අද ඇතැම් පුද්ගලයන් තුළ ඇති වැරදි මතයක් නම් බුදුදහමේ උගන්වන කරුණු ජීවිතය තුළ ප්‍රායෝගිකව පිළිපැදිය නොහැකි බවයි. එසේම එය කිරීම බෙහෙවින් වෙහෙසකර බව කියන්නෝ ද සිටිති. ඒවා පිළිපැදීමට වෙනම කාලය සහ ස්ථානයක් වෙන් කර ගත යුතු බවද ඇතැම් දෙනෙකුගේ මතයයි. එහෙත් බුදුදහම ප්‍රායෝගික ජීවිතය තුළදී කිසිදු බාධාවකින් තොරව පිළිපැදිය හැකි දහමක් බව සූත්‍ර අධ්‍යයනයේදී දක්නට ලැබෙයි. මෙහිදී අපගේ එදිනෙදා ජීවිතයේ නිරතුරුව භාවිතයට ගන්නා වූ සූත්‍රයක් වන කරණීය මෙත්ත සූත්‍රයෙහි උගන්වන කරුණු ඒ ආකාරයට අපගේ ජීවිතයේදී පිළිපැදීමට හැකි වන ආකාරය පිළිබඳ විමසා බලමු.
සූත්‍රය ආරම්භ වන්නේ, “යම් ශාන්ති පද සංඛ්‍යාත නිවනක් වෙයි ද, එය අවබෝධ කොට වසනු කැමති දක්ෂයා විසින් එයට සුදුසු දෙය කළ යුතුය” යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ නිවන අවබෝධ කර ගැනීමට පෙර මෙම සුදුසු කම් තමා තුළ වර්ධනය කර ගත යුතු බවයි. එයින් කියවෙන්නේ එම කරුණු ප්‍රායෝගිකව ජීවිතය තුළ පිළිපැදිය යුතු බවයි. එම කරුණු පහත ආකාරයට දැක්විය හැකිය.
1 දක්ෂයෙක් වීම (සක්කෝ)
2 සෘජු වීම (උජූ ච)
3 මනාව සෘජු වීම (සූජූ ච)
4 අනුන්ගේ අවවාද පිළිගැනීම (සුවචෝ)
5 මෘදු (ගති ඇත්තෙකු) වීම (මුදු )
6 අතිමානය ඇත්තෙකු නොවීම (අනතිමානී)
7 ලද දෙයින් සතුටු වීම (සන්තුස්සකො ච)
8 පහසුවෙන් පෝෂණය කළ හැක්කෙකු වීම (සුභරෝ ච)
9 ස්වල්ප කටයුතු ඇත්තෙකු වීම (අප්පකිච්ඡෝ ච)
10 සැහැල්ලු පැවතුම් ඇත්තෙකු වීම (සල්ලහුක වුත්තී)
11 සන්සුන් ඉඳුරන් ඇත්තෙකු වීම (සන්තින්ද්‍රියෝ ච)
12 ප්‍රඥා ඇත්තෙකු වීම (නිපකෝ ච)
13 අසංවර ගති නැත්තෙකු වීම (අප්ප ගබ්භෝ)
14 කුලයන් කෙරෙහි නොඇලුනෙක් වීම (කුලෙසු අනනුගිදධෝ)
15 නුවණැතියන් විසින් නින්දා කරනු ලබන සුළු හෝ වරදක් නොකිරීම (න ච ඛුද්දං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං)
16 සියලු සත්වයෝ සැප ඇත්තෝ ද භය නැත්තෝ ද සුඛිත සිත් ඇත්තෝ ද වෙත්වා (සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා)
17 භයින් තැති ගන්නා වූ ද (තසා වා) එසේ නොවන්නා වූ සියලු සත්වයෝ ද (ථාවරා වා) දික් වූ ශරීර ඇත්තෝ ද (දීඝා වා) මහත ශරීර ඇත්තෝ ද (මහන්තා වා) මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද (මජ්ක්‍ධිමා) කෙටි වූ ශරීර ඇත්තෝ ද (රස්ස) සියුම් ශරීර ඇත්තෝ ද (ඛාණුකථූලා) දුටු සත්වයෝ ද (දිට්ඨා වා) නොදුටු සත්වයෝ ද (යෙව අද්දිට්ඨා) දුරත් ළඟත් වසන සත්වයෝ ද (යෙ ච දූරේ වසන්ති අවිදූරේ) ඉපදී සිටින සත්වයෝ ද (භූතා වා) ඉපදීමට සොයන සත්වයෝ ද (සම්භවේසී වා) යන සියලු සත්වයෝ සැපවත් වෙත්වා (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
18 එකෙක් අනෙකෙකු නොරවටන්නේය (න පරෝ පරං නකුබ්බේත) අවමන් නොකරන්නේය (නාතිමඤ්ඤේති) කයෙන් වචනයෙන් හෝ සිතින් අනෙකෙකුට දුක් කැමති නොවන්නේය (කත්තචි නං කඤ්චි බ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්චෙය්ය)
19 මවක් තම එකම දරුවා රකින්නා සේ සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රිය වඩන්නේය (මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛේ)
20 උඩ ද (උද්ධං) යට ද (අධො ච) හාත්පස ද (තිරියං ච) සීමාවක් නැතිව (අසම්බාධං) වෛරයෙන් තොරව (අවේරං )සතුරන් නැතිව සියලු ලෝක වාසීන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රිය වඩන්නේය (අසපත්තං)
21 සතර ඉරියවුවේදීම (තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා) මෛත්‍රිය වඩනු කැමැත්තේ අනලස්ව (විගත මිද්ධෝ) සිහියෙන් අධිෂ්ඨාන කරන්නේය (සතිං අධිට්ඨෙය්‍ය) මෛත්‍රි විහරණය මෙම ශාසනයෙහි උතුම් විහරණය යි- (බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු)
22 මිථ්‍යා දෘෂ්ටියට නොපැමිණ (දිට්ඨිඤ්ච අනුපගම්ම) සිල්වත් වූයේ (සීලවා) දර්ශනයෙන් යුක්ත වූයේ (දස්සනෙන සම්පන්නෝ) කාමයන්හි ගිජු බව
දුරුකොට (කාමේසු විනෙය්ය ගෙධං) නැවත මව් කුසකට නොපැමිණෙන්නේ ය- (න හි ජාතු ගබ්භ සෙය්යං පුනරේති)
ඉහත අංක 15 දක්වා කරුණු තමන් තුළ ඇති කරගත යුතු ගුණ විශේෂයන් වන අතර ඉන් පහළ ඇති කරුණු නිවන කරා තම සිත වර්ධනය කර ගන්නා ආකාරයයි.
අංක 15 දක්වා ඇති කරුණු ප්‍රායෝගිකව සියල්ලන්ට ම තම තමන් තුළ පිළිපැදිය හැකිය.
උදාහරණයක් ලෙස ඉහත කරුණු අතරින් “ලද දෙයින් සතුටු වීම” යන කරුණ ගතහොත් එය ඕනෑම කෙනෙකුට පිළිපැදිය හැකි වන අතර එය ප්‍රායෝගික ජීවිතය තුළම සිදු කළ යුත්තකි. ඒ සඳහා කාලයක් හෝ ස්ථානයක් වෙන් කර තබා ගැනීම අවශ්‍ය නොවෙයි. මෙහි සඳහන් අන් කරුණු ද එසේමය.
බුද්ධ දේශනාව පිළිපැදීම ඉතා දුෂ්කර හෝ ප්‍රායෝගික නොවන බව හෝ දැනෙන්නේ එය මැනවින් අවබෝධ කොට නොගැනීමෙනි. අවබෝධ නොවන්නේ එය අධ්‍යයනය නොකරන බැවිණි. එබැවින් ධර්මය අධ්‍යයනය කිරීමෙන් එය කෙතරම් ප්‍රායෝගික දැයි අපට වටහා ගත හැකි වෙයි. එබැවින් මෙම උතුම් වෙසක් පුන් පොහෝ දින අප අධිෂ්ඨාන කර ගත යුතු වන්නේ ධර්මය මැනවින් හදාරමින් ප්‍රායෝගික ජීවිතයේ එය පිළිපදිමින් නිවන කරා ගමන් කිරීමයි.
සියලු සත්වයන්ටම නිවන අවබෝධ වේවා.
ආචාර්ය දම්පේ විජිතරතන හිමි
පීඨාධිපති,
බෞද්ධ අධ්‍යයන පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය,
මානෙල්වත්ත, කැළණිය.