සනහස් මිතිලගේ නිවසේ උදෑසන දහය පමණ වනතුරු සුව නින්දක් ලැබුවේ රාත්‍රියේ දී ඔහු පානය කරපු නිදිපෙත්තෙහි පිහිටෙන්..
උදෑසන දහයට පමණ අවධිවී සනහස් පහළ මහලට පැමිණියේ මිතිල ඉහළ මහලේ පෙනෙන්නට නොමැති වූ නිසයි..
“නැන්දා කෝ මිතිලයා..කොහේ හරි ගියාද..”
මුළුතැන්ගෙයටවී ආහාර පිසිමින් සිටිය වසන්ති සමීපයට පැමිණ සනහස් එලෙස ඇසුවේ මිතිල පහල මහලෙත් පෙනෙන්න නොසිටි නිසයි..
“ඇයි උඩ නැද්ද..”
“නෑ..නැන්දා උඩ හිටියේ නෑ..”
“දැන් මේ හරියේ හිටියා සුදු පුතේ මට ඇහුණා කාගෙත් එක්ක හරි කතා කරන ගමන් ඔයාට බනිනවා..දැන් නම් කොහේ අතුරුදහන් වුණාද දන්නෑ..”
“නැන්දා මොනවද හදන්නේ..”
“මං මේ දවල්ට කෑම හදනවා සුදු පුතේ.. ඔයාට කිරි එකක් හදන්න ද..නැත්තන් උදේ කෑම ම කනවද..මං ඔයාට කෑම අරන් තිබ්බා..”
“දැන් දවල්ටම කන්නම් නැන්දේ බඩඟිනි නෑ..”
“සුදු පුතේ..”
මුළුතැන්ගෙයින් පිටව යන්න සුදානම් වුණ සනහස් නතර වුණේ නැන්දණිය ඔහුට කතා කල නිසයි..
“ඕ..නැන්දා..”
“මෙහේ එන්න පුතේ..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන..මෙතනින් ඇවිත් වාඩි ගන්නකෝ..”
මුළුතැන්ගෙයි කෑම මේසේ පෙන්වා වසන්ති සනහස්ට එලෙස පවසා ඔහු අසුන්නා තුරු ලිප මත ඉදෙමින් තිබුණ ව්‍යාංජනය හැදි ගා පියනකින් වසා දමා ඔහුට සමීප අසුනකින් ඇයත් අසුන්ගත්තේ ඔහුත් සමඟ ඊයේ රාත්‍රියේ පටන් කතා කල යුතු යැයි කියා සිතාගෙන උන් කරුණු කාරණා මතක් කර ගනිමින්..
“සුදු පුතේ..මට ඔයයි මිතිලගෙයි වෙනසක් නෑ කියලා ඔයා දන්නවා නේද..”
වසන්ති සනහස්ගේ අතකින් අල්වගෙන එලෙස ඇසුවේ ඇයට ඔහුත් සමඟ කතා කිරීමට ප්‍රවේශයක් අවශ්‍ය වුණ නිසයි..
“මං ඒක දන්නවනේ නැද්දේ මමයි මිතිලයි ඔයාට එක වගේ කියලා..”
“මට දැනගන්න ඕන වුණේ එච්චරයි පුතේ..
මං මේ ඔයත් එක්ක කතා කරන්නේ නැන්දා වගේ නෙවෙයි ඒකයි..මං මේ කතා කරන්නේ ඔයාගේ අම්මගේ තැන ඉදන්..”
“ඔයා කැමති දෙයක් කියන්න නැන්දේ මං ඔයා ගැන වැරදියට හිතන්නෑ..”
සනහස් දන්නවා ඔහුත් සමඟ පවුලේ උදවිය කතා කරන එකම මාතෘකාව එදින සිදුවුණ සිදුවීම බව..ගෙවුණු අවුරුදු පහ ඇතුලේ එම සිදුවීම ගැන සිය සැරයකට වඩා ඔහුත් සමඟ පවුලේ උදවිය කතා කර තිබුණ නිසාම දැන් ඔහුට එම කතා බහවල් දැණුනේ සාමාන්‍ය කතා බහවල් විදිහට..”
“ඔයා මෙහේ එනවට මං පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ පුතේ මේවා ගම්නේ මිනිස්සු කතා හදන්න හරි දක්ෂයි..අයියා ඉස්සර කොච්චර තද ගති තියෙන කෙනෙක්ද කියලා ඔයා දන්නවනේ එයා පවා අද ඔය ඉන්න තත්ත්වයට වැටෙන්න මූලිකම හේතුව එයාට මිනිස්සු කියන කතා දරාගන්න බැරි වුණා ඒකයි..අපි කවදාවත් හිතලා තිබුණේ නෑනේ ඔය වගේ දෙයක් අයියට වෙයි කියලා මිනිස් ජිවිත එහෙම තමයි අපි හිතන්නැති වෙලාවක අසනීප වෙලා හරි නැත්තන් මොකක් හරි අනතුරක් වෙලා හරි අපිට මේ ලෝකෙන් යන්නම වෙනවා..වයස අදාල නෑ පුතේ ඒකට..අමායා දූටත් වුණේ ඒක එයා ගෙනාපු ආයුෂ එච්චරක් වෙන්නැති..
මට හිතාගන්න පුළුවන් වත්සලා මැඩම් මේ දේවල් ගැන හිතන විදිහ මමත් අම්මා කෙනෙක් නිසා පුතේ ඒත් අපිට මේ වෙලේ පේන්නේ ඔයාව විතරයි අනිත් අයව පේන්නෑ..ඔයා මේ ගමන කොච්චර අමාරුවෙන් ද ආවේ කියලා දන්නේ අපියි,ඒ නිසා අතීතේ දේවල් එහෙම්මම වැලලිලා යන්න දෙන්න පුතේ..
ඔයා මේ ආපු ගමන ගැන අම්මා ඉන්නේ හරි හිතේ අමාරුවෙන් ඔයා විඳවනවා බලන්න තවත් අපිට බෑ සුදු පුතේ..”
“එදා එහෙම දෙයක් නොවෙන්න තිබ්බා නැන්දේ..මට අමතක කරන්න බෑ එදා එහෙම දෙයක් නොවුණනම් අද අමා ජිවතුන් අතර කියන දේ…මට ඒක අමතක කරන්න බෑ..එයා හිටියේ හරිම පුංචි වයසක එයාටත් මට වගේම හීන තියෙන්න ඇති බලාපොරොත්තු තියෙන්න ඇති මං නිසා ඒ හැමදේම විනාශ වෙලා ගියා..මට ඒ දේ අමතක කරන්න බෑ නැන්දේ..”
“අපි කියන්නේ ඒවා අමතක කරන්න කියලා නෙමෙයි පුතේ අපි කියන්නේ ඒ දේ ආපහු ගොඩ ගන්න එපා කියන දේ විතරයි..ඔයා පරණ දේවල් එක්ක ජිවත් වෙන්න ගිහාම වෙන්නේ ඔයාට ප්‍රශ්න ඇතිවෙන එක පුතේ..ඒ නිසා ඔයා වැඩිය ගම වටේ එහෙම යන්න එපා වත්සලා මැඩම් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා අපි දන්නෑනේ.. අපිට බය තියෙන්නේ ඒකයි..අවුරුදු පහක් ගෙවිලා ඉවර වුණත් මැඩම් තාමත් අපිත් එක්කත් තරහයි එයාගේ දුව නැතිවුණේ අපි නිසා කියලා..නැත්තටම පුතේ මෙතන ඔයාගේ වරදක් නෑ ඒ දරුවා කලබලේට පාර පැනපු නිසානේ එහෙම දෙයක් වුණේ..ඒත් ඉතිං වත්සලා මැඩම් ඒක තේරුම් ගන්නෑ එයා බලන් ඉන්නේ අවස්ථාවක් එනකන් අපේ දිහාවට ඇඟිල්ල දික් කරන්න..
ඒ දවස් වල උසාවි, පොලිස්සි ගානේ ගියාට එයාට සාධාරණයක් වුණේ නැත්තේ අපි බලේ පාවිච්චි කරපු නිසා කියලනේ තාම මැඩම් හිතන් ඉන්නේ..අපි මිනිස්සු වෙනස් කරන්න බෑ ඒ හිංදා අපි පරිස්සම් වෙන එක තමයි හොඳම දේ..”
“මං කොහෙවත් නොගිහින් ඉන්නම් නැන්දේ.. මං ආපු නිසා ඔයාලටත් කරදරේ..”
“මගෙන් ගුටි ඕනද විකාර කියවන්නේ..මේ ගෙදර මට ඉන්නවා දරුවෝ හතරක් ඔයයි අක්කයි අපේ ඩබලයි මට ඔයාලා ඔක්කොම මගේ දරුවෝ..මං ඔයත් එක්ක මේ දේ ගැන කතා කරේ පුතේ මං කැමති නෑ අමාරුවෙන් ඔයා පිළිවෙළක් කරගත්ත ජිවිතේ ආපහු හැලි වෙනවට ඒකයි..”
“සනහස්…මචං..”
“මොකෝ උඹ බයවෙලා..”
“බලපං..මේ..”
මිතිල දිගු කල දුරකථන සනහස් අතට ගත්තේ ඔහු මෙතරම් කලබල වීමට තරම් සිදුව ඇති දේ කුමක්ද කියා සිතමින්..
ලංකාවේ සිහින තරුවගේ පැටිකිරිය..
“මොකක්ද මේ විඩීයෝ එක..”
“බලපංකෝ විඩීයෝ එක..”
එලෙස නම් තබා ඇති විඩීයෝව සනහස් ක්‍රියාත්මක කරේ කුතුහලයෙන්..
“මේ..”
“වැඩේ පත්තු වෙලා ඊයේ රෑ අප්ලෝඩ් කරලා තියෙන්නේ දැනටම මිලියන දෙකක් බලලා.. පොඩ්ඩක් කමෙන්ට් බලපංකෝ..”
“අපි හිතුවේ නෑ සනහස් මේ වගේ මනුස්සයෙක් කියලා..කවුරු හරි දන්නවද මේ විස්තරේ ඇත්ත නැත්ත..”
“ඔය සිද්ධිය වුණේ අපේ ඉස්කෝලේ හරියේ සනහස් අයියා ඒ කාලේ ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් අපිත් හරියටම හැබැයි මොනවා වුණාද කියලා දන්නෑ..අපේ ඉස්කෝලේ මැඩම් තමයි ඔය ඉන්නේ එයාගේ දුව තමයි නැති වුණේ..”
“මහ ලොකු සිහින තරුව පුදුම රැගිල්ලක්නේ නැටුවේ දැන් සැප ඇති..”
“කවුද දන්නේ ඔය ගෑණි බොරුවට සනහස් අයියට බනිනවද කියලා සනහස් අයියා හැමදාම සිංදු හැදුවේ එයාගේ ගෑණු ළමයට කියලා එයා මේ ළඟදි වැඩසටහනකත් කිව්වා..”
“මට නම් ඕකව පෙන්නන්න බෑ ඉස්සර ඉදන්ම..”
“මූ මෙහේ ජොලි දානවා අහිංසක කෙල්ලෙක්ව මරලා..”
“මේ විඩීයෝ එක දාපු මනුස්සයා කවුරු වුණත් දාලා තියෙන්නේ හිතා මතාමයි සනහස්ට මඩ ගහන්න..”
“අපි ආදරේ එයාගේ වොයිස් එකට මොනවා වුණත් එයාගේ වොයිස් එක මරු..”
“මේ ගෑණි කෑ ගහනවා විතරනේ හරියට මොනවද වුණේ කියලා කියන්නෑනේ..”
“තම්නේල් එක දාපු එකාට වැරදිලා කවුද මූ අපි මූව දන්නෑ” ලංකාවේ සිහින තරුව” මූව දැක්කෙත් අද..”
“මූ ඔය කෙල්ලව ෂුවර් එකට බස් එකට තල්ලු කරන්න ඇති..”
“අපේ ගමේ තාමත් අමතක නොවන සිද්ධියක් තමයි ඕක..මේ මැඩම් හරි පවු එයාට හිටපු එකම ළමයා තමයි නැති වුණේ එයාට..මහ ලොකු වයසක්නෑ අඩුම තරමේ ඕලෙවල් වත් කරලා හිටියේ නෑ ඒ වෙද්දි ඔය නැති වුණ ගෑණු ළමයා..අපි දන්න විදිහට නම් සනහස්ගේ කිසිම වරදක් නෑ ඔය සිද්ධියට, නැති වුණ ගෑණු ළමයා හරියට පාර බලන්නේ නැතුව පාර පැනලා තියෙන්නේ බස් එකක් එනවා පෙනි පෙනී. බස් එකේ ඩ්‍රයිවර්ට බ්රේක් ගහ ගන්න බැරි වෙලා කලබලේට හැප්පුන තැනමයි නැති වුණේ ඔලුවනේ වැදිලා තිබුණේ ලේ විලයි පාර පුරාම..හැප්පිච්ච සද්දෙට ගමේ මිනිස්සු හැමෝම දිව්වා අපි යද්දිත් සනහස් මල්ලි ඔය ගෑණු ළමයව බදාගෙන අඬනවා..දවස් දෙක තුනක් යනකන් අපිත් හිටියේ ඒක දැකලා ෂොක් වෙලා..”
“මේ පේජ් කාරයෝට ඕන නැති මඟුලක් නෑ ඒ මනුස්සයගේ අතීතේ අපිට වැඩක් නෑනේ අපි ආදරේ ඒ වොයිස් එකට..”
“අවුරුදු පහකට හයකට කලින් ඕක මේ පැති වල ජනප්‍රිය සිද්ධියක් ටිවී එකෙත් ගියා මට මතක විදිහට, කවුද හරි කවුද වැරදි කියලා නම් දන්නෑ හැබැයි අපිට ආරංචි වුණේ නම් ඔය ගායකයා ඔය ගෑණු ළමයව බස් එකට තල්ලු කරපු කතාවක් තමයි..ඔය ගායකයගේ ගෙදර අය පස්සේ කේස් එක යට ගහලා සල්ලි දීලා..ඔය මැඩම් පොලිස්සි ගාණේ හෙනට ඒ කාලේ ගිහින් සාධාරණයක් ඉල්ලලා ඒත් ගණන් අරගෙන නෑ..ඔය ගායකයගේ තාත්තා හමුදාවේ ලොක්කෙක්ලුනේ..බලේ පාවිච්චි කරලා මට හිතෙන්නේ කේස් එක යට ගැහුවා..”
“මෙතන ඉන්න එකෙක්වත් ඇත්තම සිද්ධිය දන්නැත්ද එක එකා කියන්නේ එක එක කතානේ..”
නානාප්‍රකාර අදහස් ගොඩේ සනහස් පහළට පහළට කියවගෙන ගියේ ඒ තරම් කියවා අවසන් කරන්න බැරි තරම් ප්‍රේක්ෂක අදහස් එම විඩීයෝව වෙනුවෙන් ලැබී තිබුණ නිසයි..
“මේක අයින් කරගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මචං..අපි දැන් මොකද කරන්නේ..ශික්..මට උඹව මෙහේ එක්කරන් එන්නේ නැතුව ඉන්න තිබ්බේ..”
“දැන් මේක හැම තැනම ශෙයා වෙලා ඇති බං..ඔන්න ඕක අතැරලා දාපං..වුණ දේ වුණා..”
“පිස්සු කියවන්නැතුව හිටපං යකෝ..මේ උඹ අමාරුවෙන් හදාගත්ත නම විනාශ වෙන්නේ..බලපං කොච්චර කමෙන්ට් තියෙනවද කියලා, මේ ඔරිජිනල් පෝස්ට් එකේ විතරක් ලක්ෂයක් කමෙන්ට්ස්..සමහරු උඹට කොයි තරම් කැත කතා කියලා තියෙනවද කියලා බලපං..මේ මුන් දන්නවද එදා හරියටම වුණේ මොකක්ද කියලා..අපියි යකෝ එදා වෙච්ච දේ ඇස් දෙකෙන් දැක්කේ උඹ කියන්නේ මේ කියන විකාර කතා අපි සද්ද වහලා අහගෙන ඉන්න ඕන කියලද..”
“ඕවා කවදත් මට ආපු දේවල්නේ මචං..වෙන ඕනම දේකට මං ෆේස් කරන්න දැන් හිත හදාගෙන ඉවරයි..මං දැන් ඉස්සර හිටපු පොඩි එකා නෙවෙයි බං,මං අද එදා වගේ ගේ ඇතුලේ මුල්ලකට වෙලා හැංඟිලා අඬන ජාතියේ එකෙක් නෙවෙයි..මං මේ විඩීයෝ,මේ කමෙන්ට්ස් වලට බය වෙන්න ඕන නෑ මචං..
මං කරලා තියෙන එකම වැරැද්ද මං අමායට ආදරේ කරපු එක විතරයි බං ඒ හිංදා මං මොකටද කාටවත් බය වෙන්නේ..”
“උඹ කවදත් අපි කියන දෙයක් අහපු එකෙක් නෙවෙයිනේ..අපි උඹේ ජිවිතේ ගැන හිතන තරම් වත් උඹ උඹ ගැන හිතන්නෑ..ඕන දෙයක් කර ගනින්කෝ..”
“මචං..මිතිලයෝ..මේ අහපංකෝ බං..අපි දැන් ඔය විඩීයෝ එක අයින් කරා කියලා උඹ හිතනවද සේරම දේවල් හරියයි කියලා.. කිසිම දෙයක් හරියන්නෑ මචං..විඩීයෝ එක අයින් කරාට මිනිස්සු ඔය දේ ගැන, මං ගැන කතා කරන එක නතර කරනවද..කිසිම දෙයක් ආපහු තිබුණ විදිහට තියෙන්නෑ මචං..දැන් කරන්න තියෙන හොඳම දේ තමයි එන විදිහකට ඔය දේවල් වලට මූණ දෙන එක..”
“දැනටම උඹට පත්තර තුනකින් ටිවී චැනල් හතරකින් කතා කරා ඉන්ටවීව් කරන්න දිනයක් දෙන්න පුළුවන් ද කියලා අහලා.. මැනේජර් ඒ කිසිම එකක් බාරගත්තේ නෑ කිව්වා උඹ මේ කිසිම දෙයක් දන්නේ නැති නිසා..මට කතා කරා උඹ කෝ අහලා..උඹ දැන් මොකද ඒ දේවල් වලට කරන්නේ..”
“මං තාම හිතුවේ නෑ බං..දැන්නේ මාත් මේක දැක්කේ..”
“බලපං ඉතිං අර උලමා හිතලා මතලා වැඩ කරන්නේ නැති නිසා වෙච්ච දේ..මගේ නම් ඔලුවත් විකාර වුණා මේ විඩීයෝ එක දැකලා..මෙච්චර දෙයක් වෙලා තියෙද්දි උඹ කොහොමද බං මෙච්චර කූල් එකේ ඔහොම ඉන්නේ..”
“ඔක්කොටම කලින් මෙතනින් වාඩිගෙන මෙන්න මේ වතුර වීදුරුව බීලා හිටපංකෝ මිතල..”
මිතිල සංසුන් වෙනකන් සනහස් නැවත වතාවක් විඩීයෝවට ප්‍රේක්ෂකයන් දමා තිබුණ අදහස් කියෙව්වේ පිටට නොපෙන්නුවට ඔහුත් මේ සිදුවීම නිසා මදක් නොසන්සුන්ව සිටිය නිසයි..
පසුගිය සතියේ කොටස මෙතැනින් –
මතුසම්බන්ධයි..