පංචකර්ම 4 වන කොටස -වස්ති කර්මය

author
0 minutes, 0 seconds Read

ශරීරයේ ඇති දූෂිත වාතය ශෝධනය කරන ප්‍රධාන කර්මය නිසා පංචකර්ම අතුරින් වස්ති කර්මය ඉතා වැදගත් වේ. එළු හෝ බැටළු මුත්‍රාශය (වස්තිය) යන්ත්‍රයක් ආකාරයෙන් යොදා ගනිමින් සිදු කරන කර්මයක් නිසා මෙයට වස්ති කර්මය යැයි කියනු ලැබේ. වස්ති කර්ම අතුරින් ප්‍රචලිත වන්නේ අධර වස්තිය හෙවත් ගුද මාර්ගය හරහා දෙනු ලබන වස්තියයි.

වස්ති කර්මය නිරූහ වස්ති හා අනුවාසන වස්ති ලෙස ප්‍රධාන ආකාර දෙකකි.

නිරූහ වස්ති සඳහා කෂාය භාවිතා කරන අතර අනුවාසන වස්ති සඳහා ඖෂධීය තෛල වර්ග භාවිතා කරයි. දිනපතා භාවිතයට සුදුසු වස්ති මාත්‍රා වස්ති ලෙස දක්වා ඇත.

වස්ති කර්මය නිර්දේශ කිරීමට පෙර වෛද්‍යවරයා විසින් අදාළ තැනැත්තාගේ දේහ බලය, දෝෂ තත්වය ආදිය සලකා බලා යෙදිය යුතු වස්ති ප්‍රමාණය හා මාත්‍රාව තීරණය කරනු ලබයි. ඒ අනුව කර්ම වස්ති, කාල වස්ති, යෝග වස්ති වශයෙන් පිළිවෙලින් දින 30ක්, 15ක් සහ දින 8ක් ද ලෙස සුදුසු පරිදි වස්ති ප්‍රමාණය නිර්දේශ කරයි. වස්ති කර්මය යොදන කාල සීමාව තුළ පථ්‍ය ආහාර හා විහරණ පිළිබඳ සැළකිලිමත් විය යුතුය.

නිසි පරිදි වස්ති ප්‍රතිකාර යෙදීමෙන් ශරීරයේ බලය, වර්ණය, දීර්ඝායුෂ ඇති කරයි. එසේම අග්නිය ඇති කරයි. ශරීරය නීරෝගී කරයි. වා පිත් සෙම් හා රක්ත දෝෂ ශෝධනය හා ශමනය කරයි. ජ්වර, ගුල්ම, රක්තපිත්ත, ප්‍රමේහ, උන්මාද, උදර, ග්‍රහණි, කුෂ්ඨ හා වාත රෝග සඳහා ප්‍රතිකාර ලෙස මෙම කර්මය නිර්දේශ කර ඇත. නමුත් වස්ති ප්‍රතිකාරය නුසුදුසු තැනැත්තන් හා රෝගාවස්ථා ද දක්වා ඇති බැවින් වෛද්‍ය උපදෙස් මත යෙදිය යුතුය.

උපදෙස් – වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts