නත්තල් සමය උදාවත්ම උදුවප් සීතලත් සමග කාගේත් සිතට මුල්වරට නැගෙන්නේ නත්තල් සීයා ය. කුඩා දරුවන්ගේ ලෝකයේ විශේෂ ස්ථානයක් නත්තල් සීයාට හිමි වී ඇති නමුත් වැඩිහිටි ,මහළු අයත් වයස් භේදයකින් තොරව නත්තල් සීයා දැක බලා සතුටු වීමට කැමැත්තෝය.

මුහුණ පුරා වැවුණු සුදු රැවුළකින්ද,හිසට පැළැදි උස හිස් වැසුමකින්ද යුත් නත්තල් සීයාගේ පෙනුමේ විශේෂම දෙය වන්නේ රතු පැහැති කබායයි. තම කරෙහි සෙල්ලම් බඩු, රස කැවිලි, තෑගි භෝග පුරවා ගත් මල්ලක් ඇති නත්තල් සීයා පිණි මුවන් බැදි විශේෂ රථයකින් උත්තර ධැවයේ හිමකදු අතර පිහිටි සිය නිවහනේ සිට නත්තල් දා රාත්‍රියේ අහසින් ගමන් ගන්නා බවත්,කුඩා දරුවන් සිටින නිවෙස් වල චිමිනියෙන් බිමට බැස කුඩා දරුවන්ට සෙල්ලම් බඩු තබා යන බවත් කුඩා දරුවෝ දැඩිව විශ්වාස කරති.
ඇතැම් දරුවන් කුඩා කොළ වල තමන්ට අවශ්‍ය සෙල්ලම් බඩු ගැන විස්තරයක් ලියා මේස් වල බහා ප්‍රධාන දොරෙහි එල්ලා තබති.නත්තල් සීයා එය කියවා එම තෑග්ග තබා යන බව ඔවුන්ගේ විශ්වාසයයි. තවද නත්තල් සමය පුරාම නත්තල් සීයා ලෙස ඇද පැලද ගත් අය නටමින්,ගයමින් බොහෝ පිරිස සමග එක්වී සතුටු වනු සුලභ දසුනකි.එයටම ආවේණික වූ ගීත,සංගීත රටා,වර්ණ ලොව පුරා ප්‍රචලිත වී ඇත.

නත්තල් සීයා ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී ජනතාව ආදරයෙන් වැළද ගැනීමත් සමග විවිධ අංග එකතු කරන ලදී. නත්තල් සීයාගේ නිල වාසස්ථානය උතුරු ෆින්ලන්තයේ ලැප්ලන්තය නම් ප්‍රදේශයේ රෝවිනියේමි නම් කුඩා නගරය බවට 1985 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්පසු ලෝකයේ රටවල් 198 කින් නත්තල් සීයා වෙත ලිපි මිලියන 15 ඉක්මවූ සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව නත්තලේ ප්‍රධානම උපසංස්කෘතියක් වී ඇති නත්තල් සීයා මුලින්ම කෙසේ ආරම්භ වූයේ දැයි ඔබ දන්නවාද?
පුළුන් වගේ සුදු රැවුළ දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොළවයි
මේ එන්නේ නත්තල් සීයයි
නත්තල් සීයාගේ සංකල්පය ලොවට බිහිවන්නේ ශාන්ත නිකලස් පියතුමාගේ චරිතාපදානය තුළිනි. ක්‍රි.ව 3 වෙනි සියවස තරම් ඈත අතීතයක තුර්කියේ දී උපත ලද එතුමාට කුඩා කාලයේදීම තම දෙමාපියන් අහිමි විය.එහෙත් ඔවුන්ගේ විශාල ධනය පුංචි නිකලස්ට හිමිවූ අතර කුඩා කල සිටම අසරණයන්ට පිහිට වීමේ මහා පරාර්ථකාමී හදවතක් එතුමා සතු විය.නිතර තමා සතු ධනයෙන් අසරණ අයට උදව් උපකාර කරන්නට විය. පසුව පැවිදි දිවියට ඇතුළත් වී ඉතා දැහැමි දිවි පෙවෙතක් ගෙවූ අතර නිකලස් පියතුමා ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ අතර ඉන්පසු රදගුරුවරයෙකු හා බිෂොප්වරයෙකු බවට පත් විය. පැවිදි දිවිය තුළ පෙරටත් වඩා පරිත්‍යාගශීලී වූ එතුමා විශේෂයෙන්ම දුප්පත්,අසරණ කුඩා දරුවන්,රෝගීන් සොයා ගොස් ඔවුන්ට ආහාර පාන,ඇදුම් පැළදුම්,බෙහෙත් ආදියෙන් උපකාර කරන්නට විය.අසරණයන් කරා යන එතුමා රතු පැහැයට හුරු දිගු ලෝගුවකින්ද, දිගු රදගුරු හිස්වැස්මෙන්ද,සීතලට පළදින අත් වැසුම්,පාවහන්ද පැළද සිටි අතර නිතරම රදගුරු සැරයටියද අතෙහි විය. මුහුණ පුරා වැවුණු සුදු රැවුල හා සුදු පැහැති කෙස්වැටියෙන්ද යුක්ත වූ එතුමා කෙරෙන් වයෝවෘද්ධ නමුත් කාරුණික සමාජශීලී පෙනුමක් දිස් විය.
ක්‍රි.ව.343 දෙසැම්බර් 06 වනදා ස්වර්ගස්ථ වූ බව සදහන් වන එතුමා ශාන්තුවරයෙකුගේ තත්ත්වයට ඔසවා තැබුණු අතර එතුමාගේ බාහිර ස්වරූපය තුළින් නත්තල් සීයා චරිතය වර්ෂ 1773 දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී ප්‍රතිනිර්මාණය කරන ලදී. නිකලස් පියතුමා තුළ වූ අතර අභ්‍යන්තර උතුම් පරිත්‍යාගශීලී ගුණයද වත්මන් නත්තල් සීයා තුළින් විද්‍යමාන කෙරේ.
ඒ අනුව සාන්තුවර නිකලස් මුනිදුන්ගේ චරිතාපදානය තුළින් ප්‍රතිනිර්මාණය වූ නත්තල් සීයා සංකල්පය තුළින් එහි බාහිර ස්වරූපයට වඩා ඒ තුළ වූ පරිත්‍යාගශීලීත්වය,පරාර්ථකාමීත්වය වැනි ඉහළ මානුෂීය ගුණාංග හදුනාගනිමින් ඒවා තම ජීවිත තුළට එකතු කර ගැනීම තුළින් උතුම් නත්තල සමරන කිතුනුවන්ට නත්තලෙහි සැබෑ අරුත ලොවට පසක් කරදීමට හැකි වන්නේය.
සටහන – ශ්‍රීධර සේනාරත්න