ඈත අතීතයේ පටන්ම අප රට තුළ ආගමික සහජීවනයක් පැවති බවට මූලාශ්‍ර සාධක බොහෝමයක් සාක්ෂි දරයි. විවිධ වෙළඳ ශ්‍රේණි වලට හා වෙළද කණ්ඩායම් වලට අයත් පුද්ගලයන් මෙරට ජීවත් වූ බව ‘වළාජ්ජියාර් ,නානා දේසි ‘ වැනි නාම සෙල්ලිපිවල සඳහන් වීමෙන් සනාථ වේ. එසේ ම නෙස්ටෝරියානු කුරුස සලකුණක් අනුරාධපුරයෙන් හමු වී තිබීමෙන් එම ආගම ද මෙරට පැවැති බව සිතිය හැකිය. අනුරාධපුරයේ අග භාගයේදී V වන මිහිඳු රජු කළ ලංකාවට චෝල ආක්‍රමණයක් එල්ල විය. එම කාලයට අයත් නටබුන් අදටත් පවතී. උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ශිව දේවාල පිළිබඳ අද අපි ගවේෂණය කරමු..

පූජා නගරයට ඇතුළු වී වම් පැත්තට හැරෙන විට දැක ගත හැකි වන්නේ අංක 1 දරන ශිව දේවාලයයි. මෙය චෝල රාජ්‍ය පාලන සමයේ දී ඉදිකරන්නට ඇති බවට මත පවතී. එය කවුරුන් විසින් ඉදි කළේ ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැත. වර්තමානය වන විට මෙම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන බැවින් නැරඹීමට නොහැක. මෙය දහතුන් වන සියවසේ දී ඉදිකරන්නට ඇතැයි මත පවතී.මෙය පාණ්ඩය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇත. කළුගල් එකිනෙක සම්බන්ධ කොට එය ඉතා සියුම්ව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙහි දේවාලයේ පහත කොටස කළු ගලින් ද ඉහළ කොටස ගඩොලින් ද නිමවා තිබේ. මණ්ඩපය, ගර්භ ගෘහය හා අන්තරාලය යන අංග වලින් දේවාලය සමන්විත ය. මෙහි තිබී ලෝකඩ ප්‍රතිමා රැසක් හමු වී ඇති අතර නර්තනයේ යෙදෙන ශිව දේව ප්‍රතිමා හා පාර්වතී දේවිය සමඟ සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමා ඒ අතර වේ..
පොළොන්නරුවේ සිදුකර ඇති කැණීම් තුළින් ශිව දේවාල කීපයක නටබුන් හමුවෙයි. ඒ අතර අංක 2 දරණ ශිව දේවාලය ද වැදගත්ය. මෙම ශිව දේවාලය චෝල පාලන සමයේ ඔවුන්ගේ ආගමික වතාවක් සිදු කිරීමට ඉදිකර ඇත. වර්තමානය වන විටද මේහි ආගමික වතාවත් සිදු කරයි. එමෙන්ම මෙය ඉතා වැදගත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැක. මෙය පිහිටා ඇත්තේ ගල් විහාරය දෙසට යන මාර්ගයේ දළදා මළුව පසුකරන විට දකුණට හැරෙන මාර්ගයේය. එය ගල් ඇතිරූ මාර්ගයට නොපෙනෙන අතර දකුණට ඇති වැලි සහිත මාර්ගයේ මඳක් දුර ගමන් කළ යුතුය. මෙය හින්දු දේවාලයක් ලෙස ප්‍රකට වුවද වර්තමානය වන විට හින්දුන්ගේ පමණක් නොව වෙනත් ආගමික භක්තිකයන්ගේ ද වන්දනීයත්වයට පත්ව තිබේ.

මායා දේවී ඉසාර මුදියර් දේවිය සිහිවීම සඳහා ඇයගේ පුත් රාජේන්ද්‍ර රජු මෙම දේවාලය ඉදිකළ බව එහි බිත්තියේ ඇති සෙල් ලිපියක් සාක්ෂි දරයි. එය අයත් පාලන කාලය ලෙස සැලකිය හැක්කේ ක්‍රිස්තු වර්ෂ 1015 -1044 ත් අතර කාලයයි. මෙය පාණ්ඩය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව චෝලයන් විසින් ඉදිකරන ලද්දකි. මෙම ගොඩනැගිල්ල දිගින් අඩි 16ක් හා පළලින් අඩි 9ක් වන සමචතුරස්‍රාකාර ගර්භ ගෘහයකින්ද නැගෙනහිරට විසිරුණු අඩි 26ක් දිග හා අඩි 9ක් පමණ පළල අන්තරායකයින්ද යුක්ත වේ. මෙහි වහලය ගර්භාකාර වන අතර දේවාලයේ උස අඩි 32කට ආසන්න වේ. මෙය කළු ගලින් නිමවා ඇති අතර බොරදම් කැටයමින් පිටත බිත්ති හා කුළුණු සරසා තිබේ. කළු ගලින් තනා ඇති මෙහි කළුගල් මනාව ඔපමට්ටම් කර තිබීම විශේෂ ලක්ෂණයකි. දේවාලය තුළ ඉතා සිසිලසක් පවතින්නේ කළුගල් භාවිතය නිසාය. මෙතරම් මනරම් ලෙස කළුගල් මටසිළුටු කිරීමට මෙන්ම කැටයම් කිරීමට ඉතා දියුණු තාක්ෂණයක් එකල පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
මෙහි සතර දිශාවෙහි ශිව දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන නන්දි ගවයාගේ කළු ගලින් කරන ලද රූප දක්නට ලැබේ.
වර්තමානය වන විට ද ආගමික වතාවත් මෙහි සිදුකරයි. හින්දු ආගමික දිනයන් වල දී ශිව දෙවියන් වෙනුවෙන් ඉතා උත්කර්ෂවත් ලෙස ආගමික උත්සව අදටත් සංවිධානය කරන අතර ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට බැතිමතුන් බොහෝ පිරිසක් මෙහි පැමිණීම නිසා එම කාලයේ දී මෙම භූමිය ජනයාගෙන් පිරී ඉතිරේ.
අනුරාධපුර රාජධානිය අවසාන භාගයේ චෝලයන් විසින් රජරට අල්ලා ගන්නා ලදී.ඉන් පසු ඔවුන් සිය පාලන මධ්‍යස්ථානය බවට පත්කර ගත්තේ පොළොන්නරුවය. එහි ඔවුනට ආගමික කටයුතු සිදු කිරීමට ආගමික ගොඩනැගිලි ඉදිකිරීමට ඔවුහු පෙළඹුණහ. එහි දී ශිව හා විෂ්ණු දෙවියන් උදෙසා දේවාල කීපයක්ම ඉදිකර තිබේ. වර්තමානය වන විට ශිව හා විෂ්ණු දේවාල නටබුන් කීපයක් මෙම ප්‍රදේශයෙන් හමුවෙයි. එම දේවාල ඉදිකිරීමේ දී ඔවුන් භාවිතා කර තිබෙන්නේ පාණ්ඩය සම්ප්රදාය ය. එම නිසා ඔපමට්ටම් කරන ලද කළුගල් භාවිතා කිරීම දැකිය හැක. නමුත් ඔවුන් වෙනත් ගොඩනැගිලි සඳහා මෙම ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කර නොමැත. අපේ මුතුන් මිත්තන් විසින් සුරක්ෂිතව අපට දායාද කර දුන් මෙම පූජනීය මෙන්ම අලංකාර ඓතිහාසික දායාදය අප ද රැකබලාගෙන අවශ්‍ය නම් ආගමික වතාවත් ද සිදුකර මතු පරපුරට සුරක්ෂිතව දායාද කරමු.
සටහන –

අනූජා දසවර්ධන