පාරම්පරිකව ජනප්‍රිය වූ, සම්ප්‍රදායගත ආහාර පිසීමේ විධි ක්‍රම හා රසයට ආවේණික වූ වට්ටෝරූන් ප්‍රාචීන වට්ටෝරු ලෙස හැඳින්විය හැකිය. මෙය සෑම ප්‍රදේශයකටම විශේෂිත වන අතර ඒ ඒ ප්‍රදේශයේ දේශගුණික, සාම්ප්‍රදායික හා සංස්කෘතික සම්පත් අනුව හැඩගැසුණු රසයක් හා විශේෂත්වයක් ඇති විධික්‍රම වේ.මෙම වට්ටෝරු, විවිධ කණ්ඩායම් මත මාරු වී යන නවීන ආහාර පුරුද්දට වඩා සම්ප්‍රදායික රසයට හා සෞඛ්‍යයට වැදගත් වශයෙන් ප්‍රමුඛත්වය දක්වයි.අද මම කතාබහට ආරාධනා කළේ එවන් වූ ප්‍රාචීන ආහාර වට්ටෝරු වල රසය, සුවඳ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ප්‍රචලිත කිරීමට උත්සාහ දරන ඉවුම් – පිහුම් කලාවේ ආචාර්යවරියක සමගයි. ඇය “Kussiya – Cuisine of sri lanka හරහා තම ආහාර වට්ටෝරූන් සමාජගත කරනු ලබයි.

මුලින්ම අප ඔබ ගැන කතා කරමු.
මගේ නම ඩී. බී. අබේසේකර. මම ජීවත් වන්නේ දකුණු පළාතේ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ.මම හොරණ කලාපයේ ගෘහ ආර්ථික විද්‍යා පුහුණු ගුරු උපදේශිකාවක් ලෙස සේවය කළා.2025 වසරට මම විශ්‍රාම අරගෙන අවුරුදු පහළොවක් වෙනවා.මගේ ස්වාමියා විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරයෙක්.මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.

මේ දිනවල වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල මම වගා කටයුතු සිදුකරගෙන යනවා.කෙසෙල්, පොල්, එළවළු වර්ග,ඉඟුරු බුලත් වගේ දේවල් මම වගා කරනවා.කෙසෙල්, පොල් වගේ දේවල් Food City වලටත් අනෙක් දේවල් සාමාන්‍ය වෙළෙඳසැල් වලටත් අලෙවි කරනවා.වගාවෙන් හොඳ ආදායමක් මට ලැබෙනවා.
විශ්‍රාම සුවයෙන් ගත කරන කාලයේ මෙවැනි කටයුත්තක නිරතවීමට සිතුවේ ඇයි?
මට සහජයෙන්ම ගොඩක් හැකියාවන් ලැබිලා තියෙනවා. වගා කටයුතු,වාහන පැදවීම්,මැහුම් – ගෙතුම් මගේ කටයුතුවල නිරත වීමට මම මගේ කාලය යොදනවා.මම දන්න දේවල් හැකි අයුරින් අන් අයට ලබා දී ඔවුන්ව ස්වයං රැකියාවක් හෝ කිරීමට හැකි තත්ත්වයකට පත්කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව.මම නිතරම මෙලොව සේම පරලොව ජීවිතය වෙනුවෙනුත් කාලය කැප කරන කෙනෙක්.
“Kussiya – Cuisine of sri lanka ” හරහා ශ්‍රී ලාංකික ආහාර පමණක් ප්‍රචලිත කිරීමට සිතුවේ ඇයි?
මගේ ඇතැම් ඥාතීන් වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුමක් සහිත පුද්ගලයන්.මට අවශ්‍යය ආහාරයන් රසය, ගුණය,වර්ණය පුද්ගල රුචිකත්වය යන සියල්ලම සමබරවන ආකාරයට අනාගත පරම්පරාවට ලබාදීමටයි.සමහර ආහාරයන් සකස් කිරීමේදී ඒවාහි පෝෂක කොටස් විනාශ වන අවස්ථා ද ඇත.නමුත් ඒවා විනාශ නොකර ශරීරයට ඖෂධයක් ලෙස එකතු කිරීම මගින් නීරෝගී පුද්ගලයෙක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා ” Kussiya – Cuisine of sri lanka” හරහා දේශීය ආහාර සමාජයට ලබාදීමට මට සිතුණා.

දේශීය ආහාර වට්ටෝරුන්ගෙන් බැහැරව ආහාර නිර්මාණය කිරීමට අදහසක් තියෙනවාද?
ඔව්. දේශීය ආහාර වට්ටෝරුන්ගෙන් බැහැරව එනම් විදේශීය ආහාර වට්ටෝරූන් ද ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට මගේ අදහසක් තිබෙනවා.ඒ වෙනුවෙන් මේ දිනවල මම ආහාර නිර්මාණය කරමින් ඉන්නවා.ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඉතාලි කෑම වර්ග වට්ටෝරූන් පිළිබදව දැනගන්නට ලැබේවි.විදේශීය ආහාරයක් වුවත් පෝෂක කොටස් රැකෙන ආකාරයට සකස් කිරීමට මා උත්සාහ කරනවා.

ඔබට ආහාර පිසීමට අමතරව මැහුම් ගෙතුම් අත්කම් නිර්මාණ පිළිබඳව මනා දැනුමක් සහ අපූර්ව හැකියාවක් තියෙන බව අපට අසන්නට ලැබුනා. අපි ඒ ගැනත් කතා කරමු.
අපේ අම්මා කියනවා, මම පුංචි කාලයේ කෙසෙල් ගහේ පට්ට වලින් කතිර මැස්ම මහනවාලු.පුංචි කාලයේ මේවගේ දේවල් කරන නිසා දෙමව්පියෝ හිතුවා මම ඉගෙන ගන්නෙ නැති වේවි කියලා. ඒ නිසා මම ඉඳිකටුව, නූල අල්ලනවාටවත් ගෙදර අය වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ.ඒ නිසා මැහුම් – ගෙතුම් කියන්නේ ඉවුම් – පිහුම් වගේම මම සහජයෙන්ම උරුම කරගත් හැකියාවක්.ඒ වගේම පන් වැඩ, හැඳි නිර්මාණ, හා කැටයම් කලාවටත් මම කැමතියි. මම වඩාත්ම කැමති වගේම දක්ශ මැහුම් කලාවට යි.ඩාර්ට් එකක් නොමැතිව වුවත් මට බ්ලවුස් මැසීමේ හැකියාව තියෙනවා.මගෙන් මැහුම් කලාව ඉගෙන ගෙන මේවන විට ලක්ෂ ගනනක මාසික ආදායම් ලබන දරුවෝ ඕන තරම් ඉන්නවා.කිසිම ලාභ පරමාර්ථයක් නොමැතිව කරන මේවායින් මට ලැබෙන්නේ ලොකු සතුටක්.මගේ උත්සාහය රැකියාවන් නොමැති අයට මට හැකි අයුරින් උදවු කිරීමයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔබේ ඉවුම් පිහුම් හැකියාව සඳහා ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මට අවශ්‍ය වෙන්නේ සෑම දෙනෙකුටම නිරෝගී ශක්තිය ලැබෙන ආකාරයට පෝෂදායි ආහාර වේලක් සකසා ගන්න අවස්ථාව ලබාදීමයි.ගෘහ ආර්ථික විද්‍යාව විෂය යටතේ පෝෂදායි ආහාර පිළිබඳව මම ඉගෙන ගෙන තිබෙනවා.විනාශ වෙමින් පවතින මේවා ආරක්‍ෂා කරගෙන සම්ප්‍රදායත් රැකගෙන ඉදිරි පරම්පරාවන්ට ලබා දීමට මම නිරන්තරයෙන් උත්සාහ කරනවා.
ඇතැම් අවස්ථාවන්හි ආහාර වට්ටෝරු සකස් කරන විට අපි එහි පෝෂක කොටස් ඉවත්වන ආකාරයට ඒවා සකස් කරනවා නේද?
ඔව්. සමහර අවස්ථාවල අපි ආහාර සකස් කරන විට ආහාරය පෝෂණය රැඳි කොටස්ම ඉවත් කරනවා.අප මුරුංගා කොළ, හාල්මැස්සන් ඔළු භාවිතයට නොගෙන ඉවතට දමනවා.නමුත් මේ වර්ගයන් දෙකම හොඳින් වේලා කුඩු කොට පවුඩර් ආකාරයට සකසා ආහාරයන්ට එක් කිරීමෙන් කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය හා කාය වර්ධනය කළ හැකියි.මෙවැනි දේවල් සමාජයට ලබාදීම තමයි එකම අරමුණ වගේම උත්සාහය.
මාතරට ආවේණික වුණු ආහාර වට්ටෝරු වර්ග තිබෙනවා.අපි ඒ පිළිබඳවත් සඳහන් කරමු.
මාළු ඇඹුල් තියල්,මං ඇට වලින් සාදන උඩ බැලුම්,සීනි පිට්ටු,කෝම්පිට්ටු,කොස් කොළ පිට්ටු,ජබර වලින් සාදන සීනි සම්බල්,පොළොස් වලින් සකස් කරන විවිධ ආහාර වර්ග,සම්පූර්ණ පොල් ගෙඩිය පුච්චා සාදන සම්බෝල,ලුණු මිරිස්,ව්‍යංජන,පොල් බඩ,පොල් පැළපි,වැටකෙයියා ගොබ වලින් සකස් කරන විවිධ ආහාර වර්ග මාතරට ආවේණික ආහාරයක් වර්ගයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.

වර්තමානයේ ඉවුම් – පිහුම් සම්බන්ධව තරුණ තරුණියන් විසින් සිදුකරන You Tube නාළිකා බොහෝමයක් දැකගත හැකියි.ඔවුන්ගේ හැකියාවන් පිළිබදව ඔබට දැනෙන හැඟීම මොනවගේද?
තරුණ දරුවෝ කරන ඒ දේවල් වලින් මට ඇතිවෙන්නේ ලොකු සතුටක්.නමුත් පොඩි දුකක් ඇතිවෙන අවස්ථාත් තිබෙනවා.ඔවුන් ඇතැම් පෝෂක කොටස් විනාශ වන ආකාරයට ආහාර සකස් කරන අවස්ථා මම දැක තිබෙනවා.ඒ නිසා ඒවා විනාශ නොවන ආකාරයට ආහාර සකස් කරනවා නම් තවත් වඩාත් හොඳයි.තරුණ පරම්පරාව ආහාර පිළියෙල කිරීමට දක්වන රුචිකත්වය සාමාන්‍යයෙන් අඩුයි.ඔවුන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ පිළියෙල කරන ලද මිලදී ගතහැකි ආහාරයන්ටය.මේ විදිහට තරුණ දරුවෝ ආහාර පිළියෙල කරන නිසා අපේ අනිත් තරුණ දරුවන්ටත් ආහාර පිළියෙල කිරීමට රුචිකත්වයක් ඇතිවෙනවා.ඒ නිසා දරුවන්ගේ මේ උත්සාහය මා අගය කරනවා.මම ගොඩාක් කැමති Wild Cook Book දරුවට.මේ ක්ෂේත්‍රයට එන ඕනෑම කෙනෙකුට උදව් කිරීමට මා සූදානමින් ඉන්නවා.
ඔබට මේ සඳහා උදව් කරන පිරිසක් ඇති. අපි ඔවුන්වත් මතක් කරමු.
මගේ පොඩි පුතා මලිත් හර්ෂණ. ඔහු තමා මට අවශ්‍ය කළමනා සියල්ල සකස් කරදෙමින් මේ ගමනට ගොඩාක්ම උදව් කරන්නේ.මගෙන් සිදුවන වැරදි පවා ඔහු පෙන්වා දෙනවා.මම හරි කැමතියි මගේ අතින් සිදුවන අඩුපාඩු කවුරුන් හෝ විසින් පෙන්වා දෙනවා නම්.ඒවගේම මගේ නංගි ,ඥාතීන්,අසල්වැසියන් මට මේ සඳහා උදව් කරනවා.
ඉදිරි වැඩ කටයුතු මොනවාද?
මගේ එකම බලාපොරොත්තුව මට හැකි සෑම ආකාරයකින්ම අනෙක් අයට උදව් කිරීම.ඒවගේම ඉවුම් – පිහුම්,මැහුම් – ගෙතුම් ආදී දක්ශතා දායාද වශයෙන් ඉදිරි පරම්පරාවන්ට ලබාදීමයි.
ළඟ එන නත්තල වෙනුවෙන් ඔබේ සූදානම කොහොමද?
නත්තල වෙනුවෙන් අලුත් ආහාර වර්ගයන් කිහිපයක් හඳුන්වාදීමට මම සූදානමින් ඉන්නවා.ඒ අතර චිලි සෝස්,මාළු ඇඹුල් තියල්, රටකජු බැදුම,පෝෂණීය කැඳ වර්ග ආදිය හැඳින්විය හැකියි.
කතාබහ සහ සැකසුම
ඩී.වී.පෙවින්ද්‍යා රශ්මි