අන් දිනවල උදෑසන අටයි තිහ වන විට විවර වන අරණේ දොර කවුළු, මධ්‍යහ්නයට ළං වී ද තවමත් විවර වී නොමැත්තේ මන්දැයි කුසුමාවතී කල්පනා කළේ පුදුමයෙනි. ඈ සේනගේ ලොකු මාමාගේ වැඩිමහල් දියණියයි. හමුදාවේ සේවය කළ ඇගේ සැමියා යුධ බිමේදී මිය යන විට ඇගේ දෙවැනි දරුවාට යාන්තමින් වසරක් පිරුණා පමණි. නිතර නොදකින පියාගේ වියෝව ඔහුට එතරම් තදින් බලපෑ බවක් සිතිය නොහැකි වූවද, එම දින ගණනාව තුළ සිය මවගේ හඬා වැළපුම්, විලාපයන් හා කන වැකුණු යුධ බිමේ පුවත් හේතුවෙන් දැනුණු කම්පනය නිසාදෝ පියාගේ අවසන් කටයුතු නිමා වද්දී එම කුරුළු පැටවා මුනිවතක් උරුම කරගෙන සිටියේය. එසමයෙහි පටන් ඈ සිය දරු දෙදෙනා සමග යළි තම මවුපියන් හා දිවි ගෙවන්නට පැමිණියාය.
දෙතුන් වරක් කතා කළ ද නිවස තුළින් හඬක් නොනැගුණෙන් දෑතින් ඔසවාගෙන සිටි වණ්ඩු බහාලූ බඳුන ඉණට ගත් ඇය දොරට තට්ටු කරන්නට වූවාය. “සේනක… මල්ලියේ…”
ඇගේ තනියට ආ විහඟ සුපුරුදු පරිදි රබන් පදයක් ගසමින් දොරට තඩිබාන්නට වූවේය. අවුල් වූ හිසකෙසින් යුත් සේන පැමිණ දොරටුව විවර කළේ දෙවැනි රබන් පදය ද නිම වූ පසු ය.
“මොකොද බං? මේ හැටි දවල් වෙනකල් නිදාගන්නවද? අද කඩේ අරින්නෙ නැතුවය?” දොරටුව අඩක් විවර කොටගෙන සිරුරෙන් එම ඉඩ ආවරණය කරගෙන සිටගෙන සිටිනා සේන දෙස බලා කුසුමාවතී විමසුවේ පුදුමයෙනි.
“ඔළුව ඩිංගක් කකියන්න ගත්තා අක්කේ…” සේන සුරතින් නළලද පිරිමැද්දේය.
“හැබෑට?” හිස කැක්කුමක් ඇතියෙකුගේ දෑස් මේ තරම් ප්‍රබෝධමත්ව බැබළෙන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඇය මොහොතක් පුදුමයෙන් ඔහු දෙස බලා සිටියාය. ඒ අතරේ පොඩි එකාගේ වෑයම ගෙට රිංගාගන්නටය. “හා හා,” ඇය ඔහුට තරවටු කළාය. “මාමාට කරදර නොකර අපි යමු. මාමා සනීප නැතුවනේ ඉන්නේ…” ඇය අත වූ බඳුන සේන වෙත පෑවාය. “මේං වණ්ඩු තැම්බුවා. දවාලටත් උයාගන්න නැතුව ඇතිනේ. මං බත් ඩිංගක් එවන්නද?”
සේන හිස සලා එකඟතාවය පළ කළේය. එදින රාත්‍රී ආහාරයද ඈ සිය දරුවන් දෙදෙනා අත ඔහුට යැවූයේ වෙනදා සන්ධ්‍යාවට කහට කෝප්පයක් තොල ගාමින් සිය පියා හා දොඩමළු වන්නට පැමිණෙන ඔහුගේ ගමනද එදින සිදු නොවූ බැවිනි. පසු දින හිමිදිරියේ තමා ගමට ගොස් එන්නට යන බව ඔහු පවසා එවා තිබුණේ ඔවුන් අත ය.
***
රදාවෙල මහවත්ත බංගලාවේ දුරකතනය නාද වෙමින් තිබිණි. මැද මිදුලේ ගැමි කතුන් කිහිප දෙනෙකු සමග පිළිසඳරක යෙදී සිටි ජයසුන්දර මැණිකේ බංගලාව තුළට පැමිණ එයට පිළිතුරු දුන්නාය.
“නංගි… කොහොමද?” ඇමතුම ගුණවර්ධන මහත්මියගෙනි.
“අනේ අක්කේ… කොහොමද ඉතින්? කාලෙකින්…”
“අපි ඉතින් ඉන්නවා ඔහෙ. ඔය පැත්තත් හොඳින් නේද?”
“අපිත් ඔහේ ඉන්නවා අක්කේ ඉතින් මේ පාළු බංගලාවට වෙලා… දෝණි කොහොමද දැන්, මංගල්ලෙට ලෑස්ති වෙනවා ඇති නේද?”
“එයා ගැන කියන්න තමයි මේ ගත්තේ නංගි. තවම ඔය පැත්තට ආවෙ නැද්ද?”
“ඒ කිව්වේ?”
“දෝණි ලංකාවට ඇවිත් ඉන්නේ. දැන් දවස් හතරක් පහක් වෙනවා…”
“හදිසියෙම? තනියමද ආවේ අක්කේ? මෙහෙ එනවා කියලාද කිව්වේ?” ජයසුන්දර මැණිකේ කලබල වූයේ දෙව්මිණි එහි නොපැමිණි බැවිනි.
“නෑ නෑ, බය වෙන්න එපා. එයා අනුරාධපුරේට ගියේ. එහෙට ඇවිත් නවාතැනේ ඉඳන් කතාත් කළා ආපු දවසේ. පර්යේෂණයක වැඩ වගේකට එනවා කියලා තමයි ආවේ…”
“එහෙමද…?”
“නංගි… සේනක දැන් කොහෙද ඉන්නේ?”
මෙතෙක් කලකට ඇය නොවිමසූ අන්දමේ පැනයක් මෙලෙස පිළිවිසීම ගැන ජයසුන්දර මැණිකේ පුදුම වූවාය. “එයත් දැන් ඉන්නේනම් අනුරාධපුරේ තමයි අක්කේ…”
“ඒක තමයි එහෙනම්…” ගුණවර්ධන මහත්මිය සුසුමක් හෙලුවාය. එහි මවකගේ හදවතෙහි සිය දරුවෙකු අරභයා පැන නැගිය හැකි සියලු හැඟුම් මුසු වී තිබුණි.
“ඇයි අක්කේ?”
“මට හිතෙන්නේ දෝණි ආවේ සේනකව හොයාගෙන…”
ජයසුන්දර මැණිකේ කම්මුලෙහි අතක් තබාගත්තාය. “මෙච්චර කාලෙකට පස්සේ…?”
“අපි ඒ සම්බන්ධය නවත්තන්න කොච්චර දේවල් කළාද… ඒ හිත් දෙකම පිච්චෙන හැටි දැක දැක, කාලෙත් එක්ක ඕවා අතෑරිලා යයි කියලා හිතාගෙන අපි කොච්චර පව් කන්දරාවක් ගොඩ ගහගත්තාද… දෝණි ඊට කළිනුත් මෙහෙ අනිත් ළමයි වගේ ඔය මෙහෙ ඉලන්දාරියෙක් එක්ක ඇයි හොඳයිකමක් පටන්ගත්තා. දෙතුන් මාසෙකින්ම ඒක අත් ඇරිලා ගියා, දෝණි යස අගේට හිත හදාගෙන හිටියා. මේක දෙතුන් මාසයක් නෙවෙයි, දවස් කීයද මේ ළමයි කතාබහ කළේ… මං හිතුවේ ඊටත් ලේසියෙන් මේක අමතක කරලා දායි කියලා… ඒත් බලන්නකෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඒක හිතෙන් අත් ඇරියද කියලා…”
“අනේ ඇත්තමයි අක්කේ… ඒක මහා පුදුම බැඳීමක්… මායි අපේ මහත්තයායි කී වතාවක් ඔය ගැන කතා කරලා ඇත්ද…”
“දෝණි මෙහෙන් එන්න දෙතුන් දවසකට උඩදි ඒ කාලේ ඔහෙන් එද්දි අරගෙන ආපු ලී කැටයක් තුරුළු කරගෙන අඬ අඬාම නින්දට වැටිලා තිබුණා… මං හිතන්නේ ඒක සේනක දීපු එකක්….. මොකක් හෝ කාරණාවක් හින්දා දෙන්නාට ආයෙ මුණගැහෙන්න කාරණා කටයුතු සිද්ධවෙලා තියනවා කියලා මට හිතෙනවා….”
“අයියා මොකද කියන්නේ?”
“එයා මේ කිසි දෙයක් දන්නෙ නෑ. දන්නවානං එහෙම යකා නටයි මෙතන. ඇවිත් දෙවෙනි දවසේ ඉඳන් දෝණිගේ ෆෝන් එකත් වැඩ නැහැ. විනෝද් කිහිප සැරයක් නවාතැනටත් අරගෙන තියනවා, දෝණි එහෙත් නැහැ. දවසක රෑ රුවන්වැලි සෑයේ පින්කමකට උදව් වෙලා ඒ කිට්ටුවම තැනක නතර වුණා කියලා පණිවිඩයක් දීලා තියනවා තානායමට. ඔන්න විනෝද් දැන් ටිකකට කළින් මෙහෙන් පිටත් වුණා හොයන්න එන්නය කියලා…”
“අප්පච්චියේ!”
“නංගිට පුළුවන්ද සේනක ඉන්න තැනකට කතා කරලා දෝණි එහෙ ආවාද කියලා ඩිංගක් හොයලා බලන්න?”
“මං බලන්නම් අක්කේ. සේනකගේ කැටයම් සාප්පුවේ නොම්බරේ තිබුණා, මං කතා කරලා බලන්නම්…”
ඇය අරණේ දුරකතන අංකයට කිහිප විටක් කතා කළ ද කිසිවෙකුත් එයට පිළිතුරු දුන්නේ නැත.
***
දෙව්මිණි යළි තානායම වෙත පැමිණියේ ඉන් පිටව ගොස් උදා වූ සිවු වැනි දින පෙරවරුවේ ය. සේන හා ඔහුගේ නිවසේ දෙවැනි රැය ද පහන් කළ ඇය ඔහු සමග පාපැදියේ නැගී ගම්මානයෙන් පිට වූයේ එදින හිරු නැගෙන්ටත් කළියෙනි. ප්‍රධාන බස් නැවතුම්පොළ අද්දර කඩයක් අසලින් එය ගාල් කොට දෙදෙනා මිහින්තලය බලා යන බස් රථයක නැගුණේ දින කිහිපයක් නිදහසේ සුවපහසුව කාලය ගත කරන්නටය. පිළිගැනීමේ නිලධාරිනිය යළි පැමිණි ඔවුන් වෙත හෙලුවේ පිළිගැනීමේ මදහස යට සැඟවුණු නොසන්සුන් බැල්මකි. “ගුඩ් මෝර්නිං මිස් දෙව්මිණි!” ඇයට සුබපැතූ නිලධාරිනිය සේන වෙත ද එබඳුම මඳ සිනහවක් පෑවාය. “මිස් ට කෝල් කීපයක් ආවා,” ඇය නැවත දෙව්මිණි දෙස බලා කීවාය.
“ආ, ඔව්, මගේ ෆෝන් එක මෙහෙ දාලානේ ගියේ. කවුද කතා කළේ?”
“පහුගිය දවස් දෙක තුනේ මහත්තයෙක් කීප සැරයක් මිස්ව ඇහැව්වා. පණිවිඩයක් මුකුත් කිව්වෙ නැහැ. මම මිස් අපිට කියලා තිබ්බ විස්තරේ කිව්වා ඉතින්. ඊයේ හවස මැඩම් කෙනෙක් කතා කරලා මිස් ට කියන්න කිව්වා විනෝද් ඊයෙ හවස මෙහෙ එන්න පිටත් වුණා කියලා.”
තැති ගත් දෙව්මිණි සේනගේ මුහුණ බැලුවාය. හිස් මුදුණේ සිට හදවත තෙක් පතිත වූ අකුණු පහරකින් කම්පිතව සේන ද දෙව්මිණි දෙස බැලුවේය.
පසුගිය සතියේ කොටස මෙතැනින් –
මුදිතා ලක්මිණි වැන්දබෝනා