මල් වගාවෙන් ජිවිතය විකසිත කරගත් සමන්මලි

author
0 minutes, 2 seconds Read

ජලජ ශාඛ මල් කියන්නේ මඩ සහිත ජලයේ උපත ලබලා මඩ තවරා නොගෙන අලංකාර විදිහට ඉස්මතු වෙන මලක්. කාන්තාවන් අතරත් එවැනි දුර්ලභ ගණයේ හැකියාවන් ඇති අය විශේෂයි. කාන්තාවක් විවාහ වී දරුවන් ලබා නිවසට සීමා නොවී තමන්ගේ පවුලේ ආර්ථිකයට යම් ශක්තියක් ලබා දීමට කටයුතු කරන සුවිශේෂී කාන්තාවන් අප අතර සිටිනවා. මේ ඒ වගේ තවත් එක් දිරිය කාන්තාවක් පිළිබදවයි..

මම සුරේඛා සමන්මලි මීරිගම බෝතලේ ප්‍රදේශයේ පදිංචියි. තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු මම පාසල් අධ්‍යාපනයෙන් පසුව මම බාහිර උපාධි පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරේම රැකියාවකත් නිරත වුණා. නමුත් විවාහයෙන් පසුව මම රැකියාවෙන් අයින් වෙලා දරුවන් රැක බලා ගෙන නිවසේ සාමාන්‍ය කටයුතු කර ගනිමින් සිටියා.

මල් වගාවට යොමු වුනේ කොහොමද?

මම මල් හදන්න කවදත් කැමැත්තක් දැක්වූවා. පන්සලකට ගියත් මට ඕලු , නෙළුම් මානෙල් වගේ මල් වලට ආසයි. මේ ගැන වැඩි උනන්දුවක් තිබුන නිසා මම මේ මල් හැදෙන හැටි දැන අත්දැකීමෙන් දැන ගෙන හිටියා. සමහර මල් පැල වලින්, ඇට වලින් වගේම අල වලින් බෝ වෙන බව මම දැන ගෙන හිටියා. ඒ නිසා අළුතින් ඉගෙන ගන්න විශේෂ යමක් තිබුනේ නැහැ. නමුත් ව්‍යාපාරයක් විදිහට මල් වගා කරන්න නම් අදහසක් තිබුනේ නැහැ. මල් පැලයක් හදලා ඒ මල් පැලයෙන් මලක් දකින්න මම කවදත් කැමැතියි.

විවාහයෙන් පසුව නිවසේ සිටින කාලය තුල මට හිතුනා මේ මල් වගාවෙන් මට නිවසේ ඉඳන් ආදායමක් ලබන්න පුළුවන් නේද කියලා.

ඔබේ වගාවේ යම් විශේෂයක් තිබෙනවාද?

ඔව් මම ජලජ ශාඛ තෝරා ගත්තා. ඒ නිසා මම විවිධ ජලජ ශාඛ වර්ග එකතු කළා. සාමාන්‍යයෙන් අපි දන්නේ ඕලු , නෙළුම්, මානෙල් වැනි පොදු වර්ග කීපයක් විතරයි. නමුත් මේවායෙත් ප්‍රභේද රාශියක් තිබෙනවා. නෙළුම් මල් වලත් කුරු සහ උස විදිහට ප්‍රභේද තියෙනවා. ඉතින් මම මේ විවිධ ප්‍රභේද එකතුවක් හදා ගත්තා.

ඊට අමතරව මව් ශාඛ වලින් පැල බෝ කර ගත්තා. ඒ වලත් රතු, සුදු විහේෂ තිබෙනවා.

ඔබේ ජලජ මල් එකතුව දේශීය ශාඛ වලට පමණක් සීමා වෙනවද?

නැහැ. මගේ මල් පැල එකතුවේ දේශීය වගේම විදේශීය ජලජ මල් එකතුවක් තිබෙනවා. බැංකොක් වර්ග වැඩියෙන් තිබෙනවා. දුර්ලභ ශාඛ විශේෂත් තිබෙනවා. මම ජලජ මල් ගැන තොරතුරු හොයා ගෙන ඒවා එක් රැස් කළා.
සන්නාමයක් හදා ගත්තා

ව්‍යාපාරික විදිහට ජලජ ශාඛ අලෙවිය පටන් ගැනීමේදී මම ඒ වෙනුවෙන් “ Nethu flowers ” යන නම යොදා ගත්තා. එතැනින් පසුව මම මේ වෙනුවෙන් ෆේස් බුක් පිටුවක් හදා ගත්තා. ඒ පිටුවේ ජලජ ශාඛ පිළිබඳ ඡායාරූප එකතුවක් හදා ගත්තා. මට ටිකෙන් ටික ඇනවුම් ලැබුනා.

ඔබේ අලෙවිය සිදු වෙන්නේ

ඇනවුම් ලැබුනාම මම කුරියර් සේවාව ඔස්සේ ඒවා යවනවා. මේ ශාඛවල මඩ තියෙන නිසා ඒවා හොඳින් සෝදලා පත්තරයක ඔතනවා. එතැනින් පසුව වතුර කාන්දු නොවන විදිහට පොලිතින් බෑගයක අසුරලා සීල් කරලා යවනවා. කිසිම හානියක් නැහැ.

වැඩි ඉල්ලුමක් තියෙන්නේ

බොහෝ දෛනක් නෙළුම් මල් වලට කැමැතියි. ඒක විහේෂ විදිහට හිතන්න පුළුවනි. නෙළුම් පත්‍ර දිය මත තිබෙනවා. එතැනත් අලංකාරයක්. නෙළුම්වලත් හැමදාම මල් තිබෙන විශේෂ වගේම මාසයකට මල් දෙකක් පමණ පිපනෙ විශේෂත් තිබෙනවා. ඒවා hard විශේෂ විදිහට නම් කරනවා.

මල් වගාවට හානි සිදු වීම ගැන

මල්වලට ගොළුබෙල්ලන්ගෙන් වගේම පාසි බැඳුනාම හානි වෙනවා. ගොළු බෙල්ලන් ශාඛ පත්‍ර ආහාරයට ගන්නවා. ඒ වගේම ගෙම්බන්ගෙන් හිනා වෙනවා. ඔවුන්ගේ සැව් බිත්තර නම් වතුර මතුපිටින් පෙනනවා. ඒ නිසා ඒවා ඉවත් කරන්න පුළුවනි. මේ සැව් බිත්තර ඉවත් කරන්න බැරි වුනොත් ඉස්ගෙඩියෝ බෝ වෙනවා. එතකොට මල් තවානට හානි වෙනවා.

තවාන පවත්වා ගැනීමේ ඉඩ කඩ

අපේ ගෙවත්තේම ශාඛ තවාන තිබෙනවා. ලිඳට මෝටර් දාලා වතුර සැපයුම අරගෙන තිබෙනවා. ඒ නිසා කරදරයක් නැහැ. සුද්ධ කිරීමත් පහසුයි.

ඔබෙන් ඇනවුම් ලබා ගන්නවා නම්

මගේ “Nethu flowers ” ෆේස් බුක් පිටුව ඔස්සේ ඇනවුම් කරන්නත් පුළුවනි. ඒ වගේම 0701259443 වට්ස්ඇප් දුරකථනයෙනුත් මාව සම්බන්ධ කර ගන්න පුළුවනි.
එහෙමනම්… හිත ඇත්නම් පත කුඩාද කියනවා වගේ තමන්ට නැති දේ ගැන ලතැවෙනවාට වඩා ලද දෙය උපයෝගී කර ගෙන කාටවත් අත නොපා ජීවත් වීමට උත්සාහ කරන සුරේඛා සමන්මලි ගේ අනාගතයත් නෙළුම්මල් සුවඳක් ලෙසින් සුවඳවත් වේවා යැයි “ Colombo Journal ” වෙතින් සුබ පතමු…

සටහන – සිල්වා , සී

Similar Posts