බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය් මුල, මැද, අග යහපත් ආකාරයෙන් දේශනා කර ඇත. ඒ බව උන්වහන්සේ විසින් ප්‍රථම රහත් සැට නම හෙවත් ප්‍රථම ධර්මදූත කණ්ඩායම අරභයා දේශනා කළ පාඨයෙන් පැහැදිලි වෙයි. එපමණක් නොව එම ධර්මය අර්ථ ව්‍යඤ්ජන සහිත වනවා මෙන්ම පරිපූර්ණ ය. මෙම ධර්මය සියලු ආකාරයෙන් මනාව අවබෝධ කර ගන්නා වූ ආර්යයන් වහන්සේ සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් ලෙස හඳුන්වනු ලැබේ. එම සිවුපිළිසිඹියා හෙවත් චතුපටිසම්භිධා නම් අර්ථ, ධර්ම, නිරුක්ති සහ පටිභාන යනුයි. ධර්මය මැනවින් අවබෝධ කරගන්නා වූ තැනැත්තා එහි අර්ථය මැනවින් අවබෝධ කර ගත යුතු ය. එසේම එයින් පෙන්වා දෙන යථාර්ථය අවබෝධ කර ගත යුතු ය. එම වචනයන්ගේ නිරුක්තිය හෙවත් ව්‍යාකරණාදිය මැනවින් අවබෝධ කරගත යුතු ය. මෙම කරුණු තුන ඇති කල්හි වටහා ගැනීමේ නුවණ ඇති වෙයි. මෙය ශෛක්ෂ භූමි හා අශෛක්ෂ භූමි යනුවෙන් කොටස් දෙකකට බෙදෙන අතර රහතන් වහන්සේලාට ඇති වන්නා වූ සිවුපිළිසිඹියා අශෛක්ෂ භූමියටත්, පෘථග්ජනයන්ට ඇති වන සිවුපිළිසිඹියා ශෛක්ෂ භූමියටත් අයත් වෙයි. ආනන්ද හිමියන්ට සහ චිත්තගෘහපති ආදීන්ට තිබූ සිවුපිළිසිඹියා ශෛක්ෂ භූමියට අයත් ලෙස සැලකිය හැකිය.

මේ ආකාරයට ධර්මය අවබෝධ නොකර ගන්නා වූ තැනැත්තා වැරදි ආකාරයට ධර්මය අල්ලා ගනියි. එය ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. බුදුරජාණන් වහන්සේ එය උපමා කර ඇත්තේ විෂ සහිත සර්පයකු වැරදි ලෙස අල්ලා ගැනීමටයි. වැරදි ආකාරයට සර්පයා අල්ලා ගැනීමෙන් සර්පයා දෂ්ට කිරීම නිසා ඔහුට හානි සිදු වෙයි. ධර්මය වැරදි ආකාරයට තේරුම් ගත් පුද්ගලයා ද තමාට මහත් වූ හානියක් කර ගන්නා අතර කල්ප ගණන් සසර දුක් විඳීමට එය හේතුවක් වෙයි. එය සර්පයා දෂ්ට කිරීමට වඩා බරපතල වෙයි.
ධර්මය වැරදියට තේරුම් ගත් හෝ වැරදියට අල්ලා ගත් පුද්ගලයා සිදු කරනු ලබන තවත් එක් බරපතල දෙයක් ඇත. එනම් තව බොහෝ පිරිසකට තමා අවබෝධ කරගත් ආකාරයට ම වැරදි ධර්මයක් දේශනා කිරීමයි. එසේ නැතහොත් වැරදි ආකාරයට ධර්මය විග්රහ කිරීම හෝ වැරදි අර්ථකථන ලබාදීම ද සිදු කරයි. එයින් සිදු වන්නේ තමා විනාශ වීම පමණක් නොවන අතර තව බොහෝ පිරිසක් විනාශය කරා මෙහෙය වීම එයින් සිදුවෙයි.
අද සමාජය තුළ ඉහත දක්වන ලද ආකාරයට වැරදි අවබෝධයෙන් යුතුව ධර්මය දේශනා කරන දේශකයන්, වැරදි ආකාරයට ධර්මය විග්රහ කරන්නන් මෙන්ම ධර්මයට වැරදි අර්ථ විවරණ සපයන්නන් බොහෝ සෙයින් දක්නට ලැබේ. එසේ වීමට එක් ප්‍රධාන හේතුවක් නම් ඉහත දක්වන ලද අර්ථ, ධර්ම, නිරුක්ති ආදිය පිළිබඳ අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ අප දකින ප්‍රධාන වරදක් නම් පාලි සහ සිංහල භාෂා පිළිබඳ දැනුමක් නොමැති වීමත් පාලි වචන සිංහල භාෂාවෙන් මෙන් අර්ථ විවරණය කිරීමත් ය. ඇතැම් පාලි වචනවල ශබ්දයට සමාන සිංහල වචන ගෙන එම සිංහල වචනයට අනුව අර්ථ විවරණය කිරීම ධර්මානුකූල වීම කෙසේ වෙතත් ශාස්ත්‍රානුකූල ද නොවේ. සිංහල සහ පාලි වචන එකට ගෙන තමන්ට උවමනා ආකාරයට අර්ථ විවරණය කිරීමට යෑමෙන් ඔවුන් ධර්මයට කරන්නේ මහත් වූ හානියකි. ධර්මය පිළිබඳ කිසිවක් නොදන්නා වූ කෙනෙක් එම අර්ථ විවරණයන් ඇසීමෙන් ධර්මය පිළිබඳ ඔවුන් තුළ ඇති වන්නේ ද වැරදි අවබෝධයකි.
අද වන විට සමාජ මාධ්‍ය භාවිතය සියලු දෙනාට පහසුවෙන් කළ හැකි තත්වයක් උදා වී ඇත. සමාජ මධ්‍යයට මුදා හරින්නා වූ කිසිවක් පාලනය කළ හැකි තත්වයක් ද නැත. එබැවින් එය භාවිත කරමින් ධර්මය ප්‍රචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්තාව උදා වී ඇත. එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ භාෂා ඥානයෙන් හා ධර්ම ඥානයෙන් තොර නූගතුන් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වීමයි. එහි තවත් ගැටලුවක් වන්නේ එම දේශනා පිළිගන්නා වූ සහ අගය කරන්නා වූ පිරිස අතර සමාජයේ ඉහළ තත්වයක සිටින පිරිසක් සිටීමයි. ඒ අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදී විවිධ ක්ෂේත්රයන්ට අයත් පුද්ගලයෝ වෙති. ඔවුන් දෙස බලා ඉන් පහළ සිටින අය ද එම වැරදි දෙය පසුපස යෑම එයින් සිදුවන බරපතල හානියකි. මෙහිදී අප තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් හෝ වෙනත් ක්ෂේත්රයක ප්‍රවීණයෙක් වූ පමණින් ඔහු පාලි භාෂාව පිළිබඳ දක්ෂයෙක් නොවන බවයි. ඉතා කලාතුරකින් එම භාෂා පිළිබඳ ප්‍රවීණත්වය ලැබූ එවැන්නෙක් සිටිය හැකි වුවද අපි සියල්ලෝම තම තමාගේ ක්ෂේත්රයන් තුළ ප්‍රවීණයන් වන අතර අන්‍ය ක්ෂේත්රයන් තුළ ආධුනිකයෝ වෙමු. එබැවින් එවැනි කෙනෙක් කරන්නා වූ ධර්ම විග්රහයන් හෝ එබඳු විග්රහයන් අගය කිරීම ඉතා කල්පනාවෙන් යුතුව තෝරා ගත යුතු ය.

ධර්මය නිවැරදිව විවරණය කර ගැනීම සහ නිවැරදිව අවබෝධ කර ගැනීම තමාගේ මෙලොව දියුණුවට මෙන්ම පරලොව දියුණුවට ද ඉවහල් වෙයි. එසේම තවත් අයෙකුට ධර්මය අවබෝධ කරවීමේ දී ප්‍රථමයෙන් තමාගේ අවබෝධය නිරවුල් කරගෙන සිටීම තමාට මෙන් ම අන්‍යන්ට ද මහත් වූ ලාභයකි. සසර අතරමං නොවී නිවනට යාමට එය මහත් වූ උපකාරයක් වෙයි. එබැවින් සියල්ලෝ ම නිවැරදි ධර්මය තෝරා ගැනීමට උත්සාහ කළ යුතුය.
සම්පාදනය
ආචාර්ය පූජ්‍ය දම්පේ විජිතරතන ස්ථවිර
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
මානෙල්වත්ත, බොල්ලෑගල
කැළණිය.