පුද්ගල ජීිවිතයේ හා සමාජයේ මූලික පදනම ලෙස සැලකෙන පවුල මිනිස් ශිෂ්ටාචාරයේ මූලික තැනුම් ඒකකයයි. පවුල හා විවාහය අතර පවතින්නේ අන්‍යෝන්‍ය වූ සබඳතාවයකි. මන්ද පවුල තුළින් විවාහය නම් වූ සංස්ථාවත් විවාහය තුළින් පවුල නම් වූ සංස්ථාවත් ව්‍යුත්පන්න වන නිසාය. සංතෘෂ්ටිය නම් වූ සහජ මානව අවශ්‍යතාවය ක්‍රමවත්ව හා සමාජීය වශයෙන් පිළිගත් ආයතනික පදනමක් ඔස්සේ ඉටුකර ගැනීමට මිනිසා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස බිහිවන විවාහ සංස්ථාව සමාජ ප්රගමනයට අවශ්‍ය මානව සංහතිය ශක්තිමත් කිරීමට නීත්‍යානුකූල පදනම ද නිර්මාණය කරයි.

නමුත් විවාහයන් තුළ ස්ත්‍රී පාර්ශවයන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේද යන්න වර්තමාන සමාජය තුළ නිරන්තර කතිකාවට සුලබව ලක් වන ගැටළුවකි. මේ නිසා දික්කසාද සඳහා බලපාන සමාජ, සංස්කෘතික, ආර්ථික හා මානසික හේතු අතර කාන්තා අයිතිවාසිකම් ඛණ්ඩනය වීම්ද හේතු වන බව පෙනේ. ස්ත්රීවාදයේ නැගීමත් සමඟ වෛවාහක දිවිය තුළ සිය කාන්තා අයිතිවාසිකම් උල්ලංගණය වීම් මත බොහෝ කාන්තාවන් ඒ පිළිබඳ ඍජුව හා නොබියව කතාකිරීමට උත්සුක වේ. ඒ අනුව විවාහය තුළ කාන්තා අයිතිවාසිකම් ඛණ්ඩනය වන්නේ කුමන ආකාරයටද යන්න විමසුම කාලෝචිත වූවකි.
මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රීය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.
ලෝකය තුළ සමාන අයිතිවාසිකම් පුරුෂයාට හා ස්ත්‍රීයට ලැබිය යුතුය. සමාන මනුෂ්‍යත්වයක් ලැබිය යුතුය. නමුත් අතීතයේ සිටම ස්ත්‍රීයට පුරුෂයා හා සම අයිතීන් නොතිබිණි. ඔවුන්ට පුරවැසි අයිතිය පවා නොතිබීම කණගාටුවකි. මෙලෙස ඔවුන් පුරවැසියන් ලෙස නොසැලකීම නිසා ඕනෑම අවස්ථාවක ඇයව විකිණිය හැකිය. මිලදී ගැනිය හැකිය. අවශ්‍ය වූ විට තැලිය පෙලිය හැකිය. ඔවුන් චංචල දේපළක් ලෙස අතීතයේ සිට භාවිතා කර ඇති බව මූලාශ්‍ර අනුව පෙනේ. මෙවැනි ඉරණම් සහගත තත්ත්වයක් අතීතයේ සිටම කාන්තාවට අත් විය. එවන් සමාජ පසුබිමක් තුළ කාන්තාවන්ට විවාහක දිවිය තුළදී සිය අයිතිවාසිකම් අමු අමුවේ ඛණ්ඩනය කිරීම් වලට ලක් වීමට සිදුවේ.
ඇතැම් කාන්තාවන් සිය පවුල් ජීවිතය තුළ කාන්තාවකට විඳීමට නුසුදුසු අත්දැකීම් බොහෝමයක් අත් විඳිති. ඒ අතර ඇතැම් සැමියන් ඔවුන් විසින්ම සිය බිරිඳව විවිධ පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදලට විකිණීමද දැක්විය හැකිය. ස්වාමිපුරුෂයෙකුට සිය බිරිඳව තම මුදල් අවශ්‍යතාව වෙනුවෙන් පුද්ගලයන්ට විකුණීමට අයිතියක් තිබේද. විවාහ ජීවිතය තුළ ලිංගික ආචාරධර්මයන් යනු මූලික පදනමක් වන්නා සේම එය දෙපාර්ශවයේම මූලික අයිතිවාසිකමක් ද වේ. නමුත් මෙහිදී එම මූලික ලිංගික ආචාරධර්ම පවා බිඳ වැටී ඇති අතර ලිංගික සබඳතාවයන් හට සදාචාරාත්මකභාවයක් ලබා දීමට ගොඩ නැගි ඇති විවාහය නම් වූ ව්‍යුහය විසින්ම ඇයව වෛශ්‍යාවක තත්ත්වයට ඇද දමා ඇත. මේ තුළින් පෙනී යන්නේ සාමාන්‍ය ජීවිතය තුළ පුරුෂාධිපත්‍යය කෙතරම් ප්‍රබල වන බවටත් කාන්තා ආධිපත්‍ය කෙතරම් දුරට යටපත් වන බවටත් කාන්තාවන් ඉතා පහසුවෙන් පුරුෂාධිපත්‍ය හමුවේ මෙන්ම විවාහ ජීවිතය තුළදී වින්දිතයන් බවට පත් වන බවත්ය.
විවාහය තුළදී ලිංගික වශයෙන් කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා තුළින්ම මහත් පීඩාවන්ට පත් වන අවස්ථාවද පවතී. ලිංගික ආශාව වැඩි පුද්ගලයින් පහසුවෙන් ලිංගිකව තෘප්තිමත් කළ නොහැකි අවස්ථාවන්හිදී ඉතා දැඩි ලිංගිකත්වය (Hard Sex) මුසු වූ හුදෙක් යම් ආර්ථික පරමාර්ථයක් හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් රංගන ශිල්පීන් ශීල්පිනියන් යම් පුද්ගලයෙක්ගේ පිටපතකට රඟ දැක්වීමක් සිදු කෙරෙන නිල් චිත්‍රපටි තුළ අන්තර්ගත ෆැන්ටසිය යථාර්ථ ජීවිතයට බද්ධ කරලමින් ඒ තුළ සිය අවශ්‍යතාව, තෘප්තිමත්භාවය පමණක් මුල් කර ගනිමින් ලිංගික කාර්යයන්හි නියැලීමක් මේ තුළ දක්නට ලැබේ.

විවාහ සහතිකපතෙහි තැබූ අත්සනක් හරහා ලැබූ නීත්‍යානුකූල අයිතිය මත තම බිරිඳගේ අවශ්‍යතාව, රුචිකත්වය, පහසු අපහසු තත්ත්වයන්, ඉරියව් හා දිනයන් යනාදී කිසිවක් පිළිබඳ නොතකා කාන්තාවන්ගේ කිසිදු පෙළඹවීමක් හා කැමැත්තක් නොමැතිව තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇය හුදෙක් නිමි භාණ්ඩයක් නොවන බවත් ඇය පුරුෂයා යටතේ වූ ලිංගික සේවිකාවක්ද නොවේ.
එසේ නම් ඇය හා බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීමට පුරුෂයාට ඇති අයිතිය කුමක්ද? මෙහිදී විවිධ වූ වේදනාකාරී ක්‍රම ඇසුරින් ලිංගික හැසිරීමට උත්සහ කිරීම, වැඩි වාර ගණනක් ලිංගිකව හැසිරීමට උත්සහ කිරීම, ලිංගේන්ද්‍රියට විවිධ දේ ඇතුල් කිරීම වැනි අසාමාන්‍ය විකෘති මානසික චර්යා පෙළඹුමක් යටතේ විවාහ දිවිය තුළ ඇයගේ මූලික අයිතියක් වූ ලිංගික සුරක්ෂිතභාවය කඩ කිරීමද දැකිය හැකිය.
විවාහ දිවිය තුළ කාන්තාව ඇයගේ මධුසමය තුළ පිරිසිදු බව සමාජයේ නිර්මිත ආකාරයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත සිය වෛවාහක දිවිය තුළ නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙයි. විවාහ දිවියට ඇතුලු වූ දිනයේ පටන්ම සැමියාගේ අපවාද අසා සිටීමට සිදුවේ. සාම්ප්‍රදායිකව යාවත්කාලීන නොවූ සමාජ පද්ධතීන් තුළ විවාහ දිවියට ඇතුලු වූ පසු ගැහැණියකගේ පිරිසිදු බව නිර්ණය කරන්නේ ඇඳ ඇතිරිල්ලෙහි වැගිරෙන රක්ත පැහැ රුධිර බිංදුවකිනි.සාම්ප්‍රදානුකූලව විශ්වාස කරන කාන්තාවක්ගේ කන්‍යා පටලය මුල්වරට බිඳී යාම සිදු විය යුත්තේ මධුසමය රාත්රියේදී බවත් ඇය පිරිසිදු ගැහැණියක නම් කන්‍යාපටලය බිඳී රැධිරය වැගිරෙනු ඇති බවත් ය.
නමුත් නූතන වෛද්යවිද්යානුකලව සොයා ගෙන ඇති පරිදි ඇතැම් කාන්තාවන්ගේ සිය උප්පත්තියෙන්ම කන්‍යා පටලය නොපිහිටයි.ප්‍රථම ලිංගික එක් වීමකදී වුවද බිඳී යාමක් සිදු නොවිය හැකි තරම් පහළින් පිහිටයි. මෙවැනි කරුණු පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව මධුසමයේදී රුධිරය පිට නොවීම තුළ කාන්තාවන් ප්‍රතික්ෂේප කිරීමට තරම් පුරුෂයින් සාම්ප්රදානුකූල හණමිටි අදහස් දරයි. ඇයව අපහාසයට අපහසුතාවයට පත් කිරීම කෙතරම් අසාධාරණද?
ස්ත්‍රීවාදයට අනුව මෙවැනි සමාජ අසාධාරණකම් හමුවේ ඇයට සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටීමට හැකිද යන්න උභතෝකෝටිකයකි. මන්ද පුරුෂාධිපත්‍ය හා සබැඳි පසුබිමක නිර්මාණය වී ඇති සමාජය තුළ ස්ත්රියව යටපත් කර ඇති නිසාවෙනි. තවද මෙහි ඛේදනීය තත්ත්වය නම් මෙවැනි අවස්ථාවන්හීදී කාන්තා ශරීරය පිළිබඳ හොදින් දන්නා කාන්තාවන් පවා කාන්තාවට විරුද්ධව නැගී සිටිමයිග මෙලෙස පිරිසිදුභාවය නිර්ණය කරන්නේද ස්ත්‍රියගේ පමණි. පුරුෂයා විවාහයට පෙර කාන්තාවන් සමඟ ලිංගික සබඳතා පැවැත්වුවද එය සංස්කෘතියට ගැටලුවක් නොවේ.
සුලබව දැකිය නොහැකි කාන්තා අයිතිවාසිකම් කඩවීම්ද විවාහයේදී උපචය වේ. විවාහ දිවියට එළඹියද ස්වාමිපුරුෂයා බිරිඳ සමඟ කල් නොකර තම මව සමඟ කාලය ගත කිරීමට ඇතැම් ස්වාමිපුරුෂයන් පෙළඹේ. එහිදී ඔවුන් නිදා ගන්නා නිදි යහන පවා මව සමඟ බෙදා ගනියි. තීරණ ගැනීමේදී පවා මව සම්බන්ධ කර ගනියි. වෙනතකට එය ඔවුන්ගේ පවුල් ජීවිතයට බාහිර පාර්ශවයන්ගේ මැදිහත්වීමකි. එහිදී කාන්තාවකට විවාහයේදී ඇයගේ නෛතික සහකරුගේ කිසිවකට මැදිහත්කරණයක් දැක්වීමට ස්වාමිපුරුෂයාගේ දෙමව්පියන් සහෝදරියන් ඇතුළු බාහිර පාර්ශවයන් ඉඩ නොතැබීම ඇයගේ විවාහය තුළ වන අයිතිවාසිකම් අහුරා දැමීමකි. මෙවැනි අසාමාන්‍ය වූ චර්යාවන්ට සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව මෙවැනි චර්යාවන්ට බලපා ඇති හේතුව වනුයේ නිසි ලෙස මනෝ ලිංගික සංවර්ධන අවධීන් තුළින් අවරෝධනය නොවීමයි.
විවාහක ස්වාමිපුරුෂයන් අසභ්‍ය වීඩියෝපට නැරඹීමට හා ස්වයං වින්දනයේ යෙදීමටත් වූ ධූර්තයන් වර්තමානයේදී ඉතා සුලබව දැක ගත හැකිය. කාර්යබහුල ජීවන රටාවකට හුරු වී ඇති පුද්ගලයින් තමන්ගේ විවේක කාලය ගෙවා දැමීමට නොයෙකුත් දේ සඳහා යොමු වී ඇති අතර ඇතැමුන් එහිදී අසභ්‍ය වීඩියෝ, නිල් චිත්‍රපටි නැරඹීමට නැඹුරුවක් දක්වයි. විවාහ වුවද බොහෝ පුරුෂ පාර්ශවය ආශ්‍රිතව මෙම චර්යාත්මක රටාව දැක ගත හැකිය. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ ශාරීරික වශයෙන් සිදු කෙරෙන කායික ලිංගික එක් වීමකට වඩා අසැඹි වීඩියෝ නරඹමින් තෘප්තියක් ලබා ගැනීමට ඔවුන් හුරු වීම සහ ස්වයං වින්දනය ලබමින් තම මනෝලෝකය තුළ ජීවත් වීමය. ඒ අනුව තම බිරිඳව ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරයි. කාන්තාවක් වුවද විවාහයට යොමු වන්නේ සිය නෛතිකවම ලැබුණු ලිංගිකත්වය නිසි පරිදි භුක්ති විඳීමට වුවද මෙවැනි අවස්ථාවන්හිදී ඇයගේ එම ලිංගික අයිතිය අවභාවිත කිරීමක් සිදුවේ.
තවද අතීතයේ එතරම් සාකච්ඡාවට ලක් නොවුණද වත්මන් සමාජීය තත්ත්වයන් තුළ විවාහක දූෂණය සුලබ වෙමින් පවතින මාතෘකාවකි. විශේෂයෙන් මෙය සුලබව කතා බහට ලක් වන්නේ කාන්තා පාර්ශවයට අවාසිදායක තත්ත්වයක් උදා කරලමිනි. එහිදී කාන්තාවගේ කිසිදු කැමැත්තක් අනුදැනුමක් පෙළඹවීමක් නොමැතිව ඇයව අපයෝජනය කිරීම, දූෂණය කිරීම මෙහිදී සිදු වේ. කාන්තා පුරුෂ කිසිදු භේදයකින් තොරව මෙලොව වෙසෙන ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරය ස්පර්ශ කිරීමට හෝ ඔවුන්ගේ අනුබලයක් කැමැත්තක් තිබිය යුතුය. එසේ නොමැතිව විවාහ වූ පමණින් නෛතික බැඳීමක අයිතිය හිමි වූ පමණින් පුරුෂයෙක්ට සිය බිරිඳට හෝ බලහත්කාරකම් කිරීම, ලිංගික ක්‍රියා වල නිරත වීම සිදු කළ නොහැකිය. එය වෛවාහක දූෂණයකි. එහිදී කිසිදු අයිතියක් නීතිමය වශයෙන් පුරුෂයන්ට හිමි නොවේ. කාන්තාවන්ට සිය ශරීරය, ලිංගිකත්වය පිළිබඳව තීරණ ගැනීමට පූර්ණ අයිතියක් ඇති අතර විවාහක දූෂණය මඟින් එම අයිතිය කඩ කිරීමක් සිදු වේ.
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණඩත්වය වැලැක්වීමේ පනතට අනුව ගෘහස්ථ ප්රචණඩත්වය යනු ලිංගික හිංසනය, සූරාකෑම, ශාරීරික වදහිංසාව, පහරදීම්, සාපරාධී බලය භාවිත කිරීම්, ව්යාභිචාරයන්, බලහත්කාරකම්, ගබ්සා කිරීම්, අනීතිකව රඳවා සිටීම් වැනි ක්‍රියාවන් ය. කෙසේ වෙතත් ගෘහස්ථ හිංසනයේ මූලිකම වින්දිතයා වන්නේ බොහෝ අවස්ථාවන්හිදී කාන්තාවන් ය. මෙම ගෘහස්ථ ප්රචණඩත්වය වටා බැඳුණු අපකීර්තිය, අවමානය නිසා කාන්තාවන් හුදෙක් සිය නිවස තුළට පමණක් සීමා කර ගනී. කාලාන්තරයක් මුළුල්ලේම තමා අත් විඳින ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් නිසා කාන්තාවන් සිය විවාහ දිවිය කණගාටුවෙන් පසුවේ.

එමෙන්ම නීත්‍යානුකූලව ලිංගිකව එක්වීම තුළින් සජාතීය දරුවන් බිහි කිරීමේ අයිතිය සැමියා බිරිඳ යන දෙපාර්ශවයටම විවාහය තුළින් ලැබේ. නමුත් එම දරුවන් බිහි කරන ක්‍රමවේදය, දරුවන් අතර පරතරය ආදීය පිළිබඳව තීරණ ගැනීමට පූර්ණ වූ අයිතියක් පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ටද ලැබිය යුතුය. මන්ද කාන්තාවක් දරුවෙකු නවමසක් මුළුල්ලේම කුසේ හොවා ගනිමින් මහත් අපහසුතා මධ්‍යයේ වුවද දරුවෙකු බිහි කරන නිසාවෙනි. කවර ක්‍රමයකට දරුවා බිහි කළද ඒ වේදනාව විඳිනුයේ කාන්තාව යි. එසේ නම් ඇයට ඒ පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය කිසිදු බාධාවකින් තොරව ලබා දිය යුතුය. නමුත් ඇතැම් පුරුෂයන් මෙන්ම නැන්දම්මා, ස්වාමිපුරුෂයාගේ සහෝදරියන් හා පවුලේ බවලත් උදවිය වැනි බාහිර පාර්ශවයන්ද කාන්තාවට දරුවන් පිළිබඳව තීරණ ගැනීමට ඉදිරිපත් වේ. දරුවෙකු බිහි කිරීමට කාන්තාවක් ශාරීරිකව මෙන්ම විශේෂයෙන් මානසිකවද සූදානම් විය යුතුය. එසේ නොවන කල්හි දරුවාට මෙන්ම කාන්තාවටද එහි අහිතකර බලපෑම් වලට මුහුණ දීමට සිදු වේ. තවතකට සිය ශරීරය පිළිබඳව අයිතියක් ගැනීමට කාන්තාවකට ඇති අයිතිය මූලික මානව අයිතිවාසිකමකි. ඇතැම් අවස්ථාවන්හිදී පුරුෂයන් සිය බිරිඳට යම් යම් හේතු පාදක කරගනිමින් ගබ්සා කිරීම් සඳහාද බලපෑම් කරයි. එසේ නම් මෙහිදී කාන්තා අයිතිවාසිකම් ඍජුවම කඩවීමක් දැක ගත හැකිය.
වර්තමානය වන විට අතීත සමාජයට සාපේක්ෂව මෙම කාන්තා අයිතීන්හි උල්ලංඝනය වීම් තුළ කාන්තාවන් හුදෙක් වින්දිතයන් ලෙස හඬක් නොනැගීම පසෙකලා තම අයිතීන් වෙනුවෙන් නැගී සිටීම දැකිය හැකි ප්රවණතාවකි. නමුත් මෙහිදී විශේෂයෙන් ඒ සඳහා ඔවුන්ට සහය වීමට යම් පාර්ශවයන් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. එහිදී ඇතැම් අවස්ථාවන්හිදී නීතිය සුරකිනු වස් ගොඩනැගි රාජ්‍ය ආයතන පවා සිදු කරනුයේ වින්දිත පාර්ශවය තවදුරටත් මානසිකව අපහසුතාවයන්ට පත් කරලීමයි. මෙවැනි කරුණු අනුව සිය වෛවාහක දිවිය තුළ කාන්තා අයිතිවාසිකම් නිසි පරිදි දිනා ගැනීමට නොහැකි වූ කාන්තාවන් වෙනුවෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම පරම්පරාව, නම්බුව වැනි පුහු සංකල්ප පසෙකලා එවැනි කාන්තාවන් වෙනුවෙන් සිය පවුලේ අය පවා එක්ව සිටිය යුතුය. තවද උක්ත කරුණු අනුව සනාථ වූ තවත් කරුණක් වූයේ පුරුෂාධිපත්‍ය නූතන ශ්‍රී ලාංකික පවුල් ක්‍රමය තුළ මුල් බැස ගෙන පවතින බවත් එය විවාහය තුළ කාන්තාවන්ට මහත් පීඩනයක් ගෙන දෙන්නක් බවත් ඒ හරහා දික්කසාදයන් සිදු විය හැකි බවත්ය.
එච්. එම්. එන්. දේශානි හේරත්,
සහකාර කතිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය