“මිනිස්සු හොයන්න අකමැති නමුත් දැනගත යුතුම දේවල් පවා කලාව හරහා මිනිස්සුන්ට බොහොම ලස්සනට දෙන්න පුළුවන්.”පූර්ණිමා බණ්ඩාර

author
0 minutes, 3 seconds Read

ලාංකීය ටෙලි නිර්මාණ කලාව විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන ටෙලි සිත්තම් අපට දකින්නට ලැබෙනවා.

ඒ අතරින් මෙරට ලේඛන ඉතිහාසයේ ඉතාමත් ජනප්‍රිය තරුණ ලේඛිකාවක් වන පූර්ණිමා බණ්ඩාර නම් ඇයගේ කුළුඳුල් ටෙලිසිත්තමක් ලෙසින් පූජනීය සෙංකඩගල පුරවරයේ සිට ඉතා වෙනස්ම මුහුණුවරකින් නිර්මාණය වූ අපූර්ව ටෙලි නිර්මාණයක් පිළිබඳවයි අද අපේ කතා බහ

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?

ඒක ගැන කියන්න කලින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මට මෙහෙම සාකාච්ජාවකට ආරාධනා කළාට. මේ දවස් වල නම් කලා කටයුතු වල තමයි නිරත වෙලා ඉන්නෙ.

ඔබේ කුළුඳුල් ටෙලි නාට්‍ය නිර්මාණය වන ‘නූරාමණී’ නම් ටෙලි සිත්තමේ රූගත කිරීම් ඇතුළු සියලු වැඩ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙන බව අපට අසන්නට ලැබුණා.  ‘නූරාමණී’ ටෙලිනාට්‍ය නිර්මාණය වන්නේ කොහොමද ?

ඔව් ඇය ඇගෙ රූ ගත කිරීම් මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී අවසන් කරා. මේ දවස් වල නුරාමණිය ඇගෙ සංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙන්නෙ. නුරාමණි කියන්නෙ ම⁣ගෙ මනසේ ඇඳුණු කතාවක්. සිංහලේ අවසන් රජු රජ කරපු කාලේ ඓතිහාසික සෙංකංඩ ශෛලාභිදානිපුරවරයේ සිදු වූ කතාවක් තමයි මේ කතාව. නමුත් ඒ කතාව ප්‍රබන්ධයක්, මගෙ මනසේ ඇඳුණු කල්පිතයක්. මම ඒ කතාව ලිව්වේ 2020 දි. ඒ කතාව දැකපු මහේෂ් දිසානායක මල්ලි තමයි මට මුල්ම අදහස දැම්මේ මේක ටෙලි නාට්‍යයක් කරමු කියලා. ඒ 2020 දෙසැම්බර් මාසයෙදි. නමුත් අපේ හීනය අපිට හැබෑ කරගන්න පුළුවන් වුණෙ 2024 දෙසැම්බර් මාසයේ දී.

“නුරාමණී” ටෙලි නාට්‍ය සදහා එවැනි තේමාවක් තෝරාගැනීමට සිතුවේ ඇයි?

නුරාමණියට තාම තේමාවක් හැදුනෙ නෑ. තේමා කීපයක් යෝජනා වුණා, ඒත් තවම ඒවා හිතට මදි. ඔබ තේමාව කියලා අදහස් කරේ “නුරාමණි” කියන නම නම් මට ඒ ගැන කියන්න පුළුවන්. නුරාමණි කියන නම ⁣මම ලියපු වෙනත් කතාවකට දාපු නමක්. ඇත්තටම ඒ නම නිකංම ඔළුවට ආපු නමක්. ඉතින් මට හිතුණා මේ කතාවට ඒ නම දාන්න. ඒ නම ලස්සනයි, මම ඒ නමට ආසයි. වෙන කිසිම විශේෂ හේතුවක් නැහැ.

මෙම ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙන පිරිස ගැනත් අපි සඳහන් කළොත්,

ඒ ගැන නම් විශේෂයෙන් සඳහන් කරන්නම ඕනි. අපේ මේ කුළුඳුල් නිර්මාණයෙ ඉන්න බහුතරයක් සිංහල සිනමාවේ දැවන්තයින් කීවොත් නිවැරදියි.

ක්ලිටස් මෙන්ඩිස්, කුසුම් රේණු , උමාලි තිලකරත්න, සංගීතා තදානි බස්නායක , නදුනි කරුණාතිලක, දිනෙත් ද සිල්වා , අඛිල ධනුද්දර , ඉන්දික දේශප්‍රිය සහ විරාජ් ධනූෂ යන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් තමයි නුරාමණියට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ. ඔවුන්ගෙ රංගන හැකියාව අගයන්න තරම් මගෙ වචන පොහොසත් මදි. ඒ වගේ ආදරණීය , නිහතමානී ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් එක්ක අපේ කුළුදුල් ටෙලි නාට්‍යය කරන්න ලැබීමම අප ලද විශාල භාග්‍යයක්.

නුරාමණී ටෙලි නාට්‍ය විකාශනය වන දිනය ගැන මතක් කරමු.

දිනයක් නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ වර්ෂයේ දී ඔබට ඇයව නරඹන්න පුළුවන්.

කලාව හා දේශපාලනයේ ඒකාබද්ධතාව නිර්මාණයන් තුළින් එළිදැක්වීම ඔබ දකින්නේ කෙසේද? 

මම දකින්නෙ ඒකෙ ධනාත්මක පැත්තක්. කලාව හැම තැනකටම සම්බන්ධයි. මනුෂ්‍යයෙක් කියන්නෙම කලාවක්. දේශපාලනයත් කලාවක්. කලාවෙන් බැහැර වෙච්ච දෙයක් මේ ලෝකෙ නෑ කියලයි මම හිතන්නෙ. කලාව පිරි නිර්මාණයක් තුළින් පුළුවන් මිනිස්සුන්ට සෑහෙන ලොකු බලපෑමක් කරන්න. මිනිස්සු හොයන්න අකමැති නමුත් දැනගත යුතුම දේවල් පවා කලාව හරහා මිනිස්සුන්ට බොහොම ලස්සනට දෙන්න පුළුවන්. සමහරවිට ප්‍රවෘත්තියක , පුවත් පතක පළ වුණ සිද්ධියකට වඩා නිර්මාණයක් තුළින් දෙන කතාවක් මිනිස්සු පිළිගන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

ඒ නිසාම රටේ වුණ යම් සත්‍ය සිදුවීමක් , විශේෂ⁣යෙන් දේශපාලනික සිදුවීම් නිර්මාණයක් ඔ⁣ස්සේ එළියට දෙන නිර්මාණකරු දැනගන්න ඕනි මිනිස්සුන්ව මුලා නොකර , ඒ සත්‍ය සිදුවීම සත්‍යය වශයෙන්ම එළි දක්වන්න. නමුත් ඒ සිදුවීම තුළ ඉන්න කිසිදු චරිතයකට හානි නොවන පරිදිත් එය කළ යුතුයි. ඒ වගේම ඔවුන් හෝ ඔවුන්ගෙ සමීපතම ඥාති හිතමිත්‍රාදින්ගෙන් ඒ ගැන අවසරයක් ගන්නවා නම් ඒක සදාචාරාත්මකයි කියලාත් මම හිතනවා. එතකොට ඒ නිර්මාණය මිල කළ නොහැකි නිර්මාණයක් වේවි. සමහර විට රටේ බහුතරයක් නොදන්න තිත්ත ඇත්තක් ලස්සනට එළියට එයි. මිනිස්සුන්ගෙ ඇස් ඇරෙයි.

මගෙ අදහස නම් ලංකාවේ දේශපාලනය තුළ සිදුවන සිදුවීම් කලාත්මක නිර්මාණ ඔස්සේ මිනිස්සුන්ට දිය යුතුමයි කියලා. නමුත් බොරුව නෙමෙයි. සත්‍යයය.!

ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය සම්ප්‍රදාය වෙනස් වෙමින් පවතිනවා කියා ඔබ සිතනවාද? 

මම මේ ප්‍රශ්ණයට උත්තර දෙන්නම් නාට්‍ය , චිත්‍රපටි බලන ප්‍රේක්ෂිකාවක් විදියට. මම ටෙලිවිෂන් එක නරඹන එක නවත්තලා අවුරුදු 10 ට වැඩියි. ඒකට එක හේතුවක් ඔය මෙගා නාට්‍යය සම්ප්‍රදාය. අපි මුලින් ආසාවෙන් ඒ නාට්‍යය බලන්න ගන්නවා. කොටස් 30 ක් වගෙ යනකම් මේ නාට්‍යය ඉතාම ලස්සනයි. නමුත් ඊටපස්සෙ නම් තරහවක් එන්නෙ.

මෙගා නාට්‍යය සම්ප්‍රදාය නම් වෙනස් විය යුතුයි කියලයි මම හිතන්නෙ. ඔබ අහපු විදියට ඒක වෙනස් වන බවක් නම් මට පේන්නෙ නෑ, ඒක මම දකින විදිය. මෙගා නාට්‍යය බහුතරයක තාත්විකභාවය මදි. සමහර වෙලාවට කතාවක් නෑ.! වෙලාවකට මට හිතෙනවා මෙගා නාට්‍යයය අපේ කලාකරුවන්ගෙ දක්ෂතාවය මරලා දානවා කියලා. ඔවුන්ව එක තැනක හිර කරලා අපරාධයක් කරනවා කියලා. තනිකරම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කරන හුඟක් නිර්මාණ වල ගුණාත්මක භාවය ගැන සෑහෙන ප්‍රශ්ණයක් එනවා. දඬුබස්නාමනය වගෙ ටෙලි නාට්‍යය අදටත් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන්නෙ ඇයි.? ඒවා ඉතා උසස් ගණයේ ගුණාත්මක නිර්මාණ නිසා. ඒ නිර්මාණ ගැන අදටත් මිනිස්සු කතා වෙනවා.!

ඇත්තටම එහෙම නිර්මාණ අදටත් බිහිවෙනවා. බිහි නොවෙනවා නෙමෙයි. නමුත් ඒවාට ඉඩක් නෑ. මොකද මේ වාණිජ පරමාර්ථයයෙන්ම නිෂ්පාදනය වෙන හරයක් රසයක් නැති මෙගා නාටක ටික ඒ නිර්මාණ වලට එන්න ඉඩක් දෙන්නෙ නෑ. අලුත් නිර්මාණකරුවෙක්ට එන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. මෙගා නාට්‍යයක් කරන්නම ඕනි නම් අපේ ඉතිහාසයේ රාජාවලිය අරගෙන වුණත් කරන්න පුළුවන් නෙ. දවස ගානෙ අලුත් යමක් තියේවි, කුතුහලය තියේවි , අවම වශයෙන් මිනිස්සුන් හරිම රහට අපේ රටේ ඉතිහාසය ඉගෙන ගනිවි. මෙතන තියෙන්නෙ මෙගා නාට්‍යය වල වරදක් නෙමේ. ඒ නාට්‍යය වලට මූලික වන පාදක වන කතාව තුළ වරදක්, නිර්මාණකරුවන් යැයි කියාගන්නා මිනිස්සුන්ගෙ වරදක් කියලයි මට හිතෙන්නෙ. ඉතින් ඒක වෙනස් වෙන්නම ඕනි. ඒක මගෙ පුද්ගලික හැඟීම.

ඔබ ටෙලි නාට්‍ය නිර්මාණයට මෙන්ම ලේඛිකාවක් ලෙසත් ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ දක්වා ඔබ විසින් රචිත කෘති පිළිබඳවත් අප කතාබහ කරමු.

ටෙලි නාට්‍යය නිර්මාණයට නම් ඉතා ප්‍රසිද්ධ නෑ. මොකද මගෙ කුළුදුල් නිර්මාණය තමයි නුරාමණි. ඇය ගැන දැනටම කතා බහක් යන බව නම් ඇත්ත. නමුත් තවම මම ඒ ක්ෂේත්‍රයේ චරිතයක් නෙමේ. ලේඛිකාවක් ලෙස මම යම් කිසි පිරිසක් අතර ප්‍රසිද්ධයි. මම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට මේ වෙද්දි කතා හාරසිය ගණනක් ලියලා තියෙනවා. ඒවාට කැමති සහ අකමැති පිරිසක් ඉන්නවා. මගෙ කතාවක් එනකම් බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා.

මගෙ පළමු පොත ” කන්දෙ දෙයියො ” එළි දැක්වූයේ 2022 නොවැම්බර් 30. දැන් දෙවනි පොතේ වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. මේ කෘති දෙකම ප්‍රබන්ධ. මේ පොත් දෙකම ඓතිහාසික කතාන්දර. සහ පොත් දෙකම මගෙ ප්‍රියතම නගරය වුණ ආදරණීය සෙංකඩගල ශෛලාභිදානිපුරවරය පසුබිම් වුණ කතා. නමුත් මම තවම මේ ක්ෂේත්‍ර දෙකේ මාර ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි.

ටෙලි නාට්‍ය නිර්මාණය වීමේදී විශේෂ ස්තූතිය

විශේෂම ස්තුතියට සෑහෙන දෙනෙක් ඉන්නවා. නම් වශායන් වෙන වෙනම කිව්වොත් සිය දෙනෙක්වත් ඉන්නවා. ඒ නිසා ඉතාම කෙටියෙන් මම ඒ ස්තුතිය පුද කරන්නම්. පළමුවෙන්ම නුරාමණි අධ්‍යක්ෂක⁣ මහේෂ් දිසානයාකට ඒ ස්තුතිය යනවා. එයා තමයි මාව මේ නාට්‍යය කරවන තැනට ගෙනාව මනුස්සයා. එයා කෙරෙහි ඇති විශ්වාසය මත තමයි මම නුරාමණි නාට්‍යය නිෂ්පාදනයට එන්නෙ. මම මේ නාට්‍යය නිෂ්පාදනය කරද්දි මුහුණ දුන් සමහර අභියෝග වලට බය නැතිව මුහුණ දෙන්න ශක්තියක් වුණ ආදරණීය සහෝදරයා ඔහු. මහේෂ්ට තියෙන්නෙ පුදුමාකාර ඉවසීමක්. මගෙ දුක් අඳෝනා සේරටම ඇහුම්කන් දීගෙන මට හයියක් වුණ නිහතමානි ඔහුට මම වැඩියෙන්ම ස්තුති කරන්නෙ මගෙ හිතේ ඇඳුණු කතාව ඒ විදියටම තුන්වෙනි ඇහැට ගත්තාට. ඒක විශේෂ හැකියාවක්. ඇත්තටම ඔහු මම මවපු චරිත වලට පණ දුන්නා.\

මම රැකියාව කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙ අංක හය අධිකරණයේ ගරු මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මැතිතුමා , වාසනා සෙනරත් අක්කා , දිනුෂි බණ්ඩාර නංගි , දිලිනි ජයවර්ධන රෙජිස්ට්‍රාර් මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලය ඒ විශේෂ ස්තුතියෙ තවත් හිමිකරුවන් පිරිසක්. ඔවුන් මට ඒ දිනවල දී ලබා දුන් සහයෝගය සුළුපටු නෑ. ඔවුන් නැත්නම් මට නිදහසේ නිවාඩු අරගෙන නාට්‍යය කරගන්න වෙන්නෙ නෑ. ඒ වගේම නීතිඥ සුරංගි සඳමාලි මහත්මිය ලබා දුන් නීතිඥ සහය අමිලයි. චමීර ජීවන්ත දෙද්දූවගෙ ,මනුරි පබසරි වළේබොඩ , සුරංග හේරත් , බිමාලි අබේරතන්න , උදාරි රූපසිංහ , අනෝමා දසනායක , පෘතුවි කලන්සූරිය, චමෙත්යා දුනිතී , තමල් මංජිත , දෙව්යාන් කියන මගෙ ආදරණීය මිත්‍ර කැළ මට ලබා දුන් හයියත් සුළුපටු නැහැ. විශේෂ⁣යෙන් චමීර නීත්‍යානුකුල ලේඛණ , ගිවිසුම් සම්බන්ධව සෑහෙන වැඩ කොටසක් කළා.

මේකෙ ඉතින් අමතකම නොවන ඊළඟ විශේෂ චරිතය රුචිර කහඳ අයියා. අපේ කේශාලංකරණ ශිල්පි සහ නිෂ්පාදන කළමනාකාරු. ඔහු නුරාමණි වෙනුවෙන් කොටන් ඇදපු තවත් හස්තියෙක්.! ඔහු අපේ නුරාමණිය වෙනුවෙන් කළ කැපවීම ජේදයකින් ලියලා ඉවර කරන්න බෑ. ඒක වෙනම කතාවක්.! ඔහු ගැන මම වෙනම ලියන්න ඕනි චරිතයක්. අපේ නුරාමණි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට නම් කොහොම ස්තුති කරත් මදි. ඒ තරම්ම ආදරණීය දක්ෂ පිරිසක්. ඔවුන් මගෙ මනසේ ඇඳුණු මනකල්පිත චරිත වලට පණ දුන් හැටි අපූරුයි. විශ්මය ජනකයි. ඊටපස්සෙ අපේ යුනිට් එකට , කෘෘ එකට , මගෙ විශේෂ ස්තුතිය යනවා. ඔවුන් සහෝදරයො වගෙ අව් වැසි නොබලා වැඩ කරා. කේෂත්‍රයට කෝඩුකාර මට කෝල් ශීට් එකේ ඉඳලා කියලා දුන්නා. ඔවුන් දීපූ සහයෝගය ගැන කියන්න මට වචන මදි. ට්‍රාන්ස්පෝට් දීපූ හැමෝටම විශේෂ⁣යෙන් අතුල මහානාම මල්ලිට බෙහෙවින්ම ස්තුතියි. ආහාර සැපයුමෙන් සහ ආදරයෙන් අපිට ආදරය ලබා දුන් ආදරණීය මාලි අක්කාට , සනීර අයියාට ඒ වගේම සඳ පුතාට , තාරු දුවටත් , අපි වෙනුවෙන්ම රංගනයෙන් දායක වුණ වින්ද්‍යා නංගිටත් ඒ ගෞරව පූර්වක ආදර ස්තුතිය හිමියි.

ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වූ අමිල ප්‍රේමරතන්න සහය අධ්‍යක්ෂකවරයකු ලෙසින් ප්‍රඩක්ෂන් එකට දීපූ සහයෝගය අමිලයි. කැමරා අධ්‍යක්ෂක⁣ සසංක උදයංග නීලවතුර කියන්නෙත් අමතක කරන්නම බැරි චරිතයක්. තිර රචිකාවක් විදියට මගෙ මනසේ ඇඳුණ ඒ පසුබිම් සහ චරිත ඔහු ඔහුගෙ රාමුවට ගත්තෙ ⁣මායාකාරයෙක් වගෙ. ඒ වගේම අධ්‍යක්ෂක⁣ සහ ඔහු අතර තිබුණ සහයෝගය සහ රසායනය නිෂ්පාදකවරියක් විදියට මම දකින්නේ බෝනස් එකක් විදියට. ඔහු තමන්ගෙ වෘත්තියටම කොටු නොවී මුළු හදවතින්ම ලබා දුන් ඒ සහයෝගයට විශේෂ⁣යෙන්ම ස්තුති කළ යුතුයි.

හොඳයි , ඉතින් මේ හැම දෙයක්ම මම කරන්නෙ මගෙ අම්මා නිසා. මට කතා ලියන්න හැකියාව ආවේ පොඩි කාලෙ මට අම්මා ලස්සනට කියපු සුරංගනා කතා අහගෙන ඉඳලා කියලා මට දැන් හිතෙනවා. ඒවා මනසේ තැන්පත් වෙනවානෙ. අම්මා තරම් ලස්සනට සුරංගනා කතා , ජන කතා කියන කෙනෙක් මගෙ මතකයට එන්නෙම නැහැ. ඒ වගේම මගෙ තාත්තා චිත්‍රපටි රසිකයෙක්. තාත්තා තමයි සිනමාව ගැන සෑහෙන කතා කරන්නෙ. ඉස්සර චිත්‍රපටි ශාලා වල චිත්‍රපටි එකක් නෑර නරඹන රසිකයෙක්. තාත්තයි මායි ඒ කාලෙ හවස තුනට යන හිංදි චිත්‍රපටිය මඟ හැරියෙම නෑ. පොඩි කාලෙ තාත්තා සිනමාව සම්බන්ධ සමහර රස කතා අපිට කියනවා. කැමරාකරණය ගැන කියනවා. “අර බලන්න අර ඈන්ග්ල් එක” කියලා කියපු අවස්ථාවන් ගැන මට මතකයක් තියෙනවා. ඒ ආභාෂය තමයි මට නොදැනුවත්ම ඇවිත් ඇත්තෙ කියලා මට දැන් හිතෙනවා.පූර්ණිමා බණ්ඩාර කියන තිර රචිකාවියගෙ , ලේඛිකාවගෙ සැබෑ නිර්මාණ අයිතිය යන්නේ මගෙ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නාට තමයි ඒ හැම ගෞරවයක්ම සහ විශේෂම ස්තුතිය හිමි විය යුතු.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

අධ්‍යක්ෂකවරියක් වීම සහ චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම තමයි ඉදිරි බලාපොරොත්තු. අපි බලමු ඉතින් විශ්වය ඒකට මට ඉඩ දෙයි ද කියලා. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් ඔබ ලබා දුන් ඉඩ කඩට. ජය.!

බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa