ක්‍රීඩාංගණය පුරාම දෑස් කරකවමින් සනහස් ඇයව සෙව්වත් ඊයේ දිනයේ දුටු සොඳුරු තරුණිය නොදුටුව නිසාම ඔහුගේ සිතට දැණුනේ අලස බවක්..මිතුරු නඩය කෑකෝ ගසමින් තරුණියන්ට උසුළු විසුළු කරමින් ඔවුන්ගේ විනෝදය ලැබුවත් වෙනදාට ඔවුන්ටත් කලියෙන් පෙරමුණ ගන්නා ඔහුගේ සිත තිබුණේ වෙනතක..
“මොකද බං අද උඹට වෙලා තියෙන්නේ..ආපු වෙලාවේ ඉදන් අයිනක් අල්ලන් කල්පනාවක..”
මිතිල සනහස් ළඟින් අසුන් ගත්තේ ඔහුගෙන් එලෙසින් අසනා ගමන්.
“එහෙම දෙයක් නෑ මචං..”
“එහෙම දෙයක් නැත්තං තියෙන්නේ කොහොම දෙයක්ද..”
“මට ටිකක් තනියෙන් ඉන්න දීපංකෝ බං..”
“අනේ මේ..විකාර කරන් නැතුව මෙන්න මෙහේ වරෙන් බං..මොකෝ ගෙදර අවුලක්ද..”
“පිස්සුද එහෙම මුකුත් නෑ..”
“එහෙනම් මොකද මේ කවදාවත් නැතුව අයිනක් අල්ලන් කල්පනාවක..”
“මට අර කෙල්ල එක්ක කතා කරන්න ඕන බං..”
සනහස්ට ඕන වුණේ තව පාරක් ඒ තරුණිය දකින්න..ඇයත් සමඟ කතා කරන්න..
“මොන කෙල්ල එක්කද..”
“මැඩම්ගේ දූ එක්ක..”
“මොකක්…උඹට පිස්සුද බං..”
මිතිල තම මිතුරා දිහා බැලුවේ දෑස් විසල් කරමින්..
“මට ඒ කෙල්ලව එක විනාඩියකට හරි ආපහූ දකින්න ඕන බං..”
සනහස් අසුන්ගෙන හිටපු තැනින් නැඟි සිටියේ එලෙස පවසමින්..පෙර දිනයේ අහබුවකින් ගතේ ගැටුණු තරුණිය ඔහුගේ සිත මෙලෙසින් සොරා ගනියි කියානම් ඔහු කිසි විටෙක ඒ මොහොතේ නොසිතූවත්,මේ මොහොත වනවිට ඔහුට දැනෙන්නේ ඇයව නැවත වතාවක් දකින්නට නොනිමි ආසාවක් එක්ක ඇය ගැන අමුතුම ආකාරයේ හැඟීමක්..
“දැන් ඔය උඹ නැගිට්ටේ කොහේ යන්නද..”
“මැඩම්ගේ ගෙදර..”
“උඹට පිස්සුද යකෝ.. කරුණා කරලා ආපහු ඉදගනින් ඔතනින්..”
“මට යන්න ඕන බං..මට ඒකිව තව එක පාරක් දකින්න ඕන..”
“යකෝ තව විනාඩි විස්සයි රේස් එක පටන් ගන්න තියෙන්නේ උඹ මේ අස්සේ ඔය මඟුල් වල ගියොත් අපි කොහොමද කියපං උඹ නැතුව රේස් එක දිනන්නේ..”
“මැඩම්ගේ ගේ තියෙන්නේ එහා ලේන් එකේ බං..මං ඉක්මනට ගිහින් එන්නම්..”
“අනේ මේ සනහසෝ මගෙන් මැරුම් නොකා මෙන්න මෙහේ හිටපං..උඹට ඕන නම් මේ මඟුල ඉවර කරලා යමන් මං එන්නම් උඹ කියන ඕන තූත්තු කුඩියක යන්න හැබැයි මේකෙන් පස්සේ..උඹ දවස් කීයක් මහන්සි වුණාද මේ රේස් එක වෙනුවෙන් දැන් මේ අන්තිම මොහොතේ සේරම පැත්තකට දාලා කෙල්ලෙක් පස්සේ ගියාම ඔක්කොම හරිද..”
මිතිලගේ බලකිරීම නිසාම සනහස් තමන්ගේ හිත පාලනය කර ගත්තේ නිවාසය වෙනුවෙන් මහන්සි වුණ හැම කෙනෙක්ගෙම මනහන්සිය තමන් නිසා අපතේ අරින්න නොහැකි නිසයි..සෑම වසරකම පවත්වන ක්‍රීඩා උලෙළේ විජය නිවාසය වෙනුවෙන් සනහස් මීටර් දාහ දිවීමේ තරඟයට සහභාගි වුණේ තමන්ගේ නිවාසය ජයග්‍රහණය කරා රැගෙන යාමට උපරිම මනහන්සි වෙමින් පන්ති කාමරයට වඩා ක්‍රීඩාංගණයේ රැදෙමින් පුහුණුවීම් වලට දවස මුළුල්ලේ සහභාගි වෙමිනුයි..මේ වසරෙත් සනහස් මීටර් දාහ දිවීමේ තරඟයට මාස ගාණනක් තිස්සේ සූදානම් වුණේ පෙර වසර වලට වඩා මෙම වසරේ සෑම නිවාසයකම තරගකරුවන් එකිනෙකාට නොදැවිනි දක්ෂතාවය සපිරි තරගකරුවන් වුණ නිසා වගේම මේ ගෙවෙන්නේ ඔහු අවසන් වරට සහභාගි වෙන ක්‍රීඩා උලෙළ නිසාවෙන් තමන්ගේ නිවාසය වෙනුවෙන් මතක සටහනක් ඉතිරි කර යෑමට ඔහුට මහත් වුවමනාවක් තිබු නිසයි.
“මේ ඔය විකාර පැත්තකින් තියෙලා ගිහින් ට්‍රැක් කිට් එක දාගෙන වරෙන්..උඹට චියර් කරන්න නිවාසෙම එවුන් ඉන්නේ ඇඟිලි ගැන ගැන..”
සනහස් ක්‍රීඩා ඇඳුමෙන් සූදානම් වෙලා පිටියට එද්දි මිතුරන් පිරිස ඔහුව වට කර ගත්තේ ඔහුට සුබ පතමින්..
“මචං උඹ කොහොමත් දක්ෂයා කියලා අපි දන්නවා හොඳට කරපං..ගුඩ් ලක්..”
මිතුරන් පිරිසේ එකි නෙකා ඔහුව වැළඳ ගනිමින් සුබ පතා අවසන් වුණාට පස්සේ සනහස් ක්‍රීඩා පිටිය පුරාම දෙනෙත් යැව්වේ නිවසින් පිටත් වන මොහොතේ සහෝදරිය ක්‍රීඩා උළෙල නැරඹීමට පැමිණෙන බව පැවසු
නමුත් මේ මොහොත වනතුරු ඇයව ඔහු නොදුටුව නිසයි..
“උඹලා කවුරු හරි අපේ අක්කා ඇවිත් ඉන්නවා දැක්කද..”
“මං දැක්කා බං අර කස ගස් පේළිය හරියේ හිටියා..පොඩ්ඩක් බලපං ඒ පැත්ත..”
ක්‍රීඩාංගණයේ කොනකට වන්න ලඳු කෑලැ සීමාවට වෙන්න ඇති කස ගසක් යටට වී මිතුරිය සමඟින් ඉන්නා සහෝදරිය දුටු නිසා සනහස් ඇවිඳ ගියේ ඇය සමීපයට..
“කොයි වෙලේද ආවේ මං දැක්කේ නෑනේ තමුසේ ඇවිත් ඉන්නවා..”
සනහස් ඈත තියාම එලෙස පවසමින් ඇවිඳගියේ ඇය සමීපයට..
“කොහේ දකින්නද මල් සාරා වගේ හතර වටේ ඉන්න කෙල්ලොන්ට ලයින් දාදා ඉද්දි..”
“ඕකනේ තමුසෙත් එක්ක බැරි..අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ..”
“හරි හරි හලෝ මං විහිළුවට එහෙම කිව්වේ..”
“අනේ මේ තමුසෙගේ විහිළු..මොකද මේ දෙන්නත් එක්ක මෙතන ඉන්නේ බලනවා මෙතන වැඩිපුරම ඉන්නේ කොල්ලෝ..”
“ඉතිං කොල්ලෝ හිටියට අපිට මොකෝ..”
“අනේ මංදා අක්කේ තමුසෙට නම් තියෙන්නේ පුදුම කටක්..මං යනෝ තව ටිකකින් මගේ රේස් එක..පරිස්සමින් ඉන්නවා ලඳු කෑලැ අස්සේ රින්ංගන්නේ නැතුව මට පේන හරියකින්..”
ක්‍රීඩා පිටිය මධ්‍යයට ඇවිඳයන මලනුවන් දිහා රන්දි බලාගෙන හිටියේ සිනහව පිරුණු වතින්..
“පවු බං උඹගේ වැඩේම මල්ලිව අවුස්සන එක..”
“ඒකව අවුස්සලා ගන්න සතුට කඩි ගාලක් අවුස්සලා වත් ගන්න බෑ නදී..”
“රේස් එක පටන් ගන්න වගේ නේ හදන්නේ..”
“ම්..තව චුට්ටකින් පටන් ගනියි වගේ අපිත් යමූ ඒ පැත්තට අරුන් දෙන්නා අපි දිහා බලන විදිහ මට එච්චර අල්ලන්නෑ…”
“කෝ කවුද..”
“ඔහොම බලන්න එපා බං එකපාරට..හෙමින් බලපං..අර රතු ෂර්ට් එක ඇඳන් ඉන්නේ අන්න ඌයි, ඌට එහා පැත්තේ ඉන්න එකයි..”
නදී හෙමීට හැරිලා බැලුවේ මිතුරිය ඇස් වලින් පෙන්නූ දිහයි..
“ඒ මේ අර ටවුමේ..”
“කෑ ගහන්න එපා බං හෙමින් කතා කරපං..”
“රන්දි ඕකූන් තමයි බං ටවුමේ හැම මැර වැඩක්ම කරන්නේ..කෝකටත් අපි අර පැත්තට යමුද උඹලෑ මල්ලි එහෙම දැක්කොත් මෙතන තව ජංජාලයයි..දැන් මඟින් මඟටම කියලනේ ගියේ අපිට මෙතන ඉන්නත් එපා කියලා..”
“අපි මොකටද නදී උන්ට බය වෙන්නේ මේක උන්ට ගිය රට නෙමෙයිනේ මොනවා හරි කියාගෙන ආවොත් දෙනවා කුඩ පාරවල් ටිකක්..”
“අනේ මේ විකාර කියවන්නේ නැතුව යමං කෝ.. මල්ලි ඉන්න හරියට..”
නදී මිතුරියගේ අතකිනුත් ඇඳගෙන සනහස්ගේ මිතුරු නඩය දිහාවට ඇවිඳගියේ සනහස් ඉන්නා තැනක ඔවුන්ට ආරක්ෂාව ඕනාවටත් වඩා ඇති බව ඔවුන් දන්නා නිසයි..
“ආ..අක්කලා..මොකෝ කවදාවත් නැතුව අපිව මතක් වෙලා..”
විනෝද් ඔවුන්ව දැක එලෙස ඇසුවේ වෙනදාට ඔවුන්ව දුටුවත් නොදුටුවා වගේ යන නිසයි.
“ඇයි අපිට මෙතනට එන්න තහනම්ද..”
“නෑ..නෑ..තහනමක් නම් නෑ..ඒත් වෙනදා ඔයාලා යන්නේ අපිව නිකන් දැක්කේ නෑ වගේනේ ඒකයි ඇහුවේ..”
“කෝ.. විනෝද් මිතිල..”
“ආ..ඌ මං හිතන්නේ අක්කේ සනහසා එක්ක ගියා..”
“ඒ මේ රන්දි අරුන් දෙන්නා අපේ පස්සෙන්ම ඇවිත් බං..”
“කෝ..කොහෙද..”
“අර ඉන්නේ අතන..”
“බයවෙන්නේ නැතුව හිපං නදී..මෙතන උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ..සමහර විට රේස් එක මෙතනට හොඳට පේන නිසා ආවද දන්නෙත් නෑනේ..”
නදී විටෙන් විටේ ඔවුන් දිහා හැරී බැලුවත් රන්දි ඔවුන් දිහා බලන්න නොගියේ ධාවන තරඟය ඒ මොහොතේ ආරම්භ වූ නිසයි..
සනහස් තරඟය පුරාම ප්‍රථම ස්ථානයේ රැදෙමින් තරඟය අවසන් කරේ ශිෂ්‍යය, ශිෂ්‍යාවන්ගේ ජය ඝෝෂා මධ්‍යයේ..
“සුබ පැතුම් මචං..අපි දන්නවා උඹ තමයි කොහොමත් දිනන්නේ කියලා..”
මිතුරු නඩය සනහස් සමීපයට දුවගෙන ගිහින් ඔහුව ඔසවගෙන ක්‍රීඩාංගණය පුරා දිව්වේ සතුට සමරමින්..
**
“ඔයාල හරි ගණන් නේ නංගී..”
සනහස් දිහා බලාගෙන හිටපු රන්දි ගැස්සි ගියේ එක වරම ඇසුණු ගොරෝසු හඬ නිසයි..නදී මිතුරියගේ අතින් අල්ල ගත්තේ ඇය කවදත් ඔවැනි සිදුවීම් වලට තියෙන තැති ගැන්ම නිසයි..
“ඔව් ඇයි මොකද..”
රන්දි එලෙස පවසන ගමන්ම ඔහු දිහා හැරී බැලුවේ නිහඬව ඉන්න ඉන්න ඔවුන්ගේ කරදර වල නිමක් නොමැති නිසයි..
“බලහන්කෝ බං මේ කොච්චි කරලේ සැර..”
රන්දි සනහස්ගේ මිතුරු නඩය දසත බලමින් හෙව්වේ ඔවුන්ගෙන් එක් අයෙක් හරි තමන්ව දුටුවනම් ප්‍රශ්නයක් ඇති කර නොගෙන මේ කරදරයෙන් ලේසියෙන්ම බේරෙන්න පුළුවන් බව ඇය දන්නා නිසයි.
එහෙත් අඳුර වැටී ඇති නිසාම ඔවුන් ඉන්නා තැන හොයාගන්න අපහසු වුණ හින්දා රන්දි එතන තවත් නොයිද නදී එක්ක සනහස් හොයාගෙන යන්න හැදුවේ මොවුන්ගෙන් නම් ලේසියෙන් බේරෙන්න නොහැකි බවක් ඇයට දැණුන නිසයි…
“කොහෙද මේ නංගිලා දෙන්නා දුවන්න හදන්නේ..බලපංකෝ සහේල අපිව නොදැක්කා වගේ යන්න හදනවනේ මෙයාලා..”
“ඒකනේ චුට්ටේ.. නංගි බාබාලා දෙන්නා අපිට කැමති නෑ වගේ නේ..”
“කරුණා කරලා අපිට යන්න දෙනවා..”
කේන්තිය නිසාම අත මිටි වෙද්දි කේන්තිය පාලනය කරගෙන රන්දි ඔවුන්ට එලෙස පැවසුවේ මෙතන ප්‍රශ්නයක් දාගත්තොත් සහෝදරයා පවා ඊට මැඳි වෙන නිසයි..
“මොකද හදිස්සි අපිත් එක්ක චුට්ටක් කතා කරලම යමූ..”
රන්දි මිතුරියවත් ඇඳගෙන මෙන් එතනින් පිටවෙන් හැදුවත් රන්දිගේ අතකින් එක් මැරයෙක් අල්ව ගත්තේ ඇයට යන්න නොඳියි..
“කරුණා කරලා මගේ අත අතඅරිනවා..”
“අල්ල ගත්තේ එහෙම අත අරින්න නෙමෙයි බාබා..”
**
සනහස් කුසලානයත් දෝත දරන් මිතුරන් පිරිසටත් අත වනන ගමන් මිතිල එක්ක ඇවිඳගෙන ආවේ රන්දිව හොයන ගමන්..
“කෝ බං අක්කා..අරුන් කිව්වේ මේ හරියේ හිටියා කියලා නේද..ශික් මේ කරුවලට හරියට පේන්නෙත් නෑ..”
“මේ හරියේ ඇති බං සනහසෝ..කරුවල නිසා මඟ ඇරුණද දන්නෑ..”
“කෝකටත් තව පොඩ්ඩක් බලලා කෝල් එකක් දෙමු බං ඩබල අපිව දාලා ගෙදර ගියාද දන්නෙත් නෑනේ..”
“අපොයි ඔව්..ගෙදර ගියානම් මෙලහට නැන්දට නැති බොරුත් හදලා කියලා ඇති..”
“අපොයි ඔව්..ඊයෙත් මගේ කන ඉවරයි..”
සනහස් එහෙම කියන ගමන් තව ටිකක් වට පිට බැලුවේ රන්දි කොහි හෝ ඉන්නවද කියා බලන ගමන්..
“මචං අර ඉන්නේ අක්කා නේද..”
මිතිල පෙන්නූ දිහා බලපු සනහස් අතේ තිබුණ ට්‍රෝෆි එකත් පැත්තකට විසි කරලා අඬියට දෙකට ඇවිඳගෙන ගියේ සහෝදරිය ළඟට..
“තමුසේ කවුද මගේ අක්කගේ අතින් අල්ලන්න..ආ..”
ආපු වේගෙන්ම සනහස් රන්දිගේ අතින් අල්ලගෙන හිටපු මැරයට පාරවල් දෙක තුනක් ගහගෙන ගහගෙන ගියද්දි මිතිලත් දුවගෙන ඇවිත් අනිත් මැරයට පාරවල් දෙක තුනක් ගැහුවේ එතන තනිකරම ගුටි බැට හුවමාරුවක් ඇති වෙද්දියි..
“අනේ මල්ලි ඕක නවත්තන්න..”
රන්දි කොයි තරම් කෑ ගැහුවත් ගුටි බැට හුවමාරුව නතර කර ගන්න නොහැකි වුණ නිසා ඇයට දැණුනේ අසරණ කමක්..
“අනේ මල්ලී…අනේ දැන් ඕක නවත්තන්නකෝ..”
“අක්කා මොකක්ද අවුල..”
කරුවල නිසාම සනහස්ගේ මිතුරු නඩය ගහගන්නේ කවුද කියලා නොදැක්ක නිසා වටවී ඉන්නා සෙනඟ අතරින් අපහසුවෙන් රන්දි ළඟට දුවගෙන ආවේ ඇයට කරදරයක් වත් වෙලාදෝයි කියා සිතන ගමන්..
“අනේ…මේක නවත්තන්නකෝ..”
රන්දි හඬමින්ම ඔවුන්ට පැවසුවේ සනහස්ලා දිහාවට අත් දික් කර පෙන්වන ගමන්..
මිතුරු නඩය අපහසුවෙන් සනහස්වයි මිතිලවයි පැත්තකට කරේ තවත් ශිෂ්‍යයන් දෙතුන් දෙනෙක්ගේ උදව් ඇතිවයි..ගුරුවරුන් කිහිප දෙනෙකුත් දුවගෙන මෙන් පැමිණ නහයෙන් කටින් ලේ පෙරාගෙන ඇඳුම් ඉරාගෙන දූවිලි නාගෙන හිටපු සනහස්වයි මිතිලවයි පැත්තකට කරේ සිදුවුණ සිදුවීම රන්දිගෙන් අසා ඔවුන්ට අවවාද කරන ගමන්..
“මල්ලි ඔයා හොඳින්ද..”
රන්දි අඬාගෙනම සනහස් ළඟට දුවගෙන ගියේ කොයි තරම් කෑ කෝ ගසමින් රන්ඩු සරුවල් වුණත් ඇගේ පණ ඔහු නිසයි..
“අවුලක් නෑ ඕයි..”
ගතින් කොයි තරම් වේදනාවක් දැණුනත් සනහස් ඒ ගැන ඇයට නොකිව්වේ ඇය පොඩි දේටත් කලබල වන බව ඔහු දන්නා නිසයි..
“බලනවා අන්තිම මොහොතේ ඉස්කෝලේ නම්බුව කෑවා තමුසෙලා දෙන්නා..”
විණය භාර නයන සර් සනහස්ලා ළඟට ඇවිත් විනාඩි දහයක් විතර ඔවුන් දෙදෙනාට බැන වැදුණේ ඔවුන්ගේ හැසිරීම පාසලට නොසුදුසු බව පවසමින්..
“සොරි සර්..”
“තමුන්ලා දෙන්නා මේ දැම්ම ගෙදර යන්න ඕන..හැබැයි ගෙදර යනවා කියලා ගිහින් පාරවල් වල රස්තියාදු ගහලා එහෙම අහුවෙන්නෑ මට..”.
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්