විෂ ඝෝර සර්පයන් අල්ලන මෙලුෂා

author
0 minutes, 0 seconds Read

විෂ ඝෝර සර්පයා අතනෑරු මෝඩයා කියන අපේ ජනවහර පරිසරවේදීන් අනුමත කරන්නේ නැහැ. සර්පයන් කියන්නෙත් අපි ජීවත්වෙන පරිසරයේම කොටස් කාරයෝ. නමුත් ඔබ මේ විදිහට තර්කයක් නගනු ඇත. කිරි දරුවන් සමග නිවසක ජීවත්වෙන විට සර්පයෙක් ආවොත් ඒ සර්පයාට කිරි පොවන්න කියනවාද…? සැබැවින්ම ඔබ සර්පයාට කිරි දෙන්න අවශ්‍ය නැති වුනත් සර්පයා මරන්න ඔබට අයිතියක් නැහැ. නමුත් ඔබේ ආරක්ෂාව සඳහා සර්පයාට ජීවත් වීමට හිතකර පරිසරයකට මුදා හරින්න පුළුවන්. නමුත් ඒ අවදානම් කටයුත්ත කරන්නේ කවුද..? එතැනට පිළිතුරක් සපයන ඇය මෙලුෂා පද්මිකා..

සර්පයන්ටත් ජීවත් වීමට අයිතියක් ඇත. යන සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන මෙලුෂා බත්තරමුල්ල පදිංචිකාරිනියක්. අද වෙන විට සර්පයන් ඇල්ලීම ගැන උනන්දුවක් දක්වන අය විවිධ පළාත්වල සිටිනවා.

ඒ අන්දමින් සර්පයන් අල්ලන අය සිටියත් කාන්තාවක් විදිහට ඔබ මෙවැනි අවදානම් කටයුත්තක් වෙනුවෙන් යොමු වුනේ කොහොමද?

මම පුංචි කාලයේ ඉඳලම සතුන්ට ආදරෙයි. ඒ නිසා පාසල් අධ්‍යාපනය අවසනයේ මම දෙහිවල තරුණ සත්වවේදින්ගේ සංගමයට සම්බන්ධ වුණා. මේ විදිහට සතුන් සමග සමීපව සම්බන්ධව සිටි මම දැන් අවුරුදු 8 ක පමණ කාලයක් ගෙවල්වලට එන සර්පයන් අල්ලා ගෙන මුදා හරින කටයුත්ත කරනවා.

නිවසකට සර්පයෙක් ආ විට ඔබ දැනුවත් කිරීම
යම් නිවසකට හෝ වත්තකට සර්පයෙක් ආවොත් මුලින්ම මට ඒ සර්පයාගේ ඡායාරූපයක් එවන්න. දැන් මගේ දුරකථන අංකය ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා වට්ස්ඇප් හරහා සර්පයාගේ පැහැදිලි ඡායාරූපයක් මට එව්වාම ඒ සර්පයා විෂ සහිතද…නිර්විෂද යන යන බව මට කියන්න පුළුවනි. හදිසියේවත් වට්ස්ඇප් පණිවිඩය මට මග හැරුනොත් මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න පුළුවනි.

ඔබ ඒ අයට ලබා දෙන දැනුවත් කිරීම
මට යා හැකි දුරක නම් මම හැකි ඉක්මනින් එතැනට යනවා. මට ඒ ගමන යා නොහැකි තරම් දුරක නම් අදාල ස්ථානයට සමීපව සිටින සර්පයන් ඇල්ලීමේ කටයුතුවල නිරත කෙනෙකුට මම ඒ බව දන්වනවා. ඒ වගේම මම එතැනට යන තෙක් සර්පයා සිටින ස්ථානය ගැන අවධානයෙන් සිටින විදිහට පණිවිඩය දුන් අය දැණුවත් කරනවා.

සර්පයා ඇල්ලීමේ අවදානම ඔබ අතේ
ඔව් නමුත් මට ඒ වගේ බියක් කිසිම විටෙක දැනෙන්නේ නැහැ. 2021 වසරේ නයෙක් මාව දෂ්ට කළා. දත් පහර දෙකක් වැදී තිබුණා. නමුත් මම නයා අල්ලාගෙන මම තනි අතින් වාහනයත් එලවා ගෙන ගියා. මේ සිදුවීමෙන් පසුව මගේ සැමියා සර්පයන් ඇල්ලීම ගැන කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. නමුත් දැන් මේ කාර්යය මගේ ජීවිතයේම කොටසක් තරමටම සම්බන්ධයි. ඒ නිසා මම නැවතත් 2022 වසරේ පටන් සර්පයන් ඇල්ලී්ීමේ කටයුතු පටන් ගත්තා.

ඔබ අල්ලන සර්පයන්
මම අල්ලන අල්ලන සර්පයා අත හරින්න බැහැ. ඒ නිසා සර්පයන් නිවසට රැගෙන ගොස් සතියක් පමණ රඳවා තබා ගෙන එතැනින් පසුව අභයභුමි වෙත නිදහස් කරනවා. සර්පයා අසනීප තත්වයෙන් පසු වුනොත් අත්තිඩිය වනජීවි එකට බාර දීලා බෙහෙත් කරනවා. අත්තිඩිය අභයභුමියකට භාර දෙන විටත් සියලු විස්තර සහිතව භාර දීමක් සිදු වෙනවා. සර්පයෙක් අල්ලා ගත් තැන පටන් නැවතත් ඒ සර්පයාට ජීවත්වීමට හිතකර පරිසරයක් නිර්මාණය කර දීම යුතුකමක්.
බොහෝ දෙනා තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සර්පයන් මරනවා. එහෙම නැත්නම් වෙනත් තැනකට ගෙන ගොස් අත හරිනවා. මේ විදිහට තැන තැන අතහරින සර්පයන් නැවතත් නිවෙස් වලට හෝ වතුපිටි වලට එනවා. විශේෂයෙන් නියං කාලයට සතුන් වතුර සහ සීතල සොයා ගෙන එනවා.වැසි කාලයට ගං වතුර සමග වතුපිටිවලට ඇදෙනවා. ඒ නිසා ප්‍රවේසමෙන් සිටීම වැදගත්.

සර්පයෙක් දුුටවොත් ඒ බැව් සර්පයන් අල්ලන කෙනෙකුට දැනුම් දීම වැදගත්. මේ වගේ අවස්ථාවක මම මුදල් පසු පස හඹා යන්නේ නැහැ. මගේ ඉන්ධන මුදල පියවා ගැනීමට ලැබුනොත් ඇති. ඇත්තෙන්ම කියනවා නම් සර්පයෙක් නිවසට පැමිණීම වගේ සිදුවීමක් වුනොත් ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න හැකියාවක් නැහැ. මෙවැනි අවස්ථාවක් වුනොත් මුහුණ දෙන්න වෙන් කර ගත් මුදල් කා ළගවත් නැහැ. ඒ නිසා මට යා හැකි දුරක වුනොත් එතැනට ගිහින් අදාල අයට සේවයක් ලබා දීම මගේ වගකීමක් වගේම යුතුකමක් විදිහට මම සලකනවා.ඒ හැර මෙතැන ව්‍යාපාරික අරමුණක් මට නැහැ.
සර්පයන් එලවන්න භුමිතෙල්, පැට්රල් තිනර් වැනි දේවල් ඇගට වත් කරන්න එපා. නිතරම තමන්ගේ වත්තේ වටපිටාව පිරිසිදුව තබා ගැනීම වගේම ඒ පරිසරයේ ජීවත් වෙන සර්පයන් ගැනත් දැණුවත්ව සිටීමත් වැදගත්.

මිථ්‍යා මත නිසා සර්පයන් සිරකරුවන් බවට පත් වීම
අපේ ජනසමාජයේ බොහෝ සෙයින් මුල් බැස ගත් මිථ්‍යාවන් තිබෙනවා. ඒ නිසා නාගයන් වැනි සතුන් සිරකර ගෙන තබා ගැනීම සිදු වෙනවා. පුද පුජා විධි සඳහා සතුන් යොදා ගන්නවා. එවැනි කටයුතු වෙනුවෙන් සර්පයන් යොදා ගැනීම වැරදියි. අපි වගේම සර්පයන්ටත් ඔවුන්ගේ ගති පුරුදු පවත්වාගෙන ජීවත්විය හැකි පරිසරයක ඔවුන්ට ජීවත් වීමට අවසරය තිබීම අවශ්‍ය බව අවධාරණයෙන්ම සඳහන් කරන්න ඕන.

ඔබේ වත්තටත් සර්පයෙක් ආවොත් 0777685135 දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් මෙලුෂාගේ සේවාව ලබා ගන්න පුළුවන්.

සටහන – සිල්වා , සී

Similar Posts