දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ ඉතාමත් බිහිසුනු ඛේදවාචකයක් බවට විවාදයක් නැහැ. අතිවිශාල අහිංසක මිනිස් ජිවිත ප්‍රමාණයක් මෙම කුරිරු සංග්‍රාමයට මැදිව විනාශ වුනු අතර සිදුවූ දේපල හානියේ ප්‍රමාණය කිසිදා ගණනය කල නොහැකියි. යුද්ධයේ උණුසුම ක්‍රමයෙන් දැඩි වෙද්දී නවීන යුධ ආයුධ නිෂ්පාදනයට, ඉතා බලසම්පන්න යුධ නෞකා හා ගුවන් යානා නිෂ්පාදනයට සංග්‍රාමයට මැදිවූ රාජ්‍යයන් පෙළඹුණි. මෙලෙස නිර්මාණය වුනු ඉතාමත් බලසම්පන්න නෞකාවක් ලෙස ජර්මනිය නිෂ්පාදනය කල බිස්මාක් නෞකාවේ හදුන්වා දීමට පුළුවන්. බිස්මාක් හා සමානම ඊට නොදෙවෙනි ඉතාමත් බලසම්පන්න නෞකාවක් ජපානය සතුවත් එවකට පැවතියා. එය හැදින්වුනේ යමාටෝ (Yamato) නමිනි.
දෙවන ලෝක මහා යුද්ධයේදී ජපානයේ ආසන්නම සතුරා බවට පත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ජපානය චීනයට දිගින් දිගටම පහර දෙමින් එය කොටස් වශයෙන් යටත් කරගත් අතර රුසියාවට අයත්වූ ප්‍රදේශ වලට මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවලට ද ඔවුන් ගුවන් ප්‍රහාර දියත් කරනු ලැබුවා. ඔවුන්ට සැලකිය යුතු දුරකින් පිහිටි ඕස්ට්‍රේලියාවට ද වරක් ඔවුන් දැවැන්ත ආක්‍රමණයක් දියත් කිරීමට උත්සහ කල අතර මහා බාධක කොරල් පරය හා රළු මුහුදු කලාපය නිසා එය අසාර්තක වූ බව වාර්තා වල සදහන් වනවා. නාසි ජර්මනිය හා ඉතාලිය යුරෝපයේ සිට රටවල් රැසකට ආක්‍රමණ එල්ල කරද්දී ජපානය උත්සහ කළේ පැසිෆික් සාගරයේ තමන්ට අනෙක් අන්තයේ සිටින ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල කිරීමටයි.
එක්සත් ජනපදයේ නාවික යුධ ශක්තිය ඉතාමත් තියුණු වූ අතර යුධ නෞකා විශාල ප්‍රමාණයක් ඒ වන විටත් ඔවුන් සතුව තිබුණා. ජපානය සතුව එතරම් විශාල නාවික යුද ශක්තියක් නොතිබූ නිසා ඔවුන්ගේ යුද නිලධාරීන් ඔවුන් සතුව තිබූ විශාල යුද නෞකා දෙකක් වැඩි දියුණු කර යුධ මෙහෙයුම් සදහා යොදා ගැනීමට තීරණය කෙරුණි. ඉන් එක් නෞකාවක් ලෙසයි යමාටෝ නෞකාව සැලකෙන්නේ. අනෙක් නෞකාව යමාටෝ නෞකාවේ සහෝදරිය ලෙස සැලකෙන මුසාශි (Musashi) නෞකාවයි. යමාටෝ හා මුසාශි නෞකා ද්විත්වය හදුන්වනු ලැබුවේ Yamato Class Battleships ලෙසයි. යමාටෝ හා මුසාශි 1937 වර්ෂයේදී නිර්මාණය ආරම්භ කල නෞකා දෙකකි. මෙම නෞකා දෙකම නිර්මාණය වුනේ සතුරු නෞකා කිහිපයක් සමග එක්වර යුධ වැදිය හැකි ආකාරයට ඉතාමත් බලසම්පන්න ලෙසයි. දෙවැනි ලෝක යුද්ධය ඉතාමත් දරුණු ලෙස ඇදී ගිය 1940 වර්ෂය ආසන්න වකවානුවක තමයි යමාටෝ නෞකාව පළමු යුධ මෙහෙයුම සදහා ජපානය විසින් දියඹට එක් කරන ලදී.
යමාටෝ ටොන් 65,000ක බර්කින්යුත් වුනු අතර දිගින් මීටර් 256ක් පමණි. කැම්පන් වර්ගයේ බොයිලේරු 12කින් සමන්විත වුනු මෙම නෞකාව සතුව වාෂ්ප ටර්බයින 4ක් තිබී තිබුණි. පැයට මුහුදු සැතපුම් 31ක් නැත්නම් පැයට කිලෝමීටර් 50ක වේගයකින් යාත්‍රා කල හැකිවුනු මෙම නෞකාව සතුව තිබූ යුධ ශක්තිය ඉතාමත් විශිෂ්ටයි. 1937 වර්ෂයේ මාර්තු මාසයේදී ජපාන ඉම්පීරියල් හමුදාවේ (Imperial Army of Japan) යුධ කමිටුව මෙම නෞකාව නිර්මාණය සදහා සැලසුම් සකස් කර 1937 නොවැම්බර් මස 4 වනදා එහි නිර්මාණ කටයුතු අරඹනු ලැබුවා. ඒ හිරෝෂිමාවෙ නැව් තටාංගනයේදී.
මෙය රහසිගත මෙහෙයුමක් ලෙස සදහන් කල නොහැකි වුවත් නෞකාවේ යුධ ශක්තිය පිළිබදව තොරතුරු රහසිගතව තබා ගැනීමට ජපාන නාවික හමුදාව පියවර ගෙන තිබේ. යමාටෝ හා මුසාශි නෞකා නිර්මාණය සිදුකල ප්‍රදේශ වලට සාමාන්‍ය ජනතාවට ඇතුල් විය නොහැකි ලෙස ආරක්ෂාව සපයා තිබුණි. යමාටෝ නෞකාව දෙවන ලෝක යුද්ධයේදී භාවිතා වූ විශාලම යුධ නෞකාව ලෙසයි සැලකෙන්නේ. එය ජර්මනියේ බිස්මාක් නෞකාව තරම්ම ප්‍රහාරාත්මක නොවුනත් බිස්මාක් නෞකාවට වඩා විශාලත්වයෙන් වැඩිය. එලෙසම මේ නෞකාව සතුව විශේෂ යුධ ආයුධ පද්ධතියක් තිබුණි. අගල් 18.9 කැලිපරයකින් යුත් කාල තුවක්කු 9ක් මෙහි තිබී ඇතැයි සදහන් වේ. මෙම කාල තුවක්කුවකින් කිලෝමීටර් 46ක පමණ දුරකට ප්‍රහාරය එල්ල කිරීමේ හැකියාව තිබුණි.
එලෙසම මැෂින් ගන් වර්ගයේ තුවක්කු 4ක්, ද්විතීක කාල තුවක්කු 12ක් හා ගුවන් යානා නාශක අවි 25ක්ද මෙහි තිබී ඇත. 1941 වර්ෂයේදී මෙලෙස නිර්මාණය වූ මෙම නෞකාවට 1945 වර්ෂයේදී තවත් ආයුධ ගණනාවක් එක්වූ බව වාර්තා වනවා. යමාටෝ යනු ජපානයේ එක් ප්‍රාන්තයකි. ඒ වගේම මෙම ප්‍රාන්තයට දීර්ඝ යුධ ඉතිහාසයක් තිබෙනවා. මෙම යුධ නෞකාවට මෙම නම ලබාදුන්නේ ජපානයේ එම යමාටෝ ප්‍රාන්තය මුල් කරගෙන බවයි මූලාශ්‍ර වාර්තා වල සදහන් වන්නේ. යමාටෝ නෞකාවේ කාල තුවක්කු පද්දතිය දෙවන ලෝක යුද්දයේදී යුධ නෞකාවක් සතුවූ වඩාත් ප්‍රහාරාත්මක කාලතුවක්කු පද්ධතිය ලෙසත් වාර්තා වේ. මෙවැනි දරුණු කාලතුවක්කු පද්ධතියක් වෙන කිසිම නෞකාවක තිබුණු බවට වාර්තා නොවේ. 1941 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මෙම නෞකාව වයිස් අද්මිරාල් ගිහාචි ටකයනාගි යටතේ නාවික මෙහෙයුම කටියිතු වලට සම්බන්ද වි තිබේ. යමාටෝ නෞකාව සමග නගාටෝ හා මුට්සු නම් තවත් නෞකා දෙකක් ජාත්‍යන්තර යුධ මෙහෙයුම් වලට එක්වෙලා තිබුණ බවත් වාර්තා වේ.
යමාටෝ නෞකාව යුධ මෙහෙයුම් සදහා එක් වූයේ එවකට ජපාන හමුදාවේ සිටි නාවික ප්‍රධානියා වූ අද්මිරාල් ඉසොරොකූ යමමොටෝගෙ (Isoroku Yamamoto) පූරණ අධීක්ෂණය යටතේය. ඇමරිකාවට දරුණුම හානිය සිදුවුනු පර්ල් වරායේ බෝම්බ ප්‍රහාරය (Attack Perl Harbor) සැලසුම් කලේ මේ හමුදා නිලධාරියා විසිනි. ඒ වගෙම මිඩ් වේ සංග්‍රාමය (Battleඑ of midway) සැලසුම් කරන ලද්දේ ද ඔහු විසිනි. මෙම අද්මිරාල් වරයා යමාටෝ නෞකාව මිඩ්වේ සටනේදී යොදා නොගැනීමට තීරණය කලේ මිඩ්වේ සටනින් පසු ඇති විය හැකි ප්‍රතිප්‍රහාර වැලැක්වීම සදහා අරමුණිනි. නමුත් මිඩ්වේ සංග්‍රාමයේදී ජපානයට අනපේක්ෂිත පරාජයක් අත්වුනා. යමාටෝ 1944 වසරේ ජූනි මාසයේදී එක්සත් ජනපද හමුදාවන්ට එරහිව Battle of Philippine Sea මෙහෙයුමට එක් වූ අතර මෙය ලෝක ඉතිහාසයේ දරුණුම සංග්රමායන්ගෙන් එකක් ලෙස වාර්තා කර තිබේ. 1944 වසරේ ඔක්තෝබර් මාසයේදී යමාටෝ දෙවන ලෝක යුධ ඉතිහාසයේ දැවැන්තම නාවික සටන ලෙස සැලකෙන Battle of Leyte Gulf සදහාද එක්වුණි. මෙම සටන් බොහොමයක් අවසන් වූයේ ජපානයට ඉතාමත් අවාසිදායක ලෙසයි. නමුත් යමාටෝ නෞකාව මෙම සෑම යුධ මෙහෙයුමකදීම සැලකිය යුතු සේවයක් ජපානය වෙනුවෙන් ඉටුකලා.
1944 වසරේ අවසානය වනවිට දෙවන ලෝක යුද්ධයේ පරාජයේ සෙවනැලි ජර්මනියට මෙන්ම ජපානයටත් උදාවී තිබූ අතර ඇමරිකානු හමුදා ජපානය අත්පත් කරගෙන තිබූ සියලුම භූමි ප්‍රදේශයන් අල්ලා ගෙන තිබුණි. ඉතිරිව තිබූ ජපානයට අයත් දූපත් වලට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීම ඇරඹුවේ ඉන් අනතුරුවයි. ජපානයේ ප්‍රතිප්‍රහාර එතරම්ම සාර්ථක නොවූ අතර මේ වනවිට ජපාන හමුදා යුද්ධයෙන් හෙම්බත් වී සිටි බව වාර්තා වේ.
1945 අප්‍රේල් මස 7වනදා එක්සත් ජනපද හමුදාව ජපානයේ ඔකිනාවා (Okinawa) දූපතට දැවැන්ත ප්‍රහාරයක් දියත් කෙරුණි. මෙම ප්‍රහාරයට ප්‍රථම 1945 වර්ෂයේ මුල් මාස තුනේදී හා 1944 වර්ෂයේ අවසන් භාගයේ ජපානය හා ඇමරිකානු හමුදා අතර පිලිපීන මුහුදේ ඇතිවී ද්වන්ධ සටන් වලින් ජපාන නාවිකයන් විශාල ප්‍රමාණයක් ඔවුන්ට අහිමිවී තිබූ අතර ඔවුන්ගේ ප්‍රහාරාත්මකම යුධ නෞකා රැසක් විනාශ වී තිබුණි. විශේෂයෙන් බැට්ල් ඔෆ් ලයිට් ගල්ෆ් (Battle of Leyte Gulf) යුධ මෙහෙයුම විශාල නාවිකයන් ප්‍රමාණයකට දිවි අහිමි කලා. ලක්ෂ දෙකකට වැඩි නාවිකයන් ප්‍රමාණයක් මෙම සාගර සටනට සම්බන්ධ වූ බව වාර්තා වේ. මෙම සටන් වලදී ජපාන ඉම්පීරියල් නාවික හමුදාව දැඩි ලෙස අඩපණ වූ අතර අවසානයේ ඔවුන්ට ඉතිරිව තිබුනේ යමාටෝ නෞකාව හා තවත් නෞකා කිහිපයක් පමණයි.
ඔවුන් ඔකිනාවා මුදාගැනීමේ මෙහෙයුමට සැරසෙන්නේ මෙවන් පසුබිමකයි. ජපානය විසින් ඔකිනාවේ ඇමරිකානු හමුදා වලට එරහිව කල මෙම මෙහෙයුම ඔපරේෂන් ටෙන් ඉචි ගෝ (Operation Ten Ichi Go), ඔපරේෂන් හෙවන් වන් (Operation Heaven One), ටෙන් ගෝ (Operation 10 Go) වැනි විවිධ නම් වලින් හදුන්වනවා.
මෙම ද්වන්ධ සාගර සංග්‍රාමය සදහා ඇමරිකානු නායකත්වය කමාන්ඩර් මාර්ක් මිට්ස්චර් (Marc Mitscher) හා ජෝසෙෆ් ජේ ක්ලාක් (Joseph J Clark) විසින් ලබාදුන් අතර ජපාන හමුදාව මෙහෙයවනු ලැබුවේ කපිතාන් සෙඉචි ඉතෝ (Seiichi Ito) හා කෙයිසො කොමුරා (Keizo Komura) විසිනි. යමාටෝ නෞකාව මෙම මෙහෙයුමට සම්බන්ධ වන්නේ පරිවාරක යුධ ශක්තියක් නොමැතිව බව හා ජපානයේ බලඇණිය සම්බන්ධ සියලු තොරතුරු ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණි.
මින් පෙර සිටම යමාටෝ නෞකාවේ යුධ ශක්තිය පිලිබදව හොදින් දැන සිටි ඇමරිකාව මෙහෙයුම සකස් කරන්නේ එයට ගුවන් මගින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටයි. මෙම සටනට ඇමරිකානු ගුවන් යානා 400කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ අතර 1945 වර්ෂයේ අප්‍රේල් මස 7 වනදා මධ්‍යහන 12ට යමාටෝ නෞකාවට ආසන්න වූ මෙම ප්‍රහාරාත්මකම ගුවන් යානා සිය ගුවන් ප්‍රහාරය අරඹනු ලැබුවා. මෙම ගුවන් ප්‍රහාරයට එක්වූ බොහෝ ඇමරිකානු ගුවන් නියමුවන් හට යමාටෝ නෞකාව මුණ ගැසුනේ පලමු වරට බවත් වාර්තා වනවා. දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ ජපාන හමුදාවේ සියලුම නෞකා විනාශ වුනු අතර යමාටෝ තනිව සටන් කරමින් ඉදිරියට ඇදුනා. නමුත් කෙමෙන් යුධ ශක්තිය හීන වෙද්දී යමාටෝ වෙත එල්ල වන ගුවන් ප්‍රහාර දැඩිවුනු අතර නෞකාවට දැඩි හානි සිදුවිය. මෙම සටන දියත් වනවිට නෞකාව තුල ජපාන හමුදා සෙබලුන් හා නිලධාරීන් 3000කට ආසන්න ප්‍රමාණයක් සිට තිබෙනවා. දිගින් දිගටම එල්ල වන ගුවන් ප්‍රහාර හනුවේ යමාටෝ සම්පූර්ණයෙන් විනාශ වුනු අතර එක්වරම නෞකාව තුලින් විශාල පිපිරීමක් සිදුවී තිබෙන අතර එම පිපිරීමත් සමග නෞකාව ක්‍රමයෙන් මුහුදුබත් වීම ඇරඹුනු අතර නෞකාව තුල ඉතිරිවී සිටි ජපාන නාවිකයන් ජීවිතය බේරා ගැනීම සදහා මුහුදට පැන්න බව වාර්තා තුල සදහන් වනවා.
යමාටෝ නම් දෙවන ලෝක යුද්ධය සමයේ සාගරයේ රජ කල දැවැන්තම යුධ නෞකාවේ අවසානය සටහන් වුනේ මෙවන් ආකාරයකටයි. බිස්මාක් තරම්ම ප්‍රහාරාත්මක නොවුනත් යමාටෝ විශාල යුධ ශක්තියක් තිබූ නෞකාවක්. නමුත් යමාටෝ නෞකාව හැසරවීමේ හැකියාවක් ජපාන හමුදාවට අවසානයේ තිබුනේ නැහැ. අවසන් සටනේදී ඇමරිකානු ගුවන් යානා 10ක් විනාශ වූ බව වාර්තා වනවා. වසර ගණනාවක් යමාටෝ මුහුදුබත් වුනු ස්ථානය සොයාගැනීමට නොහැකි වුණි. නමුත් පසුව ජපාන සාගර ගවේෂකයන්ට එය සොයාගැනීමට හැකිවුනු අතර 2005 වසරේදී යමාටෝ සිහිවීම සදහා එහි යුධ ශක්තිය නිරූපණය වන ලෙස කෞතුකාගාරයක් ඉදිකිරීමටත් ජපානය කටියුතු කලා.
සටහන – මනුජිත් අබේරත්න