“යෝ ධම්මං පස්සති – යෝ මං පස්සති” යමෙක් ධර්මය දකීද හේ මා දකී යනුවෙන් බුදුරජාණන් වහන්සේ වක්කලී මහරහතාණන් වහන්සේට දේශනා කළ සේක.එකී ධර්මය වනාහී බුදුදහමයි.බුදුදහම දැකීම පිණිස දහම් අධ්‍යාපනය ලබා දෙන තැන වනාහී දහම් පාසලයි.දහම් පාසලේ මූඛ්‍ය පරමාර්ථය දරු දැරියන්ට සිද්ධාන්තිකව දහම් අධ්‍යාපනය ලබා දී විභාග වලට පෙනී සිටීමට අවශ්‍යය දැනුම ලබා දීම පමණක් නොවන අතර ධර්මය ඉගැන්වීම තුළින් දරුවා ගුණ ගරුක පුරවැසියෙක් බවට ප්‍රායෝගිකව හැඩ ගස්වා සමාජයට දායාද කිරීමයි.
ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසල යනු එවන් ධාර්මික ගුණ පුරවැසියන් රැසක් ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨ දම්විදු පියසකි.මන්දයත් මේ වසරේ එම දම් විදු පියස සිය පනස් වස සපුරමින් සිය ස්වර්ණ ජයන්තිය සමරන බැවිනි. මේ හේතුවෙන් ”ශ්‍රි විමලසිරි අභිමන්” නමින් Colombo Journal අප සිදු කළ සාකච්ඡා මාලාවේ වසර විසි පහක් පුරාවට එම දහම් පාසලේ සේවයේ නියුතු වෙමින් දැයේ දරුවන් දම් දැනුමින් සුපෝෂණය කර ගුණ ගරුක දරු කැළක් ලොවට දායාද කරනු වස් සිය සේවය කැප කරන දහම් පාසල් ජෙය්‍යෂ්ඨ ආචාර්ය බණ්ඩාර ගුණතිලක මහතා සමග සිදු කළ සංවාදමය දිගහැරුමයි මේ.
ප්රශ්නය:- විසි පස් වසරක් පුරාවට ශ්‍රී විමලසිරි දහම් පාසලේ ආචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔබතුමාගේ දහම් පාසල සමග ඇති සහ සම්බන්ධ කෙබඳුද?
පිළිතුර:- සත්තකින්ම ශ්‍රී විමලසිරි දහම් පාසල යනු මෙම ප්‍රාදේශයේ සම්මානීය දහම් පාසලක්.එබැවින් මේ දහම් පාසල සමග වසර විසි පහක කාලයක් පුරාවට දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කිරීම සදහා දායක වීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙනවා. මන්දයත් දරුවන් දහම් පාසල තුළ රැදෙන්නේ සතියකට පැය තුනක් වගේ ඉතා කෙටි කාලයක්. ඔවුන් වැඩිපුර කාලය ගත කරන්නේ පාසලේ නැත්නම් නිවසේ.මේ නිසා පැය තුනක් වගේ ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් තුළ දරුවන්ගේ විනය ගොඩ නැගීමට එහෙමත් නැත්නම් ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු බිහි කිරීමට මා ඇතුළු මාගේ ආචාර්ය මණ්ඩලයේ අපි උපරිමයෙන් කැප වෙනවා.
වසර 50ක් පුරාවට මේ දහම් පාසල නායක ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ ගුරු හරුකම් මධ්‍යයේ සිය ගමන් මග එළිපෙහෙළි කර ගෙන ඇති අතර වර්තමානයේ මෙහි ප්රධානාචාර්ය්ය ධූරය හොබවන්නේ මොරකැටියාරේ සුමනනන්ද නායක ස්වාමීන්වහන්සේ. උන්වහන්සේ සමග එකතුව අප ආචාර්ය මණ්ඩලය දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා.අද වනවිට ලංකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල සමාජයේ විවිධ ආයතන වල මෙම දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ දරුවන් ඉතා හොද තත්ත්වයන් වල සිටින අතර එය දහම් පාසලෙන් ඔවුන්ගේ ජීවිතයට ලැබූ කදිම පන්නරයක්.
මන්දයත් මෙම දහම් පාසල සිය දරුවන්ට දහම් පාසල් විෂය නිර්දේශයට හා විභාග පමණක් ඉලක්ක කර ගත් අධ්‍යාපනයක් ලබා දුන්නේ නෑ.ඒ වෙනුවට දරුවන්ගේ කුසලතාවයන් ඔප් නංවා ගත හැකි පරිදි සුවිශේෂී වැඩසටහන් රැසක් දහම් පාසල් හරහා දරුවන් වෙනුවෙන් සංවිධානය වුණා.සමනල ළමා සමුළුව නමින් මසකට වරක් පැවැත්වෙන දරු දැරියන්ගේ කුසලතා එළිදැක්වීමට සකස් කරන වේදිකාව මෙයට කදිම උදාහරණයක්.
එය පොත පතින් විභාග වලින් දරුවන් ලබන දැනුමට වඩා ඔවුන්ට සමාජය පිළිබඳව ඉගෙන ගැනීමට ලැබෙන කදිම තෝතැන්නක්.
මීට අමතරව අප දහම් පාසලේ දරුවන් විවාද,කථික,ගායනා ආදී විවිධ තරග වලට යොමු කරනවා.එමගින් ඔවුන්ට සමාජය තුළ සබකෝලය නොමැතිව සිය හැකියාවන් කුසලතාවයන් එළිදැක්වීමට හැකියාව ලැබී තිබෙනවා.
අද වනවිට වසර 20,30,40 වයස් සපිරුණු මෙම දහම් පාසල් ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාජයේ ඉතා හොද තැන් වල ජීවත් වෙනවා. එය අපට සතුටට කරුණක්. ඇත්ත වශයෙන්ම මෙම දහම් පාසලේ මූලික අරමුණ උගත් බුද්ධිමත් විනය ගරුක දරුවෙකු සමාජගත කිරීමයි.
ප්රශ්නය:- ශ්‍රි විමලසිරි දහම් පාසල දරු දැරියන්ගේ කුසලතාවයන් හැකියාවන් ඔප් නැංවීමට කදිම තෝතැන්නක් ඔවුන්ට සකස් කර දෙනවා.ඇත්තටම එය දහම් පාසල තුළට පමණක් සීමා වී නොමැති අතර එය හරි අපූරුවට සමාජය තුළ වගේම අන්තර් දහම් පාසල් අතර ගොඩ නගා ගෙන තිබෙනවා දැකිය හැකියි.මේ සහ සම්බන්ධතාවය කොහොමද?
පිළිතුර:- අපේ දහම් පාසල් දරුවන් අන්තර් දහම් පාසල් විවාද,ගීත ගායනා ආදී තරග වලට ආරාධිත කණ්ඩායම් ලෙස ඉදිරිපත් වෙනවා.ඒ වගේම වෙනත් දහම් පාසල්වල දරුවන්ට ආරධිත කණ්ඩායම් ලෙස අපේ දහම් පාසලට තරග සදහා ආරාධනා කරනවා. අපේ දහම් පාසල් වේදිකාව මත අපි විසින් විවාද තරග සංවිධානය කරනවා. ඒ හරහා අපේ දරුවන් සබකෝලයෙන් තොරව ඕනෑම සමාජයක් ඉදිරියේ සෘජුව කතා කිරීමට,අදහස් දැක්වීමට හැකි හැකියාව අපි ගොඩ නගනවා.එයට අපේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහගු අත්වැලක් ලැබෙනවා.
ප්රශ්නය:-පාසලේ සිට සරසවිය දක්වාම අපට ලැබෙන්නේ විධිමත් අධ්‍යාපනයකි. දහම් පාසලටද එය පොදුය. එහෙත් ශ්‍රි විමලසිරි දහම් පාසල ඉන් ඔබ්බට ගොස් සමාජයට යහ පුරවැසියෙකු බිහි කිරිමෙහිලා සිය මෙහෙවර ඉටු කරන්නේ කෙසේද?
පිළිතුර:- අප දහම් පාසලේ දහම් අධ්‍යාපනය හා විභාග පැවැත්වීම රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව සිදු කරනවා.බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලින් පවත්වා ගෙන යනු ලබන සියලු විභාග වලට අපේ දරුවන් මුහුණ දෙනවා. ඔවුන් ඒවායින් සාර්ථක ප්‍රතිඵල වගේම තයාග පවා ලබා ගන්නවා. ඊට අමතරව විනය,ගුණ ගරුක භාවය පැත්තෙනුත් අපේ දරුවන් සමාජයේ ඉදිරියෙන්ම ඉන්නවා.ඒ බව ආදි සිසු සිසුවියන් අදටත් ගුරුවරුන්ට දක්වන ගුරු ගෞරවයෙන් පෙනි යනවා. දහම් පාසලේ අරමුණ විය යුත්තේ විෂය දැනුමින් සන්නද්ධ වගේම යහපත් ගුණ ගරුක හීක්මීමැති දරුවෙකු සමාජයට දායාද කිරීමයි.දැනට හා ඉදිරියට මේ දම් විදු පියස යට ඉගෙනුම ලබන දරු දැරියන් විනයගරුක පුරවැසියන් බවට පත් කිරීම අපේ යුතුකමක්.
ප්රශ්නය:-ගෙවී ගිය වසර පනහක කාලය ඔබ දහම් පාසල ඉතා සාර්ථකව ගත කළ අතර,මින් ඉදිරියට ශ්‍රි විමලසිරි දහම් පාසලේ අනාගතය කෙබඳුද?
පිළිතුර:- අනෙක් දහම් පාසල් වලට සාපේක්ෂව බැලූ කල ශ්‍රි විමලසිරි දහම් පාසලේ දරුවන් ඉතා හොද තැන් වල අද ඉන්නවා.ඔවුන් ලංකාවේ වගේම ලොව පුරා උගත් බුද්ධිමත් සත් පුරවැසියන් ලෙස වැදගත් වෘත්තීන් වල නියැලෙනවා.
වර්තමානය වන විට මෙම දහම් පාසලේ එකසිය පනහක් පමණ සිටින ශිෂ්‍ය ප්රජාවත් ඒ තැනට ගෙන ඒම අපගේ එකම අරමුණ වන අතර ශ්‍රි විමලසිරි දහම් විදු පියසේ සෙවණ ලැබ හැදි වැඩුණු ආදි සිසු ඔබගේ උපකාරය මග පෙන්වීම අපිට මෙහිලා ඉතා වැදගත් වෙනවා. නොවැම්බර් මස සිය පනස් වසරක සංවත්සරය සමරන මොහොතේ ඔබ ලබා දෙන අත්වැල අපි ඉතා අගේ කොට සලකනවා.
උදාර ගුණ දම් ඇති යහ පුරවැසියන් මතු මතුත් බිහි කරන්නට හැකියාව ශක්තිය ලැබෙන පින්බර සුබම සුබ සංවත්සරයක් වේවායි Colombo Journal අප ඔබට හදවතින්ම ආශිර්වාද කරමු.
කතිකාවත මෙහෙයවීම:- මනුරි පබසරි වලේබොඩ
පිටපත් සැකසීම හා වාර්තාකරණය:-එච්.එම්.එස්.එස්.කුමාරි