රෝන්දකාරී 💙 – කොටස 02

author
0 minutes, 20 seconds Read

ඒ සා කුඩා අවධියේ සිද්ධීන් එතරම් නිරවුල්ව මතකයේ තිබීම ගැන මට ම විටෙක මා ගැනම අමුත්තක් දැනේ. සාමාන්‍යයෙන් කෙනෙකුට හොඳින්ම මතකයේ රැඳී තිබෙන්නේ ආසන්න දින ගණනක සිද්ධීන් හා හැඟීම් පමණී. වසරක සිට වසර පහක පමණ කාලයක් දක්වා සිද්ධීන් මතකයේ වන නමුදු ඒවායේ හැඟීම් ක්‍රමයෙන් ක්ෂීන ව යයි. බොහෝ දෙනෙකුට ඊට වඩා වැඩි කාලයක ඇත්තේ මතක පමණකි. හැඟීම නොවේ. සිද්ධියත් මතකයත් හැඟීමත් යන සම්පූර්ණ පැකේජය ම මතකයක රැඳෙන වසර ගණනාව අභිබවා ඒ ආකාරයෙන්ම සිහිපත් වේ නම් එය නොදැනුවත්වම හෝ හිතකට වූ කම්පනයක් විය යුතුයි.

මා වෙත එකී නියමයන් ආදේශ කොට බැලීමේදී මට හිතෙනා ලෙසට මා සතුව ඇත්තේ කම්පනය වූ හිතක් නොව කම්පන මාලාවකට මුහුණ දුන් හිතකි. එක්දහස් නමසීය අසූතුන වර්ශයේ උපන් මා හට දෙදහස් විසිදෙක වන විට අවුරුදු තිස්නමයක් සම්පූර්ණ වී තිබුනි. මා එය පවසන්නේ අතීත කාලයෙනි. තිස්නව අවුරුද්දකින් මා හට අමතකව ඇති කාලය ඉතා අල්පය. ඒ අමතක කාලය ගැන මා නොදන්නවා නොවේ. අමතක කාලය ගැන ද මා දැනුවත් ය. අතීතය අමතක කරන්නට ඉඩ නොදුන් මිනිසුන් මගේ ජීවිතයේ බොහෝ වේ. ඔවුන් අතරින් මගේ පියාගේ මව එනම් ගෙදර ආච්චි මගේ උප්පැත්ති දා සිට සියල්ලක් ම ඈ ජීවතුන් අතර සිටින තාක්කල් මට සිහිපත් කරවීය .

බැන අඬ ගැසීම් ඇසෙන විට ම එදවස මා නිවෙසින් පැන දිව්වේ, හැංඟී සිටියේ මා ගැන උපන් අනුකම්පාවකින් නොවේ. තරහකිනි. ඒ තරහා කඳුළු වී දියවී ගියේ නැත. මට ඉඩ ලැබුනු හැමවිටකම තරහා සංසිඳුවා ගැනීම පිණිස මා කුමක් හෝ කරන්නට පෙළඹිනි. ගෙදර ආච්චිගේ බුලත් හෙප්පුවේ අඩුම කුඩුම වල කහඹිලියා ගෑම එලෙස මා නිරන්තරයෙන්ම කල දෙයකි. අම්මාගේ වැඩි අවධානයක් හිමි මල්ලීගේ කටේ, මිරිස් ගල උඩ අඹරා පොල් කට්ටකින් වසා ඇති මිරිස් ගුලියෙන් බිඳක් තැවරීම ත් මා සනසා ගත් තවත් විදියකි. මුල් කාලයේ අඬා වැටෙන මල්ලිව ඔක්කේ ගසා ගන්නා අම්මා මගේ පිට හරහා පහර දෙයි. ඒ පහර දීම් වලදි මට මගේ වරද වැටහුනි. මිරිස් රතු පාට හෙයින් ඒවා ඉක්මනින් අම්මාට පෙනේ. ඒ නිසා මල්ලී අඬා වැටෙන හේතුව අම්මාට සිතා ගත හැකිය. මිරිස් වෙනුවට මම ආදේශක සොයා ගත්තේ එහෙයිනි. ඉන්පසු සුදු පාට කොච්චි ගස් වල කොච්චි දිනපතා එකක් හෝ අඩු වී තිබුනි.

මේ සියල්ල මා කල හේතුව අනෙකුන්ගේ ඇස් මා මතට හරවා ගැනීම නොවේද.. එකල්හී කිසිවෙකු මට බැන වැදීම තරහක් උපදවන තරමටම වෙන අමුතුම හැඟීමක් ද උපදවා තිබුනි. ගල්තලාවේ වැතිර බොහෝ වේලා සිටිය දී මාව අම්මාට ආච්චිට අමතක ව ඇතැයි සිතන මා හැල්මේ නිවෙසට දුව එන්නේ එහෙයිනි. ඔවුනට පෙනෙන්නට ඉන්නා විට කුමන හෝ කරුණකට ඔවුහු මට දොස් කියයි. නැවතත් මට මුළු ගැන්වීමට ඒ කරුණ ප්‍රමාණවත් වේ.

මේ සංසිද්ධියට මා ලොල් වී සිටියේ පාසල් යාමටත් පෙර කුඩා අවධියේ ය. පාසලට ඇතුලත් වන කාලය වනවිට මා මීට වඩා මදක් වෙනස් වී උන් බව මතකයේ වේ. වෙනසට හේතුව වූයේ මට පසුව උපන් බාල මල්ලි ය. අම්මාගේ ඔක්කේ අම්මාගේ තුරුලේ නිරන්තරයෙන්ම උන් මල්ලි එක්තරා සීතල රැයක වෙව්ලන්නට විය. අම්මාගේ කෑගැසීමට බියවී අවදි වුනු මා ඇස් කබ කඩමින් අම්මාගේ කාමරයේ දොර රෙද්දෙන් ඇතුළට එබිනි. මල්ලි වෙව්ලයි. ගැස්සෙයි. කට පැත්තකින් සුදු පෙණ වැනි යමක් වෑස්සෙයි. මා එක්වරම අඟුලු වැටුනි. හැන්දෑ යාමයේ මා මල්ලීගේ කටට යමක් දැම්මේ දැයි මට මතකයට නැඟුනේ නැත. මල්ලි වටා සිදු වන භයංකාර දසුන මිසක අන්කිසිවක් මතකයට නොනැඟුනි. මා කාමරයේ දොර උළුවස්සට පිටදී එතැනම බිම වාඩිවුනි. හැන්දෑව මතක් කර ගැනීමට උවමනා වූ හෙයින්ම ඇස් පියාගෙන ඒ වෙහෙසුනි. මතකයේ තරමින් කිසිවක් නොවුනි. ඒත් මල්ලි කටින් පෙණ දමන හේතුව කුමක්ද.. මා නිසා මල්ලි මිය ඇදෙනවාද.. දැන් දැන් අම්මා මට පහර දෙයිද.. ගෙදර ආච්චි පේර කෝටු ගෙන එයිද.. නිරුවත් උඩුකයේ පපුවේ ගැස්ම පිටතට පෙනෙන තරම්ම වැඩි විය. ගල් වංගෙඩියේ පොඟවාපු හාල් දමා අවුරුදු කාලයට දෙදෙනෙක් දෙපසින් හිඳ දෙමෝලෙන් කොටන්නාක් සේ යමක් පපුවේ දැනුනි. ඒ මට බියක් දැනුනු පළමු වතාවයි. බඩේ යටි කොටසේ දැවිල්ලක් හිර වීමක් එකවර මතුවිය. ගේ පිළිකන්නට දුව ගොස් සාය උස්සාගෙන වාඩි වීමේ උවමනාව මා මැඩ ගත්තා නොවේ. ඒ වෙනුවෙන් වත් දෙපයින් නැඟි සිටීමට මට පණක් නොතිබුනි.

ගෙදර ආච්චි තාච්චියකට ඇවිලෙන පොල් ලෙළි දමා ගෙනවිත් තිබුනි. අම්මා දෑතින්ම මල්ලි ඔසවා ගිනි රස්නය මල්ලීට දැනෙන්නට සැලැස්විය. පිත්තල පාට හැන්දක් මල්ලිගේ කට අස්සේ තිබුනි. දොර පාමුල ඉන්නා මා කෙරේ කිසිවෙකුගේ අවධානයක් යිමු නොවුනි. මල්ලීගේ වෙව්ලීම වැඩිවෙන අනුපාතයට මගේ පපුවේ ගැස්මද වැඩි වන්නට ඇත. බිම වාඩි වි සිටි මට දණ ගැස්සුනේ ඉබේමය.

” අනේ… අම්මේ මං මුකුත් කරේ නෑ. මං වහ කැව්වේ නෑ. මං ගෙදර ආවේ නෑ. මං මල්ලී ඇල්ලුවේ නෑ. මං බත් කෑවා විතරයි. මිරිස් දුන්නේ නෑ. කොස් ඇට කැව්වේ නෑ. මං මුකුත් කරේ නෑ.. “

මගේ දෑත් එකට බැඳී තිබුනි. වචන ආයාචනාත්මක විය. දිවුරුමක් මෙන් විය. මෙවන් හැසිරීමක් මා මින් පෙර දැක තිබුනේ අම්මා වෙතිනි. තාත්තා ගෙදර ආ දවසක අම්මාගේ හැසිරීම තාත්තා ඉදිරියේ මෙආකාර බව එවෙලේ මට සිහිවූයේත් මා වැඩි වැඩියෙන් අම්මා සේම බැගෑපත් වූවේත් එවිට මට ගැලවී නිදහස් වීමට හැකි බැව් දැනුනු හෙයිනි. එහෙත් එදාත් සිදු වූයේ වෙනකකි. බැගෑපත් වීම් වැඩි වෙද්දි අම්මාට මෙන් මට ගැලවීමක් නොලැබුනි. ගෙදර ආච්චිගේ පා පහරක් මගේ ඇඟේ කොතැනක හෝ තැනකට වැදුනු බව මතකය.

” පල යන්න මෙතනින්. මේකිගේ මූ ස ල මු ස් පේන්තු කොමට තමයි මේ සේරම. එක පිරිමියෙකුට යා දෙන එකක් නෑ. ප ල යන්න මෙතනින් මගේ දෑහැට නොපෙනි. “

ගෙදර ආච්චි පහර කිහිපයක් ම ගහද්දිත් අම්මා නිසොල්මන්ව සිටියේ ඇයිදැයි මට අදටත් නොවැටහේ. කෙසේ හෝ ඇගෙන් එකඳු වදනක් වත් පිට නොවිනි. අවසානයේ ගෙදර ආච්චි අතින් මාව කාමරයෙන් පිටතට වීසීවුනි. පරඬැලක් සේ ඇද වැටුනු මා දුව ගියේ පිළිකන්න වෙතටය. සාය ඔසවාගෙන වාඩි වෙද්දීත් මගේ කකුල් දිගේ උණුසුම් දියරය බේරෙමින් තිබුනි.

එදා රැයේ මට නින්දක් නොලැබුනි. විටින් විට නැඟිට එළියට යන්නට සිදු විය. මඩුවේ ගැට ගසා ඉන්නා කිරි වැස්සිගේ කිරි බුරුලු බර වී පැටියාට අඬ ගසන පළමු දෙවැනි වාර වෙද්දි ඇතුලු නිවස සංසුන් ව තිබුනි. උයන ගේ පැත්තේ පමණක් ලාම්පු ආලෝකයක් දැල්වුනි. හිස වැසෙන සේ පොරවනය දමා ගත් මගේ ඇඟ සීතලකින් සලිතව යද්දි මා එදා ඇස් තදකොට වසා ගෙන නින්දක් එනතුරු බලන් ඉන්නට විය. පසුදා පහන් වන විට මගේ ඇඟ ගිණි ගනිමින් තිබුනි. ඇස් ඇරීමට වත් නොහැකිව මා වේදනාවකින් උන් නමුදු මා අවදි වූවේද නැතිද බැලීමට කිසිවෙක් පැමිණියේද නැත.

එහෙත් ඒ වෙනුවට නිවසේ ඉදිරි කොටසේ මහත් කලබගෑණියක් ඇසුනි.

‘මල්ලී මැරිලද?’

ඒ පැනය නැවතත් මා දවාලීය. නැවතත් වරදක් කල බියක් දැනුනි. අපායේ ලෝදිය හැලියත් කටු ඉඹුලත් යම පල්ලනුත් පෙනෙන්නට විය . නැවත ඇස් පියා ගත් මා පොරවනය තුළට ගුලි විය.

යාදින්නක් ඇසුනේ ඉන් ටික වේලාවකට පසුවය. දෙවියන්ට කන්නලව් කිරීමක් හා පන්සල් සුවදක් එකම විට ඇසුනි. එකම විට දැනුනි.

‘මල්ලි මැරිලා නෑ’

එදා මගේ බියෙන් තැති ගත් පපුවේ ඩග් ඩග් හඬ කෙමෙන් මැකී යන්නට තරම් සනීපයක් දැනුනේ ඉන්පසුවයි.

එදායින් පසුව නිතරම පාහේ ගෙදර කට්ටකුමංජල් සුවඳ වැහුනි. ගොක්කොළ මල් ආසන සෑදුනි. පොල් මල් සුවද , කපුරු සුවඳ නිතරම රැඳුනි. යාතිකාවන් , තෙල් මැතිරීම්, දෙහි කැපීම් මේවායේ නිමක් නොවුනි. මල්ලිගේ ගෙල වටා තඹ සුරයක් කලු නූලකින් එල්ලුනි. තවත් තැනින් තැන ගැට දැමූ සුදු නූල් එකට අඹරා මල්ලිගේ ගෙල වටා රැඳුනි. සුදු නූල කලු වන්නට ගත වන කාලය වනවිට තවත් සුදු නූලක් යන්ත්‍ර මන්ත්‍ර මතුරා දැමුනි. මේ සියල්ල පිටුපස ගෙදර ආච්චිත් අම්මාත් විය.

මගේ උණ වේදනාව දින ගණනාවකට පසු නිමා විය. එහෙත් ඉන්පසුව මා මල්ලීට කිසිවක් කරන්නට පෙළඹුනේ නැත. සුදු කොච්චි ගස් දකින වාරයක් පාසා එතැනින් පැන දුවන්නට තරම්ම මා බියපත් වුනි.

මල්ලීගේ අසනීපයේ වෛද්‍ය නාමය උණ වලිප්පුව බව පසුකාලෙක දැන ගන්නට ලැබුනි.

ඒ මුල් සිදුවීමෙන් පසු මා වෙත කිසිවෙකුගේ බැල්මක් ලබා ගැනීමත් නතර කරන ලදී. මා ඒ වෙනුවෙන් වෙහෙසුනේ නැත. ඒ වෙනුවට මා මල්ලී වෙත ඇහැ තබාගෙන සිටීමට පුරුදු උනි. මල්ලීගේ අත් පා ඉතා සියුමැලි බව මට දැනුනේ ඉන්පසුවය. ඔහුගේ සුදු පසුබිමේ කලු බෝල ඇස් පූස් පැටියෙකු සිහි කරවීය. ඔහු මා හා සිනා වෙන්නට පටන් ගත්තේ මා ඉඳහිට ඔහුගේ දෙපා අත ගාමින් කල් ගත කරන විටදීය. එහෙත් මා මල්ලීව අත ගා බැලුවේ කිසිවෙකුටත් නොපෙනෙන පරිදිය. හදිසියේ හෝ කිසිවෙක් දුටු තැන මට පුරුදු ලෙසම පහර කිහිපයක් ලැබුනි.

උයන ගෙට හොරෙන් පනිනා දඩාවතේ යන සුනඛයෙකු පොල් බෑයක් ඩැහැ ගන්නා විටම ගෙදර ආච්චි ඒ සිව්පාවාට ගිණි පෙළෙල්ලකින් දමා ගසන්නේ කෙසේද.. එවිට ඒ සිව්පාවා පොල් බෑය අතැර දමා දුවන්නේ කෙසේද.. ඒ ලෙසින්ම මා ද පැන දුවන්නට විය. ඒ ලෙසම කිසිවෙකු අතේ ඇති දෙයකින් දමා ගසා මා පන්නන්නට ඇත.

බාලාංශ පන්තියට මා පිවිසියේ එවන් කාලයකය. එදා මගේ නම ඇසූ ගුරුතුමියගේ දෑස් සිහින් වනු ඉන්පසු ඒ දෑස් ම විසල් වනු මට මතකය.

” මේ ලමයා විජේ ගෙදර ද එතකොට “

“ඔව්.. ටීචර්.. “

” ඔය මොකද ඔය පිටිපස්සේ. එන්න එන්න මේ ඉස්සරහින් ඇවිත් වාඩි වෙන්න. එන්න දුවේ.”

ඇගේ මුහුණ අට පෙති මලක් සේ විහිදී පිපුනි. ඇගේ මුහුණට පිපෙන්නට හේතුවත් මගේ අම්මා ගෙදරින් පිටත ලෝකය හා ගණුදෙනු නොකරන්නටත් හේතු වී තිබුනේ එකම කරුණකි.

ඒ වාසගමෙන් දැකිය හැකි උපන් ‘කුලය’ යි.

පසුගිය සතියේ කොටස මෙතැනින් – https://colombojournal.online/%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%f0%9f%a7%a1%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83-01/


© අරලියා පෙරේරා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa