යක්ෂ ගෝත්‍රිකයන් ගේ රජ දහනක් වූ අරිට්ඨ පබ්බතයේ ඓතිහාසිකත්වය සොයා හබරන සිට අනුරාධපුරය දක්වා වූ මාර්ගයේ ගමන් කරන විට රිටිගල කන්ද දැක ගත හැකිය. මෙයට ළඟා වීම ඉතා පහසුය. මනරම් භූමි භාගයක පිහිටා ඇති මෙය වන රක්ෂිතයකි. මෙයට ළඟා වීමට ගලපිටගල ගම්මානයෙන් හැරී මද දුරක් ගමන් කළ යුතුය. මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා මනාව සකස් කර තිබේ. වන අලියන් ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඉතා විමසිල්ලෙන් ගමන් කිරීම සුදුසු ය. අරිට්ඨ පබ්බත හෙවත් අරිට්ඨගිරි නමින් මෙම ප්‍රදේශය මහාවංශය ඇතුළු මූලාශ්‍ර හදුන්වයි.
ලජ්ජිතිස්ස රජු මෙම ආරාම සංකීර්ණය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වන අතර පළමුවන සේන රජු ද රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි විහාරාරාම සංකීර්ණයක් මෙහි දී දැක ගැනීමට හැකිවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වුවත් තෙත් කලාපයේ ශාක රාශියක් වර්ධනය වන සිසිල් දේශගුණයකින් යුතු වනාන්තරයක් මෙහි පිහිටා ඇත. මෙම කලාපය බොහෝ විට මීදුමෙන් බරව සෞම්‍ය දේශගුණයක් සහිත පරිසරයකි. එම නිසාම මෙය 1931 වසරේ දී පමණ සිට දැඩි රක්ෂිතයක් බවට නම් කරන ලදී.
මෙහි විශාලත්වය හෙක්ටයාර් 1528ක් පමණ වේ. මෙහි ඓතිහාසික නටබුන් රැසක් දැකිය හැකිය. එමෙන්ම මේ ආසන්නයේ කඳු පන්ති කීපයක් පවතී. ඖෂධ කන්ද ,කොඩිගල කන්ද ,උන කන්ද, ආඩියා කන්ද ,පලතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද ඒ අතර වේ. කොන්ක්‍රීට් ගල් අතුරා මාර්ගයේ සකසා ඇති බැවින් ගමන් කිරීම අපහසු නොවේ. ඉහළ සිට පහළට ගලා හැලෙන දිය දහරා වලින් මෙය යුක්ත වන බැවින් පහසුවෙන් දිය පිපාසය සංසිඳවා ගත හැකිය. මෙහි කටාරම් කොටන ලද ගල්ලෙන් 74ක් පමණ පවතින අතර ඒවායෙහි බ්රාහ්මී අක්ෂර වලින් ලියන ලද සෙල්ලිපි විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.
මෙම විහාර සංකීර්ණයේ විශාල පොකුණක් දැකගත හැකිය. එය හඳුන්වනු ලබන්නේ බන්දා පොකුණ නමිනි. එයට හේතු වී ඇත්තේ එය ගල්පතුරු භාවිතා කර නිමවා තිබීමයි. මෙම පොකුණ සංඝයා වහන්සේලාගේ පැන් පහසුව පිණිස ඉදිකරන්නට ඇතැයි සිතිය හැකිය. ඊට අමතරවද ඉදිකර ඇති පොකුණු කීපයක්ම පවතී.කන්ද මුදුනේ සිට ගලා හැලෙන දිය දහරා එම පොකුණු පෝෂණයට ඉවහල් වේ. ඉන් ඉදිරියට ගමන් කරන විට පියගැට පෙළක් තරණය කිරීමට සිදුවේ. ඉන්පසු ගල් පාලමකින් එගොඩ වී කළුගල් ඇතිරූ වනය හරහා දිවෙන මනරම් මාර්ගයට ප්‍රවිෂ්ඨ විය හැකිය. එම මාර්ගයේ ගමන් කරන විට අපට ඓතිහාසික නටබුන් රැසක් හමු වේ. ඡත්තාඝර ගොඩනැඟිල්ලක්, බෙහෙත් ඇඹරුම් ගල්, ගල් භාජන ආදිය ඒ අතර වේ.මෙම නටඹුන් කළුගලින් නිර්මාණය කර තිබේ.
එම නිර්මාණ සිදුකිරීමේ දී කළුගල් ඉතා හොඳින් මට සිලිටු කර තිබීම විශේෂ ලක්ෂණයකි. කළු ගලින් නෙලන ලද බුදු පිළිම මෙන්ම පියගැට පේළ පවතී. ඊට අමතරව සනීපාරක්ෂාව උදෙසා භාවිතා කළ වැසිකිලි හා කැසිකිළි ගල් හමුවන අතර ඒවා ඉතා මනරම් කැටයමින් අලංකාර තිබේ. අතීත කැටයම් කලාවේ විශිෂ්ඨතවය මෙයින් පිළිබිඹු වේ. ගිමන් නිවා ගැනීම උදෙසා ඉදිකර ඇති ගල් ආසනද පවතී මේ සියලු ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ කළු ගල්ය. මෙහි පවතින ස්වාබාවික පිහිටීම නිසාම මෙය භික්ෂූන් වහන්සේලාගේ ආරාම සංකීර්ණයක් වන්නට ඇත. එමෙන්ම භාවනා යෝගී භික්ෂූන් වහන්සේලාට ඉතා සුදුසු පරිසරයක් මෙහි පවතී.
මෙම වන සංරක්ෂිතය තුළ ඉතා දුර්ලභ ඖෂධ වර්ග විවිධ ශාක වර්ග මෙන්ම වන සතුන් ද දැකගත හැකිය. භික්ෂූන් වහන්සේලාට භාවනා කටයුතු සඳහා ඉතා සුදුසු ආකාරයෙන් මෙම නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. මෙහි ඉහළට ගමන් කරන විට එහි ඉහළ කොටස දැඩි රක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර එයට ප්රවිශ්ඨ්ව් වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතු වේ. ස්වභාව සෞන්දර්යයට ආදරේ කරන ඕනෑම අයෙකුට මෙහි අසිරිය විඳීමට කිසිවකුගෙන් බාධාවක් නොමැත. එමෙන්ම මෙහි ගමන් කිරීමට ගතවන්නේ පැය තුනක හෝ හතරක පමණ කාලයකි. නටඹුන් බහුල ප්‍රදේශයක් වන බැවින් ඓතිහාසික කරුණු සොයාන ගවේෂකයන්ට ද ඉතා වැදගත් තෝතැන්නකි. අරිට්ඨ පබ්බතය ආශ්‍රිතව ඓතිහාසික කතා පුවත් රැසක් පවතී. මෙහි ඉතිහාසය රාම රාවණා කතා පුවතට ද සබඳකම් කියයි. රාවණා රජුගේ සොහොයුරිය වූ සුපර්නිකාට රාමා හා ලක්ෂ්මණ සිදුකළ හිංසනයට පළිගැනීමක් ලෙස රාවණා රජු රාමගේ බිසව වූ සීතාව පැහැරගෙන ලංකාවට ගෙනා බව ඉතිහාසයේ සඳහන්ය. තම බිසව බේරාගැනීමට රාම කුමරු තම සේනාව කැටුව ලංකාව පැමිණ රාවණා රජු හා සටනට පෙළබේ. එම සටනේ දී රාම කුමරුගේ සොහොයුරු ලක්ෂ්මණ තුවාල ලැබූ විට ඔහුට අවශ්‍ය ඖෂධ රැගෙන ඒමට හනුමාට භාර කරන ලදී.
එහිදී ඖෂධ සොයා ගැනීමට හිමාල වනයට යෑමට හනුමාට සිදුවන අතර ඖෂධය නිවැරදිව හඳුනාගත නොහැකි වූ බැවින් හිමාල වනයෙන් කොටසක් ලක්දිවට රැගෙන ආ බව ජනප්රවාදයේ පවතී. එයින් වැටුණු කොටසක් ලෙස මේ ආසන්නයේ පවතින ඖෂධ කන්ද හඳුන්වයි. ඊට අමතරව දොළුකන්ද හා රූමස්සගල කන්ද එවැනි කොටස් බව ද තවදුරටත් මත ඉදිරිපත් වී ඇත. අනුරාධ ගාමය රෝහල් සුසාන භූමි මංමාවත් රජවාසල් ඉදිකර පුරයක් බවට පත්කළ පණ්ඩුකාභය රජු සමයේ රිටිගල සටන් මධ්‍යස්ථානයක්ව පැවැති බව සඳහන්ය.
එමෙන්ම මෙකල මෙම ප්‍රදේශයේ යක්ෂයන්ගේ නිජ භූමියකින් පැවති බවද සඳහන් වේ. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ලක්දිව ආක්‍රමණය කළ එළාර රජුට විරුද්ධව සටන් කිරීමට දුටුගැමුණු රජු දස මහා යෝධ පිරිසක් නිර්මාණය කරගෙන සිටි බව මහාවංශය ඇතුළු මූලාශ්රවල සඳහන්ය. එම සෙන්පතියන් දස දෙනා අතරින් ගෝඨයිම්බර නම් ලත් යෝධයකු පිළිබඳ අපි කවුරුස් අසා ඇත්තෙමු. ගෝඨයිම්බර යෝධයා රිටිගල අරක්ගෙන සිටි යක්ෂ ගෝත්‍රික සෙන්පතියකු වූ රිටිගල ජයසේන හා සටන් සිදුකළ බව කතා පුවතක සඳහන්ය. එහි දී ගෝඨයිම්බරගේ පා පහරින් රිටිගල ජයසේනගේ හිස කදින් වෙන් වී සොයාගත නොහැකි තැනක වැටුණු බවත් සෙනසුරු විසින් කඳේ පණ ඇති බව දැක හදිසියේ පැමිණි වලසකුගේ හිසක් ජයසේන්ට සවිකල බවද එය ඉතා කඩිනමින් සිදුවූ බැවින් මුහුණ පිටුපසට වන සේ සවිකල තිබූ බවත් ඒ හේතුවෙන් ඔහු මහා සෝන යක්ෂයා නමින් ප්‍රසිද්ධ වූ බවත් පුරාවෘත්තයේ සඳහන්ය.
එවැනි වූ ඓතිහාසික කතා රැසකට සබඳකම් කියන අරිට්ඨගිරිය ඉතා අගනා ප්රදේශයකි. වර්තමානය වන විටද මෙහි විවිධ වූ ඖෂධ දක්නට ලැබේ. එමෙන්ම ස්වභාවික රක්ෂිතයක් වන මෙහි ඇතුළතට පිවිසි විට වියළි කලාපයේ සිටින බව පවා අමතක වෙයි. වියලි කලාපයේ දක්නට ලැබෙන ස්වභාවය වන අරණ තුළ දැකිය නොහැක. වෙනත් කඳු තරණය කරනවාක් මෙන් මෙම කන්ද තරණය කිරීම අපහසු නොවේ. එමෙන්ම කන්ද උඩට ගමන් කිරීම එතරම් අපහසු නැත. වර්තමානය වන විට මෙහි ඉහළට යාමට විශේෂ අවසරයක් ලබාගත යුතුය. එමෙන්ම මෙහි ඓතිහාසික බව ඉතා ඉහළය.
එම නිසා වන රක්ෂිතයක අසිරිය මෙන්ම ඓතිහාසික කරුණු රැසක් දැක ගැනීමට මෙම රිටිගල තරණය පිටුවහලක් වේ. පරිසරයේ සිරිය විඳිමින් එයට හානි නොකර එහි ස්වාභාවිකව හා ඓතිහාසික වටිනාකම අනාගත පරපුරට දායාද කිරීම අප කාගේත් යුතුකම වන්නේය.
සටහන –
අනූජා දසවර්ධන