සම්බුදු හිමිගේ – සදහම් සිසිලෙන්
සැනසෙන අප සිරිලක් දරුවෝ//
දහම් පාසලේ- සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දරුවෝ//
දහම් පාසලක් යනු දහම් අධ්‍යාපනය තුළින් පුද්ගලයාට සමාජය පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙන්ම පුද්ගලයාගේ විනය හා ශික්ෂණය වර්ධනය කිරීම සිය මූලික පරමාර්ථය බවට පත් කර ගත් අධ්‍යාපන ආයතනයකි.සරලවම කිවහොත් ගුණවත් නැණවත් දරුවෙකු සමාජ ගත කිරීම දහම් පාසල තුළින් මූලිකවම සිදු කරයි. ගල්කිස්සේ ශ්‍රි සුගතධර්මායතනය තුළ පවත්වා ගෙන යනු ලබන ශ්‍රි විමලසිරි දහම් පාසල යනු එවන් ශ්‍රේෂ්ඨ දහම් පාසලකි.මන්දයත් එම දහම් පාසල සතුව දශක පහක විශිෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියයි. පනස් වසරක සිය ස්වර්ණ ජයන්තිය සමරන ශ්‍රි විමලසිරි දහම් පාසලේ ඵෙතිහාසික ගමන් මඟ දෙස එබී බැලීමට Colombo Journal අප අදහස් කළේ එබැවිනි. ඒ වෙනුවෙන් අද අප ශ්‍රි සුගතධර්මාරාමයේ විහාරාධිකාරි හා ශ්‍රි විමලසිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති මොරකැටියාරේ සුමනන්ද නායක ස්වාමින් වහන්සේ වෙත අප හා සිය අතීතාවර්ජිත මතකය බෙදා හදා ගනු වස් ගෞරව පූර්වකව ආරාධනය කළෙමු. ඒ අනුව, ශ්‍රි විමලසිරි අභිමන් පළමු කතිකාවත ලෙස පාඨක ඔබ වෙත ගෙන එන්නේ එයයි.
අවසරයි අපේ හාමුදුරුවනේ, ශ්‍රි විමලසිරි දහම් පාසලට දශක පහක්.ඔබ වහන්සේගේ ශාසන දිවියටත් දශක පහයි. ඉතින් මේ ගමන් මඟ කොහොමද?
2024 නොවැම්බර් 17 වන දිනයට ගල්කිස්සේ ශ්‍රි විමලසිරි දහම් පාසලට වසර පනහක්. ඒ වගේම මාගේ පැවිදි දිවියටත් වසර පනහක්. ඒ මතකය ස්මරණය කිරීමේදි කිව හැක්කේ ඒ අතීතය සුන්දරයි. එදා දහම් පාසල ආරම්භයේදී ළමයි 17 යි හිටියේ.පන්ති 4 යි තිබුණේ.විශේෂත්වය එකල 1,2,3 පන්තිවල දරුවන් පැදුරේ ඉගෙන ගෙන තමයි ඉගෙන ගත්තේ.ඒ කාලේ අපි දරු දැරියන්ට අපේ දහම් පාසලේ අනාගතය ගොඩ නැගීම සම්බන්ධව දරුවන්ට අවබෝධයක් ලබා දුන්නා.ඒ අනුව, ඉදිරියේදී ඩෙස්, බංකු ලබා දෙන බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. මේ දහම් පාසල කියන්නේ උගතුන් බිහි කල තෝතැන්නක්. එකල නායක හාමුදුරුවන් වහන්සේ විහාරාධිපති අධිකරණ සංඝනායක දොඩම්පහන අමරවංශ හාමුදුරුවෝ. උන්වහන්සේගේ උපදෙස් මත 1974 දී මේ දහම් පාසල ආරම්භ කළේ ලෝක ප්‍රකට උගත් වියත් හාමුදුරුනමක් වූ කොටපොළ අමරකීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ ඉගෙන ගත්තේ මේ පන්සල ඇසුරේ.ඒ වගේම උන්වහන්සේ මේ දහම් පාසලට විශාල සේවයක් කළා. සුබ නිමිති බලලා ආරම්භ කළ මේ දහම් පාසල වසර 50 ක් පුරාවට දැයේ දරුවන්ට විශාල සේවයක් සිදු කළා.
දහම් පාසලට වසර 50 ක්. ඒ වාගේම ඔබ වහන්සේගේ ශාසන ජීවිතයට වසර 50 ක්. එය විශේෂයි.අපි ඒ ගැන කතා කරමු.
මම මේ පන්සලට නතර වෙන්නම ආවේ 1983. ඒ උසස් පෙළ කරන්න. ඊට පෙරත් මං මේ පන්සලට ඇවිත් යනවා.ඒ කාලේ මේ පන්සල් භූමිය පර්චස් 16 ක් වගේ ඉතා කුඩා බිම් කඩක්. වර්තමානයේ එය පර්චස් 35 ක්.ඒ පුංචි බ්ම් කඩේ හැම තැනම පන්ති තිබුණා. ඒ පන්ති වලට ලාලු ගහ යට පන්තිය, විහාර ගේ පන්තිය, ධර්මශාලාවේ පන්තිය වගේ අපූරු නම් තිබුණා.මේ විදියට තමයි මේ දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු වුණේ. සමනළ ළමා සමුළුව පෙරහැරක් ආරම්භ කළා. මං කලාවට බොහෝම කැමතියි. මේක ලස්සන ළමා මල් පෙරහැරක්. මේ පෙරහැර උත්කර්ශවත් අන්දමින් කරන්න අපි විශාල වශයෙන් කැප වුණා.විශේෂයෙන් නායක හාමුදුරුවෝ, කොටපොළ අමරකිත්ති හාමුදුරුවෝ,අගලකඩ හාමුදුරුවෝ මෙහිදී විශාල සේවයක් කළා. මෙම දහම් පාසලේ දරුවන් විශ්ව විද්‍යාලයේ ගිහින් උපාධි හදාරාලා අද හොඳ තැන්වල ජීවත් වෙනවා. වර්තමානයේ පෙර පාසල්, සංගීත පන්ති, විවිධ නැටුම් ගැයුම් මෙම දහම් පාසල ආශ්‍රිතව දකින්න පුළුවන්. එසේම අද වන විට වැළලී යන සම්ප්‍රදායන් වන දහ අට සන්නිය වැනි සංස්කෘතික අංග ආරක්ෂා කිරීමටත්, තොරණ වැනි සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටත් අපි කැප වීමෙන් කටයුතු කරනවා.
ගමයි පන්සලයි අතර තියෙන්නේ මහ අපූරු බැඳීමක්. නාගරිකරණයත් සමඟ මේ බැඳම මේ වන විට දුරස්ථ වෙලා. නමුත් ඔබ වහන්සේ මේ බැඳීම ආයෙමත් ඇති කළා. කොරෝනා උවදුර සමයේ මෙය විශේෂයෙන් දැක ගත හැකි වුණා.එකල සියලුම දායක පන්සල් වලට ආහාර පාන ලබා දුන්නා. ජනතාවගේ රසඥතාව වර්ධනයට විශේෂ වැඩසටහන් කළා.අපි ඒ ගැන කතා කරමු.
ඒ ගැන මට තියෙන්නේ සියුම් නිහතමානි ආඩම්බරයක්. වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි කියන සංකල්පය ව්‍යාප්ත කිරීමට අපි කැප වුණා. රත්මලාන ප්‍රදේශයේ පන්සල් 60 ක් පමණ පිහිටා තියෙනවා. අපේ පන්සල මේ ප්‍රදේශයේ පුංචි පන්සලක්. අපිට වාගේම අපි ගමටත් සේවයක් කරන්න ඕනේ කියන අරමුණින් කටයුතු කළා. ඒ කාලේ හැමෝම අසරණයි. අපි ගමට ගිහින් ජනතාවට වියළි ආහාර බෙදුවා. කලාකරුවන් පන්සලට කැඳවලා වියළි ආහාර පාර්සල් බෙදලා දුන්නා.භික්ෂුවක් හැටියට අපි දායකයින්ට දෙයක් කරන්න ඕනේ.මොකද අපිට සිව්පසයෙන් උපස්ථාන කරන දායක දායිකාවන් අසරණ වුණු මොහොතක අපිත් ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න ඕනි යන පරමාර්ථයෙන් අපි මෙය සිදු කළේ.ඇත්තටම අපි එයින් විශාල තෘප්තියක් ලැබුවා.
ඔබ වහන්සේ ලේඛකයෙක් ඒ වාගේම ගීත නිබන්ධකයෙක්. මේ කලාකාමී හැකියාවන් දරුවන්ගේ කලා කුසලතා වර්ධනයට ඉවහල් වුණේ කොහොමද? ඒ හැකියාව ගමට සේවයක් වුණේ කොහොමද?
මේ දහම් පාසල අපේ කලා කුසලතාවයන් වර්ධනය කිරීමටත් පන්නරයක් වුණා. විශේෂයෙන්ම මේ දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කළේ සම්භාවනීය ගුරු මණ්ඩලයක්.මගේ ගුරු දේවයන් වහන්සේ ඒ වාගේම කොටපොළ අමරකීර්ති ස්වාමීන් වහන්සේ, අකලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ මේ කර්තව්‍ය පිටුපස විශාල ශක්තියක් ලබා දුන්නා.වර්තමානය වන විට ගම තුළින් ගිලිහී යන දේ නැවත දකින්න ජනතාව විශාල වශයෙන් කැමැත්තක් දක්වනවා.කොහොඹා කංකාරිය වැනි ශාන්ති කර්ම ප්‍රතිනිර්මාණය කිරීමෙන් මිනිසුන් තුළ විශාල පිබිදීමක් ඇති කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා.ඒ වගේම මම දහම් පාසලේ දරුවන් එකතු කරගෙන කැසට් පට නිර්මාණය කළා.එහි බැති ගී දහසයක් ඇතුළත් වෙනවා.එම ගීත වලට විෂුවල් පවා මෙම පන්සල ආශ්‍රිතව නිර්මාණය කළා.පරිසරය,අම්මා,පැවිදි පුතෙක් වැනි මාතෘකා පාදක කරගෙන මම ගීත කීපයක් නිර්මාණය කළා.අතීතයේ තිබී වර්තමානය වන විට නැති වූ පරිසර සෞන්දර්ය ඒ වගේම අපේ රටේ වටිනාකම මේ ගීත වලට පසුබිම් කර ගෙන තියෙනවා.
අතීතයේ මෙම දහම් පාසලෙන් බිහි වූ ශිෂ්‍ය ශිෂ්‍යවන් සංඛ්‍යාව අතිමහත්. ඉතින් මේ දහම් පාසලේ අනාගතය කෙබඳුද? අපි ඒ ගැන කතා කරමු.
මේ දහම් පාසලෙන් අධ්‍යාපනය ලැබූ දරු දැරියන් රැසක් අද ලෝකයේ වගේම ලංකාවේත් ඉතා හොඳ තැන්වල ජීවත් වෙනවා. ඇමරිකාවේ ජීවත්වන පිළිකා සම්බන්ධ මහාචාර්ය වෛද්‍ය රසික වික්‍රමසිංහ, වකගඩු සම්බන්ධ මහාචාර්ය එරංග විජේවික්‍රම වැනි වියතුන්, ව්‍යාපාරිකයන්,පත්‍ර කලාවේදීන් මෙම දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ දරුවන් අතර ඉන්නවා. ඉදිරියේදීත් මෙවැනි උගතුන් වියතුන් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.මේ සඳහා සම්භාවනීය ගුරු මණ්ඩලයේ, දායක සභාවේ,ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වය ලැබෙනවා.මේ දහම් පාසල රටට දැයට කළ අති විශාල සේවය අතීතයේ බිහි වූ ගුණ ගරුක වියත් ආදී ශිෂ්‍යයින් තුළින් ප්රත්යක්ෂ වෙනවා.
කතිකාවත මෙහෙයවීම: මනුරි පබසරා වලේබොඩ
පිටපත සැකසුම හා වාර්තාකරණය: එච්.එම්.සුජීවා සංජීවනී කුමාරි