බෞද්ධාලෝක පදනමේ තරුණ කටයුතු කමිටුව විසින් මෙහෙයවන තරුණ ව්‍යාපෘතියක් ලෙස ගුරුකුල විද්‍යාලීය ආර්ය සංසදය පසුගිය ඔක්තෝම්බර් මස 29 වන දා ස්ථාපනය කරන ලදී. ඔවුන් සදහා වන පුහුණු සැසි දෙදින නේවාසික නායකත්ව පුහුණු කදවුරක් ලෙස 2025 නොවැම්බර් 18 හා නොවැම්බර් 19 යන දිනයන්හී දී ඇඹිලිපිටිය ජාතික නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. ඒ සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 33 දෙනෙක් ද, ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ආර්ය සංසදය භාර ආචාර්ය චින්තක සේරම් මහතා හා නිර්මාණි රත්නායක මහත්මිය ද, බෞද්ධාලෝක පදනම නියෝජනය කරමින් තරුණ කටයුතු කමිටුවේ ගරු සභාපති මහාචාර්ය රඟමිණි වේරවත්ත මහතා හා කථිකාචාර්ය ලහිරු කරුනානායක මහතා ද සම්බන්ධ විය.
කදවුරේ පළමු දින (නොවැම්බර් 18) අවසානයේ ගුරුකුල ආර්යන්ගේ දස්කම් විදහා දැක්වූ, “ආර්ය ප්‍රතිභා 2025” විවිධ ප්‍රසංගය ද පැවැත්වුණේ ඔවුන් සදහා වූ තවත් එක් පුහුණු සැසියක් වශයෙනි. මෙම දෙදින නායකත්ව පුහුණු වැඩසටහන සඳහා ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා මග පෙන්වූ අතර බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා මේ සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී. ඇඹිලිපිටිය ජාතික නායකත්ව සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, චන්දිමා මනම්පේරි මහත්මිය, පුහුණු අංශ ප්‍රධාන, ජ්‍යේෂ්ඨ පුහුණු නිලධාරි, නාලක ජයම්පති මහතා ප්රමුඛ සියලුම පුහුණු නිලධාරීන්, වැඩසටහන සාර්ථකව නිමාකරන්නට අත හිත ලබා දුන්හ.
බෞද්ධාලෝක පදනම මගින් ආර්ය සංසදය පාසැල් මට්ටමින් ස්ථාපිත කරමින් ගුණගරුක තරුණ නායකයන් ජාතියට දායාද කරන අතර ඔවුන් සමඟ එක්ව පාසල මගින් තම ප්‍රජාවට සේවාවක් සලසන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගීමට මඟ පෙන්වීම සහ ඒ සඳහා අවශ්‍ය කුසලතා ආර්ය සංසදයේ තරුණ නායකයන් හට ලබා දීමට සැලසුම් කර ඇත.







