මානසික ප්‍රශ්න පිළිබඳව වෙන කවරදාටත් වඩා අද කාලයේ කතා බහට ලක්වෙනවා. ඒ සඳහා උපදේශන පවත්වන පිරිස්ද වැඩිවෙමින් පවතිනවා. එබැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි අදහස් කළා. අද මෙම සාකච්ඡාවට සම්පත් දායකත්වය දෙන්නේ ප්‍රවීන මනෝ උපදේශක/පවුල් උපදේශක කසුන් රාජපක්ෂ මහතා.
අපේ රටේ මිනිස්සු මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගන්න හරිම අකමැතියි. එහෙම කළත් ඉතාම රහසිගතව තමයි කරන්නේ. ඒ පිළබඳ අවබෝධය අඩු බව පෙනෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි.
සාමාන්‍යයෙන් බුද්ධාගමේ උනත් කියලා තියෙනවා සෑම පුද්ගලයෙක්ම කිසියම් උම්මත්තකභාවයකින් පෙළෙනවා කියලා. ඕනෑම අවස්ථාවක කිසියම් මානසික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒකට වයසද උගත්කමද නූගත්කමද සල්ලි තියෙනවාද නැද්ද කියන එක බලපාන්නේ නෑ. ඒකට විවිධ හේතු කාරණා බලපාන්න පුළුවන්. දේශගුණය, කාලගුණය, තමා ජීවත්වන පරිසරය, ආශ්‍රය කරන අය, රැකියාව, සිත්පීඩා ආදිය ඒවගේ ඕනම දෙයක් නිසා එයාට පාලනය කරගන්න බැරි මානසික අපහසුතාවයකට පත්වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ඇති උනාම ඒකට ප්‍රතිකාර කරන අවස්ථාවකට යොමු වෙන්න ලැජ්ජා විය යුතු නෑ. ඒක උන හෙම්බිරිස්සාව ඇති වෙනවා වගේ ඇති වෙන්න පුළුවන් දෙයක්. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන.
අපේ මානසිකත්වය කියන එක 100% ක් යහපත් ලෙස සතුටුදායක ලෙස පවතින්නේ නෑ. අපේ ශරීර සෞඛ්‍යයත් එහෙමයි. මානසික සෞඛ්‍යයත් එහෙමයි. ඒක හරියට තේරුම් ගත්ත කෙනෙක් එහෙම ලැජ්ජාවට පත්වෙන්නේවත් පසුතැවෙන්නේවත් නෑ.
මනෝවෛද්‍යවරයෙක් හමුවිය යුතුයි කියලා තීරණය කරන්නේ මොන වගේ අවස්ථාවකද ?
ඒක තමන්ටම දැනෙනවා. තමන්ගේ එදිනෙදා කටයුතුවලට විශාල බාධාවක් වෙනවා නම්, වෙනදට තමන් කරන තමන් සතුටට පත්වෙන දේවල් කරන්න හිතෙන්නේ නැත්තම් උදාහරණයක් හිතන්න. කෙනෙක් හැන්දෑවට ව්‍යායාම් කරනවා.එහෙම කෙනෙකුට තියෙන මානසික ගැටළුව නිසා ඒක කරන්න හිතෙන්නේ නෑ. ඉගෙන ගන්න කෙනෙක් නම් එයාට ඉගෙන ගන්න දේට අවධානය යොමු කරන්න බෑ. ඉගෙන ගන්න හිතෙන්නෑ. වෙනදට අපි ආසාවෙන් කරන දේවල් කරන්න හිතෙන්නෑ. එහෙම තත්ත්වයක් ඇති වෙලා නම් නැත්තම් ඇතිවේගෙන එනවා නම්, හොඳම දේ තමයි මනෝ වෛද්‍යවරයෙක් හෝ උපදේශකයෙක් මුනගැහිලා ඒ ගැන කරුණු කාරනා විස්තර කරලා ඒකට උපදේශනය හෝ ප්‍රතිකාර ලබා ගැනීම. එහෙම නැති උනොත් වෙන්නේ වෙනත් ක්‍රියා මාර්ග වෙත එයා යොමුවීමයි. දැඩි මානසික පීඩනයක සිටින කෙනෙක් මත්ද්‍රව්‍ය මත්වතුර ලබා ගන්න පුළුවන්. තමාගේ මානසිකත්වයට ශරීරයට අහිතකර දේවල්. සූදුවට යොමු වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒවගේ දේකට තමන් වේගයෙන් යොමු වෙනවා කියලා දැනෙනවා නම් ඒ අදාළ උපදේශනය හෝ ප්‍රතිකාර ලබා ගත යුතුයි.

ඒවගේ වෙලාවක මනෝවෛද්යවරයෙක්ගේ හෝ උපදේශකවරයෙක්ගේ කාර්යභාරය මොන වගේ එකක්ද ?
උපදේශකවරයෙක්ගේ කාර්යය තමයි ඔහුගේ තත්ත්වය පිළිබඳව විස්තර ලබාගෙන ඔහු සිටින තත්ත්වය මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කරලා ඔහු සිටින තත්ත්වය අවබෝධ කරදීම. ඒ මානසික ගැටළුව විෂාදයද වෙනත් තත්ත්වයක්ද කියන එක ගැන අදහසක් සේවා ලාභියාට ලබාදීම. ඒවගේම බලන්න ඕන එම සේවාලාභියා උපදේශනයෙන් ඔහුව සුව කරන්න පුළුවන් තත්ත්වයක ඔහු/ඇය ඉන්නවාද කියන එක. එහෙම තත්ත්වයක නෑ කියලා හැඟෙනවා නම් එයා වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කටයුතු කරනවා. මනෝ උපදේශනයෙන් සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් නම් උපදේශනය හෝ මනෝ ප්‍රතිකාර ලබා දෙනවා.
උපදේශකවරයෙක් ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්නේ නෑ. ඒවගේම එහෙම හැකියාවකුත් නෑ. ඒ වගේම නීති විරෝධි ක්‍රියාවක්. වෛද්‍යවරයෙකුට තමයි ඖෂධ ලබාදීමේ හැකියාව සහ බලය තියෙන්නේ. උපදේශකවරයෙකුට හැකියාව ඇත්තේ මනෝ උපදේශනය සහ මනෝ ප්‍රතිකාර ලබා දීමටයි. උපදේශකවරයෙක් තමා හමුවට එන සේවාලාභියාගේ ගැටළුව විසඳා දෙන්නේ නෑ. එහිදී මූලිකව සිද්ධ වෙන්නේ ගැටළුවෙන් පෙනෙන තැනැත්තා පෙළෙන ගැටළුවෙන් මිදීමට යම්කිසි සහයදීමක් පෙළඹවීමක් සුදුසු පරිසරය සකස් කර දීමක් විසඳුමක් තෝරාගන්න සේවාලාභියාට යම්කිසි මග පෙන්වීමක් ලබාදීම. ගැටළුවෙන් පෙලෙන පුද්ගලයාට ඊට ඇති නොපෙනෙන මානයේ තිබෙන විකල්ප පැහැදිලි කරදීම තමයි කරන්නේ.
මනෝ වෛද්‍යවරයෙක්ගේ ක්‍රියාව වෙන්නේ ඔහුට ඇතිවෙලා තියෙන මානසික තත්ත්වය පිළිබඳව සලකා බලලා අවශ්‍ය නම් ඖෂධ ප්‍රතිකාර වෙත යොමු කරන එක.
අද අපිට පෙනෙන දෙයක් තමයි රටේ විවිධ තැන්වල මනෝ උපදේශන පාඨමාලා තියෙනවා. ඒවගෙන් මනෝ උපදේශකවරයෙක් බිහි කරන්න පුළුවන්ද ?
එහෙම පන්තිවලට හෝ පාඨමාලාවලට සහභාගී වූ පමණින් කෙනෙකුට උපදේශකවරයෙක් වෙන්න බෑ.තමන්ට මනෝවිද්‍යාව පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යයනයක් කරන්න දැනුම සොයාගන්න සමහර පාඨමාලා ප්‍රමාණවත් වෙන්න පුළුවන්.පාඨමාලාවක් කළ පමණින් උපදේශකවරයෙක් වෙන්න හැකියාවක් නෑ. එහෙම පාඨමාලාවක් කරලා අවුරුද්දක් විතර ජේ්‍යෂ්ට මනෝ උපදේශකවරයෙක් යටතතේ පුහුණු වෙන්න ඕන. එහෙම පුහුණු උනාට පස්සේ එයාට උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්.
මට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා නම්, මම කොහොමද හොඳ උපදේශකවරයෙක් තෝරගන්නේ ?
අද කාලේ ගත්තාම ඕන තරම් මනෝ උපදේශකවරු ඉන්නවා. ප්‍රසිද්ධ අයත් අප්රසිද්ධියේ තමන්ගේ කටයුතු කරගෙන යන අයත් ඉන්නවා. උපදේශකවරයා කොපමණ කාලයක සිට මනෝ උපදේශනයේ නිතර වෙනවද කියලා බලලා සුදුසුකම් තියෙනවාද කියලා බලලා එයාව මුනගැහිලා ප්‍රතිකර්ම වලට යොමු වෙන්න පුළුවන්.
මනෝ උපදේශකවරයෙක් ඉදිරියේ මානසික ප්‍රශ්න තියෙන කෙනා හැසිරෙන්න ඕන කොහොමද ?
තමන් ඉදිරියට එන සේවාලාභියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න උපදේශකවරයා බැඳිලා ඉන්නවා. ඒක එයාගේ වෘත්තීය ආචාර ධර්මවල ඉතා ඉහළින් තියෙන එකක්.තමන්ගෙ ළඟට එන සේවාලාභියාගේ පෞද්ගලිකත්වයට හානිවෙන කිසිම දෙයක් කරන්න බැහැ. රහස්‍යභාවයට හානි වෙන දේවල් කරන්නත් බෑ. ඒවගේම වාචසිකව හෝ කායිකව සේවාලාභියා අපහසුතාවයට පත්වෙන දේවල් කරන්නත් බෑ. කිසිම සේවාලාභියෙක් සම්බන්ධව පූර්ව විනිශ්චයන්ට එන්නත් බෑ. අපරාධකාරයෙක් වුණත් සමාජ විරෝධි ක්‍රියාවල නිරත වෙන කෙනෙක් වුණත් එයාව කාරුණිකව ගෞරවණීය ලෙස පිළිගන්න ඕන. එහෙම කටයුතු කරන්න උපදේශකවරයා බැඳිලා ඉන්නවා. ඒක එයාගේ වෘත්තීය ආචාර ධර්මයක්.
නමුත් රහස්‍යභාවය කියන එක කඩකරන අවස්ථා දෙකක් තියෙනවා. උපදේශකවරයාට හැඟෙනවා නම් තමන් ළඟට ආපු සේවාලාභියා සිටින මානසික තත්ත්වය අනුව එයා එයාගේ ජීවිතයට යම්කිසි හානියක් කර ගනියි කියලා ඒවගේ අවස්ථාවකදී රහස්‍යභාවය කඩකරලා අදාළ අයට ඒ පිළිබඳව දැනුම් දීම අවශ්‍ය වෙනවා. දෙවන අවස්ථාව තමයි සේවාලාභියා විසින් තවත් කෙනෙකුට හානියක් හෝ අගතියක් කරයි කියලා හැඟෙන අවස්ථාවල රහස්‍යභාවය කියන කොන්දේසිය කඩකරන්න සිද්ධ වෙනවා.
උපදේශකවරයෙක් ඉදිරියට ආවාම තමන්ගේ පෞද්ගලික ගැටළු ලිංගික කරුණු ආදිය උපදේශකවරයාට පැවසීම කිසිම හානියක් වෙන්නේ නෑ.
වර්තමාන සමාජයේ මිනිස්සුන්ට තියෙන මානසික ප්‍රශ්න වැඩිවෙලා කියලා ඔබතුමා හිතනවාද ?
නෑ මම ඒකට එකඟ වෙන්නේ නෑ. අතීත, වර්තමාන හෝ අනාගත කියලා නෑ, මානසික ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒක කාලය මත රැඳෙන්නේ නෑ.
මානසික ප්‍රශ්නයක් දරාගෙන ජීවත්වීම සුදුසුද ? එහි ගැටළුවක් තියෙනවාද ?
නැහැ ඒක අතිශය නරක දෙයක්. තමන්ට මොකක් හරි මානසික ගැටළුවක් තියෙනවා නම් ඒක නිරාකරණය කරගන්න එක තමයි හොඳම දෙය. ඒක විඳදරාගෙන ජීවත්වීම සුදුසු නෑ. මොකද එහෙම දරාගෙන ඉන්නවිට වෙනත් මානසික ආබාධ ගැටළු ඇතිවෙන්න ඒක ප්‍රබල හේතුවක් වෙන්න පුළුවන්. කායිකව වුවත් විවිධ රෝගාබාධ ඇති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.

ඔබතුමාට තිබෙන අත්දැකීම්වලට අනුව වැඩිපුර මානසික ගැටළු ඇතිවෙන්නේ ගැහැණු අයටද පිරිමි අයටද ?
ඒක සාපේක්ෂයි. අඩුවැඩි වශයෙන් දෙපක්ෂයම මානසික ගැටළු ඇතිවෙනවා. හැබැයි මට තියෙන අත්දැකීම් අනුව වැඩියෙන් මානසික ප්‍රතිකාරවලට යොමු වෙන්නේ ගැහැණු අය. පිරිමි අයට තමන්ගේ මානසික ගැටළු විසඳගන්න විවිධ ක්‍රම හා අවස්ථා තියෙනවා. තමන්ට ගැටළුවක් ඇති උනාම පිරිමි කෙනෙකුට කොහේ හරි යන්න පුළුවන්. රැයවල් කිහිපයක් කොහේ හරි පිට තැනක ගත කරන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කරලා තමන්ගේ මානසික ගැටළුවට විසඳුමක් ලබා ගන්න හෝ තාවකාලිකව සමනය කරගන්න හෝ පුළුවන්. නමුත් කාන්තාවකට ඒ අවස්ථාව මේ සමාජයේ අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් යම් කිසි බරපතල මානසික පීඩනයකින් ගැටළුවකින් පෙලෙන්න පුළුවන්.
ඔබතුමා හමුවට එන අයගේ පොදුවේ දකින ගැටළු තියෙනවාද ?
මම උපදේශනයේ යෙදෙන්නේ පවුල් ආරවුල් ගැටළු සම්බන්ධයෙන්. මම ලියන්නේ අදහස් දක්වන්නේ මම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ පවුල් උපදේශකවරයෙක් විදිහට. එහෙම ගත්තාම මගේ ළඟට එන්නේ පවුල් ආරවුල්, ගැටළු තියෙන විවාහක අඹුසැමි අය.
ඉස්සර තිබුණු පවුල්වලට වඩා වර්තමාන පවුල්වල පවුල් ප්‍රශ්න වැඩියි කියලා හිතන්න පුළුවන්ද ?
ඔව් ඒක මටත් තියෙන අත්දැකීමක්. මටත් හිතෙනවා එහෙම. මට දැනිලා තියෙනවා. දැන් ඉන්න පවුල්වල පවුල් ප්‍රශ්න වැඩිවෙලා කියලා හිතන්න තරම් හේතු සාධක තියෙනවා. ඒකට හේතුව දැන් තියෙන සමාජ ආර්ථික රටාව සහ ඒ හා බැඳුනු පිළිවෙත් වෙන්න පුළුවන්. ඉස්සර පවුලක් ගත්තාම ඒ පවුලේ අඹුසැමියෝ නිතර එකට ඉන්න තත්ත්වයක්නේ තිබුණේ. ඉස්සර ගොවිතැන් කරන පුවලක ස්වාමියා ගොවිතැන් කටයුතු කරනවිට බිරිඳත් ඊට සහය දෙමින් නිවසේ කටයුතුත් කරගන්නවා. ඒ අය එකට ඉන්න වෙලාව ගොඩක් දුරට වැඩියි. එකට රැය පහන් කරන දවස් වැඩියි. පවුලේ දේවල් නිතර කතා කරනවා. වැඩපල කරන ගමන් කතා කරනවා. පවුලේ දේවල් සාකච්ඡා වෙනවා. එදිනෙදා පැන නගින ප්‍රශ්න සම්බන්ධයෙන් දෙගොල්ලෝ කතා කරනවා. ඒ නිසා දෙන්නා අතර තද බැඳීමක් ඇතිවෙනවා. පක්ෂපාතිත්වයක්, හැඟීමක්, ගෞරවයක් ඇති වෙනවා. ගැහැණුන්ට දවසකට විශාල වචන ප්‍රමාණයක් කතා කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. පිරිමින්ට ඉන් අඩක් වගේ වචන කෝටාවක් තමයි තියෙන්නේ. තමන්ගේ පුරුෂයා එක්ක කතා කරමින් දවසේ වැඩි වෙලාවක් ඒ මානසික සැහැල්ලුව ලබා ගන්න කාන්තාවකට පුළුවන්. අද තියෙන ප්‍රශ්නේ තමන්ට සවන් නොදෙන ස්වාමි පුරුෂයෙක් කියන ගැටළුවනේ එන්නේ. ඒක ඉස්සර එහෙම තිබුණේ නෑ. වර්තමානයේ දෙන්න දෙමහල්ලු හුදකලා වෙලා. ස්වාමි පුරුෂයා උදේ පාන්දර ගෙදරින් ගියාම ගෙදර එන්නේ රෑ වෙලා. සමහරවිට මාස ගාණකින් තමයි ගෙදර එන්නේ. එහෙම නැත්තම් වෙන රටක. එහෙම නැත්තම් බිරිඳ වෙන ප්‍රදේශයක හෝ වෙන රටක රැකියාව කරන්නේ. අද පවුලේ දේවල් සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. ඔන්න ඔය හේතු නිසා පවුල් ආරවුල් ඇති වෙන්න ඒක හේතුවක් වෙලා කියලා මට නිරීක්ෂණය වෙලා තියෙනවා.
පවුල් ප්‍රශ්නවලට විසඳුමක් ලෙස දික්කසාදවීම කොයි තරම් දුරට සාධාරණද ?
ඔව් දික්කසාදය කියන්නේ පවුල් ප්‍රශ්න කෙළවර කර ගන්න හොඳ විසඳුමක් විදිහට දකින්න පුළුවන්. සමහර විවාහකයන් එකට විසීමට එකට පවුල ගත කිරීමට කිසිසේත්ම සුදුසු නැති අය. එතකොට ඒගොල්ලෝ කතාවෙලා අවසානයක් කර ගන්න එක දෙන්නටම හොඳයි.ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ අනාගතයටත් හොඳයි. දික්කසාදය කියන එක නරක දෙයක් නෙමෙයි. සුදුසු එක විකල්පයක් විදිහට තමයි මම දකින්නේ.

පාසල් සිසුන් අතර මානසික ප්‍රශ්න වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවාද ?
එක ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. අධික තරගකාරී අධ්‍යාපන රටාව. මේක විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ළමයි තමන්ගේ වයසට හා තමන්ට දරාගත හැකි මට්ටමට වඩා වෙහෙසවීමක් සිදුවෙනවා. ඒකට දෙමව්පියන්ගේත් ගුරුවරුන්ගේත් බලපෑම තියෙනවා. පවුලේ දෙමාපියන් අතර තිබෙන ගැටළු ළමයින්ගේ මානසිකත්වය ව්‍යාකූල වෙන්න බලපාලා තියෙනවා. ඊළඟට සමාජ මාධ්‍ය. ඒවත් දරුවන්ට මානසික ප්‍රශ්න ඇතිවෙන්න බලපාලා තියෙනවා.
යහපත් මානසික තත්ත්වයක් තියාගන්න එවැනි දරුවන්ගේ දෙමාපියන් මොනවගේ දේවල්ද කරන්න ඕනේ ?
ළමයින්ගේ හැකියාව කුසලතා මත දරුවන්ට තමන්ගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕන. අපි හිතමු ළමයා දක්ෂ නැටුම්වලට. ඒක කරන්න ඉඩ නොදී ළමයා වෙනත් විෂයයකට යොමු කරනවා නම් එතන ළමයාට මානසික ගැටළු ඇති වෙනවා. විභාගවලට දක්ෂ නැති ළමයෙක්ට ඒවාට බලපෑම් කිරීම කිසිසේත්ම සුදුසු නෑ. දක්ෂ ළමයෙක්ට එහෙම කරන්න බලපෑම් කරන එකේ බලපෑමක් නෑ. එහෙම නැති කෙනෙකුට බලපෑම් කිරීම සුදුසු නෑ. එහෙම ළමයින්ට වෙනත් විකල්ප තියෙන බව දෙමාපියන් පෙන්වලා දෙන්න ඕන. හැමදේටම ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙන එක හෝ විශ්ව විද්‍යාලයට යන එක විසඳුම හැටියට පෙන්වලා දෙනවා නම් වැරදියි. ඒවාට විකල්ප තියෙන බවත් පෙන්වලා දෙන්න ඕන. ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් විකල්ප දේ ගැන ළමාගේ අවධානය යොමු කරන්න ඕන.
පාසල් සිසුන් ලිංගික ක්‍රියාවලට පෙළඹීම එයාලගේ අනාගතයට කොහොමද බලපෑම් කරන්නේ ?
ලිංගික ක්‍රියාවලට වයසට ගැලපෙන විදිහට යොමු කරන්න ඕන. නුසුදුසු වයසෙදි ලිංගික බලපෑමක් සිදුවුනොත් ඒක එයාගේ අනාගතයට බලපානවා.
පසුගියදා ඇතිවූ තණමල්විල සිද්ධියේ වගේ දේවල්වලට සිසුන් යොමුවීම මොනවගේ බලපෑමක්ද ඇති කරන්නේ ?
අපේ සමාජයේ ඉන්න බොහෝ පිරිස් ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියෝ පවා ලිංගිකත්වය පිළිබඳව අවබෝධය දැනුම ලබන්නේ හරිම අවිධිමත් විදිහට. ප්‍රාථමික විදිහට නැත්තම් ගෝත්‍රික විදිහට. ඒ පිළිබඳව බොහෝ අය තුළ තිබෙන අදහස් ආකල්ප හරි විකෘති ඒවා. වැරදි මත විශ්වාස තමයි බොහෝ අයට තියෙන්නේ. සමාජ මාධ්‍ය, විවිධ පුද්ගලයන් හරහා විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි මත ලිංගිකත්වය පතුරනවා ළමයි සහ වැඩිහිටියන් මත. වැරදි විශ්වාස, මත ළමයින් තුළත් වැඩිහිටියන් තුළත් ඇති කරනවා. ලිංගිකත්වය විවිධ පරමාර්ථ මත උත්කර්ශයට ලක්කරවන බවක්, වාණිජ පරමාර්ථ මත ඉහළ නංවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒකේ සැබෑ අවශ්‍යතාවය මොකක්ද ඒක තුළ තිබෙන්නේ මොකක්ද කියන එක විවිධ ලාබ ප්‍රයෝජන මත ළමයි තුළත් වැඩිහිටියන් තුළත් ඇති කරනවා. මේ තත්ත්වය සමනය කරන්න ළමයින්ට නිසි වයසෙදි නිසි මග පෙන්වීමක් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. එහෙම නොවීම මේ තත්ත්වයට බලපෑමක් ඇති කරලා තියෙනවා. විකෘති ලිංගික අත්දැකීම් ලබා ගන්න කෙනෙක්ට මෙම තත්ත්වය ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා.
තණමල්විල සිද්ධිය වැනි දූෂණයට ලක්වන බාලිකාවකගේ තත්ත්වය මොකක්ද ? එයා මුහුණ දෙන තත්ත්වය මොකක්ද ?
එතැන වෙලා තියෙන්නේ බරපතල සහ විශේෂ තත්ත්වයක්. ඒක ලොකු මානසික පීඩනයක් වෙනවා. ඒ ගැන කිසි විවාදයක් නෑ. එතැන බරපතල තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. කායිකව විතරක් නෙමෙයි මානසිකවත් බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඕක පොලීසියට නොගියා නම් ඇයව තවුදුරටත් සමූහ දූෂණයට ලක්වෙන්න ඉඩ තිබුණා.
ගැහැණු ළමයෙක් ලිංගික අපයෝජනයට ලක්වීම ඇයගේ අනාගතයට බලපාන්නේ කොහොමද ?
එහෙම උනාම එයා ලිංගිකව සක්‍රිය චරිතයක් වෙන්න පුළුවන්. ලිංගික හැඟීම් ආශාවන් ඇතිවන ඒ නිසාම තවකෙනෙක්ව ලිංගික අපයෝජනයට ලක්කිරීමට යොමුවෙන මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්. අවුරුදු 15, 16 දි වගේ ඒවගේ තත්ත්වයක් ඇති උනාම ඒක දිගටම පවත්වාගෙන යන කෙනෙක් බවට උනත් පත්වෙන්න පුළුවන්. කාන්තා පිරිමි දෙපාර්ශවයම මේ තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ලිංගික අතවරයට පත්වීම නිසා ලිංගික ගැටළු ආබාධ ඇති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. කෙනෙක් ලිංගිකව අකර්මන්‍ය තත්ත්වයට පත්වෙන්නත් පුළුවන්.
වර්තමානයේ පෙම්වතුන් බවට පත්වෙන අය ඉක්මණටම ලිංගික ක්‍රියාවලට යොමුවීමේ අවදානමක් තියෙනවා. ඒක ඔබතුමා දකින්නේ මොන විදිහටද ?
තමන්ගේ නිසි වයස එනවිට තමන්ට ඇතිවෙන ලිංගික කුතුහලය ආශාව ඇති වෙන එක වලක්වන්න බැහැ. ඒකත් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්නේ. ඒක නතර කරන්න හැකියාවක් නැහැ. ඒකට වයස මොකක්ද කියලා නිශ්චිතව කියන්න බැහැ. එහෙම අවස්ථාවක් මග හරින්න එයින් මිදෙන්න එහෙම අවස්ථාවකට මුහුණ දුන්නාම ඒකෙන් ඇතිවන කම්පනය හෝ ඇකිවෙන එක වළක්වන්න නිසි ලිංගික අධ්‍යාපනයක් හැම කෙනෙකුටම ලබා දෙන්න ඕන. උපත් පාලනය, ලිංගිකව එකතුවුනාම ඇතිවෙන රෝගාබාධ සම්බන්ධයෙන් තියෙන සංස්කෘතික කාරණා සම්බන්ධව හොඳ පූර්ව අවබෝධයක් ලබාදෙන එක තමයි හොඳම දේ වෙන්නේ. එංගලන්තෙ වගේ රටවල්වල ඔය පිළිබඳව පැහැදිලි හොඳ අධ්‍යාපනයක් ළමයින්ට ලබාදෙනවා.
අද කාලයේ වැඩිහිටියන් අධිකවීමේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ වැඩිහිටියෝ රැක බලාගන්නේ කොහොමද ?
කොනෙක් වැඩිහිටි වියට පත්වෙනවා කියන්නේ එයාට කායික මානසික රෝග ආබාධ ඇතිවෙන්න වැඩි ඉඩකඩක් තියෙනවානේ. වයසත් එක්ක ඒ දේවල් වෙනවා. එවිට අපට සිද්ධ වෙනවා ඒගොල්ලෝ කෙරෙහි බොහොම කාරුණිකව අවශ්‍ය මැදිහත්වීම කරන්න. වැඩිහිටියන්ටත් ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ තරුණ විය හොඳින් ගත කරමින් වයසට යන එක වැදගත් වෙනවා. තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් ඉටු කරමින් වයසට යන එක වැදගත් වෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙන්නේ එහෙම දේවල් නොකර වයසට යන අයට තමයි. තමන්ට නැති බැරි කාලයක් එනවා කියන එක අවබෝධයෙන් ජීවත් වෙන එක තමයි අවශ්‍ය.
වැඩිහිටියන්ගේ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගන්න මොනවාද කරන්න ඕන ?
තමන්ට ප්‍රශ්න ගැටළු එනකොට ඒ දේවල් ගැන දැනුවත් වෙලා කටයුතු කරන එක අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක. ඒ පිළිබඳව නිසි විද්‍යාත්මක අවබෝධයකින් කටයුතු නොකිරීම විවිධ ගැටළු ඇති කරනවා. ඖෂධ ප්‍රතිකාර ආදිය ගැන තිබෙන වැරදි විශ්වාස මත නිසි ප්‍රතිකාර නොලැබීම ගැටළු මතු කරන්න පුළුවන්. ඒ පිළිබඳව ප්රවීනත්වයක් දරණ සුදුසුකම් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.
අද කාලයේ ජනමාධ්‍යයේ හැසිරීම මානසික ප්‍රශ්නවලට හේතුවක් බව ඔබතුමා විශ්වාස කරනවාද ?
ඔව් විශේෂයෙන් සමාජ මාධ්‍යවල හැසිරීම මානසික ප්‍රශ්න ඇතිවෙන්න හේතුවක් වෙලා තියෙනවා.
යහපත් සමාජයක් හදන්න නම් ජනමාධ්‍යවල වගකීම මොකක්ද ?
අපක්ෂපාතී පටු පරමාර්ථවලින් තොරව මිනිස්සු දැනවත් කරන එක හොඳ නිර්මාණ ඉදිරිපත් කරන එක හරියට කරනවා නම් තමයි හොඳ.
මානසික සමබරතාවය කියලා දෙයක් තියෙනවාද ?
අපට සිදුවෙන දේවල් අත්දකින දේවල් පිළිබඳව මධ්‍යස්ථව බලන එක තමයි අවශ්‍ය. මධ්‍යස්ථව ඒ දේවල් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට උපේක්ෂාවෙන් මුහුණ දෙන එක තමයි මානසික සමබරතාවය කියලා මම දකින්නේ. අපේ ජීවිතයේ හොඳ දේවල් වගේම නරක දේවල් වෙන්න පුළුවන්. ඒවායෙන් තමන්ට ගන්න පුළුවන් පාඩම මොකක්ද කියන එක අවබෝධ කරගනිමින් ජීවිතයේ ඉදිරියට යාම තමයි සමබරතාවය කියලා කියන්නේ.
මානසික පීඩනයක් ඇතිවෙන රැකියා තියෙනවාද ? ඒවා මොනවාද ?
ඕනම රැකියාවකින් මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒක මොනවගේද කියලා නිශ්චිතව කියන්න බෑ. කෙනෙක්ගෙන් කෙනෙකුට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමාට මානසික පීඩනයක් ගෙනදෙන රැකියාව මට හරිම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් මම කරන රැකියාව කිසිම මානසික පීඩනයක් ඇති කරන්නේ නෑ. මම ඒක හරි කැමැත්තෙන් ආසාවෙන් කරගෙන යනවා. ඒකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. නමුත් මගෙන් අහලා තියෙනවා ඔය රස්සාව කරන්න අමාරු නැද්ද ? මිනිස්සුන්ගෙ ප්‍රශ්න අහගෙන ඉඳලා එපා වෙන්නේ නැද්ද ? ජීවිතේ කලකිරෙන්නෙ නැද්ද ? කියලා අහනවා. ඒ කියන්නේ ඒ කෙනාට මේ රැකියාව කරන්න හරිම අපහසුයි කියන එකයි.
දිගින් දිගටම මානසික රෝගයකට පුතිකාර ලබන වෘත්තිකයෙක්ගේ රැකියාව අහිමිවීමට හේතුවක් තියෙන්න පුළුවන්ද ? විෂාදය වගේ රෝග තත්ත්වයක් මත.
එහෙම දෙයක් තියෙනවා නම් ඒක ඔප්පු කරන්න ඕන රැකියාව අහිමි කරන්න. විෂාදය වගේ තත්ත්වයක් නම් ඒක සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා වගේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ මත ඉඳලා කෙනෙක්ගේ රැකියාව අහිමි කරන්න බැහැ.
ඔබතුමා උපදේශනය කරන්නේ පවුල් උපදේශනය. ඔබතුමා මුනගැහෙන්න එන්න ඕන කොහොමද ? මුන ගැහෙන්න එනවා නම් එන්න ඕන පෑලියගොඩ ඔක්ස්ෆඩ් ලංකා මෙඩිකල් ආයතනයට. කලින් වෙලාවක් වෙන්කරගෙන අපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න ඕන. එන්න අපහසු නම් ඔන්ලයින් හරහා වෙලාවක් වෙන්කරගෙන උපදෙස් ලබාගන්නත් පුළුවන්. 076 075 0727 දුරකථන අංකයට ඇමතුමක් දීලා වෙලාවක් වෙන්කරගන්න පුළුවන්.
සටහන – ජගත් පුෂ්පකුමාර