“ දෙවියන්ගේ ආදරයට පාත්‍ර වන්නෝ අඩු වයසින් ම මිය යති. දෙවියන් ඔබට බොහෝ සේ ආදරය කරන්නට ඇත. ඔබේ පියා සහ මව ඔබට ආදරය කළාටත් වැඩියෙන් දෙවියන් ඔබට ආදරය කරන්නට ඇත. මීට වඩා දිගු කාලයක් ඔබ ජීවත් විය යුතු යැයි අපි පැතුවෙමු. ලස්සන ජීවිතයක් ඔබ සඳහා විවෘත වෙමින් පැවතුණි. එහෙත් දෙවියෝ වෙනස් ලෙසකට කල්පනා කළෝය. දුඟද හමන ගොහොරුවක් බවට පත් වූ වටපිටාවක් මැඩගෙන පැවැත්ම සඳහා ඔබේ සංවේදී ආත්මය ගෙන යන අරගලය දැකීමෙන් උන්වහන්සේලා සංවේගයට පත්වූවෝය. අසාධාරණයට භාජනය කෙරුණු සෑම තරුණයෙකු වෙනුවෙන් ම හඩා වැළපුණු ඔබේ හදවතට උන්වහන්සේලා අනුකම්පා කළෝය. ඔබ තුළ මෝරමින් වැඩෙන සංවේගයෙන් ඔබ නිදහස් කර ගැනීමට උන්වහන්සේලා තීරණය කළෝය. දෙවියන් යමක් කරන ක්‍රම අනන්තය. ඒවා තේරුම් ගැනීම අපට නොහැකිය. එහෙත් අප ඒවා පිළිගත යුතුය.එබැවින් රත්තරන් පුතේ අපි සමුගනිමු – ලූෂන් සොයිසා ( රිචඩ්ගේ පියාණන්)

සත්‍ය උදෙසා දිවි දුන් ලොව මුල්ම ජනමාධ්‍යවේදියා වූයේ චෙකොස්ලෝවැකියානු ජාතිකයෙක් වූ හතළිස් හැවිරිදි ජුලියස් පුවික්ය. ඔහු සිය පෑන මෙහෙයවූයේ කුරිරු පැසිස්ට්වාදයට පීඩනයට හා හිංසාකාරී මර්දනයට එරෙහිවය. මිලේච්ඡ නාසි හමුදා භටයන්ගේ දරුණු වධහිංසා සහිත ප්‍රශ්න කිරීම් මැද කිසිවකුත් පාවා නොදී පෝරකයට ගිය එම අභීත මාධ්‍යවේදියා1943 සැප්තැම්බර් 08 ප්‍රාග්නුවර පොලෙට් සන්චි හිර ගෙදරදී අළුයම 4. 30 ට සත්‍ය වෙනුවෙන් පෝරකයට ගෙල දුන්නේය. 1990 දශකය ආරම්භයක් සමගම අභීත ජනමාධ්‍යවේදියෙකු ඒ අයුරින්ම රාජ්‍ය ත්‍රස්තවාදයට හා බලකාමයේ උන්මාදයට එරෙහිව සිය පෑන් තුඩ මෙහෙයවමින් සත්‍ය උදෙසා ජීවිතය පුද කළේය. ඒ අන් කිසිවකු නොව ලාංකීය අසහාය මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසාය.
1990 පෙබරවාරි මස 18 වැනිදා එවැනි කළු තිතක් සමාජයට ශේෂ කළ තවත් අඳුරු දිනක් විය. සෙනෙහබර මවකට හා පියෙකුට එකම පුතු අහිමි කළ හිතමිතුරනට කළණ මිතුරෙකු අහිමි කළ මුළු මහත් රටට අභීත කලාකරුවෙකු අහිමි කළ කුරිරු ඝාතක දිනයයි. ඒ එලෙස රටට අහිමි කරවූයේ අන් කවුරුත් නොව දකුණේ කෙල්ලන් මෙන්ම උතුරේ ද්‍රවිඩ කෙල්ලන් ද ආදරේ කළ රිචඩ් ද සොයිසා නම් සුන්දර තරුණ මිනිසාය. සත්‍යවාදී මාධ්‍යවේදියාය.
ආචාර්ය ලෙස්ටර්ජේමිස් පීර්ස්ගේ යුගාන්තය චිත්‍රපටයෙහි මාලින් ලෙස ඩී.බී.වර්ණසිරිගේ සත්‍යග්‍රහණය චිත්‍රපටියේ පත්‍රකලාවේදියාසේම යශෝරාවය ටෙලිනාට්‍ය ද නිරූපණ දායකත්වය සපයමින් ඔහු සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප විය.
බොහෝ දෙනෙකු ඔහුව හඳුන්වා ඇත්තේ වඩාත් පරිපූර්ණ මිනිසෙකු ලෙසය. ඊට හේතුව රිචඩ් ද සොයිසා නැමැති මේ ශ්‍රේෂ්ඨ මිනිසා රූපවාහිනි නිවේදකයෙකු, වේදිකා නළුවෙකු , ප්‍රතිභාසම්පන්න කවියෙකු ,නාට්‍යරචකයෙකු, පුවත්පත් කලාවේදියෙකු පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරියෙකු මෙන්ම සමාජ චින්තකයෙකු ලෙසින් ද ක්‍රියා කිරීමයි.
රිචඩ් ඝාතනය කළේ කවරෙකු වුව ද ඔහුට එම ඉරණම හිමිවූයේ එවකට රට තුළ පැවති භීෂණ වාතාවරණයේ සත්‍ය ලෝකය හමුවේ තැබීමේ හේතුව නිසාය.ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වැදගත් පුවත් ජාත්‍යන්තර ජනමාධ්‍යයට සහ මානව හිමිකම් පිළිබඳ ආයතනවලට ඔහු විසින් නිරතුරුව සැපයූ බව වාර්තා වේ. රිචඩ් ඝාතනය කරන විට ඔහු ඉන්ටර්ප්‍රෙස් සර්විස් ආයතනයේ යුරෝපීය කලාපයෙහි කර්තෘ වශයෙන් කටයුතු කිරීම සඳහා ලිස්බන් නුවර බලා යාමට නියමිතව තිබිණි . ඔහු ඝාතනය කර දැමුවේ මේ අතරතුරය.
ඔහුට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ආමන්ත්‍රණය කිරීමට හැකි වූයේ රෝමයේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් වූ ඉන්ටර්නැෂනල් ප්‍රෙස් සර්විස් හි ශ්‍රී ලාංකික වාර්තාකරුවෙකු ලෙස කටයුතු කිරීමෙනි.
“ මම කැඩපතක් ම වෙමි සත්‍යය හැර අන් කිසිවක් පරාවර්තනය නොකරන.” මේ තවත් ආදම් උයනක් කාව්‍ය සංග්‍රහයෙහි රිචඩ් තම කවි පෙළෙහි සඳහන් කරන්නේ එලෙසිනි..
සත්‍ය සත්‍ය ලෙසින් වාර්තා කිරීමේ සැබෑ පුවත්පත් කලා වේදියෙක්ගේ කාර්යභාරය ඉටු කිරීමේ වගකීමට රිචඩ් ද හිමිවූයේ මරණ සහතියකි.
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි කියමනක් තිබේ. දේශපාලනඥයා තම ප්‍රතිවාදී දේශපාලඥයා අමු අමුවේ නිරුවත් කරන වාග් ප්‍රහාර පෞද්ගලික මඩ ප්‍රහාර යනාදියෙන් එකිනෙකා විවේචනය කර ගනී. තවත් සීමිත කලකින් තමා දැරූ මති මතාන්තර පමණක් නොව තමා මෙතෙක් ඇඳහූ ගරු කළ පක්ෂය පවා හැර තමා එදා විවේචනය කළ අමු අමුවේ නිරුවත් කළ දේශපාලන පක්ෂය ද වැළඳ ගනිමින් දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි කියමන ඉතා පහසුවෙන් ගම්‍ය කරයි. එහෙත් ඒ දේශපාලඥයාගේම උපදෙස් අනුව රාජකාරිය ඉටු කරන රාජ්‍ය සේවකයාට හිමිවනුයේ ස්ථාන මාරුවකි.නැතහොත් රැකියාව අහමි වීමකි. මැතිවරණයකින් පසු රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් බොහොමයකට තමන් දැරූ තනතුර ද අහිමි වෙද්දී ප්‍රතිවිරුද්ධ මත දරමින් සමාජයේ ම කැළඹීමක් කළ දේශපාලඥයාට හිමි වනුයේ ඇමති තනතුරකි. අහෝ ලාංකේය දේශපාලන රටාවේ ඛේදනීය ඉරණම කෙසේ සාධාරණීය කරමුද?
මෙවන් තත්ත්වයක් මත කිසිදු වරප්‍රසාදයක් නොලබන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සත්‍ය වෙනුවෙන් වැඩ කරන පුවත්පත් කලාවේදියාට හිමිවනුයේ මරණ සහතිකයකි.
“ නිදහස් සමාජයක මූලික වටිනාකම්වලින් එකක් බිහිවී ඇත්තේ අප ආදරයෙන් රැක බලා ගන්නා සිතිවිලිවලට පමණක් නොව අප පිළිකුල් කරන සිතිවිලි වලටත් නිදහස තිබිය යුතුය යන වටහා ගැනීම මතය. අදහස්වල වරදකාරීභාවය වාරණයට හේතුවක් නොවේ ”

ඉරේෂා මධුරකාවිනී