පින්නවල නම කියූ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියල්ලෝම ඉතා හොඳින් හඳුනති.මන්ද යත් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් නිසාය.ඒ වනාහි වර්තමානය වන විට ලංකාවේ සංස්කෘතිය ලෝකය තුළට ගෙන යන කේන්ද්‍රීය ස්ථානයක් වී හමාරය. 1975 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ සිටි සංචාරක ඇමතිවරයා වූ පී.බී.ජී.කළුගල්ල මැතිතුමාගේ මූලිකත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 16 වන දින පින්නවල අලි සෙවණ ආරම්භ කරන ලදී.එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ ස්වාභාවික හේතුන් නිසා අනාථ වන අලි ඇතුන්,කුඩා කල මව අහිමි වන නිසා අනාථ වන අලි ඇතුන්,මිනිසුන්ගේ අකාරුණික හා කෲර ක්‍රියාකාරකම් නිසා අනාථ වන අලි ඇතුන් ආදී වශයෙන් විවිධ හේතූන් නිසා අනාථ භාවයට අනාරක්ෂිත භාවයට පත් වන අලි ඇතුන් රැක බලා ගැනීමයි.
මෙය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ග්‍රාමයේ පිහිටා ඇත.අක්කර 25 ක භූමි භාගයක් පුරා පැතිර ඇති මෙයට අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂණාගාරයක් ලෙස සුවිශේෂි අංග රැසකින් සමන්විතය.මෙම අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදු කරන සේවාව හැරුණු විට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වේ. එබැවින් එය ලංකාවට විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන තෝතැන්නක්ද වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1975 වසරේදී ආරම්භ කළ මෙය1987 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා ලදී.මේ ආශ්‍රිතව 1982 දී සත්ව අභිජනන වැඩසටහනක් ආරම්භ කරන ලදී.පින්නවල අලි අනාථාගාරයක් ලෙස තෝරා ගැනීමේදී විශේෂයෙන්ම අලි ඇතුන්ට ජීවත් වීමට සුදුසු දේශගුණික වාතාවරණයක් වීම වැදගත් සාධකයක් විය.තෙත් කලාපයට අයත් මෙම භූමිය ඝර්ම කලාපීය වනාන්තර වලින් යුත් කඳු වළල්ලකින් වටවී තිබීම නිසා අලි ඇතුන්ට ජීවත් වීමට සුදුසු දේශගුණික වටපිටාවක් මේ තුළ දැකිය හැකිය. හෙක්ටයාර් 09 කින් යුත් පොල් වගා කරන භූමියක් තුළ මෙය ස්ථාපිත කර ඇති අතර අලි ඇතුන් 5 දෙනෙකුගෙන් මෙය ආරම්භ කරන ලදී.කුමාරි,නීලා,විජය, කදිරා,අනූෂා,ජඳුරා හා මාතලී මෙහි මුල් බිමේ අයිතිකරුවන් විය.

අනාථ අලි ඇතුන් ආරක්ෂා කිරීම, අලි ඇතුන් වඳවී යාම වැළැක්වීම, සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වීම හා රටට විදේශ විනිමය ලබා දීම, අලි ඇතුන් බෝ කරන මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම, සෘජු හා වක්‍ර අයුරින් රැකියා අවස්ථා හිමි කර දී තිබීම, අලි ඇතුන් බෝ කරන මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම,අලි ඇතුන් පිළිබඳ හදාරන්නන්සඳහා පහසුකම් සලසා දී තිබීම නිසා පර්යේෂණ වලට ඉඩ සලසා දීම,අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳව මහජනතාවගේ ආකල්ප හා දැනුම දියුණු කිරීමට ඉවහල් වීම,ජීවි කෞතුකාගාරයක් හා පර්යේෂණාගාරයක් ලෙස අන් රටවල් වලටද ප්‍රයෝජනවත් වීම ආදී කරුණු හේතුවෙන් දේශීයව මෙන්ම විදේශීයවද විශාල වැදගත් කමක් උසුලන අලි අනාථාගාරය සිය ස්වර්ණ ජයන්තිය සමරනු වස් පසුගිය 14, 15,16 තෙදින පුරා විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබීමද විශේෂත්වයකි.

පිටපත හා වාර්තාකරණය: එච්.එම්.එස්.සංජීවනී