චූටි චූටි හිල්
හැංගිලා ඉන්නයි
රිංගලා යන්නයි….
චූටි චූටි හිල්
නීතියේ හිල් හිල්
අධිකරණෙ හිල් හිල්
අධ්‍යාපනේ හිල්
චූටි චූටි හිල්…..
වර්තමාන වේදිකා නාට්‍ය ගීත අතර ජනප්‍රිය ගීතයක් වන මේ ගීතය වේදිකා නාට්‍යයන්ට ආදරය කරන රසිකයන්ට නම් ආගන්තුක නොවන්නක්.ඒ වගේම TV දෙරණ නාලිකාවේ ඔබත් මමත් ඇයත් කතාවේ “අර්ජුන්”, සදහටම ඔබ මගේ කතාවේ “චිරාත්”, Funky Monkey කාටූනයේ “වඳුරා” Ben 10 කාටූනයේ “කොටි හපුවා” ගේ කටහඬ වලට ප්‍රේක්ෂක ඔබ ආදරය කරන්නට ඇති. අරගල භූමියේදී ඔබ අපූරු රබන් පද ටිකක් අසන්නට ඇති.අද මම කතාබහට ආරාධනා කළේ මේ සියලු නිර්මාණයන්හි අපූරු නිර්මාණකරුවාට. ඔහු නමින් ඉශාර ප්‍රමුදිත වික්‍රමසිංහ යි.

01.කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
මේ දවස් වල වේදිකා නාට්‍ය එක්ක කාර්යයබහුලයි. උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි,හරිම බඩු තුනක්,තුන්සිය හැට එක,පෙම් යුවළක් ඕනෑකර තිබේ, ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා,අන්දරේලා,ගුරුතරුව ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ නාට්‍ය වල රංගනයෙන් දායකත්වය දක්වනවා. ඒ වගේම සුජීව ප්‍රියාල්ගේ සූකිරි බටිල්ලෝ නාට්‍යට ආරාධනා ලැබිලා තියෙනවා වගේම අලුත් නාට්‍ය කිහිපයක පුහුණුවීම් සිදු කරනවා.

02. වේදිකාවට වූ ආගමනය ගැන සඳහන් කළොත් ?
1999 දී මම කොලඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා.එහිදී මගේ සවුන්දර්‍ය විෂයේ ගුරුතුමිය වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලිනී ජයකොඩි මහත්මියයි.ඇය දවසක් කාලගෝල නාට්‍යයේ ‘ආලේ බැන්ද මාගේ රම්‍යවන් ගීතය උගන්වලා එය රග දක්වන්න පන්තියට ආරාධනා කරනවා.එදා මගේ රග දැක්වීමෙන් ඇය මාව ජයලත් මනෝරත්නයන්ට හදුන්වා දෙනවා.ඒ දවස් වල ‘තලමල පිපිලා’ නාට්‍යයේ ‘හේතු’ කියන චරිතයට කොලු ගැටයෙක් හොයමින් හිටපු කාලයක්.තලමල පිපිලා නිර්මාණය වන්නේ මම ඉපදුනු වසරෙදි,ඉන් වසර එකොළහකට පසුව මට අවස්ථාව ලැබෙනවා ජයලත් මනෝරත්නයන්ගේ මුණුබුරා ලෙස මගේ වේදිකා නාට්‍යය ජීවිතය ආරම්භ කරන්න.
03.”තල මල පිපිලා” නාට්‍ය ඒ අත්දැකීමක කොයි වගේද?
“තලමල පිපිලා” පලවෙනි නාට්‍ය අත්දැකීම ඇත්තටම සුවිශේෂියි.ජයලත් මනෝරත්න, රත්නා ලාලනී ජයකොඩි, සම්පත් තෙන්නකෝන්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලාල් කුලරත්න,වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, ජගත් බෙනරගම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමඟ මට, එකම වේදිකාවේ පුංචි කොල්ලෙකුට රඟපාන්න අවස්ථාව ලැබීම මගේ ජීවිතයේ හොඳ ආරම්භයක් වුණා.සුළු පුහුණුවීම් ප්‍රමාණයකින් අනතුරුව ප්‍රථම ප්‍රදර්ශනය 1999 ඔක්තෝබර් 16 දොම්පෙදි පැවැත්වුණා.එදා මගේ චරිතය ඉතාමත්ම හොඳින් සිදු වුණා.ඒ බව ප්‍රේක්ෂක ප්‍රතිචාර හා ජයලත් මනෝරත්නයන්ගේ ප්‍රශංසා වලින් සපථ වුණා. එහි තිබුණේ “ඉෂාර ප්‍රමුදිත පුතාට දීප්තිමත් අනාගතයක් පතමින් මනෝ” කියලා.එදා තමයි මට නාට්‍ය කලාවට නියත විවරණ ලැබෙන්නේ.1999 සිට අද දක්වා තලමල පිපිලා නාට්‍යයේ කටයුතු කරන ගමන්ම මනෝරත්නයන් ගේ වියෝවෙන් අනතුරුව ‘තලමල පිපිලා’, ‘ගුරුතරුව’, ‘අන්දරේලා’ සහ ඔහුගේ අනිත් නාට්‍යවල අධීක්ෂණ කටයුතු මට බාර වෙලා තියෙනවා. එදා අර පොඩි හේතු අද මනෝරත්නයන්ගේ අනෙක් නාට්‍යවලත් වගකීම බාර අරගෙන ඉදිරියට කටයුතු කරගෙන යනවා.
04. තල මල පිපිලා නාට්‍යයෙන් කියැවෙන අදහස ගැන කතා කළොත්?
මනෝරත්නයන්ගේ බොහෝ නාට්‍ය වලින් කියවෙන්නේ ආදරය හා දේශපාලනය පිළිබඳව.තලමල පිපිලා නාට්‍යයේ කතා කරන්නේ සාම්ප්‍රදායික නාට්‍ය ගුරුවරයෙකුට අත්වන ඛේදවාචකය හා පරම්පරා ගැටුම පිළිබඳව. රන් බණ්ඩා ගුරුන්නාන්සේ නැටුමට ආදරය කරන පුද්ගලයෙක්.තමාගෙන් පසුව එය තම බාල පුතා වන බාල බණ්ඩාරට පවරන්න ඔහු තීරණය කරනවා.නමුත් පුතා නැටුමට වාණිජ වටිනාකමක් පමණක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා.ඒ නිසා ගුරුන්නාන්සේ තම මුණුබුරා වුණු හේතු ට තමාගේ දැනුම ලබා දෙන්න තීරණය කරනවා.නමුත් ඔහුගේ දෙමාපියන්ට අවශ්‍ය වෙනවා තම පුතාව පිටරට යවන්න.මේ ආකාරයට සිදුවන පරම්පරා ගැටුම නිසා සීයා හා මුනුබුරාගේ ඈත්වීම මේ නාට්‍ය තුළින් පෙන්වනවා.වාණිජකරණය වූ ලෝකය තුළ විවෘත ආර්ථිකය සමඟ සාම්ප්‍රදායිකත්වය ට වන බලපෑම මෙයින් සාකච්ඡාවට ලක් කරනවා.
05.ජයලත් මනෝරත්නයන් රඟපෑ චරිතයකට වර්තමානයේ ඔබ ජීවය ලබා දෙනවා. ඒ ගැන ඔබට හිතෙන්නේ මොනවාද?
ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්.උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ තමයි මේ විදිහට මම ජීවයේ ලබාදෙන්නේ.මුලින්ම ප්‍රේක්ෂකයෙක් විදියට මේ නාට්‍යය නරඹලා මම නාට්‍ය අධ්‍යක්ෂකවරයා හා සංගීත අධ්‍යක්ෂවරයා සමග අදහස් හුවමාරු කරගන්නවා. අනතුරුව අවස්ථා කිහිපයකදී ම මම මේ නාට්‍යය නරඹනවා.මනෝරත්නයන්ගේ වියෝවින් අනතුරුව නාට්‍යය නතර වෙනවා.නැවත ප්‍රේක්ෂකයන් ඉල්ලීම් කළත් මනෝරත්නයන්ගේ හිඩැස පුරවන්න කාටවත් හැකියාව ලැබෙන්නේ නැහැ.පසුව උදයසිරි වික්‍රමරත්නගේ නාට්‍ය බලන ප්‍රේක්ෂකයින් ඒ සඳහා මාව යෝජනා කරනවා.මම ඒ අභියෝගය ඉතා සතුටින් භාර ගත්තා.ප්‍රථම ප්‍රදර්ශනය මැයි මාසයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වූවා.එයත් මට විශේෂයක්. මන්ද මනෝරත්නයන්ගේ රංගන ශිල්පයට තිඹිරි ගෙවෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල වීම නිසා.ඒ ස්ථානයේදීම ඔහුගේ චරිතයක් රඟදැක්වීමට ලැබීම මට ඉතාම ගෞරවයක්.විනාඩි පනහකට ආසන්න කාලයක් ප්‍රේක්ෂකාගාරය සමග තනිවම සටනක යෙදීම විශාල අභියෝගයක්.ඒ අභියෝගය සාර්ථකව ජය ගැනීමට මට හැකියාව ලැබිලා තියෙනවා
06. වර්තමානයේ ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳව ඔබට තිබෙන අදහස කොයි වගේද?
අපි අවාසනාවන්ත කාලයක් පසුකරගෙන ආවා.දැන් ඒවා යටපත් වී ගෙන යෑම නිසා ප්‍රේක්ෂකයින් නැවත රඟහල කරා ඇදෙන බවක් බවක් දැකගන්න පුළුවන්.Covid කාලයේදීත් අපි අත්විඳපු දෙයක් තමයි ප්‍රේක්ෂකයන්ට නාට්‍ය කලාව නොමැතිව බැහැ කියන දේ.අද වන විට තරුණ නාට්‍යකරුවන් ඇතුළු විශාල පිරිසක් නාට්‍යය නිර්මාණය කරමින් ලංකාව පුරා ප්‍රදර්ශනය කරනවා.දැකගත හැකි විශේෂත්වය වන්නේ ඒ දර්ශන වාර වල ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සිටීම.පිරුණු ප්‍රේක්ශකාගාරයක් තුළ රගපෑම වේදිකා නාට්‍යකරුවෙකුට විශාල ශක්තියක්.ප්‍රේක්ෂකයන්ගේ වගකීම ප්‍රේක්ෂකයන් ඉටුකරනවා සේම,නාට්‍යකරුවන්ගේ වගකීම නාට්‍යකරුවන් ඉටුකරනවා සේම රජයේ වගකීම ඔවුන් නිසිලෙස ඉටුකරනවාද යන්න ගැටළුවකි. කොලඹ ප්‍රදේශයේ පවා පහසුකම් සහිත නාට්‍ය ශාලාවක් නැහැ.ඒ තත්ත්වය අනෙක් ප්‍රදේශවල දී කොහොමත් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා.නාට්‍ය ශිල්පීන්ට රඟපාන්න වෙලා තිබෙන්නේ පාසල් හෝ කාර්යාල වල රැස්වීම් ශාලාවල.නියමිත ප්‍රමිතියට ඉදිකෙරුණු රඟහලවල් ලංකාවේ බොහොම අඩුයි.පළාතකට එක ගානේ වත් නැති තරම්.ඒ නිසා නාට්‍ය වලට අවශ්‍ය යටිතල පහසුකම් ටික ලැබෙනවා නම් ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය තවත් ඉහළ නැංවීමට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

07. වේදිකාවෙන් පසුව පුංචි තිරයට අවතීර්ණ වෙන්නේ කොහොමද?
2000 වසරේ දී තමයි පුංචි තිරයට එන්නේ. ඒ රත්නා ලාලනී ජයකොඩි මහත්මිය මාව කේ.බී හේරත් මහත්මයාගේ “කුරුළු පාළුව” නම් ඒකාංගික ටෙලි නාට්‍යට.ඉන්පසුව ජාතික රූපවාහිනියේ “සිත නිවන කතා” කතා මාලාවේ නාට්‍ය තුනකට සම්බන්ධ වුණා.ඩී.ජී.සෝමපාල මහත්මයාගේ “සදවතක වර්ණ” වැනි නාට්‍ය කිහිපයකටම පාසල් අවධියේදීම සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා.පාසල් කාලයෙන් පසුව නාලක විතානගේගේ “අල්ලපු ගෙදර” නාට්‍යට සම්බන්ධ වුණා.මෑතකාලිනව “කණාමැදිරියෝ,හාරත හේරා,නාඩි,ස්නැප්,පෝක්වීදිය,International -2,ශක්ති,හිතුවක්කාරි ” වැනි නාට්‍ය ජනප්‍රිය වුණා. මම වේදිකා නාට්‍යක රගපානවා දැකපු කෙනෙක් මට ටෙලි නාට්‍යක රගපාන්න ආරාධනා කරනවා.එක් ටෙලි නාට්‍යයක රගපානවා දැකලා තමයි තවත් ටෙලි නාට්‍යක රගපාන්න ආරාධනා කරන්නේ.එහෙම තමයි ගොඩක් ටෙලි නාට්‍ය වලට අවස්ථාව ලැබිලා තියෙන්නේ.ඉස්සර ටෙලි නාට්‍ය වලින් මට ලොකු සතුටක් ලැබුනේ නැහැ.නමුත් දන් එහි නිරත වීමත් එකම වේදිකාවට වඩා වෙනස්ම හැඩයක් එහි තිබෙනවා කියලා දැනුණු නිසා දැන් එයටත් ආසාවක් දැනෙනවා.ඒ නිසා දැන් ටෙලි නාට්‍ය කටයුතුත් කරගෙන යනවා .
08.රංගනය,හඬ කැවීම,නිවේදනය,ඉගැන්වීම මේ හැම දෙයක්ම Balance කරගන්නේ කොහොමද?
අපිට වැඩ කරන්න ලැබෙන්නේ පොඩි කාලයයි.හෙට මැරෙයිද කියලා දන්නෙ නැහැ.අපේ ශක්තිය තියෙන කාලේ කරන්න පුළුවන් දේවල් කරගන්න ඕනා කියලයි මම විශ්වාස කරන්නේ.සමහරු කියනවා තෝරා බේරාගෙන වැඩ කරන්න ඕනා කියලා .මම හිතන්නේ එහෙම තෝරා බේරාගෙන වැඩ කරන්න කාලයක් හා වැඩ අපිට නැහැ කියලා.ඒ නිසා ලැබෙන දේ හරියට කරන්නයි මම නම් හැමවෙලාවෙම උත්සහ කරන්නේ.මම උසස් පෙළ කරන්නේ ජිව විද්‍යාවෙන්.විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ ආයුර්වේද හා කෘශිකර්මය හදාරන්න.නමුත් මම තීරණය කරනවා එය හදාරන්නෙ නැතුව නාට්‍ය හා රංග කලාව උපාධියක් හදාරන්න. මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ උපාධිය ලබාගෙන අවුරුදු දෙකක් සහය කථිකාචාර්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා.එහිදී මට තේරෙනවා විශ්වවිද්‍යාලය තුළ හිරවෙලා ඉන්නකොට නාට්‍යකරුවා කියන චරිතය මගෙන් මගහැරෙනවා කියලා.ස්ථිරව කථිකාචාර්ය ධූරයේ ඉන්නවට වඩා එය බාහිරව සිදුකරන්න මම හිතනවා. මම රංගනය සිදුකරන ගමන් බාහිර කථිකාචාර්යවරයකු ලෙස තමයි දැන් කටයුතු කරන්නේ.මාව Freelancer Artist කෙනෙක් ලෙස හදුන්වන්න මම කැමතියි.හඬ කැවීම් කටයුතුත් එක්ක බොහෝ කාර්යයබහුලයි.මේ හැමදෙයක්ම මම ඉතා සතුටින් සිදුකරන්නේ.Time Management එක තියෙනවා නම් අපිට හැම දෙයක්ම Balance කරන්න පුලුවන්.

09. තරුණ කලාකරුවෙක් ලෙස නාට්‍ය කලාවට පැමිණෙන නවකයින්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
කෙටියෙන්ම කියනවා නම් කැපවීම හා නොනැවතී ඉදිරියටම යන්න කියලා තමයි කියන්න්නේ.අපිට පෙනෙනවා ඉදිරි පරම්පරාවේ අය බොහෝ කැපවීමකින් යුතුව වැඩ කරනවා. දුර පළාත් වල ඉදන් කොලඹ ඇවිල්ලා හරියට කෑමක් බීමක් නින්දක් නැතිව ලොකු කට්ටක් කනවා.ඒක තමයි එයාලගේ සාර්ථකත්වයේ රහස වෙන්නෙත්.රංගනය න්‍යායාත්මකව අධ්‍යනය කරන ගමන්ම ප්‍රායෝගිකව ක්ශේත්‍රයේ නියැලීම තමයි මම හිතන්නේ ඵලදායි වන්නේ.එවිට තමන්ගේ Capacity එක තමන්ටම වැඩිකර ගන්න පුලුවන්.නාට්‍ය බලමින් අධ්‍යනය කරමින් ක්ශේත්‍රයට ආදරය කරමින් ක්ශේත්‍රයට ආරාධනා ආදරය කරමින් වැඩි බරක් මේ සදහා ලබා දුන්නොත් මම හිතන්නේ නැහැ නවකයින්ට කවදාවත්ම වරදීවී කියලා.
10.ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?
ටෙලි නාට්‍යක මූලික රූගත කිරීම අවසන් කරලා තියෙනවා.එය ඉදිරියේදී රූගත වීමට නියමිතයි.ඒවගේම අකිල සපුමල්ගේ “උඩ කොල්ලයි යට කෙල්ලයි” හා “ෆැන්ටසි ලව්” වේදිකා නාට්‍ය වල පුහුණුවීම් සිදුකරනවා. “නන්නානේ නා” නාට්‍ය ගීත සංදර්ශනය රොඩ්නි වර්ණකුල හා එරන්දි හෙෂානිත් එක්ක කරනවා.ලබන අවුරුද්දේ “ගරු කටානායකතුමනි” නාට්‍ය සදහා ඕමානයට යන්න ආරාධනා ලැබිලා තියෙනවා.
සංවාදය
පෙවින්ද්‍යා රශ්මි.