තාවකාලික නිවාසය වඩා මිතුරන් සමඟින් සනහස් ඇවිඳ ගියේ එහි අඩු පාඩු ඇතිදැයි සොයා බලමින්..
“මචං මේක නම් මාරම ගතියට මේ පාර ආවා නේද බං..පැරකුම් එකේ එක එච්චර හොඳ නෑ මේ පාර..”
“අනිත් එව්වා වැඩක් නෑ මචංලා අපේ එක තමයි හොඳටම තියෙන්න ඕන..”සනහස් එහෙම කිව්වේ පැරකුම් නිවාසය දිහාත් බලන ගමන්.
“ආයෙත් අහලා..”
“මේ ඒක නෙමෙයි යමුද අද හවසට කොහේ හරි රවුමක්..”
මිතුරන් පිරිසේ කටකාරයා වුණ වනිඳු සනහස්ලා දිහාවට ආවේ එලෙසින් අසන ගමනුයි.
“අපිට නම් එන්න පුළුවන් හැබැයි සනහසාට තමා අවුල..”
“ඒ මොකෝ ඒ..”
“මූ අද ගෙදරින් එද්දි නැන්දා හොඳ දේශනයක් දීලා එවලා තියෙන්නේ..”
සනහස්ගේ මිතුරු නඩයේ මුලසුන හොබවන සනහස්ගේ මාමගේ පුතා වුණ මිතිල එහෙම කිව්වේ සනහස් එන මඟ දිගට මව පැවසු දේවල් ඔහුත් සමඟ පැවසූ නිසයි..
“ආ...පෝ..උඹලෑ නැන්දා අවුරුදු කීයක් මූට ඔය දේශනේ දීලා ඇද්ද බං..මූ කවදද ඕවා ඇහුවේ..”
“මං අම්මා කියන දේවල් අහනවා උඹලා වගේ පාප මිතුරෝ ටිකක් මට නොහිටියනම්..”
“ඇත්තට..දැන් එතකොට උඹ අම්මා කියන ඒවා අහන් නැත්තේ මේ අපි නිසාද..”
“නැත්තං උඹලා නිසා තමයි..”
“අනේ මේ සනහසෝ අපේ කට අවුස්ස ගන්නේ නැතුව හිටපං..උඹගේ හැටි අපි දන්නේ එකේ පංතියේ ඉඳන් හරියේ..එකේ පංතියේ ඉඳන්.”
මිතුරු නඩය නිවාසය ඉදිරි පිට ගොක් කොළ වලින් ආරුක්කුවක් තනන ගමන් සනහස්ට එක පෙළට ඔහු කුඩා වියේ පටන් මටව හොර රහසේ කෙරූ දේවල් මතක් කර දුන්නේ ඔහුට සිනහා වෙන ගමනුයි..
“උඹ කරොත් කරන්නේ උඹලෑ අම්මා කරන්න එපා කියන දේවල්මයි මචං,උඹලෑ අම්මට එපා වෙන්නේ නැද්ද දන්නෑ උඹට එකම දේශනේ දීලා..”
“උඹලෑ අද දවසේ බයිට් එක මමඳ..”
මිතුරන් දිහාවට රැව්මකුත් පා කරන ගමන් සනහස් එලෙසින් ඇසුවේ පැමිණි මොහොතේ පටන් ඔවුන්ගේ රාජකාරිය ඔහුට උසුළු විසුළු කිරීම වූ නිසයි.
“මේකනේ මචං උඹ තමයි අපේ සෙට් එකේ ඉන්න කීකරුම දරුවා ඉතිං උඹ ගැන අපිට කතා කරන්න දේවල් එමටයි..”
සනහස්ගේ මිතුරු නඩයේ මිතුරන් සත් දෙනාම එකවර සීනා සුනේ අවට ඉන්නා ගුරුවරුන් පවා ඔවුන් දිහා හැරී බලද්දියි..
“මේ මචං සනහස් උඹට මතකද අර බණ්ඩාර සර්ගේ ඉකෝන් ක්ලාස් එකේ හිටියා ග්ර්ල්ස් එකේ කෙල්ලෙක් පැහැසරා කියලා..”
“මට එහෙම නම් වලින් නම් ඔය කෙල්ලොන්ව මතක නෑ මචං. දැක්කොත් නම් අඳුරන්න පුළුවන්..උඹ මොකෝ එකපාර මගෙන් කෙල්ලෙක් ගැන අහන්නේ.”
“අන්න ඒ කෙල්ල අපේ ගෙවල් පැත්තේ ඒකී මගෙන් ඇහුවා උඹට කෙල්ලෙක් ඉන්නවද කියලා..”
“ඉතිං උඹ මොකද කිව්වේ..”
පොල් අත්තක් හැඩේට වියන ගමන් සනහස් නවෝද් දිහා හැරිලා ඇසුවේ ඔහු කියපු දේ දැන ගන්න මඳ කුතුහලයක් ඇතිවයි..
“මං ඉතිං ඒ කෙල්ලට කිව්වා අපේ එකාට පැහැසරා කෙල්ලෙක් කියලා එහෙම නම් නෑ..ඌට හැබැයි කෙල්ලෝ දෙතුන් දෙනෙක් නම් ඉන්නවා කියලා..”
“උඹට මම…”
එහෙම කියලා නවෝද් දුවන්න ගත්තේ අනිවාර්යයෙන්ම සනහස්ගෙන් ගුටි කන්න වෙන මව අත්දැකීමෙන් ඔහු දන්නා නිසයි..සනහස් පොල් අත්තත් පැත්තකට දාලා නවෝද් පිටි පස්සෙන් දිව්වේ ඔහුට පාරක් ගහනවටත් වඩා එය විනෝදයක් වූ නිසයි..නවෝද් පිටු පසින් දුවමින් හිටපු සනහස් එක් වරම පිටු පසට අඩි කිහිපයක් විසිවී ගියේ තරුණියක් ඔහුගේ ගතේ ගැටුණු නිසාවෙනුයි.
“කොහෙද හලෝ මේ ගාල කඩාගත්ත වැස්සි වගේ යන්නේ තව පොඩ්ඩෙන් මාත් බිම..”
අනපේක්ෂිත මොහොතක සිදුවුණු සිදුවීම නිසා සනහස් නොවැටි ඉන්න දැරුවේ මහත් උත්සහයක්, ඒ නිසාවෙන්ම සනහස්ට තරුණිය ගැන ඇතිවුණේ නොපහන් හැඟීමක්.
“අනේ සො..රි අ.යි.යේ..මං දැ..ක්..කේ නෑ…”
“අනේ මේ බොරු නොකියා ඉන්නවා හලෝ..හොඳටම මං එනවා දැක දැක මගේ ඇගේ හැප්පිලා ඒ මඳිවට දැන් බොරුත් කියනවා.”
“අනේ..ඇත්තමයි මං දැක්කේ නෑ..අයියේ..”
වට පිට බලමින් කලබලයෙන් වගේ හඬමින් ඉන්නා ගැහැණු ළමයා දිහා සනහස් විනාඩි කිහිපයක් බලාගෙන හිටියේ ඇය පාසලේ දී මින් පෙර නොදුටු ශිෂ්‍යාවක් වූ නිසයි.
“ඔක්කොටම කලින් ඔය ඇඬිල්ල නතර කරගන්නවා හලෝ..මෙතන මහ ලොකු දෙයක් වුණේ නෑනේ අඬන්න තරම්..මිස් කෙනෙක් එහෙම දැක්කොත් හිතයි මං මේ බාල අපරාධයක් කරන්න ගිහින් කියලා..”
“මචං මොකක්ද කේස් එක..”
සනහස් හිටපු තැනට කලබලයෙන් මිතුරන් පිරිසත් පැමිණියේ බහින් බස් වීමක් උස් හඬින් ඔවුන්ට ඇසුණු නිසයි..
“අවුලක් නෑ මචං මං අරූ පස්සේ යද්දි එක පාරට ඇවිත් මෙයා මගේ ඇගේ ඇප්පුණා..”
“කවුද මේ නංගි සනහසා අපි මීට කලින් මෙයාව ඉස්කෝලේ දී දැකලා නෑනේ..”
සනහස් මිතුරන් පිරිස දිහාවට හැරිලා ඔළුව වැනුවේ ඔහුත් නොදන්නා බව හඟවන්න.
“ඔයා මොකද අපේ ඉස්කෝලේ ඇතුලේ කරන්නේ ආ..අපේ ඉස්කෝලෙට පිට අයට එන්න බෑ කියලා දන්නේ නැද්ද..”
“අනේ..සොරි අයියේ මං.. මේ මං..”
“මොකද ගොත ගහන්නේ ආ..”
“මචං සනහසෝ පොඩ්ඩක් හෙමීට කතා කරපං බං අද මැඩම් ඇවිත් ඉන්නේ.. මැඩම් මෙතනට ආවොත් නැති කරදරයක්..”
“නංගි ඔක්කොටම කලින් ඔය අඬන එක නතර කරලා ඉන්නකෝ..”
මිතිල තරුණිය සමීපයට පැමිණ එලෙසින් ඇයට පැවසුවේ මිතුරන් පිරිස ඇයව අපහසුතාවයට පත් කර ඇති බව හැගුණු නිසයි.
“මෙතන මොකද වෙන්නේ සනහස්..”
සනහස් ඇතුළු මිතුරු නඩය ගැහැණු ළමයා වටේ එක්රොක්වී ඇගෙන් ප්‍රශ්න කරමින් හිටපු තැනට ක්‍රීඩා උළෙල සංවිධායක මණ්ඩලයේ මුලසුන හොබවන ගුරුතුමිය පැමිණියේ ඈත තියාම සිදුවුණ සිදුවීම ඇය දුටු නිසයි..
“නෑ..මිස් මේ..”
“මං බලන් හිටියේ මෙතන වුණ දේ..සනහස් ඔයාගේ හැසිරීම නම් දැන් අන්තිමයි..ඔයාලා අද ආවේ නිවාසේ වැඩ කරන්නද එහෙම නැත්තං දුව දුව ඉන්නද..
“මිස් මේ..”
සනහස් ගුරුතුමිය දිහාවට හැරිලා සිද්ධ වුණ දේ පැහැදිලි කරන්න හැදුවත් මිතිල සනහස්ව නතර කර ගත්තේ ඔහු කුමක් පැවසුවත් ගුරුතුමියට අනුව ඔහු වැරදිකරුවෙක් වී අවසන් වූ නිසයි..
“පුතේ ඔයාට ප්‍රශ්නයක් නෑ නේද..”
“නෑ..මිස්..”
“පුතා මැඩම් එක්කද ආවේ..කෝ..දැන් ඔය අඬන එක නතර කරලා එන්නකෝ යන්න මං මැඩම් ගාවට එක්කරන් යන්නම්..”
මිස් එක්ක යන තරුණිය දිහා මිතුරන් පිරිස බලාගෙන හිටියේ කුතුහලයෙන්..
“මොකක්ද බං ඒ වුණේ..මැඩම් කිව්වේ මේ අපේ මැඩම් ගැනද..”
“මේ ඉස්කෝලේ වෙන මැඩම්ලා නෑනේ මචං අපේ මැඩම් තමයි වෙන කව්ද..”
“එතකොට ඒ..මැඩම්ගේ අර ප්‍රිරින්සස්ද..”
මිතුරන් පිරිස එක එක විදිහේ අනුමාන කරද්දි සනහස් ඇසිපිය නොහෙළා බලාගෙන හිටියේ ඈතට ඇවිඳයන තරුණිය දිහයි..
“ඇත්තටම ඒ කෙල්ල ප්‍රිරින්සස් කෙනෙක් වගේ තමයි..”
සනහස් තමන්ටම කියා ගත්තේ ඇය ඒ තරම් සුන්දර වූ නිසයි..පාසලේ මිතුරන් අතර විදුහල්පතිනියගේ දියණිය ඉතා රූමත් බවට කට කතා පැතිරී තිබුණත් එහි සත්‍ය අසත්‍ය තාවය ගැන ඔවුන් නොදැන සිටියේ වසරකට පෙරාතුව පාසලට පැමිණි විදුහල්පතිනියගේ දියණිය ඔවුන් මේ වනතුරු නොදුටු නිසයි.
“ඒ කියන්නේ මචංලා මේ කෙල්ල වෙන්න ඕන ප්‍රිරින්සිපල් මැඩම්ගේ දුව..හැබැයි අර කට්ටිය කියන තරම් ලස්සනකුත් නෑ නේ මචංලා බෑලු බැල්මට..”
“උඹට ලස්සන නැති වුණාට ඒ කෙල්ල මට ලස්සනයි..”
“ආ…මොකක්ද මොකක්ද ඒ කතාව..දැන් මෙතන පණ යනකන් ඒ කෙල්ලට කෑ ගහලා ඒ ඩිංගට ඒ කෙල්ල ලස්සන වුණාද උඹට..”
“ඒක වෙනයි මේක වෙනයි..ලස්සන දේට ලස්සනයි නොකියා වෙන මොනවා කියන්නද..”
“මේ මෙන්න මෙහේ වරෙල්ලා කෙල්ලොන්ගේ ලස්සන හොයන්න කලින් මේ වැඩේ ඉවර කරලා දාන්න..හෙට වෙද්දි මේ වැඩේ ඉවර නොකරොත් මල්ලිකා මිස්ගෙන් හොඳ බැනුම් ටිකක් අහගන්න පුළුවන්..”
සවස් වෙනකන්ම මිතුරු නඬය විහිළු තහළු රස කතා මැද්දේ ඔවුන්ගේ නිවාසයේ වැඩ රාජකාරී ටික අහවර කරේ මහත් වෙහෙසක් දරමින්..
“උඹලා මෙහෙම්මම ගෙදර යනවද..නැත්තං ටවුමට ගිහින් මොනවා හරි සප්පායම් වෙලා යනවද..”
“යමං ටවුමට ගිහින් සයිවර් පාරක් දාමූ..”
සනහස් ඉස්සර වුණේ මිතුරු නඩය ඔහුගේ පිටු පසින් එද්දියි..
“උඹලෑ අම්මා ගෙදර එන්න කිව්වා නේද..”
“කිව්වට ඉතිං එන්න ඕන වෙලාවක් කිව්වේ නෑනේ මචංලා..හෙමීට කාලා බීලා කොහේ හරි වලකුත් බැහැලම ගෙදර යනවා..”
“උඹ නම් හැදෙන්නෑ සනහසා..”
“කතාව ඇති බ/ල්/ලෝ යමන් ඉක්මනට බඬගිනියි..”
කුරුණෑගල ටවුම මධ්‍යයේ ඇති දමිළ කඩයෙන් මිතුරන් පිරිස තෝස, උළුදු වඩේ,අල බොංඩා එක්ක ඉඟුරු යහමින් දැමූ තේ කිහිපයක් ඇනවුම් කරේ ඔවුන්ගේ සපුරුදු මෙනුව එය වූ නිසයි..
“මචං මේ අර කෙල්ලගේ නම මොකක්ද දන්නෑනේ..”
උදෑසන පටන් සනහස්ගේ හිතට වඳ දුන්න ප්‍රශ්නේ සනහස් මිතුරන් පිරිස මධ්‍යයේ දිග හැරියේ ඔහුට එය දැන ගැනීමට තිබූ මහත් කුතුහලය නිසයි..
“මොන කෙල්ලගේ නමද බං..”
“උඹලා මොන ලෝකෙද බං ඉන්නේ මං ඇහුවේ මැඩම්ගේ දූ ගැන..”
“ආ…ඒ කෙල්ලගේ නමද..”
“උඹලා කවුරු හරි නම දන්නවද..එයාගේ..”
“උඹට ඕක දැනගන්නම ඕන නම් එක ක්‍රමයක් තියෙනවා..”
“මොකක්ද ඒ..”
“උඹගේ අක්කගේ හොඳම යාළුවා ඉන්නේ..”
“නදී අක්කා..”
“අන්න හරි..එයාගෙන් උඹට දැන ගන්න පුළුවන්..එයා මැඩම්ගේ නෑදැ වෙන කෙනෙක්..”
“ආපෝ..එයාගෙන් අහනවට වඩා හොඳයි කෙලින්ම මං ගිහින් මැඩම්ගෙන්ම අහනවා මැඩම් ඔයාගේ දුවගේ නම මොකක්ද කියලා..”
“උඹලෑ අක්කට ඉන්නේ එයාටම හරියන යාළුවෝ..”
“ආයෙත් අහලා..ඒකනේ ඒ ඩබල කිරී පැණියි වගේ ඔය ඉන්නේ..”
“එක අතකින් උඹ පවු බං සනහසෝ..”
“ඒ ඇයි..”
“ඇයි බං..උඹේ අක්කා තනිකර ඕපේ..උඹේ අයියා ඒකා ඔක්කොටම හපං පාරෙදි නිකන් දැක්කත් අල්ලන් නෙළන සයිස් එකේ ඉන්නේ..අනිත් පැත්තෙන් ගෙදර තනිකර හමුදා නීතිය..උඹට පොඩ්ඩක් වත් නෑනේ බං නිදහසක්..”
“එව්වා ඉතිං එහෙම තමයි බං..”
සනහස් උළුඳු වඩයක් කන්න ගත්තේ නවෝද් කියපු දේ ගැනත් සිතන ගමන්..
පියා යුද හමුදා විශේෂ බලකායේ ඉහළ නිලයක් දරණ නිලධාරියෙක් වුණ නිසාම සනහස් ඇතුළුව සහෝදරයත්,සහෝදරියත් හැදී වැඩුණේ දැඩි නීති රීති මාලාවක් මධ්‍යයේ..සනහස්ගේ වැඩිමල් සහෝදරයාත් පොලිස් නිලධාරියෙක් වුණ නිසා පියාගෙන් වගේම ඔහුගෙනුත් එල්ල වුණේ සනහස්ට දැඩි බලපෑමක්..ඒ සියල්ම මධ්‍යයේ ඉගෙනීමට දක්ෂ වුණත් වැඩිපුරම කාලයක් ඉගෙනීමට වඩා විනෝදය වෙනුවෙන් වෙන් කරනා නිසාම සනහස්ට සහෝදරියගෙනුත් ලැබුණේ ඇනුම් බැනුම් පමණයි..
“අම්මේ..මෙන්න ඔයාගේ සුදු පුතා රෝන්දේ ගහලා ගහලා ගෙදර ඇවිත්..”
“කට වහගෙන ඉන්නවා ඕයි..මං ගියපු රෝන්දයක් නෑ..මං ගියේ ඉස්කෝලේ..”
“අනේ මේ බොරු නොකියා ඉන්නවා මල්ලි..
මං මගේ ඇස් දෙකටම දැක්ක දේවල් තමුසේ කොහොමද බොරු කියන්නේ..”
“බොරු නොකියා ඉන්නවා හලෝ..මං රෝන්දේ ගහනවා තමුසේ දැක්කද..”
“ඔව් මං දැක්කා..තමුසේ පැය දෙකකට විතර කලින් සරස්වතී එකේ තෝසේ කාකා හිටියේ නැද්ද..”
“ඉතිං..ඒක රෝන්දයක්ද..”
සනහස් සහෝදරිය ළඟින්ම අසුන් ගත්තේ ඇගේ කර වටා අතකුත් දමාගන්නා ගමන්…
“මල්ලි එහාට යනවා ඕයි..බලනවා පුදුම හඩු ගඳක් තමුසේ ළඟ තියෙන්නේ..එහාට යනවකෝ..”
“පුළුවන්නම් එහාට තල්ලු කරලා පෙන්නවකෝ..කට වගේම ශක්තියත් තියෙනවද බලන්න..”
රන්දි කොතරම් සනහස්ව එහාට තල්ලු කරන්න උත්සහ කරත් එය නිශ්ඵල වෑයමක් වුණේ සනහස් ඇයට වඩා ශක්ති සම්පන්න වූ නිසයි..
“සුදු පුතා දැන් කීයද බලනවා වෙලාව..මං යද්දි මොකක්ද කිව්වේ..”
“හරි අනේ..එන්න චුට්ටක් ඉතිං පරක්කු වුණා..”
“අම්මේ මෙයානම් දැන් හැදෙන විදිහ හරිම අන්තිමයි බලන්න හඩු ගඳේ බෑ..”
සනහස් රන්දිව අත ඇරලා ගිහින් සුප පහසු කුෂන් පුටුව මතින් වැතිරුණේ තව පැය දෙක තුනක් යනකන් වත් ඔය කියවිල්ල නතර නොවන බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසයි..
“දැක්කද අම්මේ ලෙස්සලා ගියපු ලස්සන..ඔහොම ඉන්නවකෝ මං අප්පච්චි ආවහම තමුසෙගේ කැරැට්ටුව කියන්නම්..එතකන් ඔහොම නටනවකෝ..”
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අනුපමා කාරියවසම්