සංසාර ගීය – 14 කොටස

author
0 minutes, 10 seconds Read

සනහස් ⁣පාසලේ උදය රැස්වීම මොහොතේ කාටත් රහසේ බලාගෙන හිටියේ ඇය දිහා..

“උඹ නම් හැදෙන්නෑ සනහසෝ..ඔහොම බලාගෙන හි⁣ටියම ඕන කෙනෙක්ට නෝට් බං..”

“පව් බං කෙල්ලට අව්වේ ඉන්න බෑ රතු වෙලා..”

සනහස් දුකෙන් බලාගෙන හිටියේ දහඩිය පිස දමමින් රතු වී ඉන්නා ඇය දිහයි..

“උඹ ඉතිං මෙතන නහයෙන් අඬලා වැඩක් නෑනේ මැඩම් තමන්ගේ දුව ගැනවත් හිතන්නේ නැති කොට..”

“එක අතකට බං මේ අව්වේ පිච්චෙන වැඩ මහ බොරු වැඩ බං..හැමදාම මොනවා හරි කියෝනවා ඒ්ත් ඉතිං ඕවා අපේ මොළේට යන්නෑනේ බං..අපිත් ඉතිං ඔහේ අහන් ඉන්නවා වගේ පෙන්නනවා..මේ අධ්‍යාපන ක්‍රමේ ⁣මං කියන්නේ බං වෙනස් වෙන්න ඕන..”

“ඔය පිරිමි ළමයින්ගේ පේළියේ දහතුනේ පංතියේ ළමයි දෙන්නා ඔතන වෙනම කතාවක්ද..”

සනහස් හිටියේ මිතිල පසට යන්තමින් හැරි නිසා ඔහුව ගැස්සි ගියේ විදුහල්පතිතුමිය ඔවුන්ට කතා කෙරූ නිසයි..අමායා පවා හැරි බැලුවේ මව පැවසු ළමුන් දෙදෙනා කවුරුන්ද යන වග දැනගන්න..

“මේ අමා..උඹ පස්සේ එනවා කිව්වේ අර අයියා නේද..”

“එයා තමයි චලා අර සුදු උස කොන්ඩේ ක්‍රේල් අයියා..”

“අම්මෝ සනහස් අයියද..”

“මං නම නම් දන්නෑ චලා..”

“උඹ වාසනාවන්තයි ඈ..අපේ ඉස්කෝලේ අක්කලා විතරක් නෙවෙයි පොඩි පංතිවල ගෑණු ළමයි පවා සනහස් අයියට පිස්සු වැටිලා ඉන්නේ..අර බලපං අර එහා පෝලිමේ ඉස්සරහ ඉන්න අක්කා සනහස් අයියා දිහා බලන් ඇඹරෙන ඇඹරිල්ල..සනහස් අයියා නම් ඔය එක්කෙනෙක්ව වත් පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ..”

“එයා ටිකක් නපුරුයි නේද..”

අමායා එහෙම චලනිගෙන් ඇහුවේ ඇයට කන වැකුණු තොරතුරු වලට අනුව ඔහු තරම් පාසලේ රංඩු සරුවල් වල⁣⁣ට පැටලෙන අයෙක් තවත් නොමැති කියා වුණ නිසා එය සත්‍යයක් ද කියා දැනගන්නත් එක්ක…

“එහෙම්මමත් නෑ අමා සනහස් අයියට අසාධාරණය පෙන්නන්න බෑ ඒ හිංදා තමයි ගොඩක් ඔය රංඩු එහෙම ඇති වෙන්නේ.. මෙහේ ස්පෝට් මීට් එක දවසෙත් වලියක් ගියා ටවුමේ මැරයෝ වගයක් ගෑණු ළමයි දෙන්නෙක්ට කරදර කරන්න හදලා සනහස් අයියා ඒ මැරයෝ ටිකට ගහලා..පිටින් බලන මිනිස්සුන්ට සනහස් අයියව නරකට පෙනුනට ඉස්කෝලේ හැමෝම එයාට මාර විදිහට ගෞරව කරනවා ළමයි හරි බයයි දැක්කත්..ඉස්කෝලේ ළමයි ඒ අයියලා සෙට් එකට මාරෙට ආදරෙයි..”

“මං එදා උදේ ඒ අයියගේ ඇගේ හැප්පුණා..ඒ අයියා එදා ඉදන් තමයි මගේ පස්සෙන් එන්න ගත්තේ..”

“සනහස් අයියට මේ තරම් කාලෙකට කෙල්ලෙක් ඉඳලම නෑ අපේ අය කොච්චර පස්සෙන් ගියත්.. අපේ හෙඩ් ප්‍රිෆෙට් අක්කා කොච්චර පස්සෙන් ගියත් කැමති වුණේම නෑ..හැබැයි මේ ළඟක ඉදන් කතාවක් ගියා ඒ දෙන්නා යාළුයි කියලත් හැබැයි එහෙම වුණානම් සනහස් අයියා ඔයා පස්සෙන් එන්නෑනේ අමා..”

“ඔයා ඔය කියන්නේ අර අක්කද..”

“ආ..ඔව් එයා තමයි ඒ සස්මි අක්කා..”

අමායා සස්මි දිහා බලාගෙන හිටියේ ඊයේ දිනයේ ඔවුන්ට උදව් කරේ ඇය නොවෙදැයි කියා කල්පනා කරන ගමන්..

“ඔයා මං කියපු දේ එච්චර ගණන් ගන්න එපා අමා ඒක කට කතාවක් විතරයි..එහෙම සම්බන්ධයක් තිබුණනම් මේ වෙනකොටත් ඉස්කෝලේ හැමෝම දන්නවා..”

“මං ඔයාට සනහස් අයියා ගැන කියපු දේ කාටවත් කියන්න එපා චලනි මට බයයි අපේ අම්මා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා..”

“අනේ මං කාටවත් කියන්නෑ අමා..සනහස් අයියා ඔහොම හිටියට හරි හොඳයි ඉගෙන ගන්න එක නම් අයියා සුපිරියටම කරනවා හැමදාම පංතියේ පස් දෙනා අතර ඉන්නේ..අපේ ඉස්කෝලෙන් කැම්පස් යන්න අනිවාර්යයෙන්ම තේරෙයි කියලා හැමෝම බලන් ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක් තමයි අයියා..”

අමායා හොරෙන් හොරෙන් බලමින් හිටියේ ඔහු දිහා..කාන්තා පාසලක ඉගෙන ගත්තු නිසාම පිරිමි ළමුන්ව මෙහෙම ළඟට දකිද්දි ඇහේ හිතට දැණුනේ හරි අමුතු විදිහේ හැඟීමක්..විශේෂයෙන්ම සනහස් ගැන..

වෙනදට අමායා පාසල ඇරී මවත් එක්කම නිවසට පිටත් වුණත් අද අමායා තනිවම නිවසට එන්න පිටත් වුණේ පාසලේ ගුරු මණ්ඩල රැස්වීමක් තිබුණ නිසයි..

“පරිස්සමින් ගෙදර ගිහින් මට කතා කරන්න ඕන හොදේ..මං මේ තනියම යන්න දෙන්නේ මට පරක්කු වෙන නිසා නැත්තන් තනියම අරින්නෑ කීයටවත් දැන් ඔය ඔන්ලයින් පංතිය තියෙන්නේ තුනටද..”

“ඔව් අම්මේ තුනට..”

“තාම එකහා මාරයි මට හැබැයි එච්චර වෙලා නම් යන්නෑ මේ මීටින් එක ඉවර කරන්න..හැබැයි අඩුම දෙකහා මාරවත් වෙයි..එතකන් හිටියොත් කෑම කාලා වොෂ් එකක් දාන්න පරක්කු වෙනවනේ..කමක් නෑ එහෙනම් අදට විතරක් තනියම යන්න⁣කෝ..එක්කෝ අර ගෙට උඩ ගෙදර ගෑණු ළමයව කතා කරලා දෙන්නද යන්න..”

“බය වෙන්න එපා අම්මේ මට තනියම යන්න පුළුවන් මහ දුරක් නෑනේ..”

“මහ දුරක් නැති වුණාට දැන් කාලේ ළමයිව විශ්වාස කරන්න බෑනේ..වෙන වෙන තැන්වල ගිහින් මට අහුවෙන්න එපා කෙලින්ම ගෙදර යන්න..”

“අම්මා දන්නවනේ මං එහෙම ළමයෙක් නෙවෙයි කියලා..ඔයාව මාව විශ්වාස නැද්ද අම්මේ..”

අමායා අඬන්න වගේ මූණ හදාගෙන මවගෙන් ඇහුවේ සනහස් ඇගේ පසු පසින් පැමිණියත් තවමත් ඔවුන් අතර එලෙස සම්බන්ධයක් නොමැති නිසයි..

“මං ඔයා අකමැති කිසිම දෙයක් කරන්නෑ අම්මේ..”

“ආදරේ කරනවට මං විරුද්ධ නෑ දරුවෝ ඒත් ඔය වයස නෙවෙයි ඒකට ගැලපෙන වයස.. ඔයා කැම්පස් ගිහාම ඕන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න මං පොඩ්ඩක් වත් විරුද්ධ වෙන්නෑ ඒ හිංදා දැන් ඉගෙනීමට විතරක් මුල් තැන දෙන්න..අප්පච්චි නැතුව මං ඔයාව කොයි තරම් අමාරුවෙන් ද බලාගත්තේ කියලා ඔයා දන්නවනේ බබා..මං හිතනවා ඔයා අම්මට පිටින් යන්නේ නැතිවෙයි කියලා..”

“මං දන්නවා අම්මේ..මං එහෙම කිසිම වැරැද්දක් කරන්නෑ..”

සනහස් පාසල නිම වෙනවත් එක්කම මිතුරන් එක්ක පා පැදියට ගොඩවී වෙනදා පුරුදු පරිදි කොට්ටම්බා ගස් හෙවන යටට වී කාලය ගත කරේ ඔවුන් පාසල නිම වුණත් පැයක් දෙකක් යනතුරු නිවසට නොයන නිසයි…

“සනහස් මං මේ දැක්කමයි මචං උඹ මෙහෙම කෙල්ලෙක්ට පිස්සු වැටිලා ඉන්නවා..අපේ තනිකඩ සංගමේ අන්තිමට ඉතුරු මමයි මිතිලයයි විතරයි නේද බං..”

“ඉතිං උඹලා දෙන්නත් කෙල්ලෙක්ව හොයා ගනින් මේ අපි වගේ..”

“මේ ඒක නෙවෙයි උඹලා දැන් යන්න හිතාගෙන ඉන්නේ මොන මොන කැම්පස් වලටද..”

“උඹට පිස්සුද ආකාෂ් දැන්ම යන කැම්පස් අහන්නේ සේරටම කලින් ඒලෙවල් කරලා ඉන්න එපැයි බං ඕවා හිතන්න..”

සනහස් මිතුරන්ගේ කතාවට ඇහුන්කම් දෙන ගමන් වට පිට බල බල ඉද්දි ඔහු දැක්කේ වෙනදට විදුහල්පතිතුමිය එක්ක ඇගේ මෝටර් රථයේ නිවසට පිටත්ව යන ඇය අද තනිවම පාසල නිමවී පැමිණෙන අයුරුයි..

“මචං..සනහසෝ අර එන්නේ අමායා නංගි නේද මචං..”

“මාත් මේ බැලුවේ ඒක තමයි බං..වෙනදා මැඩම් එක්කනේ යන්නේ අද ඇයි දන්නෑ තනියම..”

“මැඩම් මොකක් හරි ගැටයක් වත් ගැහුවද දන්නෑ උඹව අල්ල ගන්න..”

මිතිල සනහස් සමීපයට පැමිණියේ එලෙස පවසන ගමන්..

“මං හිතන්නෑ බං අද ස්ටාෆ් මීටින් එකක් කිව්වා නේද උඹ දවල්..”

“ඔව්නේ යකෝ මට දැනුයි ඒක මතක් වුණේ..ඒ හිංදා තමයි එහෙනම් අමායා නංගි අද තනියම එන්නේ..මේ ඔන්න පුතෝ උඹට අද මරු පල්ලම හොදේ නංගි එක්ක කතා කර කර යන්න..”

“ප්‍රශ්නයක් වෙයිද බං..”

“මං හිතන්නෑ..මැඩම් දන්නෑනේ අමායා පස්සෙන් යන්නේ උඹ කියලා..”

“ඒ වුණාට කවුරු හරි ගිහින් කිව්වොත්..”

“හැමදාම හැංගි හොරා මේ දේවල් කරන්න බෑනේ මචං..උඹ අද ඕන දෙයක් වෙද්දෙන් ⁣කියලා නංගි එක්ක කතා කරලා උඹේ හිතේ තියෙන දේ කියපං..නංගි හෙමීට තීරණයක් අරන් කියයිනේ උඹට කැමතිද නැද්ද කියලා..”

සනහස් බලාගෙන හිටියේ අමායා ඔහු සමීපයට පැමිණෙන තුරුයි..

අමායා බිම බලාගෙනම ඇවිඳගෙන ආවේ මව පැවසු දේවල් කල්පනා කරන ගමන්..අමායගේ හිතේ සනහස් ගැන යම් හැඟීමක් තියෙන බව දැණුනත් මව පැවසූ දේවල් එක්ක අමායා කල්පනා කරමින් ආවේ සනහස් කොයි මොහොතක හෝ ඔහුගේ හිතේ තියෙන දේ ඇයට පැවසුවාම ඇය කුමක් ඔහුට පැවසිය යුතුද කියායි..

“අම්මා කියන කතාවක් ඇත්ත මං තාම ඕලෙවල් කරලත් නෑනේ..”

සනහස් ගැන කල්පනා කරමින් ඇවිඳගෙන ආපු අමායා එක තැන නතර වුණේ ඇගේ නමින් කවුරුන් හෝ කතා කෙරූ නිසයි..

සනහස් විනාඩි කිහිපයක් බලාගෙන හිටියේ බර කල්පනාවක ඉන්නා ගමන් ඔහේ හිසත් බිමට නැඹුරු කරගෙන ඇවිඳන් යන ඇය දිහයි..

“අමායා..”

ඇය ඔහුව පසු කරගෙන ඇවිඳ ගියයින් සනහස් ඇයට කතා කරේ ඇය ඔහුව නොදුටුව බව දැණුන නිසයි..

ඔහුව දැකලා ඇය බිය වු බව ඇගේ හැසිරීමෙන් දැණුනත් සනහස් ඇය සමීපයට අඩි තිබ්බේ ලැබුණු අවස්ථාව මඟහැර ගැනීමට ඔහු අකමැති වුණ නිසයි..

“මාව දැක දැකද බිම බලාගෙන නොදැක්කා වගේ යන්නේ..එහෙම නැත්තම් මාව නොදැකද ඔහොම යන්නේ..”

අමායා බිය වී වට පිට බලන දිහා සනහස් බලාගෙන හිටියේ මඳ සිනහවක් ඇතුවයි..

“බය වෙන්න එපා ළමයෝ අම්මා අද දැන්ම එන්නෑ..තව පැය දෙකක් වත් ඔය මීටින් එක තියෙනවා..”

“අනේ..ප්ලීස් අයියේ දැන් මෙතනින් යන්න අම්මා මාව ගොඩක් විශ්වාස කරලා අද තනියෙන් එව්වේ..මට එයාගේ විශ්වාසේ කඩන්න බෑ..”

“අම්මා දන්නෑ අමා මං ඔයාව හම්බුණාට.. අනිත් එක අම්මා අපි දෙන්නා ගැන දන්නෙත් නෑ..අරුන් ටිකත් ඉන්නවනේ ඒ හිංදා බය නොවී යමු..මං ගේ ගාවට යනකන් එන්නම්..”

“අනේ මට කරදර කරන්න එපා අයියේ..
අම්මා දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..අම්මා කැමති නෑ මං කාගෙත් එක්ක වත් දැම්ම සම්බන්ධයක් තියාගන්නවට..ප්ලීස් මට කරදර කරන්න එපා..මට දැන් යන්න ඕන..මට පංති තියෙනවා තව ටිකකින්..මට යන්න දෙන්න..මට තනියෙන් යන්න පුළුවන්..”

සනහස් බලාගෙන හිටියේ එකිනෙක නොගැලපෙන දේවල් කියවගෙන යන ඇය දිහා..

“අමා..කලබල නොවී මට විනාඩි දෙකක් දෙන්න..මට යන්නම් ඊට පස්සේ..සේරටම කලින් අඬන එක නතර කරන්න ළමයෝ වටේ පිටේ මිනිස්සු හිතයි මං ඔයාට කරදර කරනවා කියලා..”

සනහස් එහෙම කියලා තත්පර දෙක තුනක් යන්නටත් කලියෙන් අමායා ඔහුව ගණනකට නොගෙන පාර පැන්නේ ඔහුව මඟ අරින්න හිතාගෙන වුණත් ඔවුන් දෙදෙනාම නොසිතූ නිමේෂයක මහ හඬක් නඟමින් ඇයව බස් රථයක ගැටි විසිවී ගියේ සනහස් විනාඩි කිහිපයක් සිද්ධ වුණ දේ සිතාගැනීමට නොහැකිව සිටිද්දියි..

“අනේ…මේ ළමයව ගන්න..කවුරු හරි වාහනයක් කතා කරන්න..”

“ඔලුවමයි නේ වැදිලා තියෙන්නේ..”

“මං හිතුවේ නෑ මේ ළමයා එකපාරටම පාර පනියි කියලා අර පිරිමි ළමයා එක්ක දැන් විනාඩි දහයක් විතර කතා කර කර හිටියේ..”

විවිධ විදිහේ කතා බහ ගොඩක්, කසු කුසු හඬවල් ගොඩක් මැද්දේ මිතුරන්ගේ හඬ ද මැද්දේ සනහස් ඇය සමීපයට අඬිය තිබ්බේ දෑත් දෙපා වෙව්ලද්දියි..

ලේ විලක් මැද හුස්ම අදිමින් ඉන්නා ඇය සමීපයට ඔහු කෙසේ ඇවිඳ ගියාදැයි කියා ඔහුවත් නොදනියි..

ඇයව අත් දෙකට රැගෙන තුරුල් කරගන්නා තුරු ඔහු හිටියේ කිසිදු හැඟීමක් නොදැනෙනා රොබෝ යන්ත්‍රයක් පරිද්දෙනුයි..

“අමා……………………………”

ඔවුන් වටා එක්රොක් වී ඉන්නා මිනිසුන්ගේ කසු කුසුව නතර වී ගියේ ඔහුගේ විලාපයේ හඬින්..

ඇයව තරුලු කරගෙන හඬනා ඔහු දිහා සැවොම බලා සිටියේ කඳුළු පිරුණු දෑසින්..

“මොකක් හරි ලව් හුටපටයක් වගේ..ගෑණු ළමයා පාර බලන්නේ නැතුව පැන්නේ..”

“දැන්ම ඉස්පිරිතාලෙට අරන් ගියානම් හරි තාම වාහනයක් හම්බුණේ නැද්ද..”

“වැඩක් නැති පාටයි හැප්පිච්ච පාර එතනමයි මගේ හිතේ..”

“සනහස් මචං අපි හොස්පිට්ල් එක්කන් යන්න ඕන මචං නංගිව..මේ බලපං..සනහස්..”

සනහස් සමීපයට මිතුරන් ටික විනාඩියට දෙකට ඇවිත් ඔහුව ඇගෙන් ඈත් කිරීමට උත්සහ කරේ ඇයව⁣ රෝහලට රැගෙන යා යුතු වු නිසයි..

මිතිල ඇතුළු මිතුරන් ටික හිටියෙත් සිද්ධ වුණ දේ විශ්වාස කරගත නොහැකිවයි..

ඔවුන් සය දෙනා කොට්ටම්බා ගස යටට වී සනහස්ට විහිළු කරමින් බලාගෙන හිටියේ මඳක් එහාට වෙන්න අමායා එක්ක ඔහු කතා බහ කරමින් ඉන්නා දිහයි..ඔවුන් නොසිතූ නිමේෂයක ඇය පාර මාරු වෙනවත් ඒ මොහොතෙම ඇයව බසයට හැප්පි විසිවී යනවත් බලාගෙන හිටපු මිතුරන් සය දෙනා හිටියේ කුමක් කල යුතු දැයි කියා පවා සිතාගැනීමට නොහැකි වන තරම් බිය වීයි..

මතුසම්බන්ධයි.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts