දෘශ්‍යාබාදිත ජනතාවගේ අයිතිවාසිකම් දිනාදුන් ලොව පලමු අන්ධ උපාධිදාරිනිය “හෙලන් කෙලර්”

author
0 minutes, 38 seconds Read

හෙලන් කෙලර් ඇමරිකාවේ Tuscumbia, Alabama හී වංශවත් යුවලකට දාව 1880 වර්ෂයේ ජූනි 27වනදා උපත ලැබූ හුරුබුහුටි දැරියක්. උපතේදී නිරෝගී දරුවෙකු වූ හෙලන්ට වයස මාස 19ක් පමණ වනවිට ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුන දෙන්න සිදුවුණා. ඇයට රුබෙල්ලා හෝ රතු උණ ලෙස සැක කරන හදුනා නොගත් උණ රෝගයක් වැලදුනේ ඇගේ දෙමව්පියන් කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින්. මෙම රෝග ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඇය මරණාසන්න තත්වයකට පත්වුනා. වෙදදුරන් ඇයව මරණයෙන් ගලවාගත් නමුත් ඇය සදාකාලිකව අන්ධ හා බිහිරි බාවයට පත් වුනේ ඇගේ දිවියම අන්ධකාරයේ ගිල්වමින්.

ඇගේ අබාදිත තත්වය සමග ඈ සතු වූ ගති පැවැතුම් සියල්ල වෙනස් වීමට පටන්ගත් අතර ඇය ඉතා දඩබ්බර අකීකරු දැරියක් බවට පත් වුණා. ඇයට ඉගෙනීම ලබා දිමට අවශ්‍ය වූ ඇගේ දෙමව්පියන් 1887 වර්ෂයේදී Anne Mansfield Sullivan (ඈන් මාන්ස්ෆීල්ඩ් සුලීවන්) නම් වූ ආභාදිත දරුවන්ට ඉගැන්විය හැකි ගුරුවරියක් නිවසට කදවනු ලැබුවා. ඈන් 20 වන වියේ පසුවූ තරුණියක් වූ අතර උපාධිදාරිනියක්ද වුනා. ඈන්ගේ කුඩාකල බොහෝ දුක්බර වූ අතර ඇයද අන්ධ බවින් කලක් පෙලී තිබුණා. ඇය සැත්කම් හතරකට ලක් වී ඇති අතර පසුව පෙනීම නැවත ලබාගැනීමට හැකි වූ තරුණියක්.

හෙලන්ගේ දරදඩු බවට හේතුව ඇගේ ආබාදය බව වටහා ගත් ඈන්ට මුලින්ම ඇය හික්මුණු දරුවෙක් කිරීමට අවශ්‍ය වුණා. ඇය හෙලන්ගේ දෙමව්පියන් හා සාකච්ඡා කොට හෙලන් කැටුව වෙනම නිවසකට ගියේ ඇයව තනිවම ඇසිරවීම සදහා අවස්තාව ලබා ගැනීමටයි. ඔවුන් දෙදෙනා පමණක් එහි වාසය කල බවයි වාර්තා වන්නේ. ඈන් හෙලන්ගේ අත්ලේ අකුරු ලියමින් ඒවායේ රටාව ඇයට දැනෙන්නට ඉඩ හැරියා. සජීවී ද්‍රව්‍ය ඇල්ලීමේන් එහි නම හදුනාගන්නා ආකාරය ඇයට උගන්වන්න ඈන් කටයුතු කලා. ඇයට ජලය යනු කුමක්දැයි මතක නොතිබුණද සිසිල් ගලා යන තරලය ඇගේ වැටුනු විට එය Water ලෙස හදුනා ගැනීමට ඇයට හැකි වුනා. ඈන්ගේ ඉගැන්වීමේ ක්‍රමය ඉතා සාර්ථක වූ අතර හෙලන් දක්ෂ ලෙස අකුරු ලිවීමටද පටන් ගත්තේ ඉතා කෙටි කලකින්.

කලක් ගතවත්ම හෙලන් දිනකට වචන 30 වඩා උගත් අතර බොහෝ දෑ වෙන්කර හදුනාගැනීමට ඇයට හැකියාවක් තිබුණා. ඒ සියල්ලටම වඩා අවිවාහක ගුරුවරිය ඇයව මවක් සේ රැකබලා ගනිමින් ඉතා හොදින් හික්මුණු ගුණවත් දරුවෙකු බවට පත් කරනු ලැබුවා. හෙලන්ට වයස අවුරුදු 10ක් වූ කල එනම් 1890 වර්ෂයේදී ඇයට කතා කිරීමට අවශ්‍ය වුනා. ඒ පිලිබදවද සොයා බැලූ ඈන් හෙලන්ව බොස්ටන් හී පිහිටි Horace Mann School for the Deaf and Hard of Hearing නම් පාසැලට රැගෙන යනු ලැබුවා. එහි ගුරුවරියක වූ සාරා ෆුලර් (Sarah Fuller) හෙලන්ගේ දක්ෂතා පිලිබද පැහැදී ඇයට කතා කිරීමට ඉගැන්විය හැකි පාඩම් 11ක් ඈන්ට ලබා දීමට කටයුතු කලා. ඈන් හෙලන් හා එක්ව දිනපතා එම පාඩම් අධ්‍යනය කල අතර ටික කලකින් හෙලන් හොදින් කතා කිරීමටත් පටන් ගත්තා.

ලිවීමට කියවීමට මෙන්ම කතා කිරීමටද හැකි මෙම අන්ධ, බිහිරි දැරිය හා ඇගේ ගුරිවරිය පිලිබද බොහෝ දෙනා අතර කතාබහට ලක් වීමට පටන් ගත්තේ මේ අයුරින්. ඔවුන් දෙදෙනා එක්සත් ජනපදයේ කෙතරම් ජනප්‍රිය වුනාද කියනව නම් ඇමරිකානු සංස්කෘතියේ දැවැන්තයින් දෙදෙනෙකු වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් හා මාර්ක් ට්වෙන් (Alexander Graham Bell and Mark Twain) පවා ඔවුන් මුණගැසුනු බව සදහන් වනවා. හෙලන් ක්‍රමයෙන් ලිපි ලිවීමට පෙළඹුනා. ඇගේ අදහස් විචිත්‍ර මෙන්ම වෙනස් වූ අතර හෙලන්ගේ ලිවීමේ හැකියාව පිලිබද එවකට සමාජයේ බොහෝ දෙනෙක් කතා කිරීමට පටන් ගත්තා. ඇය ලිවීමේ කලාවේ ඉතා දක්ෂ වූ අතර ඇගේ ලිපි වලට වරක් චෝදනාවක් එල්ල වූයේ ඒවා ඇගේ අදහස් නොවන බව පවසමින්. හෙලන් ලියන්නේ ඇගේ නිර්මාණ නොව ඈන් ගේ අදහස් බව පිරිසක් චෝදනා කර තිබුනා. එම අවස්තාවේදී මාර්ක් ට්වෙන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ අතර ඔහු එය නිවරැදි නොවන බවට ප්‍රකාශ කරනු ලැබුවා.

1898 වර්ෂයේදී හෙලන් ඇගේ සිහිනය වූ උපාධිදාරිනියක වීමේ මූලික පියවර තබමින් Cambridge School for Young Ladies වෙත ඇතුලත් වුනා. ඉන් අධ්‍යාපනය අවසන් කල ඇය1900 වර්ෂයේදී Radcliffe College වෙත ඇතුලත් වූ අතර 1904 වර්ෂයේදී සිය කලා උපාධිය ලබා ගත්තා. ඇය අන්ධව හා බිහිරිව උපාධියක් ලබාගත් ලොව පළමු කාන්තාව බවට පත්වුනේ ලෝක ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින්. 1904 වර්ෂයේදී පෙර ලොව කිසිදු පුද්ගලයෙක් අන්ධව හා බිහිරිව සිටියදී උපාධිය ලබාගෙන තිබුනේ නැහැ.

සිය ලේඛණ කටියුතු දිගටම සාර්ථකව කරගෙන් ගිය ඇය ලේඛිකාවක් ලෙස ඇමෙරිකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනා. ඇයට රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් සිටි බව සදහන් වනවා. 1903 වර්ෂයේදී උපාධිය ලබා ගැනීමට පෙර ඇය රචනා කල ඇගේ ජීවිත කතාව වූ “The Story of my Life” රසිකයන් තදින් වැලදගත් කෘතියක් වූ අතර එය කොටස් වශයෙන් එවකට ප්‍රකට සගරාවක් වූ Ladies’ Home Journal magazine හී පලවී තිබුනා. ඇගේ ජීවිත කතාව පසුව විවිධ භාෂා 50 කට පමණ පරිවර්තනය වුනා.

The World I Live In, The Song of the Stone Wall, Out of the Dark; My Religion; Midstream—My Later Life; Peace at Eventide; Helen Keller in Scotland; Helen Keller’s Journal; Let Us Have Faith; Teacher, Anne Sullivan Macy; The Open Door වැනි ප්‍රකට් කෘති ගණනාවක් ඇය රචනා කලා. ඇගේ ලේඛනාගාරයේ ඇය විසින් රචිත ලිපි හා කෘති 475ක් පමණ තිබූ අතර ඒ අතර සමාජවාදය, දර්ෂණවාදය හා සමාජ සංස්කෘතිය පිලිබද ලියවූ ලිපි මෙන්ම අන්ධ බව වැලැක්වීම හා උපත් පාලනය වැනි සංවේදී ලිපිද ඇතුලත් වීම ඉතාමත් විශේෂ කාරනයක්.

ඇගේ ලිපිවල සමාජවාදී සංකල්ප හොදින් ඉස්මතු වී පෙනුනු අතර ඇය පීඩිත පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පාලකයන්ට එරෙහිව දිගින් දිගටම ලිපි පලකරනු ලැබුවා. ඇය පලමු ලෝක යුද්ධයේ දී ඇමරිකානු භූමිකාව දැඩිලෙස විවේචනය කරන ලද සුවිශේෂී චරිතයක්. American Civil Liberties Union හී ආරම්භක සාමාජිකාවක් වූ ඇය American Organization for blind හී 1924 සිට වසර 40ක් සේවය කලා. එම සංවිධානය හරහා ඇය අන්ධ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමේ වසර ගණනාවක් පුරා සිය පුද්ගලික මුදල් පවා වැයකරමින් නිරත වූ බවයි වාර්තා වන්නේ. 1915 වර්ෂයේදී ඇය යුද්ධයෙන් පූර්ණ ලෙස අන්ධ වූවන් සදහා අරමුදලක් පිහිටවූ අතර Permanent Blind War Relief Fund නමින් හැදින්වූයේ එම අරමුදලයි. පසුකලෙක එය American Braille Press ලෙස හැදින්වූ අතර හෙලන් එහි ආරම්භක අධ්‍යක්ෂිකාවක්ද වුනා.

1936 දී සැබෑ ලෙස හෙලන් කෙලර් ලොවට බිහිකල ඇගේ ආදරනීය ගුරුවරිය ඈන් සුලීවන් මෙලොවින් සමුගත්තාය. එය ඇයට ඉතා වේදනාකාරී සමුගැනීමක් වූ අතර ඇය 1914 දී ඇගේ ලේකම් වරිය ලෙස බදවාගත් පොලී තොම්ප්සන් ඉන් ඉදිරියට හෙලන්ගේ කටියුතු වලට සහය වුනා. 1946 දී ඇගේ මූලිකත්වයෙන් American Foundation for Overseas Blind ලෙස ලෙස American Braille Press ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වූ අතර හෙලන් එහි ජාත්‍යන්තර උපදේශිකාව බවටත් පත් වුණා. අද වන විට එම සංවිධානය Helen Keller International ලෙස හදුන්වයි. ඒ හරහා ලොව පුරා විශාල අන්ධ ජන සංඛ්‍යාවක් වෙත විවිධ සේවාවන් සපයනු ලබනවා.

1946 සිට 1957 දක්වා ඇය රටවල් 35ක සංචාරය කල අතර Winston Churchill, Jawaharlal Nehru, and Golda Meir වැනි නායකයින් මුනගැසී අන්ධ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී ඇයව ජපානයේ පලමු සුභසාධන තානාපතිනිය ලෙස General Douglas MacArthur විසින් පත්කරන ලදී. ඇය පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අන්ධ හා ආබාදවූ විශාල පිරිසකට ආධාර කල අතර ඇය දැකගැනීමට මිලියන 2 ආසන්න පිරිසක් පැමිණි බව සදහන් වනවා. ඇය ආසියාව පුරා සිය සේවය සැපයූ අතර මාස 5 කාලයක් පුරා ආසියාවේ සැතපුම් 40,000 පමණ සංචාරය කල බවත් වාර්තා වනවා.

ඇගේ සේවය අගයමින් ඇමරිකාවේ Temple සහ Harvard යන විශ්වවිද්‍යාල ද්විත්වයෙන්ම ඇයට ආචාර්ය උපාධි පිරිනමනු ලැබුවා. යුරෝපයේ Glasgow හා Berlin විශ්ව විද්‍යාල ද්විත්වයෙන් මෙන්ම ඉන්දියාවේ Delhi විශ්ව විද්‍යාලයෙනුත් දකුණු අප්‍රිකාවේ Witwatersrand විශ්ව විද්‍යාලයෙනුත් ඇයට ආචාර්ය උපාධි පිරිනමා තිබෙනවා. 1955 දී ඇයට ගෞරව ඇකඩමි සම්මානය පවා හිමිවුනේ ඇගේ විශිෂ්ඨ සේවය අගය කරමින්.

වයස අවුරුදු 8 සිට ඇගේ අවසාන දක්වාම ඇය ඉතා ජනප්‍රිය චරිතයක් වුනා. ලොව පුරා අබාදිත ජනතාවට සිය අයිතීන් වෙනුවෙන් හඩක් නැගීමට භූමිකාව සැකසූ මෙම සුන්දර යුවතිය 1968 දී මෙලොව හැර ගියා. 1962 හා 2000 වර්ෂ වලදී ඇගේ ජීවිත කතාව ඇතුලත් The Miracle Worker නම් සිනාමාපට නිර්මාණය විය. සංජේ ලීලා බන්සාලි 2005දී නිර්මාණය කල Black සිනමාපටය පාදක කරගත්තේද හෙලන් කෙලර්ගේ තරුණ කාලය බව සදහන් වනවා.

සටහන : මනුජිත් අබේරත්න

Similar Posts