(මානසික ජීවිතය උදෙසාමයි)
බියක් ද? කාංසාවක්ද? භීතිකාවක් ද?
- බිය ( Fear) යන්න, අනතුරකට දක්වන ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස දැක්විය හැක.
එනම්, බිය නමැති චිත්තවේගය තමා වෙත ඉදිරිපත් වන අනතුරකට ස්වාභාවිකව දක්වන නැතහොත් ඇති වන ප්රතිචාරයකි.
- කාංසාව (Anxiety) යන්න, එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන අභියෝගාත්මක අවස්ථා වලදී ඇති වන තත්වයකි. මෙය සාමාන්‍ය තත්වයකි. එමෙන්ම එය මිනිසාට අත්‍යවශ්‍යම මානසික තත්වයකි. එනම්, අනතුරු වලින් බේරීම, ගැටලු විසදීම සහ අභියෝග ජය ගැනීම වැනි අවස්ථා වලදී කාංසාව මිනිසාට උදවු කරයි.
නිදසුන :- ඔබ විභාගයකට මුහුණ දෙන විට ඒ සදහා සූදානම් කරවන්නේ නැතහොත් ඒ සදහා ඔබව යොමු කරවන්නේ එම විභාගයට ඔබ තුල ඇති කරන කාංසාමය තත්වයයි.
එහෙත් යම් අවස්ථාවකදී මෙම කාංසාමය තත්වය අක්‍රමතාවක් නැතහොත් මානසික රෝගයක් බවට පත් විය හැක. කාංසාමය තත්වය මානසික රෝගයක් වශයෙන් නිර්වචනය කිරීමේ දී, අහේතුකව දිගින් දිගටම පවතින වැළැක්විය නොහැකි හා පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට හානිදායක කාංසාමය තත්වය යැයි කිව හැක.
කාංසාවේ පොදු ලක්ෂණ පහත පරිදි දැක්විය හැක.
- බිය සහ අවධානම මුසු නොවැළැක්විය හැකි හැගීම්
- පාලනය කළ නොහැකි ග්‍රස්ථිය (නැවත නැවත ඇති වන) සිතුවිලි
- වේදනාත්මක ආගන්තුක මතකයන්
- නිතර දකින නපුරු සිහින
- බඩේ අමාරුව, මස්පිඩු වේදනාව, හිසරදය වැනි ශාරීරික රෝග ලක්ෂණ
ප්‍රධාන කාංසා අක්‍රමතා වර්ග කිහිපයක් පහත දැක්වේ.
- සාමාන්‍ය කාංසා අක්‍රමතාව (Generalized Anxiety Disorder)
පාලනය කර ගැනීමට අපහසු අධික කාංසාව සහ කනස්සල්ල සමග ඇත වන නොසන්සුන් බව, පහසුවෙන් වෙහෙසට පත් වීම, අවධානය යොමු කිරීමේ අපහසුව හෝ මනස හිස් බව, නුරුස්නා බව, මාංශපේෂි ආතතිය, නින්දේ බාධා මෙම රෝගී තත්වය තුල දැකගත හැකි ලක්ෂණ වේ.
- සුවිශේෂී භීතිකා ( Specific Phobia)
යම් නිශ්චිත වස්තුවකට, අවස්ථාවකට හෝ ක්‍රියාකාරකමකට දක්වන අතාත්වික, දිගුකාලීන සහ අධික බිය සුවිශේෂී භීතීකාවක් ලෙස හදුන්වා දිය හැක. භීතිකාවට නිශ්චිත හේතු සාධකයක් ඉදිරිපත් කිරීමට භීතිකාව සහිත තැනැත්තා අපොහොසත් වන අතර තමන්ගේ භීතිකාව අතාත්වික සහ අනවශ්‍ය එකක් යැයි දන්නා නමුත් ඉන් මිදීමට අසමත් වෙති. සාමාන්යෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ට භීතිකාවක් වැළදීමේ ප්‍රවණතාව දසගුණයකින් වැඩි බව සොයාගෙන ඇත. සුවිශේෂි භීතිකා රාශියක් පවතී.
නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
- උස ස්ථාන වලට බිය (Acrophobia)
- ජලයට බිය ( Aquaphobia)
- ලේ වලට බිය (Hemophobia)
- ලිංගික අවයව වලට බිය (Gentophobia)
- මකුළුවන්ට බිය (Arachnophobia)
- සමාජ කාංසා අක්‍රමතාවය ( Social Anxiety Disorder/ Social Phobia)
සමාජමය වශයෙන් ඉදිරිපත් වී ක්‍රියා කිරීමේදී හෝ ඉදිරිපත් කිරීම් කරන අවස්ථා වලදී ඇති වන කාංසාත්මක ස්වභාවය අපහසුතාව හෝ එවැනි අවස්ථාවන්ට මුහුණ දීමේ භීතිකාවකින් පෙළීම මින් අදහස් වේ.
- ග්‍රස්ථීය අනිවාර්යතා අක්‍රමතාව (Obsessive Compulsive Disorder)
මෙහිදී පුද්ගලයා තුල නැවත නැවත ඇති වන සිතුවිල්ලකට ප්‍රතිචාර වශයෙන් හෝ දැඩි ලෙස ක්‍රියාත්මක කල යුතු නීතියක් වශයෙන් පුනරාවර්ථන හැසිරීම් (අත් සේදීම, පරීක්ෂා කිරීම) හෝ මානසික ක්‍රියා (යාඥා කිරීම, ගණන් කිරීම, වචන නිහඩව පුනරුච්චාරණය කිරීම) සිදු කිරීමට පෙළඹේ. මෙම හැසිරීම් හෝ මානසික ක්‍රියා වල අරමුණ වන්නේ, කාංසාව හෝ පීඩාව වැළැක්වීම හෝ අඩු කිරීම හෝ යම් භයානක සිදුවීමක් හෝ තත්වයක් වැළැක්වීමයි. කෙසේ වෙතත් මෙම හැසිරීම් හෝ මානසික ක්‍රියා ඒවා උදාසීන කිරීමට හෝ වැළැක්වීමට සැලසුම් කර ඇති දේ සමග යථාර්ථවාදී ආකාරයකින් සම්බන්ධ නොවේ. මෙය පහත නිදසුන මගින් පැහැදිලි වේ.
නිදසුන: – දරුවකු නිතර නිතර දිනකට අසාමාන්‍ය කාලයක් ගත කරමින් අත් පා සේදීම. තමා එලෙස අත් පා සේදීමෙන් මිස නිවසට ඇති වන භූත දෝශ වැළැක්විය නොහැකි බව දරුවාගේ සිතුවිල්ලයි.
ඒ අනුව දරුවා තුල ඇති වන ග්රස්ථිමය සිතුවිල්ලට ප්‍රතිචාර වශයෙන් ඇති කරන පුනරාවර්ථන හැසිරීම මගින් ඔහු තුල ඇති වන පීඩාව වැළැක්වීමට සැළසුම් කර ඇති මුත් එය යථාර්ථවාදී නොවේ.
- විප්පයෝග කාංසා අක්‍රමතාවය (Separation anxiety Disorder)
තමා දැඩිව සම්බන්ධ වී සිටින කෙනෙකුගේ වෙන්වීමක් අපේක්ෂා කරන විට හෝ අත්විදින විට නැවත නැවත ඇතිවන අධික පීඩාව මීට අයත් වේ.
- භීතිකාව (Phobia) යන්න, සැබෑ තර්ජනයට සමානුපාතික නොවන අන්ත බියකි. මෙම තත්වය ඉහත කාංසාමය අක්‍රමතාව නැතහොත් මානසික රෝගී තත්වය තුල දැකගත හැකි විය.එනම්, භීතිකාව කියන්නෙම මානසික රෝගී තත්වයකි. භීතිකාවක මට්ටම් හතරකි.
- සරල මට්ටම
- මධ්‍යම මට්ටම
- උග්‍ර මට්ටම
- නිධන්ගත මට්ටම
ඒ ඒ මට්ටම අනුව මනෝප්රතිකාර සැලසුම් කරනු ලබයි.
මේ අකාරයට බිය, කාංසාව, භීතිකාව යන්න වෙන් වෙන්ව හදුනා ගැනීමට ඔබට හැකියාව ලැබේ.
සටහන –
මනෝ උපදේශිකා
රුවනිකා ජයවර්ධන
+94 76 185 2470