඇගේ දෙවුරින් අල්ලා ඈ නැගිටුවාගත්තේය. “මට සමාවෙන්න මැණික… මගෙ – මගෙ සඳ කිඳුරි……..” ඔහු හද ඉතිරෙන සෙනෙහසින්, කිසිදා නොසිඳුනු සෙනෙහසින් ඈ සිය පපුතුරට තුරුළු කරගත්තේය. දෙව්මිණිගේ ඉකි බිඳුම මහා වැළපුමකට පරිවර්තනය විය. ඇය ඔහුගේ තුරුළේ කුඩා දැරියක සේ හඬා වැළපුණාය. සේන ඇගේ හැඬුම වළකන්නට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට ඇගේ හිස මතට තද කරගත් මුහුණින් යුතුව ඔහුද සිය කඳුළු ඇගේ සුවඳැති කෙස් කළඹ තුළ සැඟව යන්නට ඉඩ හළේය. දස වසරක වේදනාවන් දුරු වී යන තුරු එම ප්‍රේමවන්තයෝ එකිනෙකා තුරුළේ වැළපුනහ, සැණැහුණහ. 

“මං ආවේ ඒ කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් නොහිතෙන, නොදැනෙන තරමට මගේ මුළු හිත පුරාම තවමත් ඉන්නේ ඔයා විතරක් නිසා…..” කතා කරගත හැකි වූ ඇසිල්ලේ දෙව්මිණි හිස ඔසවා ඔහු දෙස බලා කියාගත්තාය. “මං තවමත් ආදරේ ඔයාටයි… ඔයාට විතරමයි… මං තවමත් ඔයාගේ…..”

“මං දන්නවා…” සේන ඇගේ මුහුණ සිය දෑතට මැදි කරගත්තේය. “ඒ තැනට වෙන කෙනෙකුට එන්න බෑ… මාත් ඒක කරන්න හැදුවා, ඒත් ඒක කරන්න බෑ… මාත් – තවමත් – ඔයාගෙම තමයි… මගෙ ආදරේ ඔයාගෙම විතරයි…….” සේන ඉතා මෘදු හාදු වැස්සක් ඇගේ මල් වැහි පොද ඉහුණු දෙකොපුළටත්, නළල් තලයටත් පිරිනමා යළිත් වරක් ඈ තදින් තුරුළු කරගත්තේය. 

දෙසිතක ඇවිලුණු මහා ගින්න නිවී යන්නට පටන්ගත්තේය. හැඬුම් වැළැපුම් නිමා වී මන්දහාසය මුසුව එකිනෙක යා වූ දෑස් අතරේ ප්‍රේමයේ සංහිඳියාව ප්‍රභාමත් වන්නට පටන්ගත්තේය. ප්‍රේමවන්ත ස්පර්ශයෙන්, මෘදු සිපගැනුම්වලින් ඇරැඹි මල් වැස්ස මඳින් මඳ පොද වැස්සක් බවටත්, මොහොතකින් ධාරාණිපාත වර්ෂාවක් බවටත් පත් විය. ඒ වැසි මැද අරලියා තුරු පාමුලින් හතර අත විසිවෙන්නට ගත් ආදරයේ ගිනි පුපුරු, අරණ තුළදී අනුරාගයේ අග්නි ජාලාවක් බවට පත් විය. එය ලෙයින් මසින් සැදි ඕනෑම අයෙකු හසුවන්නට, බිලිවන්නට කැමැති ප්‍රේමණීය මනෝහාර අග්නි ජාලාවකි. කඳු මුදුනක උල්පතෙකින් පැන නැගෙනා දිය දහරාවක් සමුදුර කරා ඇදී යන ගමන පුරා ධරණී තලය හා ප්‍රේමයෙන් වෙලී යන්නේ යම් සේ ද, තුරු පාමුලකින් හිස ඔසවනා ලිය වැලක් තුරු මුදුණත කරා බඳ වටා අතු පතර දිව යමින් විහිද යන්නේ යම් සේ ද, දුර ඈත දියඹෙන් පැන නැගෙනා දිය රැල්ලක් වෙරළත සොයා අනලස්ව ඇදී එන්නේ යම් සේ ද, එකී අග්නි ජාලාවේ ගිනි දළු සතර අත විහිද ගියේ ඒ රටාවෙනි, ඒ රිද්මයෙනි, ඒ ලාලසාවෙනි. සොබාදම් ජීවයේ සියලු ආශ්චර්යයන් කැටි කොටගත් යම් නිමේශයක් වේ ද, එකී අග්නි ජාලාව අවසන නිවී සැනැහී සංසිඳී ගියේ ඒ සියල්ල එකිනෙක හා ඒකාත්මික වූ නිමේශයේදී ය. ඉනික්බිති ගෙවී ගියේ ගින්නත් සිසිලසත් හරි හරියට එකිනෙක පරයමින් ගෙවී ගිය සුවදායී හෝරාවන් ගණනෙකි. අනුරාගයේ උණුහුමත්, බොළඳ පිය තෙපුල් මුසු මුදු සිපගැනුමේ සිහිලසත් නිර්ලෝභීව බෙදාගැනුණු හෝරා ගණනෙකි. ඒ සියල්ල අවසන අරණට යාබද නිවස තුළ එම සිහිල් වර්ෂාවත්, උණුසුම් ගින්දරත් සන්සුන් නිද්‍රාවකට පත්වන විට නැගෙනහිර ක්ෂිතිජ ඉමෙන් හිරුද එබිකම් පාන්නට පටන්ගෙන තිබිණි.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනා

Similar Posts