කුළුබඩු

author
0 minutes, 4 seconds Read

රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන මිරිස් ශාකය පිළීබදවයි

මිරිස් Capsicum annuum L.

Solanaceae කුලයට අයත් මම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් “Chili pepper” ලෙස හඳුන්වන අතර සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙසත්, බොහෝ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල ඖෂධයක් ලෙසත් භාවිතා කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙය සැහැල්ලු, රූක්ෂ, තීක්ෂ්ණ, රසයෙන් හා විපාකයෙන් කටු, උෂ්ණ වීර්‍යයෙන් යුතු ඖෂධයක් ලෙස දක්වයි. දෝෂානුකූලව මෙය වාත හා කඵ දෝෂ ශමනය කරන අතර පිත වඩවයි. මෙය විටමින් හා ඛනිජ ලවණ බහුල ආහාරයකි.

සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වල මෙය කැස්ස, දත් කැක්කුම, උගුරේ අමාරුව, ආසාදන, තුවාල සුව කිරීම, විවිධ වර්ගයේ පිළිකා, රූමැටික් රෝගය, සන්ධි තදවීම්, ශ්වසන නාලිකා ප්‍රදාහ සහ හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, ආතරයිටිස්, හෘද රිද්ම ආබාධ සහ තවත් බොහෝ රෝග සඳහා මිරිස් වල නිවාරණ සහ චිකිත්සක ගුණ භාවිතා කර ඇත. මෙහි ඇති විෂබීජ නාශක, ආහාර රුචියකාරක, උත්තේජක කාරකයක් (stimulating agent), හෘද් ආරක්ෂක, ප්‍රතිඔක්සිකාරක, ස්වේදකාරක (දහඩිය ඇති කරයි), මුත්‍රාකාරක, වාජීකරණ, ජ්වරනාශක, ප්‍රතිශක්තිකාරක, ප්‍රතිබැක්ටීරීය සහ පිළිකා නාශක වැනි අනෙකුත් ගුණ ද ඉතා වැදගත් වේ. විශේෂයෙන් මිරිස් ආමාශ ආන්ත්‍රයික රෝග වන අතීසාරය, අරුචිය, වායු තත්ව සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනියි. එමෙන්ම ආහාර දිරවීම සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට ද අතීතයේ සිටම මිරිස් භාවිතා කර ඇත.

පරිවෘත්තීය සින්ඩ්‍රෝමය (Metabolic Syndrome) යනුවෙන් හැඳින්වෙන අධි රුධිර ග්ලූකෝස්, තරබාරුකම, ඩිස්ලිපිඩිමියා සහ අධි රුධිර පීඩනය සමඟ යන රෝග තත්ව කිහිපයක් එකට ඇති වන අවස්ථාවේදී හෘදයේ රුධිර වාහිනී අවහිරතා ඇතිවීම සහ මරණය සිදුවේ. මිරිස් වල ඇති ලිපිඩ අඩු කිරීම, අධි රුධිර පීඩනය අඩු කිරීම, ප්‍රති-දියවැඩියා සහ ප්‍රති-තරබාරු බලපෑම් මඟින් මෙම පරිවෘත්තීය සින්ඩ්‍රෝම ලක්ෂණ පාලනය කළ හැකි බවට විද්‍යාත්මක පරීක්ෂණ තුළින් අනාවරණය වී ඇත.

ඉතා අධිකව පරිභෝජනය කිරීමෙන් දාහය ඇති වන බැවින් බඩ-පපුව ආශ්‍රිත දැවිල්ල, අධිකව දහඩිය දැමීම, උදර වේදනා සහ සමෙහි ආසාදන තත්ව ඇති විය හැකි බැවින් ආහාරයේ ගුණාත්මකබව සහ රසය නියමාකාරයෙන් ලැබෙන පමණට මිරිස් යොදා ගැනීම වැදගත් වේ.

සටහන

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts