සංසාර ගීය – 01 කොටස

author
0 minutes, 0 seconds Read

“ඔයාලට ඕන මගේ ආදරේ ගැන දැනගන්නද.”

විසිර ටිවී ආයතනයේ උදෑසන දහයයි තිහට විකාශය වන ජීවන රසය සජීවී වැඩසටහනට සනහස් සහභාගී වුණේ රටේ මෑත කාලයේ බිහි වුණු ජනප්‍රිය නව පරපුරේ ගායන තරුවක් විදිහට.

නිවේදිකාව වටින් ගොඩින් ඇසූ ප්‍රශ්න කිහිපයක් නිසා සනහස් සංවාදය අතර මැද එලෙසින් හරස් ප්‍රශ්නයක් නැගුවේ ඇය එකම ප්‍රශ්නය අසමින් ප්‍රේක්ෂකයන්ව පවා උසි ගන්වන බවක් ඔහුට හැඟුණු නිසයි.
විවිධ ගුවන්විදුලි ,රූපවාහිනී නාළිකා සමඟින් ඔහු නිතර දෙවේලේ සම්මුඛ සාකච්ඡාවන්ට කොතෙක් මුහූණ දුන්නත්,ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන,විශේෂයෙන්ම ඔහුගේ ආදරය ගැන අසනා ප්‍රශ්න ඔහු මඟ අරින වග දන්නා නිසාම ඔහු වටා එක් රොක්වී සිටින ප්‍රේක්ෂකයන් පවා උද්දාමයෙන් බලා සිටින්නේ ඔහුගෙන් එම පැනයන්ට පිළිතුරක් ලැබෙන තුරු බව සනහස් දන්නා කරුණක්.ඔහු ගැන විවිධ කට කතා ක්ෂෙත්‍රය පුරාමත් ඉන් පිටතත් පැතිරි තිබුණත් සනහස් ඒ කිසිවකට පිළිතුරු නොඳී ඉන්නා නිසාම තව තවත් විවිධ කට කතා සාමාජ මාධ්‍යය ඔස්සේ නිතර දෙවේලේ පළ වුණේ ඔහුට ආදරය කරනා ප්‍රේක්ෂකයන්ව පවා මං මුලාකරමින්.එම නිසාම ඔහු සම්බන්ධ වන සෑම වැඩසටහනකදීම ඔහුගෙන් ඔවුන් එම පැනයම විවිධ ආකාරයෙන් අසන්නේ ඔවුන්ගේ වැඩසටහන තව තවත් ජනප්‍රිය කරගැනීම මූලික කරගෙන වග දන්නා නිසාම සනහස් ඔවුන් අසනා ප්‍රශ්නයන්ට මේ වෙනතුරු පිළිතුරු නොදුන්න තරම්.අන් දිනවලදී මෙන් මේ මොහොතේත් එම පැනය සනහස්ට මඟ ඇර යා හැකි වුණත් තවත් ඔහුගේ ප්‍රේක්ෂකයන් විවිධ කට කතා වලට රැවටිය යුතු නැති බව සිතුනු නිසා ඔහු එලෙසින් ඇසුවේ පිළිතුරු දීමට බලාපොරොත්තු ඇතිවයි.

“ඔව් සනහස් ඔයාට ආදරේ කරන ඔයාගේ ප්‍රේක්ෂකයෝ ඔයාගේ ආදරේ ගැන දැනගන්න
ආස වේවි.අපි දන්නවා නව පරපුරේ තරු තමන්ගේ පෞද්ගලික ජීවිතේ ප්‍රේක්ෂකයන්ගෙන් වසන්කරලා තියාගන්න උත්සහ කරනවා කියලා.ඒත් ඉතිං අපේ වැඩසටහනට සහභාගී වෙන හැමෝගෙන්ම අපි ඔය ප්‍රශ්නය අහනවා සනහස්.ඔයා කැමති නම් අපිට ඒ ගැන කියන්න. ”

“මං දන්නවා ගොඩක් අය මගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙනවා කියලා.මෙච්චර කාලයක් මං ඒ දේවල් වැඩිය මාධ්‍යයට හෙලි නොකරේ
ඇත්තටම මං ගොඩක් කැමති මගේ පෞද්ගලික ජීවිතේ කලාවෙන් ඈත් කරලා තියාගන්න, මං මේ තරම් කාලයක් උත්සහ කරේ ඒකට,මං ගොඩක් දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල මං ගැන විවිධ දේවල් පළ වෙනවා.මං මේ තරම් කාලයක් ඒ දේවල් දැක්කත් නොදැක්කා වගේ හිටියේ ඒ දේවල් වල කිසිම සත්‍යතාවයක් නැති නිසා.ඒත් තවත් මගේ ප්‍රේක්ෂකයන් බොරු තොරතුරු පස්සේ යන්න ඕන නැති නිසා මං අද ඔයාලා අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්.”

“එහෙනම් අපේ ප්‍රේක්ෂකයන්ට ඔයාගේ ආද⁣රේ ගැන කියමු නේද සනහස්..අපි දන්නවා ඔයාගේ ගීත කීපයක්ම නිර්මාණය වුණේ ඔයාගේ ගෑණු ළමයා වෙනුවෙන් කියලා.ඔයාගේ ප්‍රේක්ෂකයෝ පුන පුනා බලාගෙන හිටියේ සනහස් කවද්ද එයාගේ ආදරී ගැන අපිට කියන්නේ කියලා. ”

“ඒ්ත් ඊට කලින් මල්මී අද සනහස් අපේ වැඩසටහන වෙනුවෙන් තෝරගෙන ඉන්න ගීතය අහලම ඉමු නේද.”

“අනිවාර්යයෙන්ම කැළුම්.ප්‍රේක්ෂකයෝ කැමති වේවි මේ වෙලාවේ සනහස්ගේ කටහඬින් ගීතයක් රසවිඳින්න,සනහස් ඊළඟට තෝරගෙන ඉන්න ඉන්නේ කාගේ ගීතයක්ද.”

“මං තෝරගෙන ඉන්නේ සුදීර දිල්ෂාන් සහෝදරයගේ ළඟදි රිලීස් කරපු ගීතය..”

සනහස් ගිටාර් එක අරගෙන තව පාරක් හමුවී හීනැහි ගීතයේ තනුව වාදය කරන්න ගත්තේ දෑස් පියාගෙන..

තව පාරක් හමුවී හීනැහී
ගව්ගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි

හිමිකම් නැති හීනෙක ගොළු වී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමි නම් හමු වේවී
නැතිනම් වෙන් වේවී

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ

ඔය සිනහව මතකෙ තියා
තනි වෙමි මා සසර පුරා
හැම හමු වීම ම කෙලවර වන්නේ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහි වෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගත වෙනවා

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගව්ගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමු වී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා

ඔය සිනහව මතකෙ තියා
තනි වෙමි මා සසර පුරා
හැම හමු වීම ම කෙලවර වන්නේ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහි වෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගත වෙනවා

දෑස් වල රැදුණු කඳුළු සනහස් කාටත් රහසෙන් යටපත් කර ගත්තේ මේ මොහොත ඔහුගේ හැඟීම් අතර වෙලෙන්න සුදුසු අවස්ථාවක් නොවූ නිසයි.සනහස් අහම්බෙන් වැඩසටහනේ ගයන්න මේ ගීතය තෝර ගත්තට දෛවයේ සරදමකට වගේ ගීතයේ තියෙන හැඟීම ඔහුගේ ජීවිතයට සමාන වූ නිසා ඔහුට ගීතය ගන්න සිද්ධ වුණේ ඔහුගේ අතීත මතකයන් අතර වෙලෙමින්.

“තවත් කල් වේලා නොගෙන, ඉතිං අපිට කියන්නකෝ සනහස් ඔයාගේ ආදරී ගැන විස්තර ටිකක්.එයාව ඔයාට කොහෙදිද මුලින්ම හම්බවුණේ.හැමෝම ආසාවෙන් ටිවී එක ඉස්සරහට වෙලා බලාගෙන ඇත්තේ සනහස්ගෙන් අපි ඔය ප්‍රශ්න ටික අහනකන් නේද කැළුම්.”

“ඒක ඇත්ත මල්මී.සනහස් කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි අපේ අසල්වාසී රටවලත් ජනප්‍රිය තරුවක්නේ,ඉතිං සනහස්ගේ ගෑණු ළමයා ගැන කවුද දැනගන්න අකමැති, හැබැයි ඉතිං සනහස්ට ආදරේ කරන ගෑණු ළමයි ගැන නම් අපිට දුකයි.”

සනහස් මඳ සිනහවක් පමණක් තිළිණ කරේ ප්‍රේක්ෂක ආදරේට ඔහු කවදත් ගරු කරනා නිසයි.

“මට කියන්න නම් මහ ලොකු ආදර කතාවක් නෑ.ඒක හරිම පුංචි ආදර කතාවක්.ඒත් ඒක තමයි මගේ මුළු ජීවිතේම.”

“සනහස් දැන්ටම ඉමෝෂනල් වෙලා නේ..”

සනහස් හිටියේ හිතේ ලොකු දුකක්, පීඩයක් ගුලි කරගෙන.තමන්ගේ ආදරේ ලෝකයට රස කතාවක් වුණාට ඔහුට එය මතක් කිරීමත් වේදනාවක ගිලෙනවා හා සමාන වූ නිසයි.ඔහුගේ ආදරේ ගැන ඔහුගේ සමීපතයින් ඔහුත් සමඟින් කතා බහ නොකරනා තරම්.

                                        ***

“අම්මේ බලන්නකෝ.. මල්ලී දැන් හොඳටම අවුල් වෙලා ඇත්තේ..”

“ඒකනේ ලොකූ..”

සනහස්ගේ මව ශිරන්තියි,වැඩිමහල් සහෝදරිය රන්දියි සුවපහසු අසුනක අසුන්ගෙන සජීවි වැඩසටහන නරඹමින් සිටියේ කැලඹුණු මනසක් ඇතිවයි.

“එක අතකට අම්මේ මේ දේවල් තවත් හංගගෙන හිටියා කියලා වැඩකුත් නෑනේ.
සිද්ධ වෙච්ච කිසිම දේකට මල්ලි වැරදි නෑ.”

“ඒක අපි තේරුම් ගත්තට වැඩක් නෑනේ පුතේ මේ රටේ මිනිස්සු ඒක තේරුම් ගන්නැත්තම්.හැමෝම මගේ අහිංසක කොල්ලගේ පිටට වරද දාලා අත පිහද ගත්තා.අවුරුදු පහක් ගෙවිලා ගියත් තාමත් මගේ කොල්ලා විඳවනවා.”

“මල්ලි හිටපු හැටියට ඔහොම හරි ඉතුරු වුණ එක ලොකු දෙයක් අම්මේ.”

“මං මෙහෙම හරි සැනසීමෙන් ඉන්නේ ඒ නිසා විතරයි පුතේ.නැත්තන් මල්ලි එක්කම මමත් පස් වලට යට වෙලා.”

“දැන් ඔය කතාව ඇති අම්මේ..අපි හැමදාම අතීතේ එළියට අරගෙන අපේ හිත් තව ටිකක් පාර ගන්න එක කරන්නේ.දැන් වුණත් මල්ලි ඔය අතීතේ එළියට ගන්නවා කියන්නේ ආපහු අර ප්‍රශ්න කන්දට යට වෙනවා කියන එක,මෙයා ලොකු මිනිහා වගේ මේ සිංදුව මං හැදුවේ අරයට ,මෙයාට කියලා කිය කියා නොගිය නම් මිනිස්සු මෙයා කාට ආදරේ කරනවද කියලා මේ තරම් හොයන්නෑ.. මේකටත් ඉන්න බෑනේ බලෙන් ප්‍රශ්න කරට දා ගන්නේ.දැන් අද හවස ඉදන් ෆේස්බුක්,යූ ටියුබ් වල පට්ට ගහයි මේකා කියන දේවල්..”

“අතීතේ දේවල් ඒ තරම් ලේසියෙන් වල දාන්න බෑ ලොකූ..ඒවා අපේ ජීවිතේටම බද්ද වෙලා.මල්ලී තාමත් ආදරේ ඒ ගෑණු ළමයට විතරයි එයාට අනුව ඉතිං එයාගේ ආදර කතාව තමයි ඔය,ඕවා ඉතිං කොහොමත් කවදා හරි එළියට එනවා.”

ශිරන්ති ඇස් අඟින් ගිලිහුණ කඳුළු බිඳු කිහිපය පිසලා ගත්තේ රූපවාහිනියෙන් දිස්වෙන තම බාල පුතනුවන් දිහා බලා හිදිනා ගමන්.

                           ***

“එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.”

සනහස් එහෙම කිව්වේ හිනාවකින් මුව සරසන්..

“එයා මට වඩා මිටි, චූටි, චබී කෙල්ලෙක්.”

සනහස්ට මතක් වුණේ වසර පහකට කලියෙන් ඇයව ඔහු දුටු මුල්ම දිනය.

වසර පහකට පෙර අතීතය…

ධර්මතිලක කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල පත්වන්නට යෙදී තිබුණ දිනයට පෙර දිනයේ සනහස් උදෑසනම පාසලට පිටත්ව යෑම සඳහා සූදානම් වුණේ පාසලේ අවසන් වසරේ සිසුන් විදිහට ඔවුන්ට පැවරී තිබු රාජකාරිය හෙට දිනයට කලියෙන් නිමා කළ යුතුව තිබු නිසයි.

“සුදු පුතා උදේම ඔය ලක ලැහැස්ති වෙලා යන්නේ ඉස්කොලෙට ද,එහෙම නැත්තන් අර මිතිල පුතාලත් එක්ක කොහේ හරි රෝන්දේ ගහන්නද.”

“අයියෝ අම්මා..අද අපිට කොච්චර වැඩ තියෙනවද අනේ ඉවර කරන්න ඔයා හිතනවද අද අපිට රෝන්දේ ගහන්න වෙලාවක් ඉතුරු වෙයි කියලා.”

සනහස් බත් පිඩක් මුවට ගන්නා ගමන් එලෙස මවට පැවසුවේ ඔවුන්ට අද දවස පුරාම ක්‍රීඩා උළෙල වෙනුවෙන් වෙහෙසීම ඇරුණ කොට වෙන අන් යමක් සිදු කිරීමට කාල වේලාවක් නොමැති වූ නිසයි.

“ඔයාලා ඔහොම ගෙවල් වලට කියලා ගියාට සුදු පුතේ අපි ඔයාලගේ පස්සෙන් ඉන්නේ නෑනේ, ඔයාලා කොහෙද යන්නේ මොනවද කරන්නේ බලන්න.ඔයාලා ගෙවල් වලට කියලා යන්නේ එකක් හැබැයි කරන්නේ තව එකක්නේ.අපි ඉතිං කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ.”

සනහස් තම මව දිහා බැලුවේ නොපහන් හැඟීමක් ආරුඨ කරගෙන.

“ඕකනේ අම්මා කරන්න බැරි ඔයාට කවදාවත් මාව විශ්වාස නෑ.අර අක්කා දෙයක් කිව්වම බලන්න ඕන ඉහ මුදුනින් පිළි ගන්නේ.මං මොකක් හරි දෙයක් කිව්වම ඒ හැමදේම බොරු.”

“ඉතිං එහෙම වෙන්න එපැයි ඒ අක්කා ඔයා මල්ලී..අක්කට තේරෙන දේවල් තාම ඔයාට තේරෙන්නේ නෑනේ,ඒකනේ මං මේ තරම් ඔයාගේ පස්සෙන් ඉන්නේ.අනිත් එක කීපාරක් මට බොරු කරලා ගිහින් අත පය කඩාගෙන ගෙදර ආවද.”

සනහස්ට තමන් ගැනම දැනුනේ ලැජ්ජාවක්, ලොකු මිනිහා වගේ අම්මත් එක්ක කටගහගෙන ගියාට අන්තිමට අම්මා නතර වුණේ තමන්ගේ පෙර වැරදිත් එක පෙළට මතක්කර දුන්නාට පසුව නිසයි.

“ඔයත් එක්ක බෑ අනේ..හැමදාම කොහෙන් ගියත් නතර වෙන්නේ මොකක් හරි මට වෙච්ච නස්පැත්තියක් මතක් කරලා.”

“ඉතිං කරොත් කරන්නේ ඒ වගේම වැඩක් වෙද්දි මං වෙන මොනවා මතක් කරන්නද.”

ශිරන්ති එහෙම කිව්වේ තම බාල පුතනුවන් මූණත් ඇද කරගෙන එලෙස පැවසූ නිසයි.

“මං යනෝ අම්මා මට පරක්කු වෙනවා.”

සනහස් මවට එලෙස පවසමින්ම ඇගේ දෙපා නැමැද පා පැදියට ගොඩවී නිවසින් පිටත් වුණේ පාසල වෙත යෑමට පෙර තම නිවසට නිවෙස් දෙක තුනකට එහායින් ඇති තම මිතුරාගේ නිවසට ගොඩවී ඔහුවත් කැටුව පාසලවෙත යායුතු වූ නිසයි.

“මිතිලයෝ…..මිතිලයෝ……පරක්කු වෙනවා මචං ඉක්මණට වරෙන්කෝ..”

සනහස් මිතිලගේ නිවස ඉදිරිපිටින් පා පැදිය නතර කරගෙන ගමටම ඇසෙන්ටම මොර දුන්නේ තම මිතුරාට හතයි තිහ වනවිට ලෑස්ති වී සිටින්නයි කියා පෙරදා ඔහු පැවසු නමුත් ඔහු තවමත් සූදානම් වී නොමැති බව හැගුණු නිසයි.

“කෑ නොගහ හිටපං සනා මං මේ එනෝ..”

මිතිල ටී ෂර්ටයක් ගතලා ගන්නා ගමන්ම නිවෙසින් පිටතට පැමිණියේ මිතුරාගේ කෑ ගෑසීම මේ වනවිට ගමටම ඇසෙන්නට ඇතැයි කියා සිතමින්.

“ඔහොම කෑ ගහන්න එපා සහසෝ පොඩ්ඩක් හෙමින් කතා කරපං.අපේ අක්කා පාඩම් කරනවා.උඹ දන්නවනේ ඒකී කැමති නෑ කියලා පාඩම් කරද්දි කවුරුත් කෑ ගහනවට.”

“හරි හරි බං මට ඒක අමතක වුණා..”

සනහස් එහෙම කිව්වේ හිසත් කසනා ගමන්.

“දැන්වත් යමන්කෝ තාමත් ඔතන හිටගෙන ඉන්නේ නැතුව.”

“යමන් යමන්..”

“අනිත් එවුන් නම් දැනටමත් ඇවිත් ඇති බං.අපි තමයි පරක්කු.කොහෙද උඹට ඊයේ ඉදන් කට කැඩෙන්න කියලත් උඹ මං එනකන්ම හිටියනේ ලෑස්ති වෙන්න.”

සනහස් යන මඟ දිගට මිතුරාම බැන බැන ගියේ ඔවුන් දෙදෙනා පාසල වෙත යෑමට පරක්කු වූ නිසයි.

“ඉතිං බං කාලා බීලා එද්දි එහෙම තමයි.නැන්දා ඇහැරුවේ නැත්තන් උඹටත් වෙන්නේ මට වෙච්ච ටිකම තමයි.”

උදෑසන අට පමණ වන විට මිතුරන් දෙදෙනා පාසල වෙත පැමි⁣ණියේ මිතුරන් නඩයෙන් බැණුම් ඇසීමටත් බලාපොරොත්තු ඇතිවයි.

“උඹලා දෙන්නා හැමදාම ඔහොම්මමයි එනවා කියන්නේ එක වෙලාවක් හැබැයි එන්නේ තව වෙලාවකට.”

“අනේ සොරි රන්දිකයෝ මෙන්න මූ නිසා තමයි මට පරක්කු වුණේ.”

සනහස් එහෙම කියන ගමන්ම ඔවුන්ගේ නිවාසය වෙනුවෙන් පිදුර ආධාරයෙන් තනන තාවකාලික නිවස වටා ඇවිඳ ගියේ එය සාදා නිම වීමට ආසන්න වූ හෙයින් තවත් එහි අඩු ඇති දැයි සොයමින්.

අකුරු ගෙත්තම –

අනුපමා කාරියවසම්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa