තනිවම දුක් විදින්න එපා එන්න මේ මිතුරු පියසට
අද අපේ රටේ ඇතැම් කාන්තාවන් ගෘහස්ත හිංසනයන් නිසා තනිවම දුක් විදිනවා. ඇතැම් කාන්තාවන් තම මිතුරු මිතුරියන්ගේ උපදෙස් අනුව කටයුතු කර සිටියාටත් වඩා අමාරුවේ වැටෙනවා. තමන්ගේ දුක කියාගන්න මිතුරෙක් සහෝදරයෙක් නැතිව ඇතැමුන් සිතින් වේදනා විදිනවා. ලැජ්ජාව නිසා දුක් වේදනා සිතේ තද කරන් දුක් විදින කාන්තාවන් මෙන් ම පිරිමින් ද අප සමාජයේ නැතුවාම නෙවේ. මේවගේ සිතින් දුක් විඳින අය වෙනුවෙන් ම දුක කියන්න සහනයක් ලබා ගන්නා සුදුසු විධිමත් මධ්‍යස්ථාන අපේ රටේ තිබෙන බව ඔබ දන්නවා ද? මිතුරු පියස කියන්නේ එවැනි විධිමත් පුහුණු කාර්ය මණ්ඩලයක් සිටින ඔබට නොමිලේ සේවය සපයන විශ්වාදායි සහනශීලි මධ්‍යස්ථානයක්.
‘’මිතුරු පියස’’ යනු අපේ ප්‍රධාන රෝහල්වල පවත්වා ගෙන යන මධ්‍යස්ථානයක්. දැනට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි රෝහල් 85 ක මෙම මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා. රෝහලේ බාහිර රෝගී අංශයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය සතියේ දිනවල උදේ 8.00 සිට සවස 4 දක්වා ද සෙනසුරාදා දිනවල වරුවක් ද ක්‍රියාත්මකයි. සතියේ දින හතම ක්‍රියාත්මක මධ්‍යස්ථානත් ඇතැම් රෝහල්වල පවතිනවා. ගෘහස්ත හිංසනයන්ට පීඩාවන්ට පත්වන අයට සහනයක් ලබා දීම වෙනුවෙන් ම මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි. මෙම මධ්‍යස්ථානය තමන්ගේ රෝහල තුළ පිහිටා ඇති බව රෝහල් පරිශ්‍රයේ නාම පුවරුව මගින් ද දැනගත හැකියි. මෙම මිතුරු පියස මධ්‍යස්ථානවල සේවය කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලයයි . රෝහලේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් හෙද නිලධාරියෙක් හෝ හෙද නිලධාරිනියක් ඒ් සම්බන්ධව කටයුතු කරයි. මේ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම කණ්ඩායම හිංසනයන්ට පීඩාවන්ට පත් වූ අය ගැන විශේෂ අවධානය යොමුකර සහන සැලසීම මෙහිදී සිදු කරනවා.
සාමාන්‍යයෙන් රෝහලක් ඉතා කාර්යබහුල වුව ද මෙම මධ්‍යස්ථාන ඉතා ම සාමකාමීයි. මෙම කාර්යමණ්ඩලය ද ඉතා ම මිත්රශීලියි. පෝලිම්වල සිටීම අවශ්‍ය නොවන අතර උදෑසන 8 සිට සවස 4 දක්වා ඕනෑම වෙලාවක තමන්ට මානසික සහනයන් ලබාගැනීමට මෙහිදි හැකියාව පවතිනවා. ඉතාම මිත්‍රශීලිව ඔවුන් පිීළිගෙන ඔවුන්ට සේවය සැලසීමට මෙම කාර්යමණ්ඩලය සැදී පැහැදී සිටිනවා.
තමන් නිවසේදී හිංසනයන්ට පීඩනයන්ට ලක් වන විට එය තම ඥාතියෙකුට මිතුරෙකුට වුව ද කීමට ඇතමුන් ලැජ්ජා වෙනවා. හිතේ තද කරන් තනිවම දුක් විදිනවා. ඒහෙත් මේ මිතුරු පියසේ කාර්යමණ්ඩලය ඔබෙග් මෙම දුක්ගැනවිලි සාවධානව අසා සිටිනවා. එ් අනුව ඔවුන්ට අවශ්‍ය සේවය ලබා දීමට පියවර ගන්නවා. මෙම මධ්‍යස්ථානයට ඒමට කිසිම නීතිමය තත්ත්වයක් නැහැ. මූලික පත්‍රිකාවන් ආදී කිසිවක් නොමැති අතර ඔිනෑම පුද්ගලයෙකුට සහභාගි වියහැකියි. රෝහලේ වෙනත් වාට්ටුවලින් ද වින්දිතයින් මෙම මධ්‍යස්ථානවලට යොමු කරනවා.
මේ මිතුරු පියස හරහා ක්ෂණික දුරකතත අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. දවසේ පැය විසි හතර පුරාම මෙය ක්‍රියාත්මකයි. සතියේ දින හතම මේ දුරකතන අංකය 0702 611 111 හා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. ඕනෑම වෙලාවක ගෘහස්ත හිංසනයට පත් වූ අයෙකුට තමන්ගේ දුක මෙමගින් පවසා සහනයක් ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. භාෂා තුනෙන්ම මෙම සේවාව ලබා ගන්න පුළුවන්. මෙම දුරකතන අංකය ඔස්සේ සේවය සලසන්නේ ද මිතුරු පියසේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයමයි. මිතුරු පියස මධ්‍යස්ථානයක් සොයාගෙන ඒම අපහසු නම් මෙම දුරකතන අංකයට ඇමතුමක් දීමෙන් ද සේවය ලබා ගත හැකියි. රෝහල් පරිශ්‍රයක් තුළ පිහිටා තිබුණ ද මෙම මධ්‍යස්ථානයේ වාතාවරණය ඉතාම සාමකාමීයි. මෙම සේවාව කාන්තාවන්ට මෙන්ම පිරිමින් ට ද ලබා ගන්න පුළුවන්. ඉතාම සුහදශීලි කාර්යමණඩලයක් මෙහි සේවය කරනවා. ඇතැම් වින්දිතයින් පැය 02 ක් 03 ක් තමන්ගේ කතාව කියනවා. ගැටලුව කීමෙන්ම ඔවුන් විශාල නිදහසක් ලබනවා. සිතේ සතුට සැනසීම ලඟා කර සාර්ථක ජීවිතයක් සඳහා නිසි උපදෙස් ලබා ගැනීම සඳහා මිතුරු පියස වෙතට පැමිණෙන ලෙස රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිනවා
ඉරේෂා මධුරකාවිනී