රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන උළුහාල් පිළීබදවයි.
උළුහාල් (Trigonella foenum-graecum L.)
Fabaceae කුලයට අයත් ශාකයක් වන උළුහාල් සෑම කන්නයකම වගා කළ හැකි අතර පුරාණ කාලයේ සිටම එහි ඖෂධීය වටිනාකම් පිළිබඳව සඳහන් වී ඇත. ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩුවක් හා රසකාරකයක් ලෙසත් මෙය බහුලව ප්‍රචලිතය.
අතීතයේ රෝමානුවන් සහ ග්‍රීකයන් මෙම ශාකය ගව ආහාර සඳහා භාවිතා කළ අතර ඊජිප්තුවේ මෙය දරු ප්‍රසූතිය පහසු කිරීම සහ මව් කිරි වැඩීමට භාවිතා කරන ලදී. බොහෝ ඊජිප්තු කාන්තාවන් ඔසප් වේදනාව අඩු කිරීමට මෙය භාවිතා කර ඇත. මෙහි ඖෂධීය ගුණ ආයුර්වේදය, චීන, අරාබි, ග්‍රීක සහ ලතින් ඖෂධවේද ග්‍රන්ථ තුළ පුළුල් ලෙස ලේඛනගත කර ඇත.


ආයුර්වේදානුකූලව මෙය වාත-කඵහර සහ පිත්ත වර්ධක වේ. ආහාර රුචිය වැඩිකරයි. එහි කොළ සහ බීජ වල ඇති රසායනික සංයෝග ලෙස ඇල්කලෝයිඩ්, ඇමයිනෝ අම්ල, කූමරින්, ෆ්ලේවනොයිඩ්, සැපෝනින්, පොලිෆෙනෝල්, කාබෝහයිඩ්‍රේට්, විටමින් සහ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග දැක්විය හැකිය.
උළුහාල් ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමට ද භාවිතා කරයි. පෙණහලුවල තෙතමනය සමතුලිත කිරීමට උළුහාල් වල ඇති ඌෂ්ණ ගුණය භාවිතා කරයි. මෙය උගුර ආශ්‍රිත රෝග, සන්ධි තදවීම් හෝ ඉදිමුණු සන්ධි, දියවැඩියාව, ප්‍රදාහ, පිළිකා, කොලෙස්ටරෝල් අධිකතාව, ප්‍රජනන අක්‍රියතාවය සහ ස්නායු විකෘතිතා ආබාධ වැනි විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධීය ඔසුවකි.
මෙහි ඇති දියවැඩියානාශක, වාජීකරණ, කොලෙස්ටරෝල් නාශන, පිළිකානාශක, ක්ෂුද්‍රජීවීන් පරපෝෂිතයන් නාශක, ක්ෂීර උත්තේජක, ප්‍රතිඔක්සිකාරක, ව්‍රණනාශක, ප්‍රතිශක්තිමූර්ඡක, ප්‍රතිප්‍රදාහාත්මක, ස්නායු ආරක්ෂක, අක්මා ආරක්ෂක සහ හෘද් ආරක්ෂක ගුණ විද්‍යාත්මක තහවුරු කර ඇත.
සටහන
ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය