මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල ඓතිහාසික විහාරයේ සිට කණ්ඩලම මාර්ගය හරහා ගමන් කර 17 KM පමණ දුරක් යන විට අපට මෙම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානය දැක බලා ගත හැකිය. නිදන් සොරුන්ගේ නෙත ගැටී විනාශයට ලක්වී පැවතියද ස්ථූපයක් සෙල්ලිපි කටාරම් කොටන ලද ලෙන් පොකුණු මෙන්ම දිය කඳුරු ද මෙම ස්ථානයේ දී දැකබලා ගත හැකිය. ගමන් කිරීමට පවතින මාර්ගය කණ්ඩලම පාරෙන් හැරුණ විට පටු ස්වරූපයක් ගනි. එම මාර්ගය තරමක් දුෂ්කරය. යතුරු පැදියක ඉතා පහසුවෙන් මෙම මාර්ගයේ ගමන් කළ හැකිය. වනාන්තරයක් වැනි ගස්වැල් පඳුරු මෙන්ම ඉතා අලංකාර ශාක මෙහිදී දැකගත හැක. මාර්ගයේ ගමන් කරන විට ගතට ඉතා සිසිලසක් ගෙන දේ.

මෙම විහාරාරාමය ඉදිකර ඇති ආකාරය සුවිශේෂී වේ.මෙහි ආරාමය පබ්බත විහාර නැතහොත් පංචාවාස ක්‍රමයට ගොඩනංවා ඇති අතර මංජු ශ්‍රී භාවිත වාස්තු විද්‍යා ශාස්ත්‍රයෙහි විස්තර කරන ලද පරිදි දිය අගලකින් වට වූ වේදිකාවක් මත ප්‍රාථමික ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. ආරාමයේ ප්‍රධාන ගොඩනැගිලි වල මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්තූපයක් සහ ගල්කණු ආධාරයෙන් නැගී සිට ඇති ගොඩනැගිලි දක්නට ලැබේ. මෙහි ස්තූපයේ චෛත්‍යය මළුවට පිවිසෙන දොරටු ආශ්‍රිතව සඳකඩ පහන් හා මුරගල් දක්නට ලැබේ.
මෙහි කඳු බෑවුම් මත මලු කීපයකින් යුක්තව සකස්කර ඇති අතර ඒවා දිය අගලකින් වටවී ඇති බව පෙනේ. මෙය වටා පිහිටි දියා ගල් නිසැකවම පරිසරයේ සිසිලස තව තවත් වැඩිවීමට උපකාරී වේ. මළුව පසුකර ගමන් කරන විට ඉතා විශාල ගල් කුණු සහිත ස්ථානයක් දැක ගත හැකිය. මෙම භූමියේ ගල් ලෙන් කීපයක් දක්නට තිබේ. ඒවායෙහි කටාරම් කොටා ඇති අතර භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි පරිදි ඉදිකිරීම් කර තිබූ බවට සාක්ෂි ද අදටත් ඉතිරිව පවතී.

මෙම භූමිය අක්කර සීයක් පමණ වන බවත් මෙහි ගල් ලෙන් හැට නවයක් පමණ හඳුනාගෙන ඇති බවත් කියවේ. එමෙන්ම මෙම ස්ථානයෙන් සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. පළමු ලිපිය ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩිපෙළෙක සරල මුරගලක් මත කොටා තිබේ. එය ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසට පමණ අයත් බව පිළිගැනේ.
එමෙන්ම දෙවන සෙල්ලිපිය ස්ථූපයේ නිරිත දෙසින් අඩි 400 ක් පමණ දුරින් පිහිටි ලිනක කොටා තිබේ. එය නව වන සතවර්ශයට පමණ අයත් අක්ෂර බව හඳුනාගෙන ඇත. මෙහි අක්ෂර කෙටීමේ දී නොගැඹුරුව සටහන් කර තිබීමත් ඒවා ස්වභාවය වෙනස් වීමත් දක්නට ලැබෙන අතර මෙම සෙල් ලිපිය මනාව සිදු කර නොමැති බව පෙනේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ මතය වන්නේ මෙම සෙල්ලිපිය දෙවන සේන රජු දවසට අයත් බවයි. එසේ නැතිනම් හතරවන උදය රජුට අයත් බව ද කියැවේ. ක්‍රිස්තු වර්ෂ නව වන ශතවර්ශය වන විට මෙම ආරාම සංකීර්ණය දක්ඛිණගිරි හෝ දක්ඛිණ ආරාමය ලෙස හැඳින්වූ බව මෙම සෙල්ලිපියට අනුව සනාථ වේ.
මෙම සෙල්ලිපියේ අන්තර්ගතය වන්නේ ආරාම සංකීර්ණයට දානය සැපයීමේ දී විවිධ පුද්ගලයන් විසින් කරන ලද පරිත්‍යාගයන්ය. මෙහි ප්‍රධාන කොටස වන්නේ දළනා නම් පුද්ගලයාගේ පරිත්‍යාගයයි. ඔහු දිනපතා සහල් හා කිරි සැපයීමට රත්රන් කලං විසිතුනක් පරිත්‍යාග කර ඇත. එමෙන්ම සහල් නොපිසූ ලෙස ලබා නොදිය යුතු බවට කොන්දේසියක් ඔහු විසින් දක්වා තිබේ. එයින් ඔහුට ආරාම භික්ෂූන් කෙරෙහි යම් අවිශ්වාසයක් පවතින්නට ඇතැයි ද ඇතැම්හු මත ඉදිරිපත් කරති. ආරාම භික්ෂූන් අතර යම් මතභේදයක් ඇති වුවහොත් පිසූ දානය බල්ලන්ට හා කපුටන්ට ලබාදිය යුතු බවටද ඔහු දන්වා ඇත. එයින් ඔහු ආහාර අපතේ නොයවා කවරෙකුගේ හෝ කුස පිරවීමට යොදාගත යුතු බව දන්වා තිබේ.

සද්ධාතිස්ස රජු විසින් මෙම විහාරය ඉදිකරන්නට ඇතැයි මහාවංශය සඳහන් කරයි. චූලවංශයට අනුව ධාතුසේන රජු විසින්ද දක්ඛිණ ගිරි විහාරය නමින් ස්ථූපයක් කරවා තිබේ. ඊට අමතරව පළවන අග්බෝ රජු විසින් දක්ඛිණ ගිරි දල්හ විහාරයට උපෝසථාගාරයක් ඉදිකර තිබේ. අමුත් එය මෙම විහාරය නොවන බවට මත ඉදිරිපත්වී ඇත එමෙන්ම පස්සන කාශ්‍යප රජු දක්ඛිණ ගිරි විහාරයට ගම්මානයක් පූජා කළ බව චූලවංශය සාක්ෂි දරයි.
මෙම විහාරාරාමයෙන් හමුවන තුන්වන සෙල්ලිපිය හමුවන්නේ ස්ථූපයට දකුණින් අඩි 250ක් පමණ දුරින් නටඹුන් වූ ගොඩනැගිල්ලක් අසල ඇති ශෛලමය පුවරුවකය. මෙම සෙල්ලිපියට අනුව මෙම විහාරාරාමය දක්ඛිණගිරි විහාරය ලෙසත් එය හතරවන සේන රජු දවසට අයත් බවත් හඳුනාගෙන තිබේ.

මෙම විහාර භූමියේ ජලය සහිත පොකුණක් දක්නට ලැබේ. එය තුළ පිරී ඇති කාල වර්ණයෙන් යුතු මඩ සහිත ජලය මෙම භූමියට කළු දිය පොකුණ ලෙස නම් ලැබීමට ඉවහල් වන්නට ඇතැයි ඇතැම්හු මත ඉදිරිපත් කරති. මෙම ආරාම සංකීර්ණය 1979 හා 80 අතර කාලයේදී සංරක්ෂණය කර තිබේ. වර්තමානය වන විට බොහෝ පිරිස් මෙම පුරාවිද්‍යා භූමිය නැරඹීමට යති. ඉතා පහසුවෙන් මෙය නරඹා අවසන් කළ හැකිය. ඇරව් වල කඳු පන්තියෙන් මෙම භූමියට ලැබී ඇත්තේ තවත් සුන්දරත්වයකි. කුඩා දරුවකුට වුවත් මෙම මාර්ගයේ ගමන් කිරීම ඉතා පහසුය. පුස් වෙල් වැනි අලංකාර ස්වභාවික වැල් වර්ග ශාක වර්ග මෙහි බහුලව දක්නට පවතී. විහාරාරාමය තුළ ගමන් කරන විට ජල ධහරා හරහා එගොඩ මෙගොඩ වෙමින් ගමන් කිරීමට සිදුවීම නවමු අත්දැකීමකි. මෙම පරිසර පද්ධතියට හානි නොකර පොලිතීන් ප්ලාස්ටික් වැනි දේ නොදමා මෙහි අසිරිය අනාගත පරපුරට දායාද කිරීම අප කාගේත් යුතුකමකි.
සටහන –

අනූජා දසවර්ධන