(මානසික ජීවිතය උදෙසාමයි)
පරිණත බව ඔබ දකින්නේ කෙසේද?
සමාජයේ සිටින බොහොමයක් පුද්ගලයන් කාලයත් සමග පරිණත වන බව අසන්න ලැබෙන කරුණකි. නිදසුන් ලෙස,
- අපිත් ඔය වයස පහු කරලනේ ආවේ.
- මේ හිසේ කෙස් පැහුනේ නිකන් නෙවෙයි.
- මම අත්දැකීමෙන් කියන්නෙ.
මෙම පරිණත බව යන්නෙහි අරුත සමාජයේ කාලයක් ජීවත් වෙමින් විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරමින් විවිධාකාර සමාජ පරිසර වල ජීවත් වීමෙන් විවිධ සිද්ධීන් හා සම්බන්ධ විවිධාකාර අත්දැකීම් ලබා තිබීමයි.ඇත්තෙන්ම එසේ ලබන්නා වූ අත්දැකිම් සමග පුද්ගලයා සමාජ අත්දැකිම් වලින් මෙන්ම මානසිකවද පරිණතභාවයක් ලබයි. එනම්, තවත් පුද්ගලයකු සමග අශ්‍රය කරන ආකාරය හෝ යම් කිසි ක්‍රියාවක් සිදුකරන විට එහි වඩාත් සැලකිලිමත් විය යුතු හරිය ඔවුන් දනී. ඒවා 100% නිවැරදි බව මින් සනාථ නොකරන නමුත් ඒ ආශ්‍රිතව හරි යන හො වරදින තැන් ගැන ලද අත්දැකීම් වලින් අදාල ක්‍රියාව සම්බන්ධව ඔවුන් පරිණත වේ.මෙම තත්වය මානසික හා සමාජිය වශයෙන් සිදු වන පරිණතියක් ලෙසද දැක්විය හැකි අතර විවිධ කායික සංවර්ධන අවධීන් තුලදී විවිධ මට්ටමින් මෙය දැකගත හැක.
එවැනි මානසික හෝ සමාජීය අත්දැකීම් දුලබව කායිකව පරිණත වන මිනිසුන් ද සිටි. මෙය එකල ගැහැණු පාර්ශවය තුල වැඩි වශයෙන් දැකගත හැකි විය. බොහොමයක් කාන්තාවන් හෝ ගැහැණු දරුවන් පවුලට නැතහොත් නිවසට පමණක් සීමා වී තිබීම හේතුවෙන් ඔවුන් අහන දකින පරිසරය එතනට සීමා වීමක් සිද්ධ වෙනවා. මෙම තත්වය මත ඔවුන් කායිකව සිදු වන සංවර්ධනයට සාපේක්ෂව මානසිකව හෝ සමාජීය වශයෙන් සිදු වන සංවර්ධනය දුර්වල වේ.
මෙහිදී කායිකව සිදු වන සංවර්ධනයට සාපේක්ෂව මානසික වශයෙන් සිදු වන දුර්වලතාව ලෙසින් අර්ථනිරූපණය කරනුයේ, පුද්ගලයකු වශයෙන් සමාජයේ ජීවත් වීමේදී නිරන්තරයෙන් විවිධ මානසික පීඩනයන්ට ගොදුරු වීම සාමාන්‍ය කරුණකි. නමුත් මෙම තත්වයේ පසුවන මොවුන් මෙය අසාමාන්‍ය අවස්ථාවක් වශයෙන් ගෙන ඉන් මිදීමට යැයි සිතා විවිධ උපක්‍රම භාවිතය දක්නට ලැබෙන නමුත් ඒවා වඩාත් අසාර්ථක වීමක් දක්නට ලැබෙනුයේ ඒ හා සම්බන්ධ අත්දැකීම් වල විරල බවයි.
මීට කදිම නිදසුනක් ලෙස : – දරුවන් සමග මුහුදට බිලි වීමට සූදානම් වූ මවක් පිළිබද අසන්නට ලැබුණු පුවතකි.
මේ මවට තම සමාජීය දැනුම නැතහොත් කායික වර්ධනයත් සමග තමන්ට ලැබිය යුතු සමාජ ඉගැන්වීම් වල හිඩසක් පැවතීම හේතුවෙන් මානසික වශයෙන් දුර්වල බව නිසැකය. එසේ නොවුනා නම් ඇය එවැනි උපක්‍රමයකට නොයනු ඇත. එක් මානසික පීඩනයකින් මිදීමට තවත් පීඩනයක්ම උපක්‍රමය වශයෙන් තෝරා ගැනීමට හේතුව වන්නේ ඇගේ මනස එම පීඩනයන් දරා ගැනීමට, ඒවාට පිළියම් සෙවීමට තරම් කාලයක් ඉවසීමට හුරුවී නැති කමය.
ඒ අනුව ඇගේ කායිකව සිදු වන සංවර්ධනයට සාපේක්ෂව මානසික වශයෙන් සිදු වන සංවර්ධනයේ දුර්වල බව දැකගත හැක.
මෙහිදී කායිකව සිදු වන සංවර්ධනයට සාපේක්ෂව සමාජීය වශයෙන් සිදු වන දුර්වලතාව ලෙසින් අර්ථනිරූපණය කරනුයේ,
පුද්ගලයකු වශයෙන් සමාජයේ ජීවත් වීමේදී නිරන්තරයෙන් විවිධ සමාජ වල විවිධ තරාතිරමේ විවිධ ගතිලක්ෂණ සහිත පුද්ගලයන් සමග ගැටීමට සිදුවීම සාමාන්‍ය කරුණකි. එහෙත් ඉහත දක්වන පිරිස් එවැනි සමාජ ඇසුරකට නොවැටීම හේතුවෙන් ඔවුන් තම සමාජීය ජීවිතය තුල විවිධ චරිත සමග ගැටීමට සිදුවන අවස්ථාවක විවිධ අයුරින් අසාර්ථක විය හැක.
මීට කදිම නිදසුනක් ලෙස : – කාන්තාවක් විවාහ වී වෙනත් සමජයකට ජීවත් වීමට සිදුවුවහොත් ඇය ඒ සමාජය, පුද්ගලයන්, ඔවුන්ගේ හැසිරීම් හමුවේ ආතතියට පත් විය හැක.
මෙම කාන්තාවට විවාහ ජීවිතයේදී මුණ ගැසෙන චරිත තම පවුලේ චරිත මෙන් සිතීමට උත්සහ කරයි. නමුත් ඔවුන් විිවිධාකාර විය හැක. ඒ විවිධත්වය හමුවේ ඇය සිත් තැවුලට, හුදෙකලාවට පත් වේ.ඊට ප්රමුඛ හේතුව කායික වර්ධනයත් සමග තමන්ට ලැබිය යුතු සමාජ ඇසුර, විවිධ ගති ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ විවිධතා අත්දැකීමට නොලැබිමයි.
ඒ අනුව ඇයගේ කායිකව සිදු වන සංවර්ධනයට සාපේක්ෂව සමාජීය වශයෙන් සිදු වන සංවර්ධනයේ දුර්වල බව දැකගත හැක.
මෙම තත්වයන් මගහරවා ගනිමින් පරිණත වන පුද්ගලයකු ජීවිතය විවිධාකාරව දකී. එමෙන්ම විවිධාකාරව අත්දකී.ඒ අනුව පරිණත බව තුල දැකගත හැක්කේ කාලයත් සමග පුද්ගලයා තුල සිදු වන කායික සංවර්ධනයත් සමග ඒ හා සමානම මානසික සංවර්ධනයක් හා සමාජීය සංවර්ධනයක් දැකගත හැකි වීමයි. එසේ නැතහොත් පුද්ගලයා විවිධ වයස් සීමාවන් වලදී විවිධ මානසික හා සමාජීය අපහසුතාවන් වලට මුහුණ දේ.
සටහන –
මනෝ උපදේශිකා
රුවනිකා ජයවර්ධන
+94 76 185 2470