පලා වෙළදාමෙන් ජිවිතය ගත් ඇය

author
0 minutes, 0 seconds Read

පලා කොළ ගැන අපි කවුරුත් දැන් උනන්දුයි. දවස් පතාම අපට වෛද්‍යවරුන් අපව දැනුවත් කරන විටත් බත් වලට වඩා වැඩි පංගුවකින් පලා ආහාරයට ලබා ගන්න කියන උපදෙස් ලබා දෙනවා. අද සමාජය තුළ බෝ නොවන රෝගවලට ගොදුරුව සිටින පිරිස බොහොමයි. ඒ අය විතරක් නොවේ, අපට බෝ නොවන රෝග වලින් ආරක්ෂාව ලබා ගන්නත් පලා ඉතා වැදගත්.

අතීතයේදී නම් වත්තට ගිහින් පලා මිටක් , දෙමිටක් කඩා ගෙන ඇවිත් මලවා ගත්තා. කොළ කැඳක් හදා ගත්තා .මේවා නැවුම් ඒ වගේම රසයි. නමුත් අද ඒ වාසනාව හැම දෙනාටම නැහැ.

ඒත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා

පලා ගුණ බවත් ඇත්ත . ඒත් දැන් පලා කොළ මුදලට ගන්නවත් හරි හමන් තැනක් බොහෝ දෙනාට නැහැ. ඒ විතරක් නොවෙයි. සමහර පලා වර්ග හොයා ගන්නත් අපහසුයි. නමුත්මේ වෙනුවෙන් දැන් විකල්ප තැනක් තිබෙනවා. ඒ තැන “ රබර් ගස් දෙක මැද කඩේ ” යනුවෙන් හඳුන්වනවා. මේ කඩේ අයිති කාන්තාව කවුද? අපි ඇයගෙන්ම ඒ ගැන විස්තර අහමු.

ඇය…. රම්‍යා..

මගේ නම රම්‍යා කුමාරි. මගේ මුල් ගම හෙට්ටිපොල. මම හෙට්ටිපොල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව මම බියගම ආයෝජන කලාපයේ රැකියාවකට සම්බන්ධ වුණා. ඔය අතරේ විවාහ වෙලා බියගම යබරළුව ප්‍රදේශයේ පදිංචි වුනා. මගේ මහත්තයාගේ රැකියාව නැති වුණා. එතැනින් පසුව එයාගේ අයියාගේ පළතුරු කඩය ළග අපි පලා විකුණන්න පටන් ගත්තා. මුලින්ම කංකුං මිටි පහකින් පටන් ගත්තා.
ඔය විදිහට කාලය ගෙවද්දී
ඔව්… පලා වලට හොඳ ඉල්ලුමක් තිබෙන බව දැන් අපට තේරුනා. අපි වෙනස් වෙනස් පලා වර්ග එකතු කරන්න පටන් ගත්තා. අපි එකතු කරන හැම පලා වර්ගයකටම පාරිභෝගිකයෙක් ඇති වුණා. කොටින්ම ඒ සංකල්පය පලාවක් වෙනුවෙන් ගැණුම්කරුවෙක් කියන තරමටම එකතු කරන හැම වර්ගයකටම ඉල්ලුමක් ලැබුණා.

පලා විවිධාංගිකරණයක්

අපේ වෙළඳාම ජනප්‍රිය වෙන්න තවත් එක හේතුවක් තිබෙනවා. අපි එකම පලා වර්ග මත රැඳෙන්නේ නැහැ. අද බොහෝ කුඩා දරුවන් පලා වර්ග ගැන දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, තරුණ අම්මා..තාත්තාලා අතරත් ඒ තත්වය තිබෙනවා.

මේ ගැන ඔවුන්ට දොස් කියන්නත් බැහැ

අද හැම ගෙදරක්ම පර්චස් හතර පහකට සීමා වෙලා. මිදුලක් නැහැ. ඒ නිසා පලාවක් වගා කරන්නත් ඉඩ නැහැ. මල් පෝච්චියක වුනත් ගොටුකොළ, මුකුණුවැන්න , කංකු වගේ දෙයක් හදා ගන්නවා. ඉඳ හිට තැනක කතුරු මුරුංගා ගහක් වගේ තිබෙනවා. මහල් නිවාසයක නම් ඒ අවස්ථාවත් නැහැ. අපි ළග දැන් පලා වර්ග 40 ක් පමණ තිබෙනවා.

මේ පලා වර්ග හොයා ගැනීම

අපි මේ පලා වර්ග පිට පළාත් වලින් ගෙන්නා ගන්නවා. අපට සැපයුම් කරුවන් ජාලයක් ඉන්නවා. සමහර පලා වර්ග එක් එක් පළාත්වලට සීමා වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ගොනිකා වගේ පලා වර්ග ගාල්ල පැත්තේ සුලබයි. නමුත් හැම තැනම නැහැ.

ගොනිකා කොළ විශේෂයිද?

ඔව් පිළිකා රෝගීන්ට ගොනිකා හරි ගුණයි. නමුත් ලංකාවේ හැම තැනම නැහැ. සමහර පළාත්වල අයට මේ පළා වර්ගය හොයා ගැනීම දුෂ්කරයි. ඉතින් එහෙම කෙනෙකුට වුනත් අපෙන් මේ වගේ දුර්ලභ පළා වර්ග මිළට ගන්න පුළුවනි.

පලා වර්ග බොහාම සංවේදියි නේද?

අපි ඒවා නොතැලෙන විදිහට ගෙන්වා ගන්නවා. අපට පලා වර්ග සපයන අය ඒවා හානි නොවන විදිහට අසුරලා අරගෙන එනවා. කැරම් කොකු, මියනදළු වගේ පලා වර්ග පෙට්ටිවල , එතකොට බෝවිටියා වගේ පලා දැල් උඋර වල… මම මුලින් සඳහන් කළ ගොනිකා කොළත් දැල් උර වල අසුරලා ගේනවා. එතකොට තැලෙන්නේ නැහැ. අපට මේ පලා වර්ග ලැබෙන්නේ පාන්දර 3 ට විතර. ඒ නිසා අලුත් විදිහටම තියෙනවා.

ඔබේ අලෙවිසැල තිබෙන තැනත් විශේෂයි නේද?

ඔව් මේ ස්ථානයේ තිබෙන රබර් ගස් ඉතාම පැරණියි. ඒ නිසා තමා මෙතැන “ රබර් ගස් දෙක යට කඩේ ” යනුවෙන් හදුන්වන්නේ.

දානයකට එහෙම නැත්නම් දුර්ලභ පලා වර්ගයක් අවශ්‍ය වුනොත්

ඒ වගේම අද කොළ කැඳ ව්‍යාපාරිකයන් සිටිනවා. සමහර විට ඔවුන්ටත් මෙය ඉතා සුබ අරංචියක් වේවි. දැන් නාගරික ප්‍රදේශවලත් කොල කැඳට පාරිභෝගිකයන්ගේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. නමුත් පාරිබෝගිකයන් ඉල්ලන කොළ වර්ග වලින් කැඳ ලබා දීමේ අපහසුවක් ඔවුන්ටත් ඇති. අපි එක උදාහරණයක් කිව්වොත්…දැන් හීන් බෝවිටියා වගේ කොළ කැඳ වලට ඉල්ලුම වැඩියි. එවැනි අවස්ථාවකදී ඔබට ඒ සැපයුම පිරිමහන්න පුළුවනිද..?
එහෙම වුනොත් මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් අපට ඒ වගේ කෙනෙකුට උදව් වෙන්න පුළුවනි.
ඔබේ දුරකථන අංකය කිව්වොත්…074 82 46 35
එහෙමනම්… දුර්ලභ ඖෂධ පලා වර්ග අවශය නම් ඔබ බියගම රබර් ගස් දෙක කඩේ රම්‍යා අමතන්න.

සටහන
සිල්වා , සි

Similar Posts