සංසාර ගීය – 15 කොටස

author
0 minutes, 10 seconds Read

වර්තමානය….

“මචං..සනහස්..දැන් ඔය ඇඬුවා ඇති බං..”

මිතිල සනහස් සමීපයට පැමිණ ඔහුට කතා කරේ පැයක් පමණ සනහස් ඇගේ සොහොන් කොත සමීපයට වී හඬමින් උන් නිසයි..

“මං නිසා බං එහෙම වුණේ..මගෙයි වැරැද්ද අමාට මං එහෙම කරදර නොකරනම් අමා අදත් ජීවතුන් අතර මිතිල..”

“සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ සනහස්..අවුරුදු පහක් ගිහිණුත් ඇයි උඹ තේරුම් ගන්නැත්තේ සිද්ධ වුණ දේ අහම්බයක් කියලා..”

“මගේ කෙල්ල එහෙම පාර පැන්නේ මගේ කරදරේ නිසා කියලා මං කොහොමද බං අමතක කරන්නේ..අමා එහෙම පාර පැන්නේ මං නිසා..”

“මෙතන ඉන්න එක උඹට හොඳ නෑ සනහස් කවුරු හරි දැක්කොත් ආපහු පරණ කුණු ගොඩක් ඇවිස්සුවා වගේ වෙනවා දැන් ගමේ කාටවත් වුණ දේවල් මතක නෑ උඹත් මේ දේවල් අමතක කරපං මචං..”

“මගේ කෙල්ල නැතුව මටයි බං එදා එහෙම දෙයක් වෙන්න තිබුණේ..මටයි…”

“සනහසෝ..එදා එතන සිද්ධ වුණ දේ ඇස් දෙකෙන් දැකපු අපි සෙට් එකටත් අවුරුද්දක් විතර ගියා බං ඒ සිද්ධිය අමතක කරන්න මං දන්නවා අමාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු උඹට ඒ දේවල් අමතක කරන්න ලේසි නෑ කියලා ඒත් මචං දැන් ඔය දේවල් මත්තේ උඹ හිටියා ඇති බං..දැන් උඹ විදෙව්වා ඇති බං..”

“මං කොහොමද බං මේ පවෙන් ඒ තරම් ඉක්මනට ගැලවිලා පැත්තකට වෙන්නේ..මං කරේ සංසාර ගත පවක් මචං..සංසාර ගත පවක්..”

“අමා මගේ පුංචි කෙල්ල අද හිටියනම් හරි ලස්සන බෝනික්කියක් වෙන්න තිබ්බා මචං..මගේ පුංචි බෝනික්කිට මං කොහොමද බං මේ තරම් පවු වැඩක් කරේ..මං කොහොමද බං එහෙම කරේ..”

අමායගේ සොහොන් කොත වැළඳගෙන හඬා වැටෙන සනහස් දිහා මිතිල බලාගෙන හිටියේ කඳුළු පිරුණු දෑසින්..

“උඹ මෙහෙම විඳවන දිහා මට බලන් ඉන්න බෑ මචං..අවුරුදු පහක් සෙල්ලන් කාලයක් ද
අපේ සෙට් එකේ හිටපු අපිටත් වඩා පිස්සු කෙළපු එකාමද අද මේ ඉන්නේ කියලා මට හිතාගන්න බෑ..”

මිතිල සනහස්ගේ උර තලය පිරි මඳිනා ගමන් සිතුවේ අමායගේ සේයාරුව දිහා බලා සිටින ගමන්..

“අමායා නංගි ඉන්න තැනක ඉදන් මේකට සැනසීම හොයලා දියන් නංගි… මූ මේ විඳව⁣න විඳවිල්ල දිහා තවත් අපිට බලන් ඉන්න බෑ..මූ පවු නංගි..මූ පවු..”

“මචං..දැන් යමං බං..අම්මා බලන් ඇති අපි එනකන්..”

වදෙන් පොරෙන් සනහස්ව වත්තන් කරන් ඇවිත් මිතිල ඔහුව මෝටර් රථයේ ඉදිරි අසුනෙන් අසුන්ගන්වලා ඔහුත් එහා පසින් අසුන්ගෙන මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවන කරේ බර හුස්මක් හෙළමින්..

මිතිලගේ නිවසට පැමිණෙන තුරුම ඔවුන් අතර පැවතියේ නිහඬ බවක්..

“උඹ වොෂ් එකක් දාලා ටිකක් රෙස්ට් කරපං මචං..”

නිවස ඉදිරි පිට මෝටර් රථය නවත්වා කල්පනාවක සිටිය ඔහුට මිතිල කතා කරමින් පැවසුවේ ඔහුව පියවි සිහියට රැගෙන එමින්..

“පුතාලා මං මේ බල බල හිටියේ ඇයි පරක්කු කියලා..”

මිතිලගේ මව සනහස්ගේ නැන්දණිය ඔවුන් සමීපයට පැමිණියේ එලෙස පවසමින්..

“චුට්ටක් පරක්කු වුණා නැද්දේ..”

“සුදු පුතා අසනීපෙන්ද මූණත් අමුතුයි..”

“අනේ නෑ නැන්දේ කොළඹ ඉදන් එක දිගට ආපු නිසා ටිකක් හිස කැක්කුමයි ඒකයි.. එහෙම ලොකු අසනීපයක් නෑ..”

“එහෙනම් උඩට ගිහින් වොෂ් එකක් දාලා ⁣ටිකක් රෙස්ට් කරන්න මං රූම් එක ලෑස්ති කරලා තියෙන්නේ..”

මිතිල මව සමීපයේ නතර වෙද්දි සනහස් ඉහළ මහලට පිවිසුණේ මනසට දැනෙන දැඩි වෙහෙස නිසාම නින්දක් බලාපොරොත්තුවෙන්..

“මොකෝ දෙන්නගෙම මූණ අමුතු මොකක් හරි දෙයක් සිද්ධ වුණාද..”

“ඔයාට නම් තියෙන්නේ පුදුම ඉවක් අම්මේ..”

මිතිල මුළුතැන්ගෙයි කෑම මේස පුටුවක් මතින් අසුන් ගත්තේ එලෙස පවසමින්..

“ඔය දෙන්නා ගැන චුටි කාලේ ඉදන්ම දන්න අපිට ඔයාලගේ පොඩි වෙනසක් වුණත් තේරෙනවා ළමයෝ..දැන් දෙන්නත් එක්ක අවුලෙන් ගෙදර එන්න තරම් වෙඩින් එකේදි මොනවා හරි වුණා නේද..”

“අපිට ප්‍රිරින්සිපල් මැඩම් හම්බුණා අම්මේ..”

“මං ඔයාට කලිනුත් අනතුරු ඇගෙව්වා පුතේ සුදු පුතාව මෙහෙට ගෙන්නන එක කොයි තරම් ප්‍රශ්න ගොඩක මුලද කියලා ඇහුවේ නෑනේ මං කියපු දේ දැන් හරිනේ ඉතිං..”

“අපි ඒක එච්චර හිතුවේ නෑ අම්මේ මෙහෙම දෙයක් වෙයි කියලා..”

“මැඩම් දැක්කම මොකද වුණේ..”

“මැඩම්ව දැක්ක ගමන් මං හැදුවේ සනහසාව එතනින් එක්කරන් එන්න ඒත් අම්මේ මැඩම් අපේ පස්සෙන් ඇවිත් කෑ ගැහුවා සේ⁣රටම ඇහෙන්න අමා නැති වුණේ අපේ එකා නිසා කියලා..”

“දෙයියනේ…”

“දෙ⁣තුන් දෙනෙක් සිද්ධිය විඩීයෝත් කරා අම්මේ අද හවස් වෙද්දි කොහොමත් සිද්ධිය ලැව් ගින්නක් වගේ හැම තැනම පැතිරෙයි..”

“ඊට කලින් අපිට මුකුත් කරන්න බැරිද පුතේ..සුදු පුතා ටිකක් අතීතෙන් මිදිලා ඔලුව උස්ස ගත්තා විතරයිනේ..”

“මං සනහසාගේ මැනේජර්ට කතා කරලා කිව්වා ඔය විඩීයෝ එක රිලීස් වෙච්ච ගමන් අයින් කරන්න වැඩ කරන්න කියලා ඒත් මට ෂුවර් නෑ අම්මේ..මේ කේස් එක ලේසියෙන් සනහසාට මැනේජ් කර ගන්න බැරි වෙයි වගේ..”

“මං ඔයාට කිව්වා පුතේ කලින්ම ඔය වෙඩින් වගේ නෙමෙයි මේ කොල්ලා හදා ගත්ත හිත කැඩුණොත් කියලා කෝ ඔයාලා මං කියන එක ගණන් ගත්තේ නෑනේ ⁣දැන් පේනවනේ වෙච්ච වැඩේ..”

“කවුද අම්මේ හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා..නවෝද් වත් දන්නෑ චතුරි මැඩම්ට ඉන්වයිට් කරා කියලා දන්නවනම් මේ දේවල් මෙහෙම වෙන්නෑ..”

“දැන් ඉතිං වෙච්ච දේ වෙලා ඉවරයි ඉස්සරහටවත් ඔය වගේ මෝඩ වැඩ නොකර ඉන්න..ඔන්න මං කලින්ම කිව්වා සොහොන් ගානෙයි ඉස්කෝලේ ගානෙයි එහෙම සුදු පුතාව එක්කන් යනවා එහෙම නෙවෙයි..ඒ ගමන ඔයවල ඇවිඳලා තියෙන ප්‍රශ්න මඳිවට තව ප්‍රශ්නත් හදාගෙන එන්න..”

“අපි සොහොනට ගිහින් අම්මේ ආවේ සනහස්ට යන්න ඕන කිව්වා..”

“ඉතිං යන්න ඕන කියපු ගමන් ගොනා වගේ එක්කරන් ගියාද..”

“ඉතිං ඌ කියපු දේනේ මං කරේ..”

“හරි ෂෝක් ඒක කියපු හැටි තමුන් අයියා නේද අයියට බැරිද මල්ලිට හරි වැරැද්ද කියලා දෙන්න..”

“අනේ මේ ඔයාටත් වැරදි මේ අහිංසකයා වගේ ඉන්න මම තමයි මං කොහොමත් සුදු පුතා ආවහම කැලේ නේ..”

“අනිත් හැමදේටම කට තියෙනවා මේ වගේ දේවල් වලට තමයි කට නැත්තේ..දැන් අක්කට මං මොනවා කියන්නද මංදා අපිව විශ්වාස කරලනේ සුදු පුතාව තනියම මෙහේ එව්වේ..ඔයාලා හිතනවට වඩා මේ දේවල් බරපතලයි පුතේ..ඉස්සර සුදු පුතා නිකන් ඉස්කෝලේ යන ළමයෙක් විතරයි ඒත් දැන් එහෙම නෙවෙයිනේ එයා රටක් දන්න තරුවක් එයාට කොච්චර හතුරෝ ඉන්නවා ඇතිද නොපෙන්නුවට..නිකමට හිතන්න ඒ කාට හරි මේ සිද්ධිය ආරංචි වුණොත් මොනවා වෙයිද කියලා..සුදු පුතාට පාරේ බැහැලා යන්න බැරි වෙයි හැමෝම බලන් ඉන්නේ සුදු පුතාට ඇඟිල්ල දික් කරන්නනේ..”

“ඒක ඇත්ත අම්මේ මූ අවුලින් හිටපු නිසා මං සෙමෙට්ට්‍රි එකට එක්කරන් ගියේ..”

“ගිය එකට නම් මං මුකුත් කියන්නෑ පුතේ ඒත් තියෙන වාතාවරණය අනුව කවුරු හරි ඕක විඩීයෝ කරලා දැම්මොත් නිකන් බොරුවට ප්‍රශ්නයක් දා ගත්තා වෙනවනේ..”

“දැන් යන්න ඔයත් ගිහින් වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්න..”

මිතිල සනහස්ව හොයාගෙන එද්දි ඔහු හිටියේ සුව නින්දක..

**

“අමායා…….”

සනහස් පුරුදු පරිදි ගැස්සි ඇහැරුණේ එදින සිදුවීම ඔහු සිහිනෙන් දුටු නිසයි..ගෙවුණු වසර පහ මුලුල්ලෙම සෑම දිනකම පැය කිහිපයකට පමණක් ඔහුගේ නින්ද සීමා වුණේ ඔහුගේ සිහින වල එදින සිදුවුණු සිදුවීම නැවත නැවතත් ජීවමාන අයුරින් සිදුවුණු නිසයි..

“මචං…”

සනහස්ගේ විලාපය නිසා මිතිල එහා කාමරේ සිට දුවගෙන පැමිණියේ ඔහු සමීපයට..

“වතුර ටිකක් බීලා හිටපංකෝ ⁣ආ..”

දැඩි පිපාසයකින් පෙළුණු අයෙක් මෙන් සනහස් එක හුස්මට වතුර වීදුරුව පානය කරේ දහඩිය පිස දමමින්..

“උඹ හැමදාම ඔය සෙල්ලම හංගන් ඉන්නද යකෝ හදන්නේ..උඹ මට ගිය අවුරුද්දේ කිව්වා නේද දැන් උඹට ඔය හීනේ පේන්නෑ කියලා අර අක්කා කියනවත් වගේ උඹ ගෙදරින් ගිහින් තනියම ඉන්නේ අපි උඹේ රහස් දැන ගනියි කියලා බයට ද..”

“එහෙම දෙයක් නෑ මචං..”

“එහෙම දෙයක් නැත්තම් තියෙන්නේ කොහොම දෙයක් ද..උඹට කී සැරයක් මං කතා කරාද ඩොක්ටර් කෙනෙක්ව ගිහින් මීට් වෙමු කියලා..”

“මං මෙහෙම විඳවන්න ඕන මචං..මේ විඳවීම මට සැනසීමක්..”

“අනේ මේ #@#& මගෙන් උඹ අහගන්න එපා..
මඟුලක් කතා කරනවා මෙතන.. යකෝ තමන්ට දුක් දී ගත්තයි කියලා සේරම පරණ විදිහට තියෙන්නෑ මචං. උඹ මොනවා කරත් අමායට ආපහු පණ එන්නෑ..මැරුණ ⁣මිනිහා මැරුණා ජිවත් වෙලා ඉන්න උඹ හිතන්න ඕන උඹ ගැන..මට නම් දැන් මේ දේවල් උඹට කියලම එපා වෙලා තියෙන්නේ බං..අපි හැමදාම පිස්සෝ වගේ කියවනවා උඹ අහන් ඉන්නවා වගේ රඟපාලා සේරම දේවල් මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරලා දානවා..”

“මචං මං මේ සිරා කතා කරන්නේ බං..මං උඹට රටේ නැති නම් වලින් කතා කරාට උඹ මගේ මල්ලි, මං කැමති නෑ බං උඹ මෙහෙම විඳවනවට..හෙට උදේට අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යමුද..”

“නිදි පෙත්තක් ගැහුවම මේක හරි බං මට අමතක වුණා බොන්න ඒකයි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න තරම් දෙයක් නෑ බං..උඹ බොරුවට කලබල නොවී හිටපං..”

“යකෝ උඹ හිතන්නේ ඔය නිදි පෙති හදලා තියෙන්නේ දවස ගාණේ බොන්න කියලද..මේ විකාර නොකර හෙට උදේම උඹ මගෙත් එක්ක එන්න ඕන ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න යන්න..ඔහොම හිටපං මං සංඛ අයියගෙන් අහන්න.උඹ හැමෝටම හංග හංග කරන දේවල් අනිත් එවුනුත් දැනගන්න එපැයි.”

“ඒ උඹට විකාරද තියපං ෆෝන් එක උඹ හදන්නේ මට සුපිරි කෑමක් සෙට් කරන්නද..”

මිතිල දුරකථන රැගෙන සනහස් සමීපයෙන් ඈතට ගියේ සංඛට ඇමතුමක් ගන්නා ගමන්..සනහස් මිතිල සමීපයට දුවගෙන මෙන් පැමිණ දුරකථන ගැනීමට උත්සහ කරත් ඊට පෙර එහා ඉමෙන් සංඛ ඇමතුම හා සම්බන්ධ වුණ නිසා සනහස්ට සිද්ධ වුණේ පසු බසින්න..

“හෙලෝ අයියේ සනහසා අපිට බොරු අයියේ කරලා තියෙන්නේ මූට තාම අර හීන පේනවා..”

“ඔව් අයියේ මූ මෙහෙම හිටියට මාර ඩයල් එක මෙච්චර කාලයක් අපිට හැංගුවනේ නිදි පෙති බබී ඉදලා තියෙන්නේ මට අද අතේ මාට්ටු දැන් පොරේ මං අයියට කියයි කියලා ෆෝන් එක ගන්න..”

“මේ පාර නම් මං මූට ඕන විදිහට වැඩ කරන්න දෙන්නෑ අයියේ..”

“ඔව් ඔව් අක්ක⁣ට කියන්න ඕන නෑ ඒ මිනිස්සු ගින්දර ඉහිලුවා ඇති මූ හින්දා..”

“ඔව් මං හෙට උදේට බලලා කියන්නම්..හරි අයියේ මං තිබ්බා..”

සනහස් කිසිවක් නොඇසුණ ලෙස සයනය මතින් වැතිරුණේ මිතිලව ගණනකට නොගෙන..

“මේ හෙට උදේ යන්න ලෑස්ති වෙයන් හොදේ ඔය හොර නිදි හරියන්නෑ..ම⁣ට මේ දැන් මතක් වුණේ අර උඹ එදා විස්තර හොයන්න කිව්ව ළමා නිවාසේ ගැන මං විස්තර හෙව්වා..”

සනහස් සයනය මතින් අසුන්ගත්තේ ඔහු බොහෝ දිනක පටන් එම කාරණය පිළිබඳ තොරතුරු සෙවු නිසයි..

“ඒ ළමා නිවාසේ ළමයි පනහක් තමයි ඉන්නවා කිව්වේ..පුංචි කිරි බොන වයසේ දරුවෝ හතරකුත් ඉන්නවා කිව්වා..”

“මේ පාර අමාගේ දානේ ඒ ළමා නිවාසෙට දෙන්න මං හිතුවේ..”

“ඒක නම් හොඳ අදහසක් මචං..දැන් මොනවද දෙන්නේ..”

“ඒ ළමයින්ට නිතර කන්න නොලැබෙන මොනවා හරි කෑම ජාති දෙක තුනක් දෙන්න මං කල්පනා කරේ..පිට්සා වගේ ජාතියක් එක්ක තව මොනවා හරි..”

“ශා..ඒක නම් හොඳ අදහසක්..මාත් මොනවා හරි අරන් දෙන්නම්..”

“නෑ..මචං උඹ දන්නවනේ අමාගේ දානේ හැමදාම දෙන්නේ සම්පූර්ණයෙන්ම මගේ සල්ලි වලින් කියලා..”

“හරි..හරි..උඹේ කැමැත්තක් ඉතිං..ඒක නෙවෙයි අන්න නැන්දා කතා කරලා කිව්වා උඹට කෝල් එකක් ගන්න කියලා නැගිට්ටම..”

“මං තව ටිකකින් ගන්නම් බං ඔය මෙහේ ආපු නිසා මොකක් හරි කියන්න වෙන්නැති..”

මතුසම්බන්ධයි

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts