වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ දෙක හමාරක් ?
මෑතකදී කෑගල්ල දිස්ත්‍රික්කයේ 13 හැවිරිදි දරුවෙකු ජලභීතිකා රෝගය වැළඳී මරණයට පත්වුණු කනගාටුදායක සිද්ධියක් ගැන අසන්නට ලැබුණා. දෙමව්පියන් ඉදිරියේදී ම දරුවා මිය දෙන ආකාරය බලා සිටීමට සිදු වීම කෙතරම් වේදනා සහගත සිදුවීමක් ද?
සුනඛයෙකු සපාකෑම කිසිවිටෙකත් සැහැල්ලුවට ගත යුතු කාරණාවක් නොවේ. වසරකට ජලභීතිකා රෝගය නිසා 20 – 30 අතර පුද්ගලයින් ප්‍රමාණයක් මිය යනවා. එහෙත් ජලභීතිකා රෝගයට අද සමාජයේ තිබෙන අවධානය අඩු බවක් පෙනෙනවා. ජලභීතිකාවට ගොදුරුවූ පුද්ගලයෙකු තම ඇස් දෙකෙන්ම දැකගන්න අවස්ථාවක් ලැබුණොත් සමාජයේ මේ පිළිබඳව අවධානය යොමු වීම මීට වඩා ඉහළ මටට්මක පවතීවි. මෙම මාරාන්තික ජලභීතිකාව ගැන අපි සැවොම මනා අවබෝධයක් ලබා ගැනීම ඉතා ම වැදගත්.

මෙම රෝගය බහුලව ම වැළඳෙන්නේ සුනඛයන්ගෙන්. ගෙවල්වල ඇතිකරන බළලුන්ගෙන් ද මෙම රෝගය ඇතිවෙනවා. ගෙවත්තේ දක්නට ලැබෙන මුගටියන් , ඌරු මීයන්, උගුඩුවන් වැනි සතුන්ගෙන් ද කැලෑ සතුන් වන නරියන් ,දඩු ලේනන්, උරුලෑවන්, කැලූ බළලුන් වැනි සතුන්ගෙන් ද මෙම රෝගය අපට වැළදෙන්න පුළුවන්.
මෙම රෝගය බහුලවම වැළඳෙන්නේ සතෙකු සපා කෑමෙන් . සමෙහි ඇති තුවාලයක් මත ආසාදිත සතෙකුගේ ඛේටය තැවරීමෙන් ද මෙම රෝගය වැළදීමට පුළුවන්.
නිරෝගී සමක් හරහා මෙම වෛරසය ශරීරගත වීමට හැකියාවක් නැහැ. එහෙත් සම මතුපිට තුවාලයක් තිබුණොත් තුවාලය මත ජලභීතිකාව වැළඳුණු සතෙකුගේ කෙල තැවරුණොත් එම වෛරසය ශරීරගත වීමට පුළුවන්. ඒ නිසා අපේ ශරිරයේ සතෙකුගේ කෙල තැවරුණොත් අනිවාර්යයයෙන් ම එය සබන් යොදා පිරිසුදු කර ගත යුතුයි. සුනඛයෙකුට රෝග ලක්ෂණ පහළ වීමට දින 14 කට කලින් සිට ම වුවත් ඛේටයේ මෙම වෛරසය තියෙන්න පුූළුවන්. ජලභීතිකා වෛරසය ශරීරයට ඇතුළු වුවාට පසු එම සතාට මෙන්ම මිනිසුන්ටත් රෝග ලක්ෂණ මතු වන්න ගතවන කාලය මාසයක් හෝ මාස 02 ක් පමණ වුව ද වීමට ඉඩ තිබෙනවා.

ජලභීතිකා රෝගය වැළඳුණු සුනඛයෙකු හඳුනාගන්නේ කෙසේද?
- ඕනෑම ආකාරයක හැසිරීමේ වෙනසක්
- උදාසීන බව
- උණ ඇති බව
- ජලය හා ආහාර ප්‍රතික්ෂේප කිරීම
- ගිලීමට ඇති අපහසු බව
- වමනය සහ පාචනය
- මුඛයෙන් සෙම වැගිරීම
- බුරන ශබ්දයේ වෙනසක්
ජලභීතිකා වෛරසය ශරීරගත වීමෙන් මිනිසුනට ඇතිවන රෝග ලක්ෂණ
- සපා කෑ ස්ථානයේ ඉදිකටු අනිනවා මෙන් දැනීම
- උණ හිසරදය හා ශරීරයේ වේදනාව
- වමනය
- ගිලීමට ඇති අපහසුතාවය
අවසානයේ ව්‍යාකූල තත්ත්වයට පත්වී මරණය ඇතිවේ. මේවා වේදනාකාරී මරණ වන බැවින් මෙම මරණ වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි.
සතෙතු සපා කෑ විට කළ යුත්තේ කුමක්ද?
එම තුවාලය සබන් හා වතුර යොදා අඩු තරමින් මිනිත්තු 05 ක්වත් හොදින් පිරිසිදු කිරීම කළ යුතුයි. මෙම වෛරසය සබන් මගින් පහසුවෙන් මර්දනය කළ හැකියි.ඉන් පසු අයඩීන් ද්‍රාවණයෙන් හෝ සර්ජිකල් ස්ප්‍රීතු යොදා තුවාලය තව දුරටත් පිරිසිදු කර ගැනීම කළ යුතුයි. ඉන් අනතුරුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත යාම කළ යුතුයි. මෙය ඉතා ම වැදගත් පියවරක්. වෛද්‍යවරයා එවිට තුවාලයේ සොබාවය තුවාල ගණන ආදී බොහෝ කරුණු සොයා බලා නිගමනයකට පැමිණෙනවා. ජලභීතිකා වෛරසය ශරීරගත වීමෙන් සිදු වු මරණ සියල්ලම පාහේ මෙලෙස රෝහල් වෙත යොමු නොවීමෙන් සිදු වූ ඒවා බව පැහැදිලියි. සපා කෑ සත්වයාගේ එන්නත් වාර්තා තිබේ නම් ඒවා රැගෙන යාම ද ඉතා වදගත්.වාර්තා සොයා ගත නොහැකි වුව ද රෝහලට යාම ප්‍රමාද කළ යුතු නැහැ. බොහෝවිට තමන්ගේ සතාට බෙහෙත් විද ඇති බව සිතා සිටියත් වාර්තා බලන විට නිසි ලෙස බෙහෙත් විද නැති බව පැහැදිලි වූ අවස්ථා තියෙනවා. සමහර විට අවුරුදු කිහිපයකට කලින් විදපු බෙහෙතක් වෙන්න පුළුවන්.
මෙම ජලභීතිකාව සඳහා ලබා දෙන එන්නත් ඉතාම ආරක්ෂාකාරීයි. එ නිසා ප්‍රතිකාර සඳහා යොමු නොවීම සිදු කළ යුතු නැහැ. ගර්භණී බව හෝ කුඩා දරුවන්ට ද ප්‍රතිකාර සඳහා යොමු වීමේ අවධානමක් නැහැ. මෙහිදී එන්නත් මාලාවක් ලබා දෙනවා. එක එන්නතක් පමණක් ලබා ගැනීමෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එන්නත් කිරීම අතරමඟ නතර කිරීමෙන් සිදුවූ මරණ ද වාර්තා වී තිබෙනවා. එන්නත ගත යුතු දිනට එන්නත මුලින්ම ගත් රෝහලට යා යුතු නැහැ. එන්නත් කාඩ් පත ඉදිරිපත් කර මෙම එන්නත් ලබා දෙන ඔිනෑම රෝහලකින් එන්නත් ලබා ගන්න පුළුවන් .
සතෙකුගේ සපාකෑමකට ලක් වූවා නම් එම සතා අයිතිකරුවෙකු සිටින සතෙකු නම් දින 14 ක් පුරා සතාව නිරීක්ෂණය කරන්න. මෙහිදී ජලභීතිකා රෝග ලක්ෂණ මතු වෙනවද කිසියම් හෝ වෙනසක් තිබේ ද යන්න නිරීක්ෂණය කළ යුතු වෙනවා. එවන් හැසිරීමක් දුුටුවහොත් වහාම රෝහල වෙත දැනුම් දිය යුතුයි. සුනඛයා මරණයට පත් වුවහොත් හිස කදෙන් වෙන්කර පැය 08 ක් ඇතුළත කාලයකදී හිසෙහි ජලභීතිකා වෛරසය ඇතිදැයි සොයා බැලීමට රෝහල වෙත සුනඛ හිස ගෙන යායුතුයි. මේ සඳහා ඔබට ප්‍රෙද්ශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. ලංකාවේ මෙම පරීක්ෂණ සිදු කරන ස්ථාන 03 ක් තිබෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය , කරාපිටිය ශික්ෂණ රෝහල හා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය .
පැය 08 ක් ඇතුළත සුනඛ හිස යැවීමට අපහසු නම් අයිස්වල බහා පැය 24ක් ඇතුළත යවන්නත් පුූඵවන්. සුනඛයාට ජලභීතිකාව ඇති බවට වාර්තා වුවහොත් වහාම ප්‍රෙද්ශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කිරීමට කටයුතු කරන්න. එම සුනඛයා විසින් සපාකන ලද පුද්ගලයින් හෝ සතුන් සිටිනවාද යන්න පිළිබඳව සොයා බලා එන්නත් කිරිම ආදී වැඩපිළිවෙළ රැසක් සිදු වන නිසා මෙම දැනුවත් කිරිම ඉතා ම වැදගත්. ලේනුන් වැනි කුඩා සතුන් යවනවා නම් හිසෙන් වෙන් කළ යුතු වන්නේ නැහැ.
වළක්වා ගැනීමට කළ යුතු දේ
- ඇති කරන සියලුම ක්ෂීරපායි සතුන් ජලභීතිකා එන්නත්කරණයට ලක් කිරීම
(රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ පෞද්ගලික මධ්‍යස්ථානවලින් එන්නත් කිරිම කළ හැකියි. )
- සෑම වර්ෂයකට වරක් ප්‍රෙද්ශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සුනඛයින් එන්නත්කරණයට ලක් කරන අතර එම දිනවල නොවරදවා එන්නත් කරවා ගැනීම
- ආහාර ලබා දී නඩත්තු කරන වීදි සතුන් සිිටිනවා නම් එම සතුන්ද එන්නත් කිරීම
පසුගිය වර්ෂයේ ජලභීකිකා වෛරසය වැළඳීමෙන් සිදුවූ මරණවලින් මරණ 11 ක් ම සිදුවී ඇත්තේ ගෘහාශ්‍රිතව ඇතිකරන සුනඛයින්ගෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ නිසා අන් අයට තර්ජනයක් ඇති නොවන සේ සතුන් ඇතිකිරීමට සදාචාරාත්මක මෙන්ම නීතිමය බැදීමකුත් පවතින බව අවබෝධ කර ගැනීම ද ඉතා ම වැදගත්.
ඇතමුන් බලු පැටවුන් එන්නත් කිරීම ද අනවශ්‍ය ලෙස ප්‍රමාද කරනවා. මුල්ම එන්නත සති 04 ක් 06 ක් ඇතුළත ලබා දී මාස 03 කින් තව එන්නතක් ලබා දිය යුතුයි. ඉන් පසු වාර්ෂිකව ජලභීතිකා එන්නත් ලබා දිය යුතුයි. මුල් එන්නත ලබා දෙන තෙක් කුඩා දරුවන් එම බලු පැටවුන්ගෙන් ඈත් කර තැබීම වඩාත් සුදුසුයි. බලු පැටවුන්ට ජලභීතිකාව වැළදීමේදී රෝග ලක්ෂණ තරමක් වෙනස් වන අතර ඔවුන් අධිි ක්‍රියාශීලී බවක් පෙන්වනවා. ඔවුන් සුරතලයට සපාකනවා යැයි වැරඳි අදහසක් ඇතිවන්න පුළුවන්. ඇතමුන් කුඩා බලු පැටවුන් මුහුණට ලං කර ගන්නවා. මෙය ඉතා ම අනතුරුදායකයි. මුහුණ ආශ්‍රිතව සපාකෑමක් සිදු වුනොත් ජලභීතිකාව වැළඳමේ ප්‍රවණතාවය ඉතා ඉහළයි. මුහුණේ සිට මොළයට ඇති දුර ඉතා ම අඩුයි. ඉතා ම කෙටි කාලයක් තුළ මෙම වෛරසය මොළය කරා ගමන් කර රෝගය ඇති වන්න පුළුවන්. කුඩා දරුවන් සුනඛයින්ගේ කන්වලින් ඇදීම පිටඋඩ නැඟීම ආදිය කිරීමට පෙළඹෙනවා. මේ දේවල් සුනඛයින් ඉතා ම අකැමැති තරහා ගන්නා දේවල් වන බැවින් මෙවැනි දේවල් ද නොකරන ලෙසට දරුවන් දැනුවත් කළ යුතුයි.
විශේෂයෙන් ම ස්වාමියා නැති අවස්ථා , වැටකින් හෝ තාප්පයකින් අත දමා සතුන් අත ගෑමට උත්සහ කිරීම, සතෙකු නිදා ගෙන සිටින අවස්ථා , සතෙකු ආහාර ගන්නා විට, අසනීප හෝ තුවාලයක් ඇති විට සුනඛයෙකු සපා කෑමට වැඩි අවධානමක් පවතින බව අවබෝධ කර ගත යුතුයි. කිසිම අවස්ථාවක ගෙදර ඇති කරන සුනඛයා සමඟ හෝ කුඩා දරුවන් නිවසේ තනිකර නොයාමට වගබලාගත යුතුය .මෙවැනි අවස්ථාවල කුඩා දරුවන් කරන ඇතැම් ක්‍රියා නිසා අප නොසිතන දරුණු සපා කෑම්වලට ලක්වුණු දරුවන් පිළිබඳව වාර්තා වී තිබෙනවා. මේ නිසා සෑම සුනඛයෙක්ම ඕනෑම මොහොතක සපා කෑමට හැකිය යන මතයේ සිට කටයුතු කිරීම ඉතා වැදගත්
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාගේ දැනුවත් කිරීමක් ඇසුරෙනි.
සටහන –
ඉරේෂා මධුරකාවිනී