කොහොමටත් එකී තරුණ විප්ලවයේ මුල්පෙළේ අභිමතාර්ථ පණිවිඩය ඒ ආකාරයෙන්ම පසුපෙළ හා ගම් මට්ටම් සඳහා සම්ප්‍රේෂණය වුයේ යැයි මට නොසිතේ. මුල්පෙළ දෙවන පෙල පසුකරමින් අවසන් මට්ටමට එනවිට මුල්පෙළේ තිබූ පරාර්ථයන්ට, සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ ආත්මාර්ථයන් එකතු වීම වැළැක්විය හැකි දෙයක් ද නොවේ. ඒ අඳුරු සහ සීතල මතක අතරේ එදවස මා සිත් නොගත් දේ ඕනෑ තරම් තිබුනි. එකම ආකාරයේ එකම රූපකායන් ඇති සමාජයේ එකම ස්ථරය දෙකට බෙදීම මට හිතන්නට බොහෝ දේ ගෙනැවිත් දුනි.
“හැංඟිලා ඉන්න අයයි හොයන අයයි ඔක්කෝමලා එකම කට්ටියනේ. ඇයි ඉතින් එයාලා රණ්ඩු වෙන්නේ ?”
දවසක් ගමේ පන්සලේ මහ පූජාවක් වෙලාවකදී අහම්බෙන් මුණ ගැසුනු සුභාෂිණි ගෙන් මා ඇසුවා මතකය. ඇයත් මාත් සිටියේ විහාර ගෙයි බිම වාඩි වීගෙන දෙපා බුදු රුව දෙසට දිග හැර ගෙනය. මා එදා පන්සලට ආවේ ගෙදර ආච්චි සමඟිනි. ආච්චි කියනා හැටියට ගමේ පන්සල ආච්චිලාගේ පරම්පරාවේ පන්සලයි. දැන් දැන් අඩුකුළේ වුන් ද පන්සල අයත් කරගෙන ඇතැයි ඇය එන යන මඟට විස්සෝප වෙයි. පන්සලට ආ පසු සියලු පූජාවන් හී මුල් ස්ථානය ඩැහැ ගත යුතු බැවින් ගෙදර ආච්චිට මා ගැන සෙවීමට මා වෙත ඇහැ තබාගෙන සිටීමට වේලාවක් නැත. ඇය පන්සලෙන් පිටව යන්නේ පැමිණි සියල්ලෝම පිටව ගිය පසුය. පූජාවේත් පන්සලේත් අඩුවත් වැඩියත් සෙවීමෙන් පසුවය. එහෙයින් මට එදා ඇගෙන් වහන් වී සිටිය හැකි විය.
“අපේ තාත්තා නම් කිව්වේ කොළඹට තියෙන ඒවා අපිට නැති නිසා කියල. ඔය ජීප් එකෙන් එන්නේ කොළඹ අය වෙන්නැති. මං ලොකු උනාම කොළඹ යනවා. එහා ගොඩේ අක්කලත් කොළඹ ගිහින් සුදු පාට වෙලා ඇවිත්. ඔයාට නම් තාත්තට කිව්වම එක්කරන් යයි නේද ? මං නම් ලොකු උනාම තනියම තමයි යන්නේ.. “
සුභාෂිණිත් ඇගේ පියාත් තවත් ගම්බද මව්වරුන් පියවරුන් මෙන්ම බොහෝ පිරිසක් විප්ලවය අර්ථ දක්වාගෙන සිටියේ එලෙසිනි.
“කොළඹට ඇත. ගමට නැත. “
මා රෝන්දකාරියෙකි. සංසාරය පුරාම සැරිසරන්නියෙකි. කෙටි ජීවිත කාලය පුරා ඉබාගාතේ ඇවිදින්නියකි. මට අනෙකුන්ගේ මතයන් ගැන විවේචන නැත. තිබිනේ විමසීම් පමණකි. ඒවා මට ගෝචර නොවන්නේ නම් මා ඒවා බැහැර කිරීමට දෙවරක් නොසිතයි.
එහෙත් කුඩා දවසේදීත්, දැනුම් තේරුම් ඇති වයසේදීත්, මා වෙනුවෙන් මා තීරණ ගන්නා වූ වයසේදීත් නොවිසඳුනු ගැටළුවක් තිබුනි.
විප්ලවය ගම කරා ආ සටන් පාඨය කුඩා කල මා සිත ගත්තේ නැත. මට දැනෙන තරමින් ඒ සටන් පාඨය තරම් කුහක වචන කිහිපයක් වෙන නැත. එය සම්පූර්ණයෙන්ම කුහකත්වයෙන් පිරි වචන හතරකි. එහි පදනමක් ඇතැයි මට නොසිතේ.
“කෙනෙකුට ඇති දෙයක් මට නැත්නම් ඇයි මං ඒකට කෑගහන්නේ. ලොකු අක්කට තියෙන රැළි තට්ටු ගවුම් මට නෑ. මට මහන්නේ ගෙදර ආච්චිගේ චීත්ත රෙදි වලින් ගවුම්. ඒත් මං කෑ ගහලා තට්ටු ගවුම් ඉල්ලන්නෑනේ. මං ලොකු වෙලා මාතර ගිහින් තට්ටු ගවුමට රෙදි ගෙනත් මහගන්නවා. “
යමක් අහිමි නම් කෝළාහල කර ගැනීමෙන් තොරව සපයා ගත නොහැකිද?
පොඩි දවස් වල “මම ලොකු උනාම ගන්නවා” යි කීවේත් එයම නොවේද?
වැඩිහිටි වූ කල, මේ සමාජ ස්ථරයන් හී ගැටුම් මගේ ඇස්පනාපිටම සිදු වුනි. තනි කෙල්ලක වූ මා හට ඒවාට විරුද්ධ වන්නට නොහැකි වූ නමුදු, ‘ඉල්ලා ගන්නවා.. අයැද සිටිනවා.. බලපෑම් කරනවා.. නැතිනම් උදුරා ගන්නවා වෙනුවට සපයා ගැනීම.. උපයා ගැනීම’ යහපත් බව මට වැටහී තිබුනි.
“කෙනෙකුගෙන් දෙයක් ගත්තම ආයි දෙන්න ඕනේ. නැත්නම් ඒ වෙනුවට වෙන දෙයක් දෙන්න ඕනේ . දුන් නැත්නම් හොඳ නෑ. දෙන්න බැරි උනොත් හොඳ නෑ. ඉතින් ඇයි අපි තියෙන අයගෙන් ඉල්ලන්නේ? ඒක කරදරයක් නේ? ඇයි මිනිස්සු එච්චර ලේසියෙන් දේවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නේ?”
එදාත් අදත් මට මේ ගැටළුවට සරළ පිළිතුරක් නොලැබුනි. විවිධ මිනිසුන් ඒ සඳහා දුන් පිළිතුරු එකකට එකක් වෙනස් ය.
සේනාධි අයියාගෙන් මට අසා දැන ගැනීමට බොහෝ දේ තිබුනද මට ඒවා නිනිරාකරණය කර ගැනීමට කාලය ඉඩ දී තිබුනේ නැත.
හාමිනේ ආච්චි ඉකිබිඳින්නේ රහසින් බව මට වැටහුනි. එහෙමම ගල්තලාවේ වාඩි වූ මා හාමිනේ ආච්චිගේ ගෙවල් පැත්තට ගල් තලාව දිගේ රූරන්නට විය. එතැනින් මා පිම්මේ දිව්වේ හාමිනේ ආච්චි අඬමින් සිටි තැනටයි.
ඒ පිණි සීතල හැලෙන උදෑසනකි. මා සිටියේ හකු එකට තද කරගනිමිනි. දත් ඇඳි වියල් කොට මා යමක් විමසීමටත් පෙර හාමිනේ ආච්චි කලබල විය.
“හිච්චි කෙල්ලේ.. අනේ සත්තරනේ.. මේ එහේ මෙහේ දුව ඇවිදින්න කියාපු වෙලාවක් නෙමේ. ඔහොමම ආ පාරෙන්ම හැරිලා ගෙදරට යන්න මයේ අම්මා.. “
“ඇයි හාමිනේ ආච්චි අඬන්නේ? චූටි සීයා බත් පිඟානෙට ලුණු පොල්කට්ටේ හලල කිව්වද?”
මිනිසුන් හඬන්නේ ඉතා සරල කාරණා වලට වේ යැයි මා එදවස හිතා සිටින්නට ඇත.
“නෑ මයේ අම්මා. හිච්චි කෙල්ල තව හින්නි වැඩී මෙව්වා හගිස්සවන්න. දැන් ඉර එළිය වැටුනාමත් ආයේම අලුගෝසුවෝ මේ පැත්තට ඒවි. ඊට මත්තෙන් ආපහු හැරෙන්න මයේ අම්මා.. ඕකුන්ට කිරි සප්පයෙක් කියල නෑ කුදලගෙන යන්න.”
ඒ මොහොතේම ගැමි ගැහැණියෙක් පිළිකන්නට පළමුව හිසත් අනතුරුව කඳත් පොවා පෙනී සිටින්න්ට විය.
“මොකෝ හින්නි හාමිනේ රාත්තිරියේ උනේ. මං මේ නිදි පැදුරෙන් දුවගෙන ආවේ ?”
“අර අලුගෝසුවෝ රාත්තිරියේ මයේ කොල්ලව කුදලගෙන ගියා ලතෝ. ඔය මක්කද මක්කද පොත් කරදහි වාගයක් තිවුනය කියල . අපේ මහ මිනිහත් ඉර ගාටන්නත් කලියෙන් පොලෝසියට ගෙහුන් සෝදිසි කොරාලා එන්නන්ය කියාලා ගියා. අනේ ගැටඹරු හාමුදුරුවන්ටම පේන්නෝනේ මගේ බඩ පපුවේ ඇවිලෙන ගින්දර.. “
හාමිනේ ආච්චි මයේ කොල්ලා යැයි කීවේ සේනාධි අයියාටය. වහා දුව ගොස් සේනාධි අයියාගේ කාමරයේ ජනේල පොලු වල එල්ලෙන්නට ගත් මා ගත් උත්සහාය සාර්ථක විය. ජනේලය උස් නිසාත් මා එතරම් උස් නොවුනු නිසාත් මා සිටියේ දෙපා ඇඟිලි වලින් බිත්තිය දිගේ නඟිමිනි. කාමරය තුළ සේනාධි අයියා නොවුනි. ඔහුගේ පොත් පෑන් පැන්සල් සීසීකඩ ගොසිනි. ඒ මදිවාට රෙදි ඉස්කිරිම පවා බිම පෙරලී ඇත. කබඩයේ තිබූ දෑ, ඇඳ කොට්ට මෙට්ට තැනින් තැන තිබුනි. මා ජනේලයෙන් බැස නැවතත් හාමිනේ ආච්චි සිටි තැනට ආවේ ඉතිරිය දැන ගැනීමට ය.
“මේ නෝනේ හාමිනේගේ ගෙදර අර හමුදාකාරයගේ කෙල්ලෙක් නෙවෙද.. මෙවුන්ලගේ මහ එකාලා තමයි ගම් වල කොල්ලෝ කුදලන් ගිහින් වෙඩි තියාලා දාන්නේ. එහෙන් අලුගෝසුවෝ .. මෙහෙන් කැලෑ නීතිය.. ඔක්කෝම එකයි බලාන යනකොට.. “
එතැනින් එහාට මා ඒ කතාබහට කන් දීමට ගියේ නැත. රැයෙහි සිදු වූ කිසිවක් මා දැන නොසිටියත් .. හරිහැටි රූප මැවුනේ නැති අපැහැදිලි ජායා වලින් අඳුරු කලුපාට රූප සමූහයක් මගේ ඔලුව පුරා එහේ මෙහේ දුවන්නට වුනි. එහි මහා උසකින් රෞද්‍ර මුහුණක් සහිත අපේ තාත්තාගේ ජායාව පමණක් මට පැහැදිලිව පෙනුනි. උස තාත්තා පොඩි සේනාධි අයියාව ඇදගෙන යන රූප දිගින් දිගටම මට පෙනුනි.
එයින් පසු මගේත්.. අපේත් දවස ගෙවුනේ පුරුදු ලෙසට නොවේ.
පසුගිය සතියේ කොටස මෙතැනින් –
© අරලියා පෙරේරා